කාටුනයට පණ ලැබෙන්නේ මෙහෙමයි
ඔයගොල්ලන් කැමැතිම කාටුන් කතාන්දර නොවරදවාම නරඹන්නට හැමෝම උත්සාහ ගන්නවා. මේ කාටුන්වලට පණ ලැබෙන්නේ කොහොමද කියලා ඒවා නරඹද්දී ඔයාලට හිතුණේ නැත්ද? අපි බලමු කොහොමද කාටුනයට පණ ලැබෙන්නේ කියලා. කාටුන් කතාවක් හදන්න ප්‍රථම දරුවන් වඩාත් කැමැති කතාවක් තෝරාගන්නවා. සමහර විට ඒ කතාව සුරංගනා කතාවක් වෙන්න පුළුවන්. සමහර විට එය ඉතිහාස කතාවක් වෙන්නත් පුළුවන්.
ඉන්පසුව ඒ කතාන්දරයට අදාළ පෙදෙස්වලට ගිහිල්ලා ඒ ප්‍රදේශවල පරිසරය, සංස්කෘතිය ආදිය අධ්‍යයනය කරනවා. ද ලයන් කිං(The Lion King) කාටුන් චිත්‍රපටය නිර්මාණය කරද්දී එහි නිර්මාණකරුවන් අප්‍රිකාවට ගියා. එහිදී ඔවුන් තැනිතලා භූමි, හිරු පායන අයුරු, දිය ඇලි, අප්‍රිකාවේ සත්තු ආදී සෑම දෙයක්ම කැමරාගත කළා. ඉන්පසු ඒ ඡායාරූප ඩිස්නි ස්ටුඩියෝවට රැගෙන ගියා. ඉන්පසුව මුළු කතාවම නිර්මාණය කරන්නට පටන්ගන්නවා. මෙහිදී ඒ ඒ කාටුන් චරිතයට හඬ සපයන ශිල්පීන්ද තමා හඬකැවිය යුතු චරිතය ගැන අධ්‍යයනයක යෙදෙනවා. කාටුන් චිත්‍රය චලන රූප බවට පත්කරන්නට නම් එක් චිත්‍රයක් විවිධ චලන ඉරියව් 24 කට ඇඳිය යුතු වෙනවා.
උදාහරණයක් ලෙස අපි හිතමු ඇවිදින කාටුන් චරිතයක් පෙන්වන්නට නම් ඒ ඇවිදීමේ ඉරියව්ව ක්‍රමයෙන් විකාශනය වන පරිදි රූප 24 ක් ඇඳිය යුතු වෙනවා. ඉන්පසු මේ චිත්‍ර 24 ම තත්පරයකදී පටිගත කෙරෙනවා. කාටුනයට සජීවී බවක් ලැබෙන්නේ එමගිනි. ඇලඩින් කාටුන් චිත්‍රපටය නිර්මාණය කරන්නට මෙවැනි වූ චිත්‍ර 119520 ක් සිත්තම් කරන්නට සිද්ධ වුණා. වර්තමානයේ මේ ක්‍රමය තරමක් පහසු වී තිබෙන්නේ පරිගණකයේ සහාය ඊට ලබාගන්නට හැකිවී තිබීම නිසයි.
>>>>


