ක්ලැසික් කාර් ප්‍රොජෙක්ට් එකක් නාගන්නේ ක

පෙරවදන:
අතීතයේ බොහෝ දෙනෙකුට කාර් ප්‍රොජෙක්ට් කිරීම සඳහා කාර් ගැන හොඳ දැනුමක් තිබීම අවශ්‍ය විය. එහෙත් නවීන තාක්ෂණයේ දියුණුවත් සමග දැන් එය අවශ්‍ය නොවේ. අද දවසේ ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාල නිසා (මා වැනි තවත් සුවහසක්) කාර් පිස්සන්ට ප්‍රොජෙක්ට් එකක් නාගැනීම සුළු දෙයක් බවට පත්වී ඇත. උදාහරණයක් ලෙස කාර් එකේ ඡායාරූපයක් ෆේස්බුක් එකේ දමා 'යාලුවනේ මට අහවල් දේ කරගන්න උපදෙසක් ඕනේ, දන්න අය පොඩ්ඩක් කියනවද?' කියා ඇසූ ගමන් ඔබට පැය භාගයක් හෝ විනාඩි 40 ක් වැනි සුළු කාලයක් ඇතුළත ප්‍රොජෙක්ට් එක නා ගැනීම සඳහා ක්‍රම විස්සක් තිහක් අසා දැනගත හැක.
කෙසේ වුවත් මගේ පළවෙනි ක්ලැසික් කාර් ප්‍රොජෙක්ට් එක ආරම්භ කරන විට මට ෆේස්බුක් සමග ලොකු ගනුදෙනුවක් තිබුණේ නැත. එම නිසා ප්‍රොජෙක්ට් එක නා ගැනීම සඳහා ක්‍රම සහ විධි මටම සොයාගැනීමට සිදුවිය. එහෙත් දැන් අන්තර්ජාලයේ සැරිසරන අයට වුවද තමන්ගේ ඊළඟ ප්‍රොජෙක්ට් එක නා ගැනීම සඳහා මා නාගත් ගංගා ඇලදොළ ගැන විස්තර ප්‍රයෝජනවත් විය හැකි නිසා ඒ පිළිබඳව Step-by-step guide එකක් සැපයීමට තීරණය කළෙමි.
ඒ නිසා මේ උපදෙස් මාලාව කියවා, ඔබට අදාළ වන ආකාරයට ඒවා පිළිපැද, ප්‍රොජෙක්ට් එක නාගෙන, ඒ නාගත් ආකාරය මා වෙත ලියා එවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
විශේෂ ස්තූතියි:
කාර් එක ගන්න උදවු කළ තැන පටන් ප්‍රොජෙක්ට් එකෙන් ලක්ෂ ගාණක් පාඩු වීම දක්වා මට ප්‍රොජෙක්ට් එක නා ගැනීමට උපකාරී වූ ටින්කරින් අයියාට මගේ විශේෂ ස්තූතිය හිමි වේ.
පිදුම:
ඒකත් ඌටම තමා!
මගපෙන්වීම අංක 01: කාර් එකක් මිලදීගැනීම
කාර් ප්‍රොජෙක්ට් එකක් නා ගැනීම සඳහා ඇති හොඳම ආරම්භක පියවර වන්නේ ඉවසීම පැත්තක දමා කඩිකුලප්පුව බෝ කරගැනීමයි. එවිට ඔබ කෙරෙන් පහත සඳහන් ලක්ෂණ දිස්වනු ඇත.
1. දකින පළමු කාර් එක (මලකඩ පැටවු ගැසූ ලදරමක් වුවද, දශකයකින් පමණ ලයිසන් ඉන්ෂුවරන්ස් තියා වතුර පොදක්වත් දැක නැති වුවද, ටයර් හතර රබර් ගසටත් වඩා පරණ වුවද, බැටරියේ හෙන්දිරික්කා මල් පැළවී තිබුණද, එහෙම තියෙද්දීත් අයිතිකාරයා ඒකට කැරට් විසිහතරේ ගණන් කිව්වද) ගන්නම හිතීම
2. ගෙදර බල්ලාට, පූසාට, ගිරවා, මාළුන්ට හෝ ඔබ ඇතිකරන ඕනෑම ආකාරයේ විෂ රහිත/සහිත සතෙකුට ඇති ආදරය වැනිෂ් වී යාම.
3. 'ඉන්න ටිකේ තියන ආසාවල් ඉෂ්ට කරගන්න ඕනේ' වැනි කතා කියා ගෙදර අයව තක්බීර් කිරීම
4.අනාගතයේදී ප්‍රොජෙක්ට් එකට සල්ලි හෙවීම සඳහා අයිස් පැකට් හෝ තෙල් බේත් වැනි දේවල් වුවද විකුණන්නට සිතීම
5. කකා ඉන්න අතරේ පවා විකමින් සිටි බත්ටික කටේ තබාගෙන කාර් ගැන කල්පනා කිරීම
6. පාරේ පරණ කාර් යනවා දුටුවිට විලිලැජ්ජාව පසෙක තබා බස් එකේ ඉඳන්ම කෙඳිරි ගෑම
7. ළඟම ගරාජ් එක අයිති එකා සමග කටපුරා සිනාසීම සහ ඌ ළඟට ගොස් හදන කාර් ගැන විස්තර අසඅසා මුකුළු පෑම
මෙවැනි ලක්ෂණ ඔබ කෙරෙන් දිස්වන බව ඔබටම පෙනෙන්නේ නම් කාර් ප්‍රොජෙක්ට් එකක් නා ගැනීම සඳහා හොඳම කාලය පැමිණ තිබේ. ඒ නිසා වහාම ඊළඟ පියවරට යන්න.
ඊළඟ පියවර වන්නේ හැකි ඉක්මනින් වාහනයක් සොයාගැනීමයි. නා ගැනීමට ඇති හොඳම ක්‍රමය නම් බ්‍රෝකර් කෙනෙකු අමතා පින්සෙන්ඩු වීම ය. ඔබ පත්වී සිටින අසරණ තත්ත්වය දැනගත් වහාම බ්‍රෝකර්ගේ ඔලුවේ විශාල ප්‍රමාණයේ බලුබ් එකක් ටිං ගා පත්තු වේ. එවිට ඔබට ඔන්න කන්ඩෙම් මෙන්න කන්ඩෙම් ගානට තිබෙන වාහන ඊයේ ප්‍රඩක්ෂන් ලයින් එකෙන් එළියට ආ මිලකට මිලදීගත හැක. ප්‍රොජෙක්ට් එකක් නා ගැනීම සඳහා මුදල් විශාල ප්‍රමාණයෙන් ලෝක හොරුන්ට පුදදීම අත්‍යවශ්‍ය බැවින් මෙම පියවර පැහැර හැරීමෙන් වළකින්න.
'ඔරිජිනල්ම තත්ත්වයේ තියන/අලුත් ටයර් බැට්රි තියන/රනින් සුපිරි/ඉස්සර ලේඩිෂ් කෙනෙකු පැද්ද' වාහනයක් තිබෙන බව බ්‍රෝකර් කියූ විට ඔබ එය බලන්නට යා යුතු ය. ඒ සඳහා මිකැනික් කෙනෙකු හෝ ටින්කරින් අයියෙකු රැගෙන යා යුතු වේ. සාමාන්‍යයෙන් පරණ කාර් වල එන්ජින් ගොඩදැමීමට වඩා අපහසු වන්නේ බොඩි කෙළින් කිරීමයි. එම නිසා පළමුවෙන්ම ටින්කරින් වැඩ නැතිව වේලෙමින් සිටින ඔබේ හිතමිත්‍ර ටින්කරින් බාස් කෙනෙකු හමුවී ඔබේ අදහස පවසන්න. එවිට ඔහු ඔබට 'ඔය ඕන එකක් ගොඩදාන්න පුළුවන් මල්ලි' හෝ 'අර කාර් එකතු කරන ලෝයර් මහත්තයාගේ පරණ බෙන්ස් එක ගොඩදැම්මෙත් මම' වගේ කතා කියනු ඇත. මෙය ඔබට සිතූ පැතූ සේ නාගැනීමට ලැබෙන බවට හොඳ පෙරනිමිත්තකි. ඒ නිසා අතේ මුදල් ටික අතුරුදන් වෙන්නට කලින් හොඳ චීස් කොත්තුවක් ගෙනත් කා සතුට සමරන්න. පසුවදා හැදෙන බඩේ අමාරුවට ආටිගල ගෙහෙත් ගුලියක් ඉඟුරු ඉස්මෙන් හෝ දෙහි ඇඹුලෙන් ගන්න.
ඔබට ඩබල් එකේ නාගැනීමට අවශ්‍ය නම් වාහනය තියන තැන ටින්කරයාට කලින් පවසන්න. එවිට ඔහු වහාම ගොස් අයිතිකරු හෝ බ්‍රෝකරයා හමුවී ඔහුටත් ගානක් ලැබෙන පරිදි වැඩේ සෙට් කරගනු ඇත. එවිට ඔබට ප්ලැටිනම් හා සමාන වටිනාකමකට මලකඩ මිලදී ගැනීමේ දුර්ලභ අවස්ථාව හිමි වේ.
කාර් එක බලන්නට ගිය විට ටින්කර් අයියා ජිම්නාස්ටික් පෙන්නමින් කාර් එකේ උඩ, යට, පැත්ත, අස්ස සහ මුල්ල යනාදී සෑම තැනම රිංගීමට පටන් ගනු ඇත. නිහඬව ඒ සියල්ල විඳගන්න. වැඩේ සෑහෙන්න අමාරු බවත්, හැබැයි මල්ලිට නිසා ගොඩදාලා දෙන්නට පුළුවන් බවත්, පරණ වාහන හැදීම අමාරු බවත්, නමුත් ඔහු වැනි වැඩ දන්නා අයට ඒක කරන්න පුළුවන් බවත්, තවත් පොරවරක් දහය ටෝක් සීයක් විතරත් ඔහු ඔබ ඉදිරියේ දිගහරිනු ඇත. දරාගැනීමට අපහසු ම නම් කාර් එකේ අයිතිකරුගෙන් ගෙදර වැසිකිලිය තියන තැන අසාගෙන වැසිකිලිය ඇතුළට ගොස් තනියම අසභ්‍ය වචන හතර පහක් කියා, බිත්තියට පාරවල් දෙකතුනක් ඇන, කේන්තිය නිවුණු පසු ආපසු එන්න. ජිම්නාසිටික් සංදර්ශනය අවසන් වන තුරු මෙයම නැවත නැවත කරන්න.
ඔබ මේ වාහන කෙළියට අලුත් කෙනෙකු නිසා ඔබ මොන මිලගණන් සිතේ තියාගෙන සිටියත් ඇත්තටම ඔබ වාහනය මිලදීගන්නේ බ්‍රෝකර්ට (සහ ටින්කරයා සම්බන්ධ නම් උන් දෙන්නාට සහ තවත් උන් සම්බන්ධ නම් උන් සේරටම) අවශ්‍ය මිලට මිස ඔබ බලාපොරොත්තු වූ මිලට නොවේ. එයද ප්‍රොජෙක්ට් එක නා ගැනීම සඳහා ඉතාමත් වැදගත් මූලික පියවරකි.
මගපෙන්වීම අංක 02: ප්‍රොජෙක්ට් එක පටන් ගැනීම සහ එන්ජිම හැදීම
පළමුවෙන්ම කළ යුත්තේ එන්ජිම සෑදීමද නැතහොත් බොඩිය සෑදීමද යන්න අර කිකිළිද බිත්තරේද වගේ ප්රශ්නයකි. එම නිසා ඔබ වාහනය ගන්න ගියේ මිකැනික් කෙනෙකු සමග නම් එන්ජිමද, ටින්කරයෙකු සමග නම් බොඩියද සෑදීමට පටන් ගන්න. කරන හැම දේම මේ පුද්ගලයාගෙන් අසා ඔහු කියන දේ අනුගමනය කරන්න. නැතිනම් නා ගැනීම ප්‍රමාද වීමට ඉඩ ඇත.
මා කාර් එක බැලුවේ, මිලදී ගත්තේ සහ නා ගත්තේ ටින්කරයෙකු සමග වුවද මම මුලින් වාහනය 'දුවලා බලන්න ඕනේ' කියා මාව නෑවීමට කැමති මිකැනික් කෙනෙකු සොයසොයා ගියෙමි. එම නිසා මිකැනික් වැඩ සම්බන්ධයෙන් නාගන්නා ආකාරය ඔබට මුලින්ම පැවසීම මාගේ බලාපොරොත්තුවයි.
ඔබ කැමති හා හා පුරා කියා ග්‍රෑන්ඩ් ස්කේල් එකේ නා ගැනීමට නම් වහාම අදාළ කාර් බ්‍රෑන්ඩ් එක සම්බන්ධ 'එක්ස්පර්ට්' කෙනෙක් සොයාගන්න. ඔහුට එන්ජිම සෑදීම භාරදෙන්න. ඔහු ඔබට එන්ජිමේ අසූ හාරදාහක් හන්දිපත් රුදා, වාත වේදනා, කැක්කුම්, උළුක්කු වීම්, බඩ පිපීම්, පීනස් රෝග, සෙම්, පිත, කැස්ස, වමනය, යාම් බඩ යාම් සහ &*^ අමාරු ගැන කියා එන්ජිම 'ඕවරෝල්' කරන්න කියනු ඇත. මේ කියන්නේ overhaul කිරීම බව කරුණාවෙන් සලකන්න. කරුණාකර ලිස්ට් එකක් ලියා දෙන ලෙස ඔහුට පවසන්න. ඔහු ලියන 'පැට්ටල් පොම්පේ', 'පිගන් බෙයාරින්' සහ 'ඩයප්පරං එක' වැනි දේවල් පංචිකාවත්තේ තුණ්ඩු කියවන නරින්ට පවා තේරුම් ගැනීමට අපහසු වීමට ඉඩ ඇති නිසා මතක ඇතිව ඔහුගේ දුරකථන අංකය ඉල්ලා ගන්න.
හැකි පළවෙනි දවසේම නිවාඩුවක් දමා, ගෙදර සුරතල් සතුන් ඇතුළු සියලු දෙනාට වැඳ ආශීර්වාද සහ සමාව ලබාගෙන උදේ පාන්දර පිටත් වී පංචිකාවත්ත නමැති නියම්ගමට පැමිණෙන්න. එම නියමගමේදී ඔබේ කාර් එකේ ලාංඡනය සඳහන් බෝඩ් එක ඇති පළවෙනි කඩයට දුවගොස් ලැයිස්තුව ලබා දී එම කඩය කරගෙන යන නරින් හෝ අර්ධ නරින් කියන ගණන්වලට බඩු සියල්ල අරගන්න.
සෙකන්ඩ් හෑන්ඩ් බඩු විකිණීම සඳහා වෙනම නරි වර්ගයක් ඇත. ඇතැම් විට ඔබ බ්‍රෑන්ඩ් නිව් බඩු ගත් කඩයේ නරියෙකු ඔබට මේ බඩු ගෙන්වා දීමට ඉඩ ඇති අතර, වැරදිලා හෝ අර්ධ නරියෙකු සිටියා නම් ඔබට සෙකන්ඩ් හෑන්ඩ් බඩු විකුණන නරියෙකුගේ නොම්මරය ලබාදෙනු ඇත. මේ කිසිදු අවස්ථාවක ඩිස්කවුන්ට් දෙනවාදැයි ඇසීමෙන් වළකින්න. ප්‍රොජෙක්ට් එක නා ගැනීම සඳහා ඔබගේ ඉතුරුම් ගිණුම්, ජංගම ගිණුම් සහ ස්ථාවර තැන්පතු ඇතුළු සියල්ල චකබ්ලාස් විය යුතු බව මතක තබාගන්න.
මගපෙන්වීම අංක 03: ටින්කරින් සහ පේන්ටින් වැඩ
මේ වනවිට ඔබේ ප්‍රොජෙක්ට් එක ඔබට කරන උදවුවක් බව ඔබට ඒත්තු ගැන්වීමට ටින්කරයා සමත් වී තිබීමට ඉඩ ඇත. ඔබත් ඒ ආකාරයටම විස්වාස කරන්නට පටන් ගන්න. ප්‍රොජෙක්ට් එක නා ගැනීමට ඇති කෙටිම සහ ප්රත්යක්ෂම ක්‍රමය මෙයයි. මාස තුනක් ඇතුළත ඔබටත් නොදැනී ඔබව නෑවෙන්නට පටන් ගනු නිසැක ය.
කිසිදු අවස්ථාවක Tool kit හෝ WD40 වැනි යෙදුම් භාවිතා කිරීමෙන් වළකින්න. ලංකාවේ ටික්කරින් කරන අයියලා ඇන ගැලවීම, බඳ රවුම් කිරීම, පැනල් සවි කිරීම, ආහාර ගැනීම සහ පිට කැසීම ඇතුළු සියලුම දේ කරන්නේ මිටි සහ කපන කටු භාවිතයෙනි. මේ අතරවාරයේ අර ධාතුසේන රජතුමා කලා වැවේ වැවු බැම්ම මත සිටුවා පස් ගැසුවා සේ වාහනයේ බඳ මත චක චක ගා කැටලොයි දමා වසනු ලැබේ. මේවා දැකීමෙන් ඔබේ හිත ගත දයියා වන්නේ නම් වහාම පාරේ යන කෙනෙකු නවත්වා දේශපාලනය කතා කිරීමට පටන් ගන්න. කිසි විටෙකත් කැටලොයි මෙහෙයුමට විරුද්ධ වීමෙන් වළකින්න. කවදා හෝ විකුණන දවසක මේ වාහනය ගන්නට එන බූරුවා නියපොත්තෙන් වාහනයේ බඳට ඇන 'කැටලොයි නේද?' කියා අසන විට ඔබට ඒ දුර ඈත අතීතයේ නා ගත් නා ගැනිල්ලේ සුව සහනය නොමදව දැනෙනු ඇති බවට කිසිදු සැකයක් නැත.
ටින්කරින් වැඩ සඳහා සාමාන්‍යයෙන් අවුරුද්දක් දෙකක් ගතවීමට ඉඩ ඇත. කම්මැලි කමක් සිතට නැගුනු අවස්ථාවක ගොස් අසැබි වචනයක් දෙකක් කියා එනු මිස ටින්කරයා සමග දීර්ඝ රණ්ඩු ඇතිකර ගැනීමෙන් වළකින්න. Short term නෑමට වඩා Long term නෑම ඇඟට ගුණ බව වෛද්‍යවරුන්ගේ අදහසයි. මේ කාලය පුරා වරින්වර ටින්කරයා ඔබෙන් විසි තිස්දාහ බැගින් කඩාගනු ඇත. මේ හැම වාරයේම වහාම ATM යන්ත්‍රයක් වෙත හෝ ඔබේ ගමේ පොලියට දෙන චාලට් අක්කා වෙත ගොස් අදාළ මුදල රැගෙන විත් ටින්කරයා අතේ තබන්න. මෙය නා ගැනීමේ ක්‍රියාවලියේ අනිවාර්ය හා කේන්ද්‍රීය අංගයකි.
මගපෙන්වීම අංක 04: බීඩින් දැමීම
බීඩින් දැමීම නා ගැනීම සඳහා ක්‍රම කිහිපයක් ඇත. ඒ සඳහා පහසුම ක්‍රමය වන්නේ ටින්කරයා දෙන නොම්මරයට කතා කර බීඩින් කාරයෙක් සෙට් කර ගැනීමයි. සාමාන්‍යයෙන් බීඩින් කාරයා ටින්කරින් ගරාජයට ගෙන්වා ගැනීමට දුරකථන ඇමතුම් සීයක් පමණ ලබාදිය යුතු ය. එවිට ඔහු කුඩුකාරයෙකුගේ පෙනුම සහිත ගෝලයෙකුද සමග එක්තරා සැන්දෑවක බට්ටෙකුගේ නැගී පැමිණ, ඔබේ කරදරයෙන් බේරීමට/ඔබට උදවු කිරීමට පැමිණි බව අඟවමින් කාර් එක පරීක්ෂා කරනු ඇත. ඉන් අනතුරුව ක්ලැසි ක් කාර් වල බීඩින් දැමීම කොච්චර දුෂ්කර කාරියක්ද කියා නැවතත් නැවතත් නැවත නැවතත් නැවත නැවත නැවතත් ඔබට පවසනු ඇත. ඉන්පසුව පහත සඳහන් දේවල් තුන අතරින් එකක් සිදුවීමට ඉඩ තිබේ.
1. නාහෙන් අඬා අඬා ඌටම ඇතිවූ පසුව ඌ බීඩින් දැමීම
2. ඔබ බීඩින් ගෙනවිත් ඇත්නම්, ඒ බීඩින් දැමීමට නොහැකි යයි කියා වෙන බීඩින් රැගෙන එන ලෙස ඉල්ලා බට්ටා කිහිල්ලේ ගසාගෙන ඌ පිටවී යාම
3. ඔබ ගෙනා බීඩින් කපා, ඉන්පසු දාන්නට බෑ කියා, සිලිකන් දමා වීදුරුව අලවා ඔබෙන් විශාල මුදලක් කඩාගැනීම
මේ ක්‍රම තුනම සම්බන්ධයෙන් මට අත්දැකීම් ඇති බැවින් ඔබට ඉතාමත් විශ්වාසයෙන් යුතුව කියා සිටිනුයේ ඔබට විශිෂ්ට ලෙසම නා ගැනීමට හැකි ක්‍රමය අංක 3 යටතේ සඳහන් ක්‍රමය බවයි.
සාමාන්‍යයෙන් ඔය තුනෙන් කුමන ක්‍රමය සිදුවූවත් ඔබ අවසානයේ නවතින්නේ ඩාලි පාරේ අර සුප්‍රසිද්ධ බීඩින් කඩය ළඟ බව කරුණාවෙන් සලකන්න (නීතිමය හේතු මත එම කඩයේ වෙළඳ නාමය සඳහන් කළ නොහැක).
මගපෙන්වීම අංක 05: ඉලෙක්ට්‍රිකල් වැඩ
ප්‍රොජෙක්ට් එකක් නා ගැනීමට ඇති තවත් ඉතාමත් පහසු ක්‍රමයක් වන්නේ 'ඉලැට්ටිකල් ඇස්පෝට්' කෙනෙකුට ඉලෙක්ට්‍රිකල් වැඩ භාරදීමයි. එවැනි ඇස්පෝට් කෙනෙක් ගැන මේ බ්ලොගයේ "බාෂුන්නැහේ... ඔබට ෂතුටුයිද දැන්...?" ලිපියේ දක්වා තිබේ. එය හොඳින් කියවා බැලීමෙන් ඔබට ඒ ක්‍රමයට නා ගැනීමේ අවස්ථාව හිමිවනු ඇත.
ඔබ දන්නා අය අතරින් වැඩියෙන්ම පොර ටෝක් දෙන ඉලෙක්ට්‍රිකල් කාරයා තෝරාගැනීම මේ සඳහා ඇති තවත් ක්රමයකි. මෙය මා විසින් ඉතා හොඳින් අත්හදා බලා ඇති ක්‍රමයක් බව ඉතාමත් ආඩම්බරයෙන් කියමි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් මගේ පළවෙනි බීට්ල් රථයේ දකුණු පැත්තේ සිග්නල් ලයිට් එක නොනිවී දැල්වී තිබූ අතර එය හදන්නට වෙන තැනකට ගෙනගොස් දැමීමේ අවසන් ප්‍රතිඵලය වූයේ ඉලෙක්ට්‍රිකල් වැඩ සියල්ල තිතට හරිගොස් එන්ජිම අයිඩ්ල් හිටින්නේ නැතුව යාමයි. තව පොඩ්ඩෙන් මගේ පනස් දාහකට පමණ කෙලවී මට දුන්හිඳ ඇල්ලෙන් නාගැනීමේ වාසනාව උදාවීමට ඉඩ තිබූ අතර මගේ හිතමිත්‍ර මිකැනික් දයානන්ද අයියා මැදිහත් වී එන්ජිම ගොඩින් බේරාදීම නිසා ඒ මහා දුන්හිඳ ස්නාන චාරිකාව අහිමි වී ගියේ ය.
මගපෙන්වීම අංක 06: නිකල් වැඩ
නිකල් වැඩ යනු ප්‍රොජෙක්ට් එකක් නා ගැනීමට ඇති තවත් විශිෂ්ට ක්රමයකි. මේ සඳහා මට සාදර අනුග්‍රහය ලබාදුන්නේ පොකුණුවිට 'පුපුල් ඉලෙට්ටෝප්ලේටින්' ආයතනයේ අධිපති දේශමාන්න කලාහූරී චෞරරාජ ශ්‍රී ස්නානප්රසාදී පුපුල් මහතා ය. ඒ මහතා 'බාත් එකේ දානවා, අනිවාර්යෙන්' කියා ඉලෙක්ට්රෝප්ලේට් කරදුන් නිකල් බඩු ටික මාස 6 ක් යන්නත් කලින් සවුත්තු විය. මෙහිදී ඉදිරිපස බෆරය යළි නිකල් කර දීමට ඒ මහතා එකඟ වූ නමුත් බෆරය ඔහුට භාරදුන් පසුව ඒ මහතාගේ නැට්ට පවා සොයාගැනීම දුෂ්කර වූයේ ය.
කිසිදු දුරකථන ඇමතුමට උත්තර නොලැබෙන විට ඔරිජිනල් ෆොක්ස්වැගන් බෆරයක් පිනට දී නාගැනීමේ පරමානන්දය මට දැනෙන්නට වූ හෙයින් මම වහාම ඒ මහතාගේ ව්‍යාපාරික ආයතනය සොයා ගියෙමි. එතනදී ඒ මහතාගේ සහෝදරයෙකැයි කියූ කෙසඟ මහතෙකු මට ප්‍රකාශ කළේ බෆරය අයියාගේ ගෙදර ඇති බවයි. වහාම එය ගෙනැවිත් තබන ලෙස කළ ඉල්ලීම පුදුමයකට මෙන් ඉටු වූ අතර පසුදා ආපසු ගෙදර ගෙනැවිත් සවිකළ බෆරයේ 'ඉලෙක්ට්රෝප්ලේටින්' එක සතියක් යන්නටද කලින් නැවත නොඑන්නට මට බූට් එකක් තබා යන්නට ගියේය.
ඒ නිසා නිකල් වැඩ වලින් නා ගැනීමට ඔබට අවශ්‍ය නම් කරුණාකර හොරණට නුදුරු පොකුණුවිට ප්‍රදේශයේ පුපුල් ඉලෙට්ටෝප්ලේටින් ආයතනයේ අධිපති දේශමාන්න කලාහූරී චෞරරාජ ශ්‍රී ස්නානප්රසාදී පුපුල් මහතා හමුවන්න.
මගපෙන්වීම අංක 07: ටයර්, අංක තහඩු සහ අනෙකුත් දේවල්
ටයර් වලින් නා ගැනීමටද ඔබට වුවමනා තරම් ඉඩකඩ පවතී. කලකට ඉහත ටින්කරයෙකු මගේ මිතුරෙකුට පවසා තිබුණේ ෆොක්ස්වැගන් සඳහා විශේෂ ටයර් වර්ගයක් පමණක් යෙදිය යුතු බවයි. මෙම ටයර් තරමක් අධික මිලකින් යුක්ත වන බවත්, ඒවා සොයා ගැනීම සඳහා තමන් 'උදවුවක් හැටියට' පංචිකාවත්තේ දවසක්ම රවුම් ගැසීමට සූදානම් බවත් කියූ මේ ටින්කර ටින් මහතා මගේ මිත්‍රයාව විශාල ප්‍රමාණයේ බාල්දියකින් නාවා තිබිණි. මගේ ෆොක්ස්වැගන් රථයට සාමාන්‍ය ටයර් දමා පෙන්වූ විට මගේ මිත්‍රයාට තමන් නාගත් නා ගැනීමේ දිග පළල සිහිවී අර ටින්කර ටින් මහතාට මුව නොසෑහෙන සේ, මා ජීවිතේට නොඇසූ පුණ්‍ය කථා පවා කියමින් පින් දුන්නේ ය.
ක්ලැසික් කාර් වලටම යොදන විශේෂ වූ, කළු පසුබිමේ නිකල් නොම්මර හා ශ්‍රී අකුර සහිත අංක තහඩු සෑදීමේදී නා ගැනීමට අවශ්‍ය නම් ඔබට ඩාලි පාරේදී ඒ සඳහා වුවමනා තරම් අවස්ථා ලැබෙනු ඇත. ඔබ ඉතා හොඳ ඇඳුමින් සැරසී, ඉහළම මිලකින් යුත් සුවඳ විලවුන් ගල්වා, අවු කන්නාඩි යුවලකුත් පැළඳගෙන ගියහොත් ඔබට අඩුම තරමින් දෙදාහකට පමණ කෙළවාගැනීමේ අවස්ථාව ලැබෙනු ඒකාන්ත ය.
සාරාංශය
ඉහත සඳහන් කරුණු සියල්ල ලියුවේ ක්ලැසික් කාර් ප්‍රොජෙක්ට් එකක් නා ගන්නේ කෙසේදැයි සිතමින් දිවා රෑ ඇඳේ ඒ පැත්ත මේ පැත්ත පෙරළෙන ඔබට අස්වැසිල්ලක් ලබාදීමේ අරමුණිනි. මෙම උපදෙස් අකුරට පිළිපැදීමෙන් ඔබට ප්‍රොජෙක්ට් එකක් නා ගැනීම සඳහා නිසැකවම අවස්ථාව ලැබෙනු ඇත.
නමුත් මේ කරුණ හොඳින් මතකයේ තබාගන්න: ප්‍රොජෙක්ට් එකක් නා ගැනීම සඳහා ඇත්තේ මෙම ක්‍රම කිහිපය පමණක් නොවේ. ඔබේ ප්‍රොජෙක්ට් එකේ සෑම පියවරක් පාසාම ඔබට ප්‍රොජෙක්ට් එක නා ගැනීම සඳහා අලුත් මාවත් දස දහස් ගණනක් පෑදෙනු ඇත. ඒ මාවත් දිගේ කෙතරම් දුර පියනගනවාද යන්න සහ කෙතරම් උස දිය ඇල්ලකින් නා ගන්නවාද යන තීරණය ඇත්තේ ඔබ අතේ ය...
ඔබ සැමට සුබ නා ගැනීමකට ආසිරි...
- නිමි -
www.facebook.com/CarPissuwa