මෙත්තාව
මෙත්තාව යනු සතර බහ්ම විවරණයන්ගෙන් එකකි. එසේම ආර්ය ශාවකයන් සතුව පැවතියම යුතු අංගයකි. උන්වහන්සේ මෙත්තාවිහරණයට තම ධර්මය තුල මුල් තැනක් ලබාදී ඇත්තේ එබැවිනි. අපගේ බුදුරජාණන් වහන්සේ මෙත්තාවේ මහා සංකේතයයි. එසේම දස පාරමිතාවන්ගෙන් එකක් ලෙසටද මෙත්තා පාරමිතාව හඳුන්වා දී ඇත. යම් ලෙසකට අප නිර්වාණය තුන්තරා බෝධියෙන් කුමන බෝධීයකින් හෝ පතන්නේ නම් අපට දස පාරමිතාවන් පිරීමට අනිවාර්යෙන්ම සිදු වෙයි. ඉදින් බෞද්ධයෝ වන අපගේ එකම අරමුණ මේ භවයේදී හෝ මතු භවයකදී හෝ නිර්වාණසුව ලබා ගැනීමයි. ඒ සඳහා අප විසින් අප තුල වගා කර ගත යුතු අවශ්‍යම ගුණයක් ලෙස මෙත්තාව හඳුන්වා දිය හැක. එසේම ව්‍යාපාදය නැති කිරීමේ මාර්ගයද මෙත්තාවයි. එසේනම් විමසිය යුත්තේ මෙත්තාව යනු කුමක්ද යන්නයි.
සරලවම දක්වන්නේ නම් මෙත්තාව යනුවෙන් හඳුන්වන්නේ ද්වේෂයට පතිවිරුද්ධ දේය. ද්වේෂය දුරු කොට ක්ෂාන්තිය ලබා ගැනීම සඳහා මෙත් වඩන්නේය. මෙත්තාව විටකදී මිත්රශීලීත්වය ලෙසටද හැඳින්විය හැක. වරක අව්‍යපාදය ලෙසද මෙත්තාව හැඳින්විය හැක. තමන් සැපයට, දියුණුවට, ලාභයට කැමති වන්නේ මෙන්ම තමන්ට සතුරු මිතුරු වූ මධ්‍යස්ථ වූද සැමදෙනගේ සැපයට, දියුණුවට, ලාභයට කැමතිවීම හා එය පාර්ථනා කිරීමද මෙත්තාව ලෙස සැලකිය හැක.
බුදුරජාණන් වහන්සේ දක්වන ආකාරයට මවක් තම ලෙයින් බිහිවූ එකම පුතා තම ජීවිතය දෙවැනි කොට ආරක්ෂා කරනවා මෙන් අපමණ වු මෙත් සිත සියළු ජීවත් වන සතුන් කෙරේ වැඩිය යුතුය.
හිරු කිරණ කිසිදු වෙනස් කමකින් තොරව සියල්ලන්ටම එක ලෙස ලැබෙන්නට සැලසෙනවා සේම මෙත්තාවද දුප්පත්- පොහොසත්, උසස්-පහත්, ගැහැණු- පිරිමි, ආදී කිසිදු භේදයකින් තොරව සියල්ලන් කෙරේ එක සිතින් පැතිරීම අවශ්‍යය. එවන් වූ මෙත්තාවක් බුදුන් තුල තිබිනි. උන්වහන්සේ තමන්ට ආදරය කල වුන්ට මෙන්ම තමන් මරා දැමීමට උත්සහ කල වුන්ටද සමසේ මෙත් සිත පැතිර වූ සේක.
කේන්තිය, ද්වේෂය ඇති තැන මෙත්තාව තිබිය නොහැක. එබැවින් බුදුරජාණන් වහන්සේ ඉතාමත් පැහැදිලිවම වෛරයෙන් වෛරය නොසන් සිදෙන බවත්, එය සන්සිඳිය හැක්කේ අවෛරයෙන්ම බවත් දක්වා ඇත. කෙසේ වෙතත් මෙත්තා යනු තරහ පාලනය කිරීමම පමණක් නොවේ. මෙත් සිතුවිලි ඇති තැනැත්තා කිසිදු විටක අන් අයට හිංසා කිරීමට නොසිතන අතර අඩු කරමේ අන්‍යන්ට අවඥා කිරීමටවත් නොසිතයි. එවැනි පුද්ගලයෙකු අන් අයට බිය වන්නේද නැති අතරම අන් අය භය කරවන්නෙක් ද නොවේ.
සමහර අවස්ථා වලදී මෙත්තාව හා රාගය සම තත්වයේ ලා අප විසින් හඳුනා ගන්නා අවස්ථාද නැතුවා නොවේ. නමුත් අප විසින් මේ දෙක අතර වෙනස පැහැදිලිව හඳුනා ගත යුතුවේ. රාගය යනු අප විසින් අන්‍යයන්ගෙන් ආපසු යමක් බලාපොරොත්තුවී ඇති කරගන්නා සිතුවිල්ලකි. ඒ මගින් තණ්හාව වර්ධනය කරයි. නමුත් මෙත්තාව යනුවෙන් සලකන්නේ නැවත යමක් බලාපොරොත්තු වි අන් අය වෙත පතුරන්නක් නොවේ. මෙය වටහා ගැනීමට ඇති හොඳම නිදසුන වන්නේ දෙමාපියන් දරුවන්ට දක්වන ආදරයයි. එය විටක මේ අවස්ථා දෙකම පෙන්වනු ලබයි. නමුත් වැඩිමනක් විට දෙමාපියන් දරුවන්ට ආදරය කරන්නේ, සලකන්නේ නැවත යමක් බලාගෙන නොවේ. එබැවිනි ඔවුන් බ්ර්හ්මයන් ලෙස බුදුරජාණන් වහන්සේ විසින් දක්වනු ලැබූයේ.
මෙත්තාවේ මූලිකම ලක්ෂණය වන්නේ මිතුරුශීලී භවයයි. මෙත් වඩන්නා නිරන්තරයෙන්ම අන් අයගේ යහපත පතන්නෙකි. එයම බලාපොරොත්තුවන්නෙකි. තම ජීවිතය එහිදී ඔහු දෙවැනි කොට සලකයි. තම ජීවිතය පිදීමෙන් වුවද අන් අයගේ සැපය පතයි.