කාන්තාව අද සහ එදා

hpalpola

Well-known member
  • කාන්තාව අද සහ එදා
    දැනට වසර කීපයකට පෙර මා ජීවත් වූ නිවසේ ද විදුලිය තිබුනේ නැත. පැට්‍රොල් මැක්ස් ලාම්පුවක්, කුප්පි / චිමිනි ලාම්පු ආලෝකය ලබා ගැනීම උදෙසා භාවිතා කළෙමු. ඒ කාලයේ නින්ද යනතුරු කතා ඇසීමට අපට වේලාව තිබුණි. අඳුර නිසා නිවසේ සිටි අය සිටියේ එකට ය. දැන් ආපසු ඒ කාලය හා සමාන අත්දැකීම් විඳීමට ලැබෙද්දි ඒ කාලය නිතැනින්ම සිහිපත් වේ. ඒ කාලයේ අසනු ලැබූ කතාවක් ආපසු සිහිපත් වූයේ ඒ අනුවය. කතාව ජලන්දර නම් අසුර රජු සම්බන්ධයෙනි.

    ඈත අතිතයේ දිනක ඉන්ද්‍ර දෙවියාට මිනිසුන් තමුන්ට වඩා ශ්‍රි විෂ්ණු, මහාබ්‍රහ්ම හා ශිව දෙවියන්ට ගරු කිරීම ප්‍රශ්ණයක් විය. මිනිසුන් සමඟ වැඩි සම්බන්ධය තිබුනේ ඉන්ද්‍ර දෙවියන්ට ය. එසේ තිබියදීත් මිනිසුන් ත්‍රි මූර්තියට ගරු කරන තරමට ඔහුට ගරු නොකිරීම ප්‍රශ්ණයක් විණි. ශ්‍රි විෂ්ණු හා බ්‍රහ්ම ජීවය පවත්වා ගැනීමට සහය වන නිසා එය ඉවසා ගත හැකි වුවත් විනාශයට අධිපති ශිව දෙවියන්ට ද ගරුකිරීම ඉවසා ගත නොහැකි තැන ඉන්ද්‍ර දෙවියෝ ශිව හමුවීමට ගියේ ප්‍රශ්ණය විසඳා ගැනීමටය.

    කෛලාශකූඨය කරා ගමන් කරන ඉන්ද්‍ර දෙවියන්ට අතර මගදී දොරටු පාලයකු හමු වූ අතර දොරටුපාලයාට ඉන්ද්‍ර දෙවියන්ගෙන් ගරු කිරීමක් නොවිනි. අවසානයේ දොරටුපාලයා ප්‍රකාශ කරන්නේ තමුන්ව පසු කරගෙන මිස ශිව දෙවියන්ව හමුවීමට ඉඩ ලබානොදෙන බවයි. ඒ අනුව දොරටුපාලයාත්, ඉන්ද්‍ර දෙවියන් අතරත් ද්වන්ද සටනක් ඇතිවිණි. දොරටුපාලයා අතින් පරාද වීමට ආසන්න තත්වයට පත්වූ ඉන්ද්‍ර දෙවියන්ට මේ දොරටුපාලයා අන් අයකු නොව ශිව දෙවියන්ම බව අවබෝධ විය. ඔහු ශිව දෙවියන්ගෙන් සමාව ඉල්ලා සිටියේ ය.

    ඒ වන විට ඉන්ද්‍ර ගේ මානය නිසා ශිව දෙවියන් ද සිටියේ කෝපයෙනි. ඔහුගේ තෙවැනි ඇස විවෘත වීමට ඔන්න මෙන්න අවස්ථාවකි. නමුත් ඉන්ද්‍ර දෙවියන්ගේ සමාව ගැනීම නිසා ශිව දෙවියන් ද නැවතිණි. එසේ වුවත් විවර වූ තෙවැනි ඇසේ ශක්තිය ශිව දෙවියන් විසින් මහ මුහුදට යොමු කරන ලද්දේ ඉන්ද්‍ර දෙවියන්ට හානියක් නොවන ලෙසින් ය.

    මහ මුහුදට වැටුණු ගිනිබෝලය නැත්නම් ශිව දෙවියන්ගේ කෝපය බිළිඳකු බවට පත්විණි. මේ බිළිඳාගේ ඇඬීම මහා බ්‍රහ්මයාට ද ඇසිනි. බ්‍රහ්මයා ඇඬීම පිළිබඳව සොයා බලන විට මුහුදේ පාවෙමින් සිටින බිළිඳා දක්නට ලැබිණි. ඒ බිළිඳාගේ ශක්තිය හඳුනාගත් බ්‍රහ්ම “ජලය දරා සිටින්නා” යන නමින් ජලන්ධර ලෙස ඔහුව නම් කලේය. මේ ජලන්ධර වැඩිවියට පත්වන්නේ වරුණ දෙවියන්ගේ ද අනුග්‍රහය සහිතවය. ඔහුට මහා බලයක් තිබිණි. මේ බලය තුල ජලන්ධරට ත්‍රි ලෝකයේම රජු වීමට අවශ්‍යතාවය මතු විය. ඔහු පොළොව යුධ කර ජයගත් අතර පාතාල ලෝකය ද ජයගත්තේ ය. ඉතිරි වූයේ දිව්‍ය ලෝකය පමණි. මේ කාලයේ දි ජලන්ධර අසුර නායකයා විය. කාල්නෙමි නම් අසුරයාගේ දුව වන වින්ද්‍රා ඔහුට විවාහ කර දෙන ලදි. වින්ද්‍රා, උග්‍ර විෂ්ණු බැතිමතෙක් විය. එසේම ඇය ජලන්ධරට ආදරය කළාය. ඇගේ පතිභක්තිය හා මුසු ආශිර්වාදය නිසා ජලන්ධරගේ බලය දෙගුණ තෙගුණ විණි. මෙයින් තවත් උද්දාමයට පත් ජලන්ධර දිව්‍ය ලෝකය ආක්‍රමණය කලේය. දෙවියන් මේ කාරණය ශ්‍රී විෂ්ණු දෙවියන්ට දැනුම් දෙන්නේ කුමක් හෝ සහනයක් ලබා ගැනීමේ අරමුණෙනි. විෂ්ණු, ජලන්ධර සමඟ යුද්ධයට සූදානම් වන විට ලක්ෂ්මි දේවිය, ඇයට ජලන්ධර ඇගේ සොයුරකු ලෙස දැනෙන නිසා විනාශ නොකරන ලෙස ඉල්ලීමක් කරන ලදි. ඒ ඇයත් මහා සාගරයෙන් උපන් නිසාවෙන් ය. යුද්ධයට ගියත් විෂ්ණු මෙනිසා, ජලන්ධරව මරා නොදැම්මේ ය. මෙයින් ජලන්ධර තවත් බලවත් විණි. එය දෙවියන්ට ද ප්‍රශ්ණයක් විය. එසේ තිබිය දී නාරද තවුසා අවසාන ජලන්ධරට පරාජය කිරීමට අවසන් උත්සාහය ගත්තේය. ඔහු ජලන්ධර හමු වී ප්‍රකාශ කලේ ජලන්ධර දැන් අධිරාජ්‍යයකු වුවත් ඒ තත්වයේ දි ගැලපෙන හොඳ කාන්තාවක් නොමැති බවත් ය. මේ ගැන විමසීමේ දී ශිවගේ බිරිඳ වන පාර්වතී, ජලන්ධරට ගැලපෙන බව නාරද කියා සිටියේ ය. මෙයින් උද්ධාමයෙන් සිටි ජලන්ධර ශිවට අපහාස කලේ යෝගියකුට මොන බිරින්දෑවරුද, බිරිඳක් නඩත්තු කල හැකි අයකුට බිරිඳ ලබා දිය යුතු බවටත් කියමිණි. මෙයින් කෝපයට පත් ශිව, ජලන්ධර සමඟ යුද්ධයට ගියේය. කෙසේවෙතත් යුද්ධය යන විට ශිවට ද ජලන්ධරව පරාජය කිරීම අපහසු බව වැටහිණි. එතරම් ජලන්ධර බලවත් ය. ඊට හේතුව වින්ද්‍රා ගේ ආශිර්වාදය විය. මේ අතර ජලන්ධර, ශිව ලෙස වෙස් වලාගෙන පාර්වතී හමුවට ගියේ ඇය සමඟ රති සැප විඳීමේ අරමුණෙනි. නමුත් පාර්වතිය ඔහුව හඳුනාගෙන යුධ ප්‍රකාශ කල විට ඇගේ ශක්තිය දන්නා නිසා ඔහු ඉන් පලා ගියේය. පාර්වතී යනු දුර්ගාවම වේ. ජලන්ධරගේ සිදුවීම නිසා ලැජ්ජාවටත්, කේන්තියටත් පත්ව සිටි පාර්වතීට, විෂ්ණු හමුවිණි. විෂ්ණු ඇගෙන් හේතු විමසූ විට ජලන්ධර සිදුකල දේ දැන ගැනීමට ලැබිණි. ඉන්පසුව විෂ්ණු, ජලන්ධර ලෙස වෙස් වලාගෙන වින්ද්‍රා හමුවට ගියේය. වින්ද්‍රා විෂ්ණුව ජලන්ධර ලෙස වටහාගෙන සම්භෝගයේ යෙදුනාය. ඒ මොහොතේම ඇගේ මනසින් ජලන්ධර ගැන තිබූ ආශිර්වාදය ද ඉවත් විණි. එහි වාසිය ගත් ශිව, ජලන්ධරව මරා දමනු ලැබුවේය. කෙසේවෙතත් ජලන්ධර මරණයට පත් වූ පසු ඔහු ආත්මය ශිව සමඟ එක්විණි.

    ජලන්ධර මිය ගිය විට විනද්‍රාට එය දැනුනි. වින්ද්‍රා විෂ්ණුව හඳුනාගත් විට ජලන්ධරට විය යුතු දේ සිදුව අවසන්ව තිබිණි. ඇය මහත් දුකට පත්ව විෂ්ණුට ශාපයක්ද කර දිවි නසා ගත්තාය. ඇයගේ ආත්මය විෂ්ණු සමඟ එක්විණි.

    අද ද පංජාබයේ ජලන්ධර ප්‍රදේශය පවතින අතර එයට ඒ නම ලැබී ඇත්තේ ද ජලන්ධර හේතුවෙනි.

    එදා හින්දු දහම තුළ කාන්තාවට හැඳිමිටේ නුවණක් ඇති බව කියා නැත. නමුත් අද වන විට ඒ අතීත හින්දු දහම යටපත් කරමින් කාන්තාව පහත හෙලන මට්ටමට මිනිස් ශිෂ්ඨාචාරය සංවර්ධනය වී ඇත. ලංකාවේ දී බුදුදහමේ බලපෑම නිසා කාන්තාවට නිසි තැන ලැබී ඇතත්, සමහරක් අවස්ථාවලදී තවමත් කාන්තාව පහත හෙලන අවස්ථා දක්නට ලැබේ. නමුත් මෙවැනි කතා දන්නා අය එසේ කරන්නේ යැයි සිතිය නොහැක. මන්දයත් අතීතයේ තිබූ වටිනාකම අද අප වටා නොමැති බව ඒ අය දන්නා නිසාවෙනි.