
කටාර් චැරිටි මත පනවා තිබුණු තහනම ඉවතට..!
කටාර් චැරිටි ආයතනය මත පැනවූ තහනම ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.
කටාරයේ සංචාරයක නිරත විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාන්චන විජේසේකර මහතා ඊයේ දිනයේ දී කටාර් චැරිටි සංවිධානයේ නියෝජිතයන් මුණ ගැසී ඇති අතර, අදාල සංවිධානයට එරෙහිව ලංකාව පනවා ඇති තහනම ඉවත් කිරීමට තීරණය කර තිබෙන බව එම නියෝජිතයන්ට දැනුම් දී තිබේ.
කටාර් චැරිටි සංවිධානය 2019 වසරේ දි ගෝඨාභය රාජපක්ෂ රජය විසින් තනහම් කරන ලදී.
එවකට පොලිසිය භාර අමාත්‍යවරයා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කර සිටියේ, කටාර් චැරිටි, ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කරන බවයි.
නීතීඥ හිජාස් හිස්බුල්ලා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන රදවා තබා ගැනීමට ද කටාර් චැරිටි සංවිධානයට එරෙහිව රජය එල්ල කළ එම චෝදනාව උපයෝගී කර ගෙන තිබුණි.
හිජාස් හිස්බුල්ලාගේ සභාපතී්ත්වයෙන් යුතු සේව් ද පර්ල් නම් සංවිධානයට, කටාර් චැරිටි වෙතින් රුපියල් මිලියන 13 ක් ලැබී ඇති බව එවකට පොලිසිය භාර අමාත්‍යවරයා වූ සරත් වීරසේකර පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කර සිටියේ ය.
ඔහු සදහන් කළේ, කටාර් චැරිටි ත්‍රස්ත සංවිධානයක් බවත්, එම සංවිධානයෙන් මුදල් ලබා තිබෙන නීතීඥ හිජාස් හිස්බුල්ලා ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් සැකකරුවෙකු බවත් ය.
කෙසේ වෙතත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන රැසක් නීතීඥ හිජාස් හිස්බුල් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන රදවා තබා ගැනීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් ගෝඨාභය රාජපක්ෂ රජයට එරෙහිව එල්ල කළේ ය.