ලෝකයේ දිගම වධහිංසා නඩුව ශ්‍රී ලංකාවේ ! - ජූනි 20 ට වසර 20 යි! - පොලිස් වධහිංසාවෙන් ලංකාව ලෝක වාර්තාවකුත් තැබීමට යයි!
මේ දින වල ලොව පුරා ප්‍රචලිත පුවත වන්නේ ඇමරිකාවේ සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් කළු ජාතික සාමන්‍ය පුරවැසියකුගේ බෙල්ල මත දණහිස තබා මරණයට පත් කිරීමේ සිදු වීමයි. එම මරණය සිදු කළ ආකාරය ඡායාරූප ගත කර ඇති හෙයින් එය කාටත් දැක ගැනීමට අවස්ථාව උදාවී ඇත. මෙම සිද්ධියත් සමඟ ඇමරිකාව පුරා බලවත් විරෝධතා ඇති වීමත්, එම විරෝධතාවයන්ට අප්‍රිකානු ඇමරිකන් කළු ජාතිකයන් පමනක් නොව සුදු ජාතිකයන්ද එකතු වීම ඉතා ප්‍රබල ලෙස කැපි පෙනුනි. ඒමෙන්ම, මෙම සිද්ධියට විරෝධය පා ඒක්සත් රාජධානිය තුලත් යුරෝපියානු රාජ්‍ය තුලද විශාල පිබිදීමක් නිර්මාණය වී තිබේ.
මේ පිළිබඳව ලංකාවේද යම් මාධ්‍ය විසින්ද උනන්දුවක් දක්වා ඇත. එය ඉතාමත් සුදුසු ක්‍රියාවකි. නමුත් මෙහි කිසියම් දෙබිඩියාවක් ඇත. ශ්‍රී ලංකාව තුළ පොලිස් ස්ථානවලදී පහරදී මරණයට පත් කරන ලද ප්‍රමණය විශාලය. මෙයට අත්අඩංගුවට ගැනීම් වලින් පසු ඝාතනය කර අතුරුදන් කළ අයද එකතු කළහොත් එම ප්‍රමාණය දහස් ගණන් වලින් වැඩි වේ. එහෙත් මෙම ක්‍රියාවලිය පිළිබඳව උනන්දුවක් මාධ්‍යයේවත්, සිවිල් සංවිධාන තුළවත් හා දේශපාලන ව්යාපාරවලවත් දක්නට නොමැත.
ලසන්ත ජගත් කුමාර සිද්ධිය
(ලසන්ත - පොලිස් අත්අඩංගුවටපත්වූ දිනය 2000 ජුනි 12, අධිකරණයට ඉදිරිපත්කළ දිනය 2000 ජුනි 17, බන්ධනාගාරය තුළ මිය ගිය දිනය 2000 ජුනි 20)
මෙම ඛේදනීය තත්ත්වය ඉතා පැහැදිලිව පෙන්නුම් කරන එක නඩුවක් නම්
ලසන්ත ජගත් කුමාර, පයියාගල පොලිසියේදී බරපතල ලෙස පහරදීමෙන් පසු රිමාන්ඩ් බාරයේදී මිය ගිය සිද්ධිය පිළිබඳ කථාවය. එම මරණය සිදු වූයේ 2000 ජූනි 20 වෙනිදාය.
මේ මාසයේ ජූනි 20 වෙනිදා වන විට මෙම සිද්ධියට අවුරුදු 20ක් ගත වේ. එහෙත් එම සිද්ධියට අදාල පොලිස් නිලධාරියාට අදාළව දමා ඇති නඩුව තවමත් දිග් ගැස්සී ඇදී යයි. ඒ පිළිබඳව පවරන ලද සිවිල් නඩුවද ඇදි ඇදී යයි. ඇත්තෙන්ම වධහිංසාව පිළිබදව ලෝකයේම ඇති නඩු අතුරෙන් දීර්ඝ කාලයක් ගත වෙමින් පවතින නඩුව ලෙස මෙය සැලකිය හැකි.
මේ ආකාරයේ විශාල නොතැකීමක් පොලිස් වධහිංසාවෙන් මියන පුද්ගලයන් මෙන්ම ලංකාවේ සැම අංශයකම මෙන්ම ලංකාවේ යුක්තිය පසිඳලීමේ අංශ තුළද පවතින්නේ කෙසේද? මේ ප්‍රශ්නයට උත්තරය සේවීමෙදි අපට හෙළිදරව් වන තවත් අතිශය වේදනාකාරි චින්තන රටාවන් අපට හමුවේ. එනම් මෙම නඩුව මෙපමණ කාලයක් පවා ගෙනයාමටවත් හැකි වී තිබෙන්නේ ඉතා ධෛර්යව සම්පන්නව මිය ගිය ජගත් කුමාර යන අයගේ සහෝදරියක් විසින් ගෙනගොස් ඇති දීර්ඝ අරගලයක් නිසා පමණක් වන බවය. එම අරගලය නොතිබෙන්නට මෙම නඩුවත් අනෙක් නඩු මෙන් කිසිදු ප්‍රතිඵලයකින් තොරව අවසන් වන්නට ඉඩ තිබුණි. ඈ විසින් ගෙනයන ලද මෙම ව්‍යාපාරයට සහයෝගය දක්වන ලද්දේද ඉතා අල්ප මාත්‍ර මානව හිමිකම් ක්‍රියාධර කණ්ඩායම් කිහිපයකින් පමණි. මේ සඳහා විශාලම කාර්භාරයක් ඉටු කරන ලද්දේ ජනසංසදය නම් මානව හිමිකම් ක්‍රියාකාරී කණ්ඩායම යි. එම කටයුත්තට තවත් කණ්ඩායම් කිහිපයක් මගින්ද අනුබල ලැබිණි. එම කණ්ඩායම් අතරින් ජාත්‍යන්තර ලෙස සහයෝගය ලබාදුන්නේ ආසියානු මානව හිමිකම් කොමිසමයි.
වධහිංසාවට භාජනය බොහෝ දෙනා අඩු ආදායම් ලාභීන්
ඇත්තෙන්ම සොයා බැලිය යුතු වන්නේ පොලිස් වධහිංසාව කොපමණ දුරකට ලංකාව තුළ මුල් බැසගෙන තිබෙනවාද?, එය වෙනස් කළ නොහැකි යථාර්ථයක් සේ පවතිනවාද යන්න පිළිබඳ මහජන මතය හාර අවුස්සා බැලීමෙනි. එවැනි මහජන මතයක් රට තුළ කිදා බැස ඇත්තේ ඇයි?
මෙහිදී ඉතා පැහැදිලි වන එක් කරුණක් වන්නේ වධහිංසාවට භාජනය වන සියල්ලක් පාහේම අඩු ආදායම් ලබන පවුල් පසුබිම් ඇති අය බවය. වැඩිම දෙනෙක් විරැකියා හා එවැනි ප්‍රශ්න වලට මුහුණ දී සිටින තරුණ කණ්ඩායම් වලට අයත් වෙති.
පසුගිය අවුරුදු කිහිපය තුළ ලංකාවේ ඉතා ප්‍රබල පුද්ගලයන්ට විරුද්ධව අපරාධ පරීක්ෂණ ගණනාවක් පටන් ගන්නා ලදී. එසේ පටන් ගත් කිසියම් හෝ නඩුවක් අවසානය දක්වා නොයෑම වෙනත් ගැටලුවකි. අපට මෙහිදි වැදගත් වන්නේ එම එක් පුද්ගලයෙක්වත් තමන්ට පොලිසියෙන් වධහිංසාවක් සිදු වූ බවට පැමිණිලි කර නොතිබීමයි. මෙයින් පෙනෙන්නේ ඔවුන්ට එවැනි අවස්ථාවකට මුහුණ දීමට සිදු නොවුණු බවය.
මෙම ප්රබලයන්ට විරුද්ධව ඇති අතිශය බරපතළ චෝදනා සහිත නඩුව් වේ. මහා පරිමාන දූෂණ, බරපතළ මිනීමැරුම් හා වෙනත් ඉතා දරුණු ක්‍රියා පිළිබද ව ඔවුහු පසුගිය කාලය පුරාම චෝදනා ලැබීය. එහෙත් එම කිසිම පරික්ෂණයක් සාර්ථක කර ගැනීම සඳහා වධහිංසාව අවශ්‍ය යැයි පොලිස් පරික්ෂකයන් පවසා නොමැති අතර ඔවුන්ට එවැනි ක්‍රියා වලට එළඹීමේ අවශ්‍යතාවක් නොතිබුණි.
එයින් ඉතාම පැහැදිලි වන්නේ පොලිස් වධහිංසාව අපරාධ පරික්ෂණයක් පවත්වාගෙන යාමට ඇති වන ක්‍රියාදාමයක් යන්න මුළුමනින්ම බොරුවක් බවය. ඉතා සුළු අපරාධයකට පොලිසියෙන් අල්ලා ගන්නා පිරිස් වෙත වධහිංසා දීමත් දරුණු අපරාධයකට සම්බන්ධ අයෙකු අත්අඩංගුවට ගත් පසු අතවර නොකිරීමෙනුත් පෙනි යන්නේ අපරාධ පරීක්ෂණය දී වදහිංසාව නැතුව බැරිය කියන මතවාදය අතිශයින්ම ව්‍යාජ මතවාදයක් වන බවය.
මෙයින් පෙනි යන්නේ අඩු ආදයම් ලබන පුද්ගලයන්ට වධහිංසා පමුණුවන්නේ අපරාධ පරීක්ෂණය හේතුකොටගෙන නොව වෙනත් කරුණු හේතුකර ගෙන බවය. විශේෂයෙන්ම මෙම පහරදීම් වල අරමුණ නම් සාමණ්ය ජනතාව තුළ සිතා ගත නොහැකි භීතියක් නොකඩවා පවත්වාගෙන යාමය. එය අවශ්‍යතාවක් ලෙස දැකීම තුළම ඇත්තේ නීතිය ඉදිරියේ සැවොම සමානාත්මතාවයෙන් යුතුව සැලකීම පිළිබඳ අබමල් රේණුවක තරම්වත් තැකීමක් නොමැතිකමය.
අවුරුදු 20ක් තිස්සේ නිම නොවූ අපරාධ නඩුවක්
මෙම අවුරුදු 20ක් පුරා දිවෙන නඩුව මෙතරම් කාලයක් දි ගැස්සුණේ ඇයි?
එයට හේතුවක් නම් එයට අදාලව සැක කළ පොලිස් නිලධාරියාට අවශ්‍ය සෑම සැප පහසුකමක්ම රජය විසින් සලසා දී ඇති නිසාය. අදාළ පොලිස් නිලධාරියාට රටින් බැහැරව යාමටද ඉඩ සලසා මෙය තවත් දික් ගස්සන ලදී. ඉන් පසු ඔහු මෙම රටට පැමිණිනිමෙන් පසු පොලිස් නිලධාරින් විසින් ඔහුගේ පැමිණීම රහසක් සේ සඟවාගෙන සිටින ලදී. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ලියකියවිලි පිරික්සීමේදි පෙනී ගියේ ඔහු ලංකාවට පැමිණ සිටින බවය. එහෙත්, අධිකරණය මගින් ඔහුට විරුද්ධව තිබුණු කිසිම වරෙන්තුවක් ක්‍රියාත්මක කිරවීමට කිසිම උනන්දුවක් පොලිස්පතිවරයාගේ සිට පොලිස් දෙපාර්තමේන්තුව ඇතුලුව කිසිදු අංශයකට තිබුණේ නැත.
ඇමරිකාවේ කළුජාතිකයන් හට සිදුවන ක්‍රියාදාමයට සමාන ක්‍රියාදාමයක් ලංකාව තුළ ද ක්‍රියාත්මක වන බවද පෙනෙ. ඇමරිකාව තුළ කළු ජාතිකයන්ට සිදු කරන හිංසාවන්ට පොලිසිය ආරක්ෂා කිරීම ඉතා ප්‍රබල සම්ප්‍රදායක්ව පවතියි. එමෙන්ම ලංකාවේ පොලිසිය විසින් සිදු කරන අපරාධ හා මිනීමැරුම් ආරක්ෂා කිරීම ද එවැනිම ක්‍රියාදාමයක් සේ පවති.
මිනීමරුවන් ආරක්ෂා කිරීම හා ඔවුන්ට රැකවරණය ලබා දෙන නීතියක් හා රාජ්‍යයක් විසින් මහජනතාවගේ ආරක්ෂාව සලසන්නේ කෙසේද? මෙවැනි ප්‍රශ්න පැන නැගුණත් ලංකාවේ සිවිල් සංවිධාන පවා එම ප්රශ්නය අසන්නේ නැත. විටින් විට ඇති වන දේශපාලන අරගලවලදී එක් පැත්තක් ගෙන දේශපාලන නඩු කරගෙනයාම සිවිල් සමාජය පුරුද්දක් සේ කරගෙන යන නමුත් මිනිස්සුන්ට පහර දි මරා දමා ඒවා යටපත් කිරිම පිලිබඳව ප්‍රබල හඩක් නැගීමට තරම් මෙම සිවිල් සංවිධානවත්, ප්‍රබලයැයි කියාගන්නා දේශපාලන සංවිධානවත්, එමෙන්ම වෘත්තිය සංවිධාන පවා ඉදිරිපත් වන්නේ නැත. මෙවැනි සංස්කෘතියක් තුළ රටේ ආරක්ෂාව ප්‍රධාන ප්රශ්නය සේ පවතින්නේය යන අදහස කාටවත් එත්තු ගැන්විය හැකිද? මිනිමැරුම්වලින් මිනිසුන් ආරක්ෂාකර ගැනීම වනාහි මානව ආරක්ෂාවේ ප්‍රධාන අංශය වේ. පොලිස් ස්ථාන තුළදීම පහරදී මිනීමැරුම් කරන අවස්ථාවේදීම පවා ඒවා යටපත්කොට දික් ගස්සවා මිනිසුන්ට නඩු එපා කර ඒ මාර්ගයෙන් මිනිමරුවන් සඟවා අපරාධකරුවන් ආරක්ෂා කරන සමාජයක රටේ ආරක්ෂා ප්‍රධානම අරමුණ යැයි කීමට සාධාරණ හා සදාචාරාත්මක අයිතියක් කාටවත් පවතීද?
පොලීසියේ සේවකයෙකු බවට පත් වූ අධිකරණ වෛද්‍යවරයා
මෙම නඩුවේදී මෙම සැකකරුට පහරදීමෙන් පසු ඔහු වෛද්‍යවරයකු වෙත යොමු කරන ලද අතර වෛද්‍යවරයාද ඔහු ගැන කිසිම පරිකෂණයක් නොපවත්වා ඔහුට කිසිම තුවාලයක් නැති බවට වාර්ථාවක් නිකුත් කරන ලදී. එහෙත් එසේ වාර්තාවක් නිකුත් කර රිමාන්ඩ් බාරයට යවන පුද්ගලයා රිමාන්ඩ් බාරයේදී මිය ගියේය. මෙම වෛද්‍යවරයා අන්ධයෙක්ද? නැත. ඔහු අන්ධයකු නොවේ. ඔහු පවතින ක්‍රමයට හිස නමා පොලිසියේ සේවකයකු බවට පත් වූ නිලධාරියෙකි. වහල්භාවයේ මානසික තත්වයක් නියෝජනය කරන වෛද්‍යවරයෙකි. මොහුට වෛද්‍ය සභාව මගින්ම දඩුවම් පමුණවා කාලයකට වෘත්තිය කරගෙන යාම අත් හිටවන ලදී. එය ඉතා සුදුසු ක්‍රියාවකි. එය එසේ වූවත් වහල් භාවය මානසිකත්වයක් වී ඇති රටක එම වහල්භාවය ප්‍රබල ආයුධයක් සේ පවතින්නේ පොලිස් වධහිංසාවය. මේ නිසා ලංකාවෙ අධිකරණ ක්‍රියාවලිය තුළ යම් සාධාරණ තීන්දු නිකුත් වූවත් වධහිංසාව සම්බන්ධව තීන්දු නිකුත් වන්නේ ඉතාමත් අල්ප මාත්‍රයෙන් වන අතර. එයද සිදුවන්නේ දීර්ඝ කාලයකින් පසුවය. එවැනි දිර්ඝ කාලයක් දර ගත හැකි වන්නේ ඉතාමත් සුළු පිරිසකටයි.
ලංකාව අතිශයින් ගැඹුරු නෛතික ව්‍යසනයකට මුහුණ දී ඇති රටකි. එම ව්‍යසනය ප්රබලව ප්‍රකාශයට පත් කරන්නේ මිනිසුන් මැරීමට හෝ ඔවුන් වධහිංසාවට පත් කිරීමට පොලිසියට හා වෙනත් ආයතන වෙත ලබාදී ඇති සහනදායී ප්‍රතිපත්තිය නිසාය.
මේ නිසා හුදෙක් නීතිමය අංශයෙන් පමණක් තේරුම් ගැනීමටවත් එයට පිළියම් යෙදීමටවත් බැරිය. මෙම ගැටලුව පිලිබඳව බැරෑරුම් අධ්‍යයනයක් කිරීමට දැන් කාලය එලඹ ඇත. සැම විශ්ව විද්‍යාලයක් පසාම මනෝ විද්‍යාව, සමාජ විද්‍යාව හා දේශපාලන විද්‍යාව හා ඊට අනුබද්ධ සමාජ විෂයන් සම්බන්ධව හැදැරීම් හා ගවේෂණ සිදු කරයි. එහෙත් වධහිංසාව පිළිබඳව සමාජ මූලයන් තුළ ගැඹුරු අධ්‍යනයන් මේ වනවිටවත් පවතින්නේ නැත.
අවුරුදු 20ක් පුරා මෙලෙස නඩුවක් ඇදගෙන යාම පිළිබද අධිකරණ ක්‍රමය මෙන්ම රජයත් අන් සියල්ලන් ලැජ්ඡා විය යුතුය. මෙවැනි ලැජ්ජාකාරි තත්වයක් පවත්වාගෙන යන අතර, රටේ අභිමානය ගැන කතා කිරීම වංචනිකය. එමෙන්ම, නඩු විසදීම පමා කිරීම පිළිබද සාකච්ඡාව ලංකාවේ ස්ථාවරත්වය සදහා අත්‍යවශ්‍ය කාරණයකි.
- ආසියානු මානව හිමිකම් කොමිසම - හොංකොං | රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය - කොළඹ
උපුටා ගැනීම
https://www.lankanewsweb.net/sinhala/128-human-rights/63570-ලෝකයේ-දිගම-වධහිංසා-නඩුව-ශ්‍රී-ලංකාවේ-----ජූනි-20-ට-වසර-20-යි----පොලිස්-වධහිංසාවෙන්-ලංකාව-ලෝක-වාර්තාව