බිරිඳ ඉල්ලන දේ ගෙනවිත් නොදීමේ ආනිශංස

hpalpola

Well-known member
  • අධිකරණයේ නඩු අහන් ඉද්දි හරි අපූරු කථා අහන්න ලැබෙනවා. මේ කථා අහද්දි නිතරම පරණ කථාත් මතකයට එනවා. එතකොට හිතෙනවා එකම දේ නේ ද මේ කාලය වෙනස් වුනත් වෙන්නෙ කියලා. මන් මෙහෙම කියන්නම්කො. සමහරක් මිනිස්සු කියන දෙයක් තමයි පිරිමියෙක් කසාදයක් බැන්දම බිරිඳ ආස දේවල් ගෙනත් දෙන්න ඕනා, එහෙම නැත්නම් බිරිඳ අසතුටින්, බිරිඳව අසතුටින් තියන සැමියාට හරියන්නෙ නැහැ කියන එක. මේක ඔයාලත් අහලා ඇති. සමහර දික්කසාද නැත්නම් නඩත්තු නඩුවලදි බිරිඳ සාක්ෂි දෙද්දී ඔය කථාවෙ කොටසක් කියනවා. ඒ කියන්නේ සැමියා මන් ආස දේවල් ගෙනත් දෙන්නෙ නැහැ, නොසලකා හැරිය කියන එක. මේ වචනවලින් ම නැතිවුනත් ඕක කියන කථාවක්. මේ කථාව ගැන ක්‍රිස්තු පූර්ව ගණන්වලත් ලියැවිලා තියෙනවා කිව්වොත්.. පුදුම වෙන්න දෙයක් නැහැ. එහෙම සඳහන් වෙලා තියෙනවා. මන් කියන්නම් ඒ කථාව.

    ශ්‍රී ක්‍රිෂ්ණා ඉපැදිලා දොළොස්වැනි දවස වගේ වෙද්දි ශිව දෙවියන්ට ඕනා වෙනවා ශ්‍රී ක්‍රිෂ්ණාව ඇස් දෙකෙන් දකින්න. ශිව දෙවියන්ගේ බිරිඳ වෙච්චි පාර්වතීට ශිව දෙවියෝ මේ කථාව කියලා කියනවා මම ගෝකුලයට යනවා ශ්‍රී ක්‍රිෂ්ණව බලන්න කියලා. පාර්වතීත් ගමනට එන්න කැමැති වුනාට ශිව කියනවා ගමන දුර නිසා ඔයා ඉන්න මන් ගිහින් එන්නම් කියලා. ඒ සැරේ පාර්වතී කියනවා ගෝකුලේ තියෙන වෙඬරු හරි රසයි කියලා මන් අහලා තියෙනවා, ඔයා ගිහින් එද්දි මට වෙඬරු ටිකක් අරන් එන්න කියලා. ශිව දෙවියොත් ඒකට එකඟ වෙලා ගෝකුලයට යනවා. ඊට පස්සෙ ඉතින් ශ්‍රී ක්‍රිෂ්ණව ශිව දෙවියො බලනවා. ඒකත් හරි ලස්සන කථාවක්.
    ශිව දෙවියො වෙස් මාරු කරන් තාපසයෙක් වගේ තමයි මුලින්ම ගෝකුලයට යන්නෙ. ඒත් නන්දගේ වත්තට ඇතුල් වෙන්න හදද්දි ශිව දෙවියන්ට තේරෙනවා ශ්‍රී කෘෂ්ණ තමුන්ව දන්නවා, ඒ නිසා නියම ස්වභාවයෙන් ම යන්න ඕනා කියලා. ඉතින් ශිව දෙවියො නන්දගේ ගෙදරට යන්නෙ තමුන්ගේ නියම ස්වභාවයෙන්. දැකලා තියෙනවනෙ ශිව දෙවියන්ගේ රූපය. දැන් කෙනෙක් හිතාවි කව්ද මේ නන්ද කියලා. ඔව්, නන්ද කියන්නේ ශ්‍රී ක්‍රිෂ්ණාව හදාගන්න තාත්තා. යශෝධා කියන්නේ ශ්‍රී ක්‍රිෂ්ණව හදා ගන්න අම්මා.

    ඉතින් ශිව ගිහිල්ලා දොරට තට්ටු කලාම යශේධා ඇවිත් බලනවා. යශෝධාට හඳුනගන්න බැරි වෙනවා මේ ඇවිත් ඉන්නෙ කව්ද කියලා. එයා හිතන්නෙ ඒ ඉන්නෙත් සන්‍යාසියෙක් කියලා. එයා කියනවා කැමැති දෙයක් දෙන්නම් අරන් යන්න කියලා. ශිව දෙවියො කියනවා මට ඔහේගෙන් මුකුත් ඕනා නැහැ මට දරුවා ව බලන්න ඕනා කියලා. හැබැයි යශෝධා ඒකට බිංදුවක්වත් කැමැති වෙන්නෙ නැහැ. පස්සෙ ශිව දෙවියො අකමැත්තෙන් එතැනින් පිටත් වෙලා ගිහින් යමුණා ගංතීරේ වාඩි වෙලා ඉන්නවා.

    යශෝධයි ශිව දෙවියොයි අතරෙ යන කථාව ශ්‍රී ක්‍රිෂ්ණා අහගෙන ඉන්නවා. ශිව දෙවියො ගියාට පස්සෙ ශ්‍රී ක්‍රිෂ්ණා කරන්නෙ හොඳට ම අඬන එක. කොයි විදියට උත්සාහ කළත් නළව ගන්න බැරි වෙනවා. මේ වෙලාවේ ක්‍රිෂ්ණාව නලවන්න උදව් කරන ලලිතා කියන කාන්තාව අහනවා අද ගෙදරට කව්රු හරි ආවද කියලා. එතකොට යශෝධා වෙච්චි සිද්ධිය කියනවා. මේක අහන ලලිතා කියනවා ඒ සන්‍යාසියාට දරුවා පෙන්නුවම මේක හරියාවි, මන් එයාව එක්කන් එන්නම් කියලා. ඉතින් ලලිතා ගිහිල්ලා ශිව දෙවියන්ව හොයන් ආපහු නන්දගේ ගෙදරට එක්කන් එනවා.

    ශිව දෙවියො ශ්‍රී ක්‍රිෂ්ණාව දකිනවා. ඒ සැරේ එයාට ආශාවක් එනවා ඒ දරුවාව අත් දෙකේ තියන් හුරතල් කරන්න. යශෝධට කියනවා මන් දරුවාට ආශිර්වාද කරන්නම් දරුවාව මට වඩා ගන්න දෙන්න කියලා. යශෝධා දරුවාව ශිව දෙවියන්ට දෙනවා. ශිව දෙවියන්ගෙ අතට ආවම ශ්‍රී ක්‍රිෂ්ණ නැලවෙනවා. යශෝධත් පුදුම වෙලා බලන් ඉන්නවා දරුවා හුරතල් වෙන අපූරුව. මේ වෙලාවෙදි තමයි ශිව දෙවියො ශ්‍රී ක්‍රිෂ්ණගේ පුංචි කකුල් ඉඹලා ‘ගෝපාල සහශ්‍ර නාම ස්ත්‍රොත‘ය කියන්නෙ.
    ශිව දෙවියො තමයි ශ්‍රී කෘෂ්ණගේ ඉහළම බැතිමතා. ඒ වගේම යශෝධා තමා ශ්‍රී කෘෂ්ණාට මව් සෙනහසින් ඉහළ ම කෙනා. ශිව හරිම ආදරයෙන් වගේම සතුටින් දරුවාව හුරතල් කරලා ආපහු යශෝධට ම දෙනවා. දීලා යන්න ලෑස්තිවෙන කොට යශෝධා කියනවා මොනවා හරි පූජා කරන්න ඕනා කියලා. ඒ සැරේ ශිව දෙවියන්ට මතක් වෙනවා පාර්වතීගේ ඉල්ලීම. වෙඬරු. ශිව දෙවියො කියනවා එහෙනම් මට වෙඬරු ටිකක් දෙන්න කියලා. යශෝධත් මුට්ටියක් අරගෙන වෙඬරු පුරවලා ශිව දෙවියන්ට දෙනවා. ශිව දෙවියො මේ මුට්ටියත් අරන් ආපහු කෛලාශයට එන්නෙ හරිම සතුටින්. ඒ එන ගමන් ශ්‍රී ක්‍රිෂ්ණ ගැන හිත හිත එන්නෙ. දන්නෙම නැතුව අර මුට්ටියෙ තියෙන වෙඬරු ටික ඔක්කොම කැවෙනවා.

    ඔන්න ඉතින් ගෙදරට ආපු ශිව දෙවියො පාර්වතීට ශ්‍රී ක්‍රිෂ්ණා ගැන විස්තර කරනවා. ඒවා අහගෙන ඉඳලා සතුටු වෙලා පාර්වතීත් අන්තිමට අහනවා කෝ දැන් මන් කිව්ව වෙඬරු මට ගෙනාවද කියලා. වෙඬරු මතක් වෙන ශිව දෙවියො මුට්ටිය පාර්වතීට දෙනවා. මුට්ටිය බලන පාර්වතී දකින්නේ ඇතුලෙ හිස් කියලා. එතකොට තමයි ශිව දෙවියන්ට මතක් වුනේ මන් ඒ වෙඬරු කෑවනෙ කියලා.

    මේ වෙලාවේ පාර්වතී කියනවා ඔයා මට මුකුත් ප්‍රසාද (දෙවියන්ගෙන් ලැබෙන පූජාව) ගෙනාවෙ නැති නිසා කවුරුවත් ඔයාගේ ප්‍රසාද කන එකකුත් නැහැ කියලා.
    එදයින් එදත් හරි. ශිව දෙවියන් වෙනුවෙන් ප්‍රසාද ලැබෙන්නෙ නැහැ කාටවත්. ඒවා කන්නේ පූජකයො විතරයි. සාමාන්‍ය මිනිස්සුන්ට බැහැ. කොහොමද වැඩේ.
    පාර්වතී ගේන්න කියපු දේ නොගෙනාපු ශිව දෙවියන්ට එහෙම වුනා නම් සාමාන්‍ය අපි වගේ මිනිස්සුන්ට කොහොම වෙයි ද නේද. ශිව දෙවියො කියන්නේ දෙවියන්ගෙත් දෙවියා. ඉතින්.

    දැන් මේ කථාවත් කියවපු එකේ නිකමට හිතලා බලන්න, බිරිඳ ගේන්න කියපු දෙයක් නොගෙනාවොත් මොකද වෙන්නෙ කියලා. එහෙම නැත්නම් ආදරවන්තිය විසින් ගේන්න කියපු දෙයක් නොගෙනාවොත් ආදරවන්තයට මොකද වෙන්නෙ කියලා. එතකොට වෙන දේවල් අධිකරණයේ දී පවා අහන්න ලැබෙනවා සමහර වෙලාවට. ඒකයි මුලින් ම ඒ ගැන ලිව්වෙ.
     

    Attachments

    • young-krishna-on-lord-shivas-lap-ad85_l.jpg
      young-krishna-on-lord-shivas-lap-ad85_l.jpg
      93.8 KB · Views: 45

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,512
    49,896
    113
    සේදවත්ත
    ක්‍රිශ්නා කියන කෑල්ල ආව ගමන් මේ කමෙන්ට් එක ලිව්වේ කියවල වැඩක් නැති නිසා