වාරිමාර්ග දෙපාර්තමේන්තුවට පවරාගත් කතරගම මැණික් ගඟ අසබඩ නිවස තමාට අයත් දේපළක් නොවන බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා. කතරගම ප්‍රදේශයේ කිසිදු ගොඩනැගිල්ලක් ඉදි කිරීමට හෝ පවත්වා ගෙන යෑමට හෝ තමා හට කිසිදාක, කිසිදු හේතුවක් හෝ උවමනාවක් හෝ තිබී නැති බවයි සිය Facebook ගිණුමේ සටහනක් තබමින් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.
ඔහු පවසන්නේ, එම ගොඩනැගිල්ලේ අයිතිය පිළිබඳව පසුගිය වකවානුවේ CID පරීක්ෂණයක් පැවැත්වූ බවද, ජී. රාජපක්ෂ නම් අයෙකුගේ නමින් විදුලි සම්බන්ධතාව ලබාගෙන ඇති නිසා තමාගෙන් කරුණු විමසීමක් කිරීම අදාල සිදුවීම පිළිබඳ විමර්ශන කිරීම සඳහා එකම හේතුව බවයි. අදාල නිවස තමාට අයිති දේපළක් නොවන බව තරයේ ප්‍රකාශ කරන බව ඔහු ප්‍රකාශ කරයි.
නමුත්, පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ එය එසේ ජී රාජපක්ෂ නොව ගෝඨාභය රාජපක්ෂ යන නමින්ම මෙම නිවසට විදුලි බිල් ලැබී තිබෙන බවය.
පසුගිය කාලසීමාව තුළ අදාල නිවස ගැන විමර්ශන වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ නෙවිල් වන්නිආරච්චි සහ යෝෂිත රාජපක්ෂ යන අයගෙන්ද විමසීම් කර තිබුණා. එමෙන්ම රජයේ දේපළ අවභාවිත කරමින් මෙම නිවස ඉදි කිරීමට මග නැගුම, ගම නැගුම ආදී ආයතනවල සම්පත් යොදාගැනීම, ඉඩම් ඇල්ලීම ඇතුළු බොහෝ ක්‍රියාවන් සඳහා රාජපක්ෂ පවුලේ සාමාජිකයන් යොදවා ඇති බවට චෝදනා එල්ල වී ඇත.
