ඔබ පැමිණී ඔබම ගියා නැවතුන තැන අපි ඉන්නම්......

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
ඔබ පැමිණී ඔබම ගියා නැවතුන තැන අපි ඉන්නම්......

ඔහුගේ ඒ හැඟුම්බර හඬ විරහ වේදනා විඳින හැම හදවතකටම දිව්‍යමය ඔසුවක්‌ බඳුවිය. ශ්‍යංගාර රස මිහිරි විඳින හදවත්වලට රසමදිරාවක්‌ම විය. ඒ ලයාන්විත හඬ, විරහ වේදනාවෙන් හඬා වැටෙන හදවත් තුළ පොපියන ශෝකාලාපවල අනුරාවයයි.
av10030713-1.jpg


පුරා දශක තුනකටත් අධික කාලයක්‌ ශ්‍රී ලාංකික ගීත ක්‍ෂේත්‍රයේ විරහ ගීතයේ කිරුළ හිමිකර ගෙන මෙයින් වසර දහතුනකට පෙර ඔබ අප අතරින් සමුගත් ප්‍රවීන ගායන ශිල්පී මිල්ටන් මල්ලවාරච්චි පිළිබඳ සටහනක්‌ ඔහුගේ දහතුන්වන අනුස්‌මරණ දිනය වෙනුවෙන් මෙසේ පෙළගස්‌වමු.

මීට දශක හයකට විතර කලින් නුගේගොඩ පාගොඩ දේවාලපාර ගෙදරකින් පුංචි දරුවෙකුගේ හඬක්‌ අමුතු විදිහකට ඇසුණි. "කලලං ජිං ජිං කලලං ජිං ජිං"

කුස්‌සියෙ තිබුණු හිරමනය ගිටාරය විදියට හසුරුවමින් මේ අයුරින් කටහඬ අවදි කරපු මේ දරුපැටියා ශ්‍රී ලංකාවේ ලක්‍ෂ සංඛ්‍යාත රසික ජනයා දශක ගණනාවක්‌ පුරා මිහිරෙන් මිහිරට පත්කරන්න පුළුවන් ගායකයෙකු වෙයි කියල කාටනම් හිතෙන්න ඇත්ද?

පුංචි මිල්ටන් පාසල් ගියේ කෝට්‌ටේ ආනන්ද ශාස්‌ත්‍රාලයට. පාසලේදීත් විවේක ලැබෙන හැම මොහොතකදීම ඔහුගේ මුවින් හින්දි ගී පද වැල් පිටවිය. පන්ති කාමරයේ සිංදු කියන මේ කොලුපැටියට තරවටු කරන්න ගුරුවර ගුරුවරියනුත් මැළිවිය. මුලින් මුලින් පුංචි තරවටු කළත් පසුව ඔව්හු තරවටු කරනවා වෙනුවට දෑස්‌ පියා ඔහුගේ මිහිරි හඬට දෙසවන් යොමාගෙන සිටියහ.

මිල්ටන් යෞවනයට පිවිසුනේ ඔහු මුණ ගැසෙන හැම කෙනෙකුගේම ආදරයට පාත්‍ර වෙමින්. ඔහුගේ මුවින් පිටවන වචන ගීතාත්මක බවින් පිරි තිබුණා.

දවසක්‌ මඟුල් ගෙදරක ලව්ඩ්ස්‌පීකරෙන් ඔහුගේ හඬින් ගීතයක්‌ ඇසුණි. ලස්‌සනට සිංදු කියන මේ තරුණයාව බලන්න අහල පහල ගම්වලිනුත් පිරිස්‌ පැමිණුනි.

මෙසේ ගී ගායනා කළ ඔහුට ගුවන් විදුලි සරළගී වැඩසටහනකට ගීත ගැයීමට ආරාධනාවක්‌ ලැබුණි. එදා ඔහු ගුවන් විදුලියට ගැයූ මුල්ම ගී හතර ඈත ගම් දනව් පුරා ගුවන් විදුලියට සවන් යොමා සිටි අය අතර අතිශය ජනප්‍රිය විය. 1969 දී ගුවන් විදුලියෙන් විකාශය වූ මිල්ටන් මල්ලවාරච්චි ගැයූ පළමු ගීත හතර වූයේ "ඔරුවක පාවෙන" "මංගලේ නෙත් මංගලේ" "රන් කූඩුව ඔබ" "සංසාරෙ සෙවනැල්ල" ගීත හතරයි.

මිල්ටන්ගෙ ගීත ගුවන් විදුලියෙන් ජනප්‍රිය වෙද්දී ඔහුට තව තවත් ගීත ගායනා කිරීමට අවස්‌ථාවන් උදාවිය. රටේ ප්‍ර්‍රභූ නිවෙස්‌වල උත්සව වලටත් පැදුරු සා-ජවලටත් නිතර අරාධනා ලැබිණි.


හැත්තෑව දශකයේ නිකුත්වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම කැසට්‌ පටය මිල්ටන් මල්ලවාරච්චිගේ ගීත සමුච්චයකින් පිටවිණි. ඒ තරංගා ලේබලය යටතේ නිකුත් වූ "සඳෙන් එහා" කැසට්‌ පටයයි. එය ශ්‍රී ලාංකික සංගීත ලෝලී රසවතුන්ට අලුත් අත්දැකීමක්‌ විය. ශ්‍රී ලංකාවේ වැඩිම අලෙවි වාර්තා පිහිට වූ එකම කැසට්‌ පටය වූයේද මිල්ටන් මල්ලවාරච්චිගේ "පියාපත් සලා" කැසට්‌ පටයයි. මිල්ටන් ගැයූ හැම ගීතයක්‌ම අතිශය ජනප්‍රිය වීමට ඔහුගේ ඒ හැඟුම්බර හඬ මෙන්ම ඔහුටම ආවේනික වූ තනු නිර්මාණ මෙන්ම ගී පදමාලාද ඉවහල් විය. මියුරු සංගීතයත් තනු නිර්මාණත් ගී පදමාලාවලින් ඔබ්බට යන ප්‍රේමණීය හැඟුම්බර හඬ රසික හදවත් තුළ තැන්පත් විය.

මිල්ටන් ගැයූ ගීත එක්‌දහස්‌ පන්සීයකට අධික ප්‍රමාණයකි. මෙහි සුවිශේෂ බව වන්නේ ඒ හැම ගීතයක්‌ම ස්‌වතන්ත්‍ර නිර්මාණ වීමත් ඒ ගැයූ හැම ගීතයක්‌ම අතිශය ජනප්‍රිය වීමත් යන කාරනා දෙක නිසාය. ඔහුටම ආවේනික වූ ගායන ශෛලියකින් ගීත ගායනා කළ මිල්ටන් සහෝදර ශිල්පීන්ගේ ගෞරවයට ද පාත්‍ර වූවෙකි. මිල්ටන් ආඩම්බර ගායකයකු යෑයි කෙනෙකුට සිතුනද නිහතමානී මානව හිතවාදී සමාධි අහිංසක ගතිගුණවලින් පිරිපුන් මිනිසකු බව ඔහු ළඟින් ඇසුරු කරන්නෙකුට මැනවින් පැහැදිළිවන කරුණකි.

ඔහු ජීවත්වූ කාලය පුරාවට පක්‍ෂ පාට දේශපාලනයෙහි නියලුනේ නැත. ඔහුගේ හඬ කිසිදු දේශපාලන පක්‍ෂයක්‌ ආවැඩීමට යොදාගත්තේ ද නැත. ස්‌වාධීන වාමවාදී අදහස්‌ ඔහු තුළ පැවතිය ද කිසිවිටෙකත් දේශපාලන හස්‌තයන්ට කොටු නොවුනේය.


ඔහු තම බිරිඳ වෙනුවෙන් ගැයූ "ඈත එපිට දුර ආකාසේ" ගීතයත් තම දරුවන් වෙනුවෙන් ගැයූ "රනිල් පුතේ හිනැහෙන්" "දුවේ හර්ෂනී" "දූ නදී හිනැහෙනවා" "තාරක පුතේ" යන ගීත ජනප්‍රියත්වයට පත් තවත් ගීත අතර වේ.

මිල්ටන් ගැයූ ගී ඇතුළත් කැසට්‌ පට අතුරින් "පියාපත් සලා" "මා නෙත් කැදැල්ලේ" "දෑස රිදෙනවා" "ගෙවල් අද්දර" "ගංගා යමුනා" "සයුරු තෙරේදී" "ඔබවෙනුවෙන්" "සිහින මැවේ" "වීණා" වැනි කැසට්‌ පට ඉතා ජනප්‍රිය විය.

මොහොමඩ්සාලි, සෝමපාල රත්නායක, සරත් ද අල්විස්‌, සරත් දසනායක, රෝහණ වීරසිංහ, වික්‌ටර් රත්නායක, ස්‌ටැන්ලි පීරිස්‌, මිල්රෝයි ධර්මරත්න, අර්නස්‌ට්‌ සොයිසා, උපාලි කන්නන්ගර, මහින්ද බණ්‌ඩාර, රූකාන්ත ගුණතිලක, කීර්ති පැස්‌කුවෙල් ඇතුළු තවත් ප්‍රවීන සංගීත අධ්‍යක්‍ෂවරුන් ගණනාවකගේ මියුරු සංගීත තනු නිර්මාණ වලින්ද කරුණාරත්න අබේසේකර, ප්‍රේමකීර්ති ද අල්විස්‌, කේ. ඩී. කේ. ධර්මවර්ධන, උපාලි ධනවල විතාන, කුලරත්න ආරියවංශ, ලූෂන් බුලත්සිංහල, කැලැරන්ස්‌ විෙ-වර්ධන, මෙන්ම මේ දැවැන්ත ගීථ රචකයන් අතරට එවකට මිල්ටන් මල්ලවාරච්චිට ගී ලියූ ලාබාලම ගීත රචකයා වෙන්නට මේ ලිපිය ලියන මටද වාසනාව හිමිවුණි.

යුග යුග ගණනාවක්‌ ප්‍රේමණීය හදවත් අතර මිල්ටන් ගී හඬ සදාතනිකවම දෝංකාර දෙයි. මියුරු පද බැඳුම් නිම්නාද අතරින් ඔහුගේ රසබර ලබැඳි හඬ තවමත් අපට ඇසේ. සංගීතයට මෙන්ම ක්‍රිකට්‌ ක්‍රීඩාවටද ඔහු මහත්සේ ඇලුම් කළේය. ගමනේ ගිම් නිවූ එදා "පායා ආ සඳ" "උපුල් නුවන් විදහා" "මගතොටදී හමුවෙද්දී" "දෑසේ කැළුම් කැන්" "සුළගේ පාවී" "සීත අරණේ" "කැන්දන් යන්නම් "ඔබේ නිල් නුවන්" "පෙර එක දවසක " "නිදිබර සිතුවිලි" "මධු මල ලෙස මෘදු" "සිහිනෙන් ඔබ මට" "සැන්දෑයාමේ" "ඉවුරු තලා" "මා දයාබර ප්‍රියා වියේ" "දවසක්‌ තියේවි" "මගේ අතීත දිවියේ" "ඔබ වෙනුවෙන් ලියූ දහසක්‌ " "සඳළුතලේ" "එදා රෑ" "ගෙවල් අද්දර" "දිනෙක රන්සළු" "ලොව සැතපෙන යාමේ" වැනි සිය ගණනාවක්‌ ගීත තවමත් ශ්‍රී ලාංකීය ජනතාව සුවපත් කරයි.

ඔහුගේ රස මධු මදිරා ගී මල් වැහි තවමත් අපෙ හදවත්වලට වසී, ශ්‍රී ලාංකීය විරහ ගීතයේ අභිෂේක ලත් ඒ සිහින කුමරාගේ මිහිරි ගී හඬ විශ්වයේ ඈත සුරකට ඇදී ගොස්‌ දහතුන් වසරක්‌ සපිරුණද මිල්ටන් මල්ලවාරච්චි ගී හඬ තවත් සියක්‌ දහසක්‌ වසක්‌ කල් යෞවන හදවත් තුළ සදාතනිකවම ලැගුම් ගනු ඇත.

ධම්මික සල්වතුර

උපුටාගැනීම:අද දිවයින
 
Last edited:
  • Like
Reactions: malkavi and snoop

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    milton mallawarachchci kiyanne lankawe sangeethaye ekathara yugayak.. puduma layanwitha dukbara katahandak...

    api ekka bedagaththata thanks machan.. :)
     

    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    milton mallawarachchci kiyanne lankawe sangeethaye ekathara yugayak.. puduma layanwitha dukbara katahandak...

    api ekka bedagaththata thanks machan.. :)

    උඹ හරි මචං, පෑරුන හදවතක් සුවපත් කරන්න මිල්ටන් මල්ලවාරච්චි කියන ලයාන්විත ගායකයාගේ එකම එක සිංදුවක් පාවිච්චි කලා නම් ඇති.