~::කුරුස යුද්ධ (Crusades)::~

Nisala88

Well-known member
  • Oct 24, 2006
    4,856
    733
    113
    ~Madhouse~
    ~::කුරුස යුද්ධ (Crusades)::~

    කුරුස යුද්ධ (Crusades)

    crusades.jpg


    මට මේ thread එක දාන්න හිතුනෙ daredevill ගේ කුරුස†යුද්ධය (The Crusade)කියන thread එක දැකල, ඒක හින්ද මුලින්ම ඒ සහෝදරයට සතූති කරන්න ඕනේ ඒ වගේ වැදගත් thread එකක් දැමීම පිලිබඳව.

    කුරුස යුද්ධ යනුවෙන් අදහස කරන්නේ යුරෝපීය ක්‍රිස්තු භක්තිකයන් විසින් එකොළොස්වන සියවස අවසානයේ සිට දහතුන් වන සියවස පමණ දක්වා ඔවුන්ගේ ශුද්ධ භූමි මුස්ලිම් ආධිපත්‍යයෙන් මුදවා ගැනීම සඳහා කරන ලද සටන් මාලාවකි. යේසුතුමාගේ උපන් ස්ථානය හා සම්බන්ධ බැවින් ශුද්ධ භූමි ලෙස සැලකූ මෙම ප්‍රදේශ හත් වන සියවසේ දී පමණ අරාබි ජාතිකයන් අතට පත් වී තිබූ නමුත් ක්‍රිස්තු භක්තිකයන්ට ඒවා වන්දනා කිරීම සඳහා යෑමට අවසර තිබුණි. එකොළොස් වන සියවසේ දී පමණ සෙල්ජුක් තුර්කීන්, අබ්බසිඩ් කාලිෆ්වරයා පරාජය කර එම ප්‍රදේශ අල්ලාගෙන සුලු ආසියාව දෙසට සිය බලය ව්‍යාප්ත කිරීමට පටන් ගැනීමත් සමඟ පැවති තත්වය වෙනස්විය. ඔවුහු ක්‍රි. ව. 1071 දී නැගෙනහිර බෛසන්තියම් රෝම අධිරාජයා වූ රෝමනාස් පරාජය කර එම අධිරාජයාට අයත්ව පැවති අතිශය සරුසාර ප්‍රදේශයක් වූ ඇනටෝලියාව ජයගත් අතර ඊළඟ පියවර කොන්ස්තන්තිනෝපලය ආක්‍රමණය කිරීම බව පෙනෙන්නට තිබුණි.



    පළමු වන කුරුස යුද්ධයට හේතු:

    අලුතින් ඉස්ලාම් ධර්මය වැළඳගත් ජන කොටසක් වූ සෙල්ජුක් තුර්කීහු ඔවුන් යටතේ පැවති ප්‍රදේශ වලට වන්දනා ගමන් ගිය ක්‍රිස්තු භක්තිකයන් කෙරෙහි විරුද්ධවාදී ආකල්පයක් දැරූහ. වන්දනාවේ ගිය ක්‍රිස්තු භක්තිකයන්ට හිංසා පීඩා කිරීම සහ ඇතැම් විට මරා දැමීම පිලිබඳ කථා නිරතුරුව අසන්නට ලැබීමත්, තම අධිරාජ්ය්යේ අගනුවරට තර්ජන එල්ල වී තිබීමත් නිසා බෛසන්තියම් අධිරාජ ඇලෙක්සිස් කොම්නෙනස්දෙවන අර්බන් පාප්තුමා ගෙන් අධාර ඉල්ලා සිටීමට සිදුවිය. ක්‍රිස්තු භක්තික වන්දනා කරුවන්ට මුහුණ දීමට සිදු වූ බව කියන ඉතා දුක්ඛිත සිද්ධි පිළිබඳ කථාන්තර ඇසීමෙන් පාප්තුමා මහත් කලබලයට පත් විය. එහෙයින් ශුද්ධ භූමි ආරක්ෂා කර ගැනීම සඳහා තුර්කිවරුන්ට එරෙහිව ක්‍රිස්තු යුරෝපය සටන් කළ යුතු බවට ඔහු කාහල නාද නැංවීය. මුස්ලිම්වරුන්ට එරෙහිව සටනට පැමිණෙන ලෙස පාප්තුමා කළ කැඳවීමට ප්‍රතිචාර වශයෙන් පල්ලියේ නිලදාරීන් සහ ප්‍රභූවරුන් රැසක් ප්‍රංශයේ ක්ලෙමොන්ට් නැමති ස්ථානයට රැස් වූ අතර එහි දී පාප්තුමා සටනට ආධාර දුන්නේය. ඔවුන්ට සවන් දුන් වැඩි දෙනා කුරුසයක් ද පැළඳ සටනට සූදානම් වු බැවින් එම සටන් කුරුස යුද්ධ ලෙස හැඳින්වේ. කුරුස යුද්ධවලට සහභාගී වන අයගේ පාපකර්ම වලට සමාව දීමටත්, ඔවුන්ගේ දේපළ ආරක්ෂා කර දීමටත්, පාප්තුමා පොරොන්දු වූ අතර ඔවුන් යුද්ධයේදී මිය ගියහොත් සදාකලික ස්වර්ගයට යන බව ද ප්‍රකාශ කර තිබුණි. ආගම වෙනුවෙන් සටන් කිරීමට සුදුසු මෙන්ම නුසුදුසු අයටද සටනට සම්බන්ධ වීමට එමඟින් අවස්ථාව සැලසුණි. ප්‍රභූවරු, වෙළෙන්දෝ, නයිට්වරු සමඟ මන්ද බුද්ධිකයෝ පමණක් නොව මං පහරන්නෝ ද තම තමන්ගේ ආත්මාර්ථකාමී අපේක්ෂා ඉටු කර ගැනීමේ අරමුණු ඇතිව සටනට සම්බන්ධ වූහ.
     
    Last edited:

    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,856
    733
    113
    ~Madhouse~
    පළමු වන කුරුස යුද්ධය (ක්‍රි. ව. 1096 - 1099)

    firstcrusade.jpg


    පාප්තුමගේ කැඳවීමට ප්‍රතිචාර වශයෙන් ගැහැනුන්, පිරිමින් සහ ලමයින්ගෙන් සමන්විත 10,000ක පමණ පිරිසක් පූජකවරයකු වූ හර්මිට් හි පීටර් සහ නයිට්වරයකු වූ වෝල්ටර් පෙනිලාස් යන දෙදෙනාගේ නායකත්වය යටතේ ජෙරුසලම දෙසට ගමන් කළහ. මනාව ආයුධ සන්නද්ධ නොවීම සහ අහාර පාන හිඟවීම යන කරුණු නිසා කිව නොහැකි තරම් දුෂ්කරතාවලට මුහුණ දීමට ඔවුන්ට සිදුවිය. ඔවුන් අතරින් බොහෝ දෙනා අතර මග දී මිය ගිය අතර ඉතිරි අය තුර්කිවරුන් අතින් මැරුම් කෑහ. කෙසේ වුවද භටයන් 30,000කින් පමණ සමන්විත යුද්ධ හමුදාවක් බලවත් ප්‍රභූන්ගේ නායකත්වය යටතේ ගොඩබිම සහ මුහුදු මාර්ග ඔස්සේ ශුද්ධ භූමි දෙසට ඇදී ගියහ. කොන්ස්තන්තිනෝපලයට එක් රැස් වූ ඔවුහු ප්‍රතිසංවිධානය වී සමුද්‍ර සන්ධිය හරහා ගොස් තුර්කිවරුන්ට පහර දුන්හ. දරුණු සටනකින් පසුව ක්‍රි. ව. 1099 දී ජෙරුසලම ජය ගැනීමට ඔවුහු සමත් වූහ. අනතුරුව ඔවුහු ජෙරිස් බොයිලන් යටතේ ජෙරුසලමේ වැඩවසම් ලතින් රාජ්‍යයක් ගොඩ නැඟූහ. තුර්කිවරුන්ගෙන් එම රාජ්‍යය ආරක්ෂා කර ගැනීම සඳහා යුද්ධමය මුහුණුවරක් ගත් ආගමික සංවිධාන කීපයක් පිහිට වූ අතර ක්‍රි. ව. 1187 තෙක් එය තමා සතුව තබා ගැනීමට ක්‍රිස්තු භක්තිකයයෝ සමත් වූහ.




    දෙවන කුරුස යුද්ධය (ක්‍රි. ව. 1147 - 49)

    secondlouisviiatvezelay.jpg

    ක්‍රිස්තු භක්තිකයන් ඔවු නොවුන් අතර සටන් කිරීමට පටන් ගත් බැවින් ඔවුන් අතර පැවති අසමගිය තුර්කිවරුන්ටද පැහැදිලි විය. එයින් ප්‍රයෝජන ගත් තුර්කිවරු ක්‍රි. ව. 1144 දී ක්‍රිස්තු භක්තිකයන්ගේ අතිශය වැදගත් මධ්‍යස්ථානයක් වූ එඩෙස්සා අල්ලා ගත්හ. ක්‍රිස්තු භක්තිකයෝ එයින් තැති ගැනීමට පත් වූහ. තුන්වන එවුජින් පාප්තුමා විසින් දෙවන කුරුස යුද්ධයකට ඔවුන් කැඳවන ලදි. ශුද්ධ රෝම අධිරාජයා වූ තුන් වන කොනරෝඩ්, ප්‍රංශයේ හත් වන ලුවී යන අය එම දෙවන කුරුස යුද්ධයේ නායකත්වය දැරූහ. එහෙත් එඩෙස්සා අපසු ලබා ගැනීමට ඔවුහු අසමත් වූහ. එම සටනට ජර්මනියෙන් සහ ප්‍රංශයෙන් සහභාගී ක්‍රිස්තු භක්තිකයන් ඔවුනොවුන් අතර සටන් වැදුණු බැවින් ඔවුන්ගේ අපේක්ෂිත අරමුණ ඉටු කර ගත් නොහැකි විය. තුර්කිවරු සෙමින් සෙමින් ඉදිරියට ගමන් කළ අතර ක්‍රිස්තු භක්තිකයන්ගේ මධ්‍යස්ථාන එකින් එක ඔවුන් අතට පත් විය. ශ්‍රේෂ්ඨ තුර්කි අධිරාජ‍යකු වූ සැලඩින් ක්‍රි. ව. 1187 දී ජෙරුසලම ද යළි දිනා ගැනීමට සමත් විය. ඔහු මැද පෙරදිග සහ බටහිර ආසියාවේ සිටි සියලුම මුස්ලිම්වරුන් එක්සත් කළ් ඊජීප්තුවේ සිටි බුද්ධිමත් අධිරාජයකු විය.
     
    Last edited:

    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,856
    733
    113
    ~Madhouse~
    තුන්වන කුරුස යුද්ධය (ක්‍රි. ව. 1189 - 1191)

    thirdcrusade.jpg


    ජෙරුස්ලම අහිමි වීම බටහිර ක්‍රිස්තු රාජ්‍යයට වැදුණු අතිශය ප්‍රබල පහරක් විය. එමඟින් තෙවන කුරුස යුද්ධය ආරම්භ විය. යුරෝපයේ සිටි ප්‍රබල රජවරු කීපදෙනෙකු මෙන්ම ඔවුන්ගේ පොදු සතුරා වූ තුර්කි අධිරජ සැලඩින් ද සටන් වැදුණු බැවින් තුන්වන කුරුස ‍යුද්ධය ඉතා වැදගත් කොට සලකනු ලැබේ. එංගලන්තයේ පළමු වන රිචඩ්, ප්‍රංශයේ පිලිප් ඔගස්ටස් යන රජවරු ද ජර්මනියේ ශුද්ධ රෝම අධිරාජයා වූ ප්‍රෙඩ්‍රික් බාබරෝසා ද සටනට සහභාගී වූ නමුත් ඔවුහු එකිනෙකා නොරිස්සූහ. ප්‍රෙඩ්‍රික් බාබරෝසා සුලු ආසියාවේ ගඟක් තරණය කිරීමේ දී එහි වැටී මිය ගියේය. ප්‍රංශයේ පිලිප් ඔගස්ටස් රජු එංගලන්තයේ රිචඩ් රජු සමඟ දබර වී සිය හමුදාව ද රැගෙන ආපසු ගියේය. එහෙයින් මුස්ලිම්වරුන්ට එරෙහිව සටන් කිරීම සඳහා ඉති වූයේ එංගලන්තයේ රිචඩ් රජු සහ ඔහුගේ පිරිස පමණි. මුහුදු බඩ ප්‍රදේශ කිහිපයක් දිනා ගැනීමට ඔවුහු සමත් වූ නමුත් සැලඩින් අධිරාජයා ඉතා දක්ෂ ලෙස රැකවල් කොට තිබූ ජෙරුසලම අල්ලා ගැනීමට ඔවුහු අපොහොසත් වූහ. රිචඩ් රජු ගේ ශ්‍රේෂ්ඨ ගතිගුණ වලින් පැහැදුණ සැලඩින් අධිරාජයා ඔහු සමඟ ගිවිසුමකට එළඹීමට කැමති වූ අතර එමගින් ශුද්ධ භූමි වන්දනා කිරීම සඳහා ක්‍රිස්තු භක්තිකයන්ට අවසර දීමට එකඟ විය.



    සිවු වන කුරුස යුද්ධය (ක්‍රි. ව 1202 - 04)​

    user47587551163201571.jpg


    ශුද්ධ භූමි මුස්ලිම් ආධිපත්‍යයෙන් බේරා ගැනීම සඳහා තවත් කුරුස යුද්ධයකට සහභාගී වන ලෙස තුන්වන ඉනසන්ට් පාප්තුමා ක්‍රි. ව. 1202 දී ආයාචනයක් කළේය. අවාසනාවකට මෙන් කුරුස යුද්ධයේ දී ක්‍රිස්තු භක්තිකයන් මුස්ලිම්වරුන්ට විරුද්ධව නොව ඔවුනොවුන් අතරම සටන් වැදුණු බැවින් මෙය ක්‍රිස්තු භක්තිකයන්ට අති මහත් අපකීර්තියක් ගෙන දුන් සටනක් විය. වෙනීසියේ ඩෝජ්වරයා වූ එන්රිකෝ ඩැන්ඩොලෝ නැමැත්තාගේ පෙළෙඹවීම් වලට සහ ඔවුනගේ දුෂ්ට සැලසුම් වලට ගොදුරු වූ ඔවුහු වෙනීසියේ වෙළඳ සතුරන් වූ සාරා සහ කොන්ස්තන්තිනෝපලය යන මධ්‍යස්ථාන කොල්ල කෑවෝය. එහෙයින් ඔවුන් තමන් වෙත පැවරී තිබූ කර්ය ඉටු කිරීමට අපොහොසත් වූවා පමණක් නොව මුළු ක්‍රිස්තු ලෝකයට ම අපකීර්තියක් ගෙන දීමට ද මේ යුද්ධය හේතු විය.
     

    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,856
    733
    113
    ~Madhouse~
    පස් වන කුරුස යුද්ධය (ක්‍රි. ව. 1213 - 1221)

    eugenedelacroixfifthcru.jpg

    පස් වන කුරුස යුද්ධයේ මූලිකම අරමුණ වූයේ කලින් තිබූ යුද්ධ වලදී ලබා ගැනීමට නොහැකි වූ ජෙරුසලම යළි ලබා ගැනීම සහ සටන් වලදී අහිමි වූ ශුද්ධ භූමි යළි ලබා ගැනීමය. මේ සඳහා මුලින්ම ඉතා බලවත් නගරයක් වූ ඊජීප්තුවේ අයූබීද් නගරය අත්පත් කර ගැනීමට ඔවුහු සමත් වූහ.
    තුන්වන ඉනසන්ට් පාප්තුමා සහ ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ තුන්වන හොනෝරියස් පාප්තුමා පස්වන කුරුස යුද්ධය සඳහා සේනාව කැඳවන ලදි. එයට ප්‍රතිචාර වශයෙන් හන්ගේරියාවේ දෙවන ඇන්ඩෲ රජු සහ ඔස්ට්‍රියාවේ හයවන ලියෝපෝල්ඩ් ඩියුක්වරයා ජෙරුසලම ආක්‍රමණය කිරීමට උත්සාහ කළ ද එය ව්‍යයර්ථ විය. පසුව ක්‍රි. ව. 1218 දී ජර්මන් ජාතික කොලෝන් හි ඔලිවර් සහ නෙදර්ලන්තයේ පළමු වන විලියම් කවුන්ට්වරයා, ෆ්රීසියන්, නෙදර්ලන්ත,ජර්මන් සහ ෆ්ලෙමිෂ් වරුන්ගෙන් සමන්විත හමුදාවක් ඊජීප්තුවේ ඩැමියේටා නගරය ආක්‍රමණය කිරීම සඳහා ගියහ. ඔවුන් ඇනටෝලියාවේ දී තමාගේ හමුදාවන් බේරා ගැනීමට අයූබීද්වරුන් සමඟ සටන් කරමින් සිටි රූම් හි සෙල්ජුක් සුල්තාන්වරයා සමඟ එක් වූහ.
    ඩැමියේටා වරාය අල්ලාගත් පසුව, ක්‍රි. ව. 1221 දී ඔව්හු කයිරෝ දෙසට ගමන් ඇරඹූහ. එහෙත් ඔවුන්ගේ සම්පත් ක්ෂය වීමට පටන් ගත් හෙයින් ඔවුන්ට පසු බැසීමට සිදුවිය. ඊජීප්තු සුල්තාන් අල් කමිල් රාත්‍රී කාලයේ සිදු කළ දරුණු පහර දීමක් නිසා ඔවුනට ඔවුන්ගේ හමුදාව අහිමි වුවා පමණක් නොව අවසානයේ දී සුල්තාන්වරයාට යටත් වීමට ද සිදුවිය.



    කුරුස යුද්ධ වල යහපත් හා අයහපත් ප්‍රතිඵල:

    බෛසන්තියම් අධිරජ්‍යයේ වැදගත්කම මෙන්ම බලය ද ක්‍රමයෙන් පිරිහීම ආරම්භ වූ අතර ක්‍රි. ව. 1453 දී අහි අගනුවර වූ කොන්ස්තන්තිනෝපලය තුර්කිවරුන්ට යටත් විය

    කුරුස යුද්ධ වලට සහභාගී වූ යුරෝපා රටවලට වඩා දියුණු ශිෂ්ටාචාරයක් පැවති පෙරදිග රටවල් සමඟ සම්බන්ධ වීමට යුරෝපා ජාතිකයන්ට අවස්ථාව ලැබුණු අතර එමඟින් ඔවුහු අලුත් අදහස් හා සැලසුම් යුරෝපයට ගෙන ගියහ.

    කුරුස යුද්ධ වලට සහභාගී වූ යුරෝපා ජාතිකයෝ පෙරදිග නිෂ්පාදිත භාණ්ඩ යුරෝපයට ගෙන ගිය අතර ඔවුහු එවා යුරෝපයේ ප්‍රචාරය කළහ.

    කුරුස යුද්ධවල වැද්ගත්ම ප්‍රතිඵලය වූයේ වැඩවසම් ක්‍රමයේ පරිහනිය යි. මේ නිසා ජාතික රාජ්‍ය වර්ධනය වූ අතර ප්‍රභූන් ගේ ඉඩම් වල අඩවහල් තත්වයෙන් සිටි ප්‍රවේණිදාසයන් නිදහස් වී නගර වලට සංක්‍රමණය වීමට පටන් ගත්හ.

    පාප් තනතුරේ ප්‍රගතියක් මෙන්ම පරිහානියක් ද කුරුස යුද්ධ නිසා සිදුවිය. පෙරදිග සංස්කෘතියේ බලපෑම යටතේ ඇතැම් අය පාප්තුමා වැරදි නොකරන බවට තිබූ පිළිගැනීම ප්‍රශ්න කරන්නට වූහ.



    මේ අනුව බලන විට යුරෝපයේ මධ්‍යකලීන ජීවන රටාව වෙනස් කිරීම ඉක්මන් කරවීමට කුරුස යුද්ධ බෙහෙවින් බලපා ඇත.
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,585
    662
    113
    Los Ratmalanos.
    කතාවක් තියනවා එක යුද්ධයකදි රිචඩ් රජු යුද්ධ කරනවා බලන්න සැලඩින් ඇතක ඉදන් හැoගිලා හිටියා කියලා. රිචඩ් යුද්ධ කරන හැටි දැකල සැලඩින් පැහැදුනාලු. සැලඩින් යවපු එක ලියුමක තියනවාලු

    "ජෙරුසලම ක්‍රිස්තු හක්තිකයන් වෙනුවෙන්
    යටත් කරගන්නා කෙනෙක් වේ නම්, යටත් කර ගත යුත්තේ රිචඩ් රජුම විසින් ය. වෙන කිසිවකු යටත් කරගන්නවා දකින්නට තමන් කැමති නැත" කියලා.
     

    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,856
    733
    113
    ~Madhouse~
    Ela thread eka machan!!! Rep+

    Ela ela REp++

    ela ela thanx 4 info

    thnx 4 info

    ela maxxa thread 1ka ... namak nethi unath thamath ma waliya yanwa !!! eya perada 1ka iyya kenak ta dunna gema :eek:

    කතාවක් තියනවා එක යුද්ධයකදි රිචඩ් රජු යුද්ධ කරනවා බලන්න සැලඩින් ඇතක ඉදන් හැoගිලා හිටියා කියලා. රිචඩ් යුද්ධ කරන හැටි දැකල සැලඩින් පැහැදුනාලු. සැලඩින් යවපු එක ලියුමක තියනවාලු

    "ජෙරුසලම ක්‍රිස්තු හක්තිකයන් වෙනුවෙන්
    යටත් කරගන්නා කෙනෙක් වේ නම්, යටත් කර ගත යුත්තේ රිචඩ් රජුම විසින් ය. වෙන කිසිවකු යටත් කරගන්නවා දකින්නට තමන් කැමති නැත" කියලා.

    වටිනා විස්තරයක් යාලුවා :yes:
    බොහෝම ස්තූතියි
    :)
    +


    Comments වලට ගොඩක් ස්තූතියි!!!
    :yes::yes::):):cool::cool: