ඔබ සැමට....

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
මෙත්තාව

මෙත්තාව යනු සතර බහ්ම විවරණයන්ගෙන් එකකි. එසේම ආර්ය ශාවකයන් සතුව පැවතියම යුතු අංගයකි. උන්වහන්සේ මෙත්තාවිහරණයට තම ධර්මය තුල මුල් තැනක් ලබාදී ඇත්තේ එබැවිනි. අපගේ බුදුරජාණන් වහන්සේ මෙත්තාවේ මහා සංකේතයයි. එසේම දස පාරමිතාවන්ගෙන් එකක් ලෙසටද මෙත්තා පාරමිතාව හඳුන්වා දී ඇත. යම් ලෙසකට අප නිර්වාණය තුන්තරා බෝධියෙන් කුමන බෝධීයකින් හෝ පතන්නේ නම් අපට දස පාරමිතාවන් පිරීමට අනිවාර්යෙන්ම සිදු වෙයි. ඉදින් බෞද්ධයෝ වන අපගේ එකම අරමුණ මේ භවයේදී හෝ මතු භවයකදී හෝ නිර්වාණසුව ලබා ගැනීමයි. ඒ සඳහා අප විසින් අප තුල වගා කර ගත යුතු අවශ්‍යම ගුණයක් ලෙස මෙත්තාව හඳුන්වා දිය හැක. එසේම ව්‍යාපාදය නැති කිරීමේ මාර්ගයද මෙත්තාවයි. එසේනම් විමසිය යුත්තේ මෙත්තාව යනු කුමක්ද යන්නයි.

සරලවම දක්වන්නේ නම් මෙත්තාව යනුවෙන් හඳුන්වන්නේ ද්වේෂයට පතිවිරුද්ධ දේය. ද්වේෂය දුරු කොට ක්ෂාන්තිය ලබා ගැනීම සඳහා මෙත් වඩන්නේය. මෙත්තාව විටකදී මිත්රශීලීත්වය ලෙසටද හැඳින්විය හැක. වරක අව්‍යපාදය ලෙසද මෙත්තාව හැඳින්විය හැක. තමන් සැපයට, දියුණුවට, ලාභයට කැමති වන්නේ මෙන්ම තමන්ට සතුරු මිතුරු වූ මධ්‍යස්ථ වූද සැමදෙනගේ සැපයට, දියුණුවට, ලාභයට කැමතිවීම හා එය පාර්ථනා කිරීමද මෙත්තාව ලෙස සැලකිය හැක.

බුදුරජාණන් වහන්සේ දක්වන ආකාරයට මවක් තම ලෙයින් බිහිවූ එකම පුතා තම ජීවිතය දෙවැනි කොට ආරක්ෂා කරනවා මෙන් අපමණ වු මෙත් සිත සියළු ජීවත් වන සතුන් කෙරේ වැඩිය යුතුය.

හිරු කිරණ කිසිදු වෙනස් කමකින් තොරව සියල්ලන්ටම එක ලෙස ලැබෙන්නට සැලසෙනවා සේම මෙත්තාවද දුප්පත්- පොහොසත්, උසස්-පහත්, ගැහැණු- පිරිමි, ආදී කිසිදු භේදයකින් තොරව සියල්ලන් කෙරේ එක සිතින් පැතිරීම අවශ්‍යය. එවන් වූ මෙත්තාවක් බුදුන් තුල තිබිනි. උන්වහන්සේ තමන්ට ආදරය කල වුන්ට මෙන්ම තමන් මරා දැමීමට උත්සහ කල වුන්ටද සමසේ මෙත් සිත පැතිර වූ සේක.

කේන්තිය, ද්වේෂය ඇති තැන මෙත්තාව තිබිය නොහැක. එබැවින් බුදුරජාණන් වහන්සේ ඉතාමත් පැහැදිලිවම වෛරයෙන් වෛරය නොසන් සි‍දෙන බවත්, එය සන්සිඳිය හැක්කේ අවෛරයෙන්ම බවත් දක්වා ඇත. කෙසේ වෙතත් මෙත්තා යනු තරහ පාලනය කිරීමම පමණක් නොවේ. මෙත් සිතුවිලි ඇති තැනැත්තා කිසිදු විටක අන් අයට හිංසා කිරීමට නොසිතන අතර අඩු කරමේ අන්‍යන්ට අවඥා කිරීමටවත් නොසිතයි. එවැනි පුද්ගලයෙකු අන් අයට බිය වන්නේද නැති අතරම අන් අය භය කරවන්නෙක් ද නොවේ.

සමහර අවස්ථා වලදී මෙත්තාව හා රාගය සම තත්වයේ ලා අප විසින් හඳුනා ගන්නා අවස්ථාද නැතුවා නොවේ. නමුත් අප විසින් මේ දෙක අතර වෙනස පැහැදිලිව හඳුනා ගත යුතුවේ. රාගය යනු අප විසින් අන්‍යයන්ගෙන් ආපසු යමක් බලාපොරොත්තුවී ඇති කරගන්නා ‍සිතුවිල්ලකි. ඒ මගින් තණ්හාව වර්ධනය කරයි. නමුත් මෙත්තාව යනුවෙන් සලකන්නේ නැවත යමක් බලාපොරොත්තු වි අන් අය වෙත පතුරන්නක් නොවේ. මෙය වටහා ගැනීමට ඇති හොඳම නිදසුන වන්නේ දෙමාපියන් දරුවන්ට දක්වන ආදරයයි. එය විටක මේ අවස්ථා දෙකම පෙන්වනු ලබයි. නමුත් වැඩිමනක් විට දෙමාපියන් දරුවන්ට ආදරය කරන්නේ, සලකන්නේ නැවත යමක් බලාගෙන නොවේ. එබැවිනි ඔවුන් බ්ර්හ්මයන් ලෙස බුදුරජාණන් වහන්සේ විසින් දක්වනු ලැබූයේ.

මෙත්තාවේ මූලිකම ලක්ෂණය වන්නේ මිතුරුශීලී භවයයි. මෙත් වඩන්නා නිරන්තරයෙන්ම අන් අයගේ යහපත පතන්නෙකි. එයම බලාපොරොත්තුවන්නෙකි. තම ජීවිතය එහිදී ‍ඔහු දෙවැනි කොට සලකයි. තම ජීවිතය පිදීමෙන් වුවද අන් අය‍ගේ සැපය පතයි.
 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
මෙත්තාවේ ආනිශංස

1. මෙත් වඩන්නා සුවසේ සැතපේ. වෛරී සහගත සිතුවිලිවලින් තොරව නින්දට යන පුද්ගලයා එක්වරම නින්දට වැටේ. මක් නිසාද යත් ඔහු එහිදී නිදා ගැනීමට පමණක් අදහස් කරන බැවිනි. මෙය මෙත්තාවෙන් පිරුණු තැනැත්තන් කෙරේ අවධානය යොමු කිරීමේ දී පැහැදිලි වනු ඇත. ඔවුන් තම ඇස් පියා ගත් විටම නින්දට පත්වෙති.

2. සැනසිලිමත් සිතකින් යුතුව නින්දට යන තැනැත්තා අවදි වන්නේ ද එවන් වූ සැනසිලිදායක සිතකින්මය. මිතුරුශීලී හා කාරුණික පුද්ගලයෝ නිතරම පියශීලී මුහුණකින් යුතුව උදෑසන පිබිදෙති.

3. නින්දේදී පවා මෙත් සිතෙන් සිටින්නන්ට නපුරු හීන නොපෙනේ. අවදි වී සිටින අවස්ථා වලදී පවා මෙත් සිත සහිතව සිටින මොවුන් නින්දේදීත් ඒ ආකාරයමය. එක්කෝ ඔවුන් ඟැඹුරු නින්දට වැටේ. නැත්නම් සුව සිහින දකින්නෝය. රෝහලකට ගොස් මදක් විපරම් කරන්න මෙය ඉතා හොඳින් පැහැදිලි වනු ඇත.

4. මෙත් සිතැත්තා මනුෂ්‍යයන්ට පිය වෙයි. ‍ඔහු අන්‍යයන්ට ආදරය කරන බැවින් අන්‍යයෝ ඔහුට ආපසු ආදරය කරති.
යමෙක් සිනාසුණ මුහුණකින් යුතුව කණ්නාඩියකින් බැලූ විට ඔහුට දක්නට ලැබෙන්නේ සිනාසෙන මුහුණකි. අනෙක් අතට ඔරවා ගත් මුහුණකින් යුතුව කණ්නාඩියකින් බැලූ විට ඔහුට දක්නට ලැබෙන්නේ එවැනි මුහුණක් මිස සිනාසෙන මුහුණක් නොවේ. තමන් බාහිර ලෝකයට තම හැසිරීම විදහා දක්වන ආකාරයටම බාහිර ලෝකය නැවත තමන්ට පිළිතුරු ලබා දෙයි. කෙනෙක් දෝෂයන්ගෙන් පිරී ඇත්තේ නම් ඔහුට බාහිර ලෝකයේ දැකිය හැක්කේද දෝෂ පමණකි. එවිට දැනෙන්නේ තරහව පමණි. නමුත් දහසක් වැරදි ඇති තැනැත්තෙකුගේ වුව ද එකදු හොඳක් හෝ අපට දක්නට ලැබේ නම් මේ තත්වය වෙනස් වේ. එහිදී අපට ලැබෙන්නේ සැනසීමකි. එය මෙත් සිතෙන් මිස වෙනත් ආකාරයකින් ලැබිය නොහැක.

5. එසේම මෙත් සිත් ඇත්තේ අමනුෂ්‍යයන්ටද පිය වෙයි. සත්වයෝද ඔහුට ආශක්ත වෙති. ඔහුව ආරක්ෂා කරනු ලබයි.

6. අදෘෂ්‍යමාන දෙවියෝද මෙත් සිත් ඇත්තාව ආරක්ෂා කරනු ලබයි.

7. යමෙක් මෙත් සිත් ඇත්තේ වේද ඔහු මෙත් සිත පතුරන්නේ වේද එහි බලය නිසා ඔහු යම් අකුසල කර්මයකට යටත් නොවේනම් හැර ඔහු විෂ, ගිණි හා අවි ආයුධ වලින් වන්නාවූ හානි වලින් වැලකේ.
මෙත් සිත වනාහි සැනසිලිමත් බලයක් නිසා ජීව ශක්තිය අප තුල මැනවින් පවත්වා ගෙන යාමට එය උපකාරී වෙයි. වෛරී සහගත සිතිවිලි අප ශාරීරික පද්ධතිය තුල දී අහිතකාරී ඇති කරන්නේ සේම මෙත් සිතිවිලි අප ශාරීරික පද්ධතිය තුල හිතකාරී තත්වයන් ඇති කරනු ලබයි. බුදු සසුනේ පැහැදුන උත්තරාව තමන්ගේ සිරුරට සිරිමා ගණිකාව විසින් උණු තෙල් හැන්දෙන් උණු තෙල් වත් කරද්දී තමන් සිත තුල ඒ සිරිමා කෙරේ වූ මෙත් සිත නිසා කිසිදු උවදුරකට පත් නොවීය.

8. මෙත් වඩන්නාගේ සිත වහා සමාධි ගත වෙයි. මනසේ සමාධිය ඇති කරගන්නාට තම මනස තුලම දිව්‍ය ලෝකය සාදා ගත හැක. සමාධිය නැති මනස යකුන් නැටූ සොහොන් පිටියක් මෙනි. එබැවින් මානසික ශාන්තිය ඇත්තා හා එක්ව සිටින්නන්ටද ඒ සැනසීමට කොටස් කරුවෝ විය හැක.

9. මෙත්තාව කෙනෙකු ගේ මුහුණ පැහැපත් කිරීමටද හේතු වෙයි. සිතේ ඇති වන සිතුවිලි බාහිරට පෙන්නුම් කරන කැඩපත්ක් ලෙස මුහුණ හැඳින්විය හැක. යමෙක් කේන්තියට පත් වූ විට හදවතේ සිට සාමාන්‍ය වේගයට වඩා දෙතුන් ගුණයක වේගයෙන් ලේ පිටකරනු ලබයි. එම අධික වේගය නිසා එසේ පිට වන ලේ රත් වී ඇ‍ත්තේය. එම රත්වුන ලේ මුහුණට පැමිණි විට මුහුණ රතු හෝ කළු පැහැයට පත්වේ. නමුත් සැනසුම් සහගත මෙත් සිතිවිලි මගින් සාමාන්‍ය ආකාරය ලේ හදවතේ සිට බැහැරට පිට කරනු ලබයි. එම ලේ මුහුණට ගමන් කරනු ලැබූ විට මුහුණ පැහැපත් වීම සිදුවනොවන්නේ යැයි කාට කිව හැකිද ?

10. මෙත්තාවෙන් සිටින පුද්ගලයා සමාධියෙන් සිටිනා නිසා මිය යන්නේද සමාධියෙන් යුතුවයි. එවැන්නෝ තමන් මිය යන බව දනිමින්ම මනා සිහියෙන් යුතුවම මිය යති. එම සැනසීම මරණින් මත්තේ වුවද එවැන්නෙකුගේ මුහුණින් පෙන්නුම් කරයි.

11. මෙත් සිත් ඇත්තෙක් මියයද්දී රහත්ව නොසිටියේ නම් නින්දට ගොස් පිබිදෙන්නේ කෙසේද ඒ ආකාරයෙන් මරණින් මත්තේ බඹ ලොව ඉපිදේ. ඔහු නැවතත් මව් කුසකට පැමිණෙන්නේ නැත.
 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
මෙත්තාවේ බලය

ඉහතදී සඳහන් කල ආනිසංස වලට අමතරව මෙත් සිත් ඇත්තෝ තවත් ආකර්ෂණීය බලයන්ගෙන් යුක්ත වෙති. දුර සිටියද ලඟ සිටියද එහි බලපෑමේ අඩුවක් නොවේ.

වරක් බුදු රජාණන් වහන්සේ ආනන්ද තෙරණුවෝ හා අනිකුත් භික්ෂූන්ද සමග මල්ල රජදරුවන්ගේ ආරාධනයකට අනුව මල්ල රජ දහනට වැඩි සේක. මෙසේ වඩින උන් වහන්සේ පිලි ගැනීමට වංශවතුන් විශාල පිරිසක් පැමිණ සිටියෝය. මේ අතර සිටි ආනන්ද තෙරණුවන්ගේ මිතුරෙක් වූ රෝජ දැක තෙරණුවෝ බෙහෙවින් සතුටට පත්ව ඔහු බුදුරජුන්ව දැකීමට පැමිණීම මහත් සතුටක් බව පැවසීය. මෙහිදී රෝජ පිළිතුරු දුන්නේ තමන් එහි පැමිණියේ බුදුන් කෙරේවූ ගෞරවයකට නොවන බවත් රාජ නීතියට ඇති බිය නිසාවෙන් බවත්ය. මේ ඇසූ ආනන්ද තෙර මහත් සංවේගයට පැමිණ බුදුන්ට ඒ බව දන්වා තමන්ගේ යාළුවාටද ධර්මය අවබෝධ කර දෙන ඉල්ලා සිටියේය. පෘථග්ජන ස්වභාවය ගැන කලබල නොවන ලෙස ආනන්ද තෙරණුවන්ට දැන්වූ බුදුරජාණන් වහන්සේ තමන්ගේ අසීමිත වූ මෙත් සිත රෝජා වෙත පතුරා විහාරයට වැඩි සේක. ඒ මෙත සිතේ බලය නිසා රෝජා වසු පැටියෙක් තම මවව සොයාගෙන යන්නා සේ විහාරයේ කාමරයෙන් කාමරයට බුදු රජාණන් වහන්සේව සොයමින් ගමන් කලේය. භික්ෂූන් වහන්සේ විසින් ඔහුට බුදු කුටිය පෙන්වන ලදි. එහි ගිය රෝජා හට බුදු රජාණන් වහන්සේ විසින් ධර්මය දේශනා කරනු ලැබූ අතර ඔහු ඒ ධර්මය අවබෝධ කර ගත්තේ, ඵල ලැබීය.

තවත් වරක මත් කල නාලාගිරි ඇතා බුදුරජාණන් වහන්සේව මරා දැමීමට එවූ විටදී තමන් වහන්සේගේ මහා මෙත් සිත ඇතාට මෙහෙය වූ අතර ඇතා ඉන් දමනය විනි.

‍බෝධිසත්ව චරිතයෙන්ද මේ සම්බන්ධව ඇති තාක් උදාහරණ ගත හැක. ක්ෂාන්තිවාදී ජාතකයේදී නුවණ නැති කසී රජු “ මහණ තෝ කිනම් වාදී ද ” ඇසූ කල තමන් ක්ෂාන්තිවාදී යයි කී කල්හි අත්, පා කපා දමනු ලැබූවත් එක් බිඳකුඳු කෝප නොකලේය.

එසේම චුල්ලධර්මපාල ජාතකයේදී ළදරුවෙක් ලෙසටද එලෙසම මෙත් වැඩුවේය. මෙහිදී මහාපතාප නම් වූ තම පිය රජුන් විසින් තමන්ව මරා දැමීමට අණ දුන් විටදී “ ධර්මපාලය දැන් ත‍ගේ හිස සිඳීමට යන්නේය. ඒ සඳහා අණ දුන් පියා කෙරෙහිද, හිස සිඳින වධකයා කෙරෙහිද, හඬනා මෑණියන් කෙරෙහිද, තමන් කෙරෙහිද සමසිත් වඩව” යැයි සිතා‍ගෙන සිතුවිල්ලකින් පවා දෝෂයක් නොදැක්වූ සේක.

තවත් ජාතක කථා විශාල ගණනක මේ ආකාරයට මෙත්තාවේ බලය හා ආකාරය පිළිබඳව විස්තර ඇතුලත් වේ.

සිතන්න අපට කෙනෙක් අපහාස, අවඥා කරද්දී අප කෙසේ හැසිරේද කියා. බුදුන් විසින් එවන් විටකදී හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් මාගන්ධියා‍ගේ කථාව හොඳම නිදසුනකි. තමන්ගේ රූපය අසූචි ගොඩක් යැයි බුදුන් විසින් වදාල නිසා මාගන්ධියා බුදුන් සමග වෛර බැඳ ගත්තේය. ඇය තම පූර්ව පින් මහිමය නිසා උදේනි රජුගේ මෙහෙසිය වූ කල්හි බුදුන් විසින් එනුවර ඝෝෂිතාරාමයට වස් වැසි කල නොයෙක් බාධා සිදු කරනු ලැබීය. ගණිකාවක් මරා දමා ඝෝෂිතාරාමයේ සඟවා ඒ මගින් බුදුන්ට අපහාස කලේය. එවිටදීවත් බුදුන් වහන්සේ සිතිවිල්ලකින් පවා ඇය ගෙන දෝෂ නොඋපදීය. එහිදී උන් වහන්සේ අපටත් අදටත් එවන් තත්වයකදී මුහුණ දීමට ආදර්ශයක් ගත හැකි ආකාරයට හැසිරුණි.

“යුධ බිමෙහි දුන්නෙන් මිදී අවුත් ඇඟ හුණු හීය ඉවසන හික්මුණු ඇතෙක් මෙන් මම අනුන්ගේ පරොස් බස් සියල්ල ඉවසමි. මේ ලෞකික මහජනයා බොහෝ දුශ්සීලය. එබැවින් තම තමා රිසි පරිදි කටට ආවක් පිට කරමින් ඇනුම් බැනුම් කියමින් හැවිදිති, එය ඉවසීම මට භාරය” ධම්මපදය - නාග වර්ගය

අද අප සිටින ලෝකය ඇස් යොමා විමසීමේදී ආත්මාර්තයෙන් පිරුණු තණ්හා බරිත කාමයෙන් හා ද්වේෂයෙන් ඇස් අන්ධ වූවන් බහුලව වසන ලෝකයක් බව පැහැදිලිය. වැරදීමකින් ඇ‍ගේ වැදුනද එහි ඇතිවන්නේ රණ්ඩුවකි. ගැහැණියකට කරන අසභ්‍ය විහිලු මෙපමණයි කිව නොහැක. එවන් වූ සමාජයේ බසයට නැග්ගද, මහ මගට පිවිසියද සෑම තැන්හිම අපට අත්විඳීමට ලැබෙන්නේ අන්‍යන්ගේ හිංසාකාරී හැසිරීම්ය. ඒවායේ අඩුවක් නැත. ඒ හැසිරීම් නිසා කෙනෙක්ට ව්‍යාපාදය නොවැඩේ නම් ඔහු මහා මෙත් සිතෙන් සිටින්නෙකි. ඒ වැනි අවස්ථා වලදී ව්‍යාපාදය දුරු කිරීමට මෙන්ම බෞද්ධයෙක් ලෙස සිත සමාධිකර අති උත්තම වූ නිර්වාණාවබෝධය සඳහා අප තුල මෙත් සිත ඇති කරගැනීමට අප සමත් වන්නේ නම් අප දිණුවා වන්නේය. එබැවින් ඒ මහා උත්කෘෂ්ට සැනසීම වූ මෙත්තාව තමා තුල ඇති කර ගැනීමටත් ඒ වඩාගත් මෙත් සිත සත හට පතුරා සැමගේ සිත් මෙත් සැනසීමෙන් පිරවීමට ශක්තිය, ධෛර්යය ඔබ සැමට ලැබේවා යයි මෙත් සිතන් පතමි.

“මෙත්තා විහාරී යෝ භික්ඛූ - පසන්නෝ බුද්ධ සාසනේ
අධිගච්ඡෙ පදං සන්තං - සංඛාරූපසමං සුඛං”
“මෙත් බර්හ්මවිහරණය ඇති (මෙත් වඩනා,මෙත දහන් උපදවා සිටි) බුදු සස්නෙහි පැහැදුණු යම් මහණෙක් වේද, හෙතෙම සියලු සංස්කාරයන්ගේ සංසිඳීමට අරමුණු වන ඒකාන්ත සැපත වූ ශාන්ත පදය(නිවන) ලබන්නේය.” ධම්ම පදය- භික්ඛු වග්ගය