ක්‍රිකට් මැරයින්ගේ ප්‍රහාරයට

waligamaya

Well-known member
  • ක්‍රිකට් මැරයින්ගේ ප්‍රහාරයට

    ''ක්‍රිකට් මැරයින්ගේ ප්‍රහාරයට ජනාධිපතිවරයා ඇතුළු දකුණේ මන්ත්‍රීන් වගකිවයුතුයි''
    රුහුණ විශ්වවිද්‍යාලයේ සිදුවූ ගැටුම්කාරී තත්ත්වය පිළිබඳ ජනාධිපතිවරයා ඇතුළු දකුණු පළාත් සභා මන්ත්‍රීන් වගකිවයුතු බවත් ක්‍රිකට් මැරයෙකු සහ පළාත් සභා මන්ත්‍රීවරුන් පැමිණ විශ්ව විද්‍යාල සිසුන්ට පහරදුන් බවත් ආණ්ඩුව එකිනෙකා කෙටවීමේ නිරතවී සිටින බවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා අද (06) කොළඹ පැවති එම සම්මෙලනයේ මාධ්‍ය හමුවකදී පැවසීය.
    වෙනදාට සිසුන් උද්ඝෝෂණයක් හෝ පවත්වද්දී පැයකට පමණ කලින් පොලීසිය එම ස්ථානයට පැමිණියත් මෙම ගැටුම්කාරී තත්ත්වයේදී සිද්ධියෙන් පසුව හෝ පොලීසිය නොපැමිණි බව ඔහු පෙන්වා දුන්නේය.
    විශ්වවිද්‍යාලවල තීන්දු තීරණ ගැනීමේදී ඒවා සිදුවන්නේ සම්මුතියකින් වුවද රුහුණු විශ්වවිද්‍යාලයේ දැයට කිරුළ ප්‍රදර්ශනය පැවැත්වීම සම්බන්ධයෙන් එවැනි සම්මුතියක් නොවුණු බවත්, පරිපාලනය විසින් එහිදී සෘජු තීරණ ගත් බවත් තේනුවර මහතා සඳහන් කළේය.
    ජූනි මස 02 වන දින ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන සනත් ජයසූරිය මහතා ඇතුළු පිරිසක් පැමිණ කළ පහරදීමෙන් පහරකෑමට ලක්වුණු රුහුණ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය උපුල් අබේරත්න මහතාද මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් ස්වකීය අත්දැකීම් පැහැදිලි කළේය.
    දැයට කිරුළ, රුහුණ විශ්වවිද්‍යාලයේ පැවැත්වීම අත්හිටුවීමට මේ වනවිට තීරණය කර ඇතත්, එසේ කරනු ලැබ ඇත්තේ විරෝධතා නිසා නොව එය පවත්වනු ලැබුවහොත් තංගල්ලට මාර්ගය වසාදැමීමට සිදුවීමත්, එසේ කරනු ලැබුවහොත් විකල්ප මාර්ග සංවර්ධනය කිරීම සඳහා අති විශාල මුදලක් වැයවන බව සියඹලාපිටිය අමාත්‍යවරයා විසින් පෙන්වාදීම නිසා බව උපුල් අබේරත්න මහතා කියා සිටියේය.
    තමන්ට පහරදෙනු ලැබුවේ ගම්මුන් බවට ඇතැමුන් ප්‍රකාශ කරනු ලැබුවද, තමන් ගම්මුන් හඳුනන බවත්, පහරදෙනු ලැබුවේ පිට ප්‍රදේශවලින් ගෙන්වන ලද මැරයින් බවත් අබේරත්න මහතා සිහිපත් කළේය.
    ආණ්ඩුවේ ශිෂ්‍ය ව්‍යාපාරය වන නිදහස් ශිෂ්‍ය සංගමයේ ප්‍රධානියෙකු තමාට තර්ජනය කළ බවත්, සෙනෙට් මණ්ඩල රැස්වීමේදී දැයට කිරුළ විශ්වවිද්‍යාල භූමිය තුළ පැවැත්වීමෙන් සිදුවිය හැකි හානිය පිළිබඳ තමන් පෙන්වාදුන් දිනට පසු දින තමන්ට පහරදුන් බවත්, මේ වනවිට තවත් ආචාර්යවරුන් සිව්දෙනෙකුගේ නම් මැරයින්ට ලබාදී ඇති බවත් තොරතුරු වාර්තා වන බවත් ඔහු අවධාරණය කළේය.
    මෙම අවස්ථාවට රුහුණ විශ්වවිද්‍යාලයේ මානව හා ශ්‍රාස්ත්‍රපීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්දික ගුණසිංහ මහතා, ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උපාලි මහතා, රුහුණ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙස්ඨ කථිකාචාර්ය ආචාර් ජේ එදිරිසිංහ මහත්මිය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජිනසේන හේවගේ මහතා සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු සභාපති නිර්මාල් රංජිත් දේවසිරි මහතා ඇතුළු පිරිසක් සහභාගීවී සිටියහ.


    කන්නන්ගර දරුවෝ