කර්මය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම්

ela billa

Member
Mar 11, 2013
112
18
0
කර්මය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම්

කර්මය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම්


අකුසලය පීඩාකාරිය. කරන්නාටත් විඳින්නාටත් වේදනාකාරිය. තමාගේත් අන්‍යයන්ගේත් අයහපත පිණිස හේතුවෙන දේවල් අකුසල වේ. අකුසලය ‘ගොනු පසු පස ඇදෙන කරත්තය මෙන්’ දුක් විපාක ගෙන දෙන බව ධම්මපද දේශනාවක විග්‍රහ වේ.



මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ කථිකාචාර්ය
‍රාජකීය පණ්ඩිත, අධ්‍යාපනපති, ත්‍රිපිටකාචාර්ය
පැපිළියානේ සුමිත්ත හිමි



බුදුදහම ක්‍රියාවාදී කර්මවාදී ඉගැන්වීමකි. බුද්ධ කාලීන භාරතීය යම් යම් ආගමික ඉගැන්වීම් මගින් සියල්ල කර්මයෙන් සිදු වේ. හේතුවක් ප්‍රත්‍යයක් බලපෑමකින් තොරව සිදුවීම් හෝ ක්‍රියාවන් මෙහෙය වේ. සියල්ල කර්මය මගින් පාලනය වේ යනාදී වූ විවිධාකාර මතවාද දර්ශනයන් පැවතුණි.
ආගමික දෘෂ්ටිවාදයන්ගෙන් ග්‍රහණය ආකූල වූ ඉන්දීය ජන සමාජය තුළ අනුගාමිකයන් අසරණ වූහ. පිළිගත යුත්තේ ප්‍රතිපදාවක් ලෙස අනුගමනය කළ යුත්තේ කවර ඉගැන්වීම ද යන්න නිශ්චය කර ගත නොහැකි විය. එබඳු ආගමික දර්ශනවාදයන්ගේ විසරණය තුළ බුදුදහම හැටතුන්වන දෘෂ්ටිවාදය බවට පත් නොවී, අනන්‍ය වූ යථාර්ථවාදී ජීවන ප්‍රතිපදාවක් මෙන්ම විශිෂ්ටම පරමාර්ථ සාධනයෙහි මග පෙන්වූ ධර්මයක් වූයේය. බුදු දහමේ දැක්වෙන “කම්ම” හෙවත් කර්මය ඉතා ගැඹුරු දාර්ශනික අර්ථ දැක්වීමක් සහිත වූ ප්‍රතිපත්තිමය දේශනාවකි. බොහෝ බෞද්ධයෝ කර්මය වරදවා ගෙන “කරුම” යැයි ව්‍යවහාර කරති. එහි වචනාර්ථය පමණකුදු නොව අර්ථය ද ජීවිතය තුළ ව්‍යවහාරයට ගැනීම ද සාවද්‍ය බව පෙනේ.
z_p06-karmaya.jpg

අංගුත්තර නිකායේ “නිබ්බේධක” සූත්‍රයට අනුව කර්මය යනු “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරොති. කායෙන වාචාය මනසා” “මහණෙනි” මම චේතනාව කර්මය යැයි කියමි. සිතින් සිතා කයෙන් වචනයෙන් මනසින් කර්ම සිදු කරයි. මෙම අර්ථ දැක්වීම මගින් කර්මය පිළිබඳ බුදු දහමේ ස්ථාවරය මැනවින් පැහැදිලි වේ.
කර්මය යනුවෙන් හැඳින්වෙන්නේ අප විසින් සිතා මතා කරනු ලබන ක්‍රියාවයි. මෙම විග්‍රහය තවදුරටත් පැහැදිලි කර ගැනීමට ක්‍රියාවක හා සිදුවීමක වෙනස හඳුනා ගැනීමෙනි. ක්‍රියාව යන්න විග්‍රහ කරන කල්හි එය කරන්නෙකු සිටී. ඔහු එය අභිප්‍රායකින් යුක්තව කරන බැවින් තම ක්‍රියාවෙහි වගකීම බාර ගැනීමට සිදු වේ. සිදුවීම් යනු ස්වභාවිකව හෝ යම් කෙනෙකු අභිප්‍රායකින් තොරව කරනු ලබන ක්‍රියාවක සිදුවීමයි. එබැවින් කරන්නෙකු හෝ වගකීම් දරන්නෙකු නොමැත. මෙම විග්‍රහය අනුව කර්මය පිළිබඳ මූලික අර්ථයන් දෙකක් දැක්විය හැකිය. එනම්:-
අ. චේතනාව මූලික වීමෙන් ම පමණක් ක්‍රියාවක් කර්මයක් බවට පත් වේ.
ආ. කර්මය සිත කය වචනය යන ත්‍රිවිධ ද්වාරයෙන් ම සිදු වේ.

පුද්ගලයෙකු විසින් කරනු ලබන කර්මය කුසල හෝ අකුසල වීමට කුසලාකුසල සිතිවිලි මූලික වේ. ඒ අනුව ‘කුසලමුල’ වශයෙන් අලෝභ, අදෝස, අමෝහ චෛතසික බලපායි. කවර ආකාරයක කුසල කර්මයක් සඳහා වුවද මෙයින් සිතිවිලි දෙකක් හෝ තුනම බලපානු ඇත. “කුසල” යනු යහපතෙහි යෙදෙන හෙවත් දක්ෂ යනුයි. යමෙකුගේ නිවන් අරමුණ උසස්ම පරමාර්ථය කොටගත් සියලු අර්ථ සිද්ධිය සඳහා අලෝභ හෙවත් ලෝභයෙන් තොර වූ දීමෙහි පරිත්‍යාගශීලී හැසිරීම, අදෝස හෙවත් ද්වේශයෙන් තොර වූයේම හිතවත්භාවය සහිත මෛත්‍රියෙන් යුක්තවීම, අමෝහ හෙවත් ලෝභය පිළිබඳ යථාර්ථය ඇත්ත ඇති සැටියෙන් දැකිය හැකි බව යනුයි.
අකුසලය පීඩාකාරිය. කරන්නාටත් විඳින්නාටත් වේදනාකාරිය. තමාගේත් අන්‍යයන්ගේත් අයහපත පිණිස හේතුවෙන දේවල් අකුසල වේ. අකුසලය ‘ගොනු පසුපස ඇදෙන කරත්තය මෙන්’ දුක් විපාක ගෙන දෙන බව ධම්මපද දේශනාවක විග්‍රහ වේ. “මනසා චෙ පදුට්ඨෙන, භාසතිවා කරොතිවා, තතොනං දුක්ඛ මන්චෙති, චක්කංච වහතො පදං” අයහපත් වූ සිතින් කයෙන් මනසින් කරනු ලබන ක්‍රියාවේ ප්‍රතිඵලය වේදනාකාරී වූවකි. දෙනගෙන් දොවා ගන්නා කිරි මිදෙනුයේ දින කිහිපයකට පසුවය. එමෙන් ම අළු යට සැගවුණු ගිනි පුපුර නොපෙනුනත් අත පිළිස්සෙයි. තිදොරින් සිදුවන අකුසල ක්‍රියාවන් එම සන්දර්භයේ දී දස ආකාර වේ. එමෙන් ම එහි කුසල චර්යාව ද තේරුම් ගත හැකි වේ. දස අකුසල කර්ම නම් කයෙන් සිදුවන පරපණ නැසීම සොරකම් කිරීම සහ කාමයෙහි වරදවා හැසිරීම, සතරාකාර වාචසික අකුසල නම් බොරුකීම, කේළාම් කීම, ඵරුෂ වචන කීම, හිස් වචන කීම ද සිතින් සිදුවන අභිධ්‍යාව හෙවත් දැඩි ලෝභය, ව්‍යාපාදය හෙවත් තරහව, මිත්‍යා දෘෂ්ටිය හෙවත් වැරැදි විශ්වාස යනුයි. “අකුසල” යනු අදක්ෂ හෙවත් අයහපතෙහි පක්ෂ බව වේ. අපගේ ජීවිත මෙලොව පරලොව වශයෙන් යහපත් හෝ අයහපත් වනුයේ අප විසින්ම කරනු ලබන කුසලාකුසල කර්මවලට අනුකූලව ය.
අපගේ ජීවිතවල ක්‍රියාත්මක භාවය සඳහා කුසල අකුසල කර්මවල බලපෑම සෑහෙන ප්‍රමාණයකට හේතුවනු ඇත. එහෙත් බුදුදහම මගින් සියල්ල පෙර කරන ලද කර්ම යැයි පිළිගන්නේ නැත. අකුසල කර්මවල විපාක හෝ කුසල කර්මවල ආනිශංස යමෙකුට විඳීමට සිදුවේ යනු සියලු දේ කර්ම යැයි ගැනීමක් නොවේ. ලොව සිදුවන බොහෝ දේවල්හි ක්‍රියාකාරිත්වය උතු නියාම, බීජ නියාම, චිත්ත නියාම, ධම්ම නියාම, කම්ම නියාම යනුවෙන් පඤ්ච නියාම වශයෙන් දේශනා කර ඇති හෙයින් කර්මය හා එහි ක්‍රියාත්මක භාවය යම් තරමකින් අවබෝධ කර ගත හැකි වේ. කර්මය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම්වල අදහස නම් අපගේ ක්‍රියාවල වගකීම තමාට ම වටහා ගැනීමට යොමු කිරීම යි. සියල්ල අතීත කර්මවල ප්‍රතිඵලයකැයි දැක්වුවහොත් බුදු දහමේ අර්ථ දැක්වීම විකෘති කිරීමක් වනු ඇත. චුල්ලකම්ම විභංග සූත්‍රාගත කරුණු අනුව; “සුභ” මානවකයා ඇසූ ප්‍රශ්නවලට බුදුරජාණන් වහන්සේ දුන් පිළිතුර මගින් ද කර්මය පිළිබඳ ආකල්පය තේරුම් ගතහැකි වේ.
බුදුරජාණන් වහන්ස; “ඇතැම්හු අඩු වයසින් මියෙති. සමහරු දීර්ඝායුෂ විඳීති. ඇතමුනට බොහෝ ආබාධ වූයේ වෙති. ඇතැමුනට ආබාධ අවම වේ. අවලස්සන අය ද, රූපවත් ප්‍රියශීලී අය ද වෙති, තේජසින් අඩු අය ද වැඩි අය ද වෙති. ඇතැමෙකු පොහොසත් ය. ඇතැමෙකු දුප්පත් ය. සමහරු උසස් යැයි කුල ගෝත්‍රයෙන් පිළිගැනීමට ලක් වේ. ඇතැමෙකුට එබඳු පිළිගැනීමක් නැත. එසේම ඇතැම්හු නුවණැතිව උපදිති. ඇතැමෙකු අනුවණ වෙති. මෙබඳු වෙනස්කම්වලට හේතුව කුමක් ද?” යනුවෙන් ප්‍රශ්න කළේය. පුද්ගලයා කරනු ලබන කුසල අකුසල කර්ම එයට හේතුව යැයි බුදුහු දෙසූහ. “සුබ” මානවක තෙමේ එම කරුණු තව විස්තරාත්මකව දේශනා කරන ලෙස ඉල්ලා සිටි හෙයින් උන්වහන්සේ කරුණු පැහැදිලි කරමින් “කම්මං සත්තෙ විභජති යදිදං හීණප්පණීතතාය” කර්මය වනාහි සත්වයා උසස් ප්‍රණීත සහ පහත් හීන වශයෙන් බෙදා දක්වනු ලබතැයි දෙසූහ.
බෞද්ධ සාහිත්‍යයේ මට්ඨකුණ්ඩලී කතාව, සාමාවතී කතාව, ලාජා දෙව් වත ආදී වූ කතා පුවත් මගින් කුසල කර්මවල ආනිසංස දක්වා තිබේ. එමෙන් ම චුන්ද සූකර කතාව, කෝක නම් සුනඛ වැද්දාගේ කතාව, කාලි යකින්නගේ කතාව මගින් අකුසල විපාකවල පීඩාකාරී ස්වභාවය විවරණය කෙරේ. බෝසත් සිරිත අනාවරණය කෙරෙන ජාතක පොතේ සියලු කතා පුවත් මගින් කර්මය හා පුනර්භවය අතර සබඳතාව මනාව විවරණය කර ඇත. සංසාරගත භවගාමි පැවැත්ම තුළ සත්වයා නැවත නැවත ඉපදෙමින්, නැවත නැවත මිය යමින් කර්මය ස්වකීය කොට ඇත. මෙම සංසාරමය ස්වභාවය නිවන අවබෝධ නොකළ සියලු දෙනා මුහුණපාන තත්ත්වයයි. පුද්ගලයාට ස්වකීය උත්සාහය මගින් කර්ම විපාක වලක්වා ගත හැකිය. එය කර්ම ක්ෂමා කර ගැනීමක් නොව පුද්ගලයාගේ කුසල චර්යාවේ ඵලයක් වශයෙනි. එහෙත් ගරුක කුසල හෝ අකුසල අත්විඳිය යුතු වේ. බුදු දහමේ විග්‍රහ කෙරෙන කර්මය පිළිබඳ ඉගැන්වීම් ඉතා සියුම් ක්‍රියාකාරිත්වයකින් යුක්ත වේ. කර්මය විපාක දීමේ දී ක්‍රියාත්මක වන ආකාරය සතර විධියකි. විපාක දෙන කාලය අනුව ද සිව් ආකාර වේ. එසේම විපාක දීමට ඉදිරිපත් වන අනුපිළිවෙළ අනුව ද කර්මය ආකාර හතරකි. කර්මය පිළිබඳ අටුවා න්‍යාය තුළ මෙබඳු විග්‍රහයන් හැඳින්වීම් මගින් විවරණ පවතී.
පුද්ගලයා නිර්වාණාවබෝධය ලබන තෙක් භවගාමී වේ. කර්මය හා පුනර්භවය අතර අත්‍යන්ත සම්බන්ධයක් පවතී. කර්මය මුල් කරගෙන උත්පත්තිය හෙවත් භවය ලබනු ඇත. කර්ම ආනිසංස පමණක් නොව, විපාක ද ස්වකීය ආත්ම කොට ඇති හෙයින් වඩා යහපත් දිවි පැවැත්මක් වෙනුවෙන් ප්‍රතිපත්ති ගරුකවීම, කුසලසම්පන්නව ක්‍රියා කිරීම සඳහා බෞද්ධයාගේ අවධානය යොමු විය යුතුම ය
 
  • Like
Reactions: llrajitha

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    කර්මය, චේතනාව මූලික කරගෙන ඇති වෙන ක්‍රියාව. මෙය යහපත් හෝ අයහපත් විය හැකියි. ලෝකය දෙස බලන විට වැඩි හරියක් අයහපත් පැත්තට නැඹුරැව පවතින බව පෙනෙන්නට තිබේ. බෙෘද්ධ දර්ශනය තුලින් අප මහා ශාන්තිනායකයාණෝ දේශනා කර ඇත්තේ ඒ යහපත් චේතනාව මිනිසා තුල ඇති කරලීම පිළිබදවයි. යහපත් චේතනාව යහපත් ක්‍රියාව. අද මේ ලෝකේ මිනිසුන්ට වඩාත්ම අවශ‍්‍ය සහ සුදුසුම බෙහෙතත් එයම නොවේද ???
     

    ela billa

    Member
    Mar 11, 2013
    112
    18
    0
    කර්මය, චේතනාව මූලික කරගෙන ඇති වෙන ක්‍රියාව. මෙය යහපත් හෝ අයහපත් විය හැකියි. ලෝකය දෙස බලන විට වැඩි හරියක් අයහපත් පැත්තට නැඹුරැව පවතින බව පෙනෙන්නට තිබේ. බෙෘද්ධ දර්ශනය තුලින් අප මහා ශාන්තිනායකයාණෝ දේශනා කර ඇත්තේ ඒ යහපත් චේතනාව මිනිසා තුල ඇති කරලීම පිළිබදවයි. යහපත් චේතනාව යහපත් ක්‍රියාව. අද මේ ලෝකේ මිනිසුන්ට වඩාත්ම අවශ‍්‍ය සහ සුදුසුම බෙහෙතත් එයම නොවේද ???
    සත්‍යවශයෙන්ම. 100% යහපත් චේතනාවෙන් යුතුව සෑම විටම කටයුතු කරන්න බැරි උනත් හැකි සෑම විටම යහපත් (කුසල්) ක්‍රියාවන්ම කිරීමට පුරුදු වීම ගොඩක් වැදගත්.