කෙහෙළියට යළි සෞඛ්‍ය අමාත්‍යාංශය පවරා දෙනු! - කඩේ ගිය සහ යන එකෙක්ගේ අදෝනාවක්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ගරු ජනාධිපති Anura Kumara Dissanayake මහතා වෙත, ජනාධිපති මාධ්‍ය අංශය බාරේ
    (දෛනික සමාජ මාධ්‍ය වාර්තාවට හෙවත් Daily Social Media Briefing හි ඇතුළත් කරනු පිණිස)
    පිටපත්: හිටපු මැ.කො. Mahinda Deshapriya, මාධ්‍යවේදී Bharatha Prabhâshana Thennakoon, මාධ්‍යවේදී Uvindu Kurukulasuriya සහ PMD හි නව මාධ්‍ය අංශ ප්‍රධානි Sisira Senpathi Kahawaththa වෙත.
    ගරු ජනපතිතුමනි,
    යහපාලන සමයේ සිදු වූ එක ම හොඳ දෙය වශයෙන් සැලකිය හැක්කේ 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පණත හෙවත් කෙටියෙන් RTI පණත ය. එම පණත වෙනුවෙන් පෙනී සිටි සිවිල් සමාජ ක්‍රියාකාරීන් වන අපට, ඊට සහය දුන් මෙන් ම බාල්දි පෙරළු අය ගැන ද හොඳ මතකයක් ඇත. අපට තිබෙන ඒ මතකය, අද ජනපති ව සිටින ඔබට අමතක වීම ගැන අපේ බලවත් කණගාටුව පළ කරමින්, ඔබට අමතක, අපට හොඳට මතක අතීතයෙන් කොටසක් මෙසේ ගෙනහැර දක්වන්නෙමු.
    නිමල් බෝපගේ නමින් පෙනී සිටින බෝපගේ නිමලවීර යනු යහපාලන ආණ්ඩු සමයේ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ය. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා සමග ඇතිකරගත් ගැටුමක් හේතුවෙන්, තොරතුරු පනතට අදාළව කමිටුවක් පත් කිරීමට ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් ඒ සඳහා වෙන් විය යුතු ප්‍රතිපාදන නවතා දැමීමටත් කටයුතු කළ අයෙකුට තොරතුරු කොමිසම බාරදීම සුදුසු වන්නේ මොන ලෝකයේ මොන දේශපාලන න්‍යායට අනුව දැයි අප දන්නේ නැත. කෙසේ වෙතත් ගරු ජනපතිතුමනි, ඔබ මේවා නොදන්නවා විය නොහැකි ය. එසේ ම, ඒ කාලයේ බාල්දිය ඇද්දත්, දැන් හොඳ ළමයකු ව ඉන්නවා ඇතැයි ඔබතුමන් සිතා සිටිනවා ද විය හැකි ය. අප ඒ කාලයේ ම ඒ ගැන සවිස්තර ව ලියා ඇති හෙයින් දැන් ඒවා යළි යළි නොලියමි.
    මේ සටහන ලියැවෙන්නේ වෙනත් ඊට වඩා බරපතළ කරුණක් වෙනුවෙනි.
    මේ කියන බෝපගේ වනාහි, කෝප් කමිටුවෙන් මූල්‍ය වංචා චෝදනා ලබා, එම චෝදනාවන්ට විමර්ශනයක් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට නිර්දේශ කරන ලද නමුත්, රාජපක්ෂලාගේ අනුහසින් එම විමර්ශනවලින් කට්ටි පනිමින් සිටින්නකු බව පළමුවෙන් ම ඔබතුමාට සිහිපත් කරමි. පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ව සිටියදී රුපියල් කෝටි අධික මූල්‍ය වංචාවක් සම්බන්ධ ව දූෂණ විරෝධී පෙරමුණ විසින් පැමිණිලි කරන ලදුව, කෝප් කමිටුවේ අවධානයට ලක් වූ අයෙකි, බෝපගේ. මේ චෝදනා එල්ල වන්නේ 2010-2012 අතර කාලය අතරතුර (එනම් මහින්දගේ දෙවැනි රාජාණ්ඩුව තුළ), මානව සම්පත් සංවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා ජාතික සභාවේ (NHRDC) සභාපතිවරයා ව සිටියදී සිදු වූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවන්ට අදාළ ව ය. මේ පිළිබඳ ව 2014 නොවැම්බර් මසදී කෝප් කමිටුව විසින් නීතිපතිවරයාගෙන් කරුණු විමසන ලද අතර, එවකට නීතිපති යුවංජන විජයතිලක විසින් 2015 අගෝස්තුවේදී නිර්දේශ කරන ලද්දේ මේ ගැන පොලිසියට පැමිණිලි කළ යුතු බවයි. ඒ අනුව 2016 මාර්තු මාසයේදී මේ අක්‍රමිකතා ගැන නාරාහේන්පිට පොලිසියට පැමිණිලි කරන ලදුව, එය වැල්ලවත්ත පොලිසියේ මූල්‍ය වංචා විමර්ශන ඒකකයට යොමු කරන ලදි. ඉන් එහාට මේ පැමිණිලි ගැන සිදු වූ දෙයක් නැත.
    ගරු ජනපතිතුමනි, කෝප් කමිටුවෙන් නීතිපති උපදෙස් ඉල්ලා සිටි චෝදනාවලින් බරපතළ ම කීපයක් මෙසේ සිහි කැඳවමි.
    ⚠️
    අනුරාධපුර දිස්ත්‍රික්කයේ රැකියා විරහිත තරුණ තරුණියන් 2012 පළමු කාර්තුවට පෙර පෞද්ගලික අංශයේ රැකියාවන්ට අනුයුක්ත කරන අරමුණින් දියත් කළ "‘විරැකියාවෙන් සුරැකියාවට" වැඩසටහන සඳහා (පාලක මණ්ඩල අනුමතියකින් තොර ව) බාහිර උපදේශකවරයකු ද සම්බන්ධ කරගනිමින්, ඇස්තමේන්තු කළ මුදල රු. ලක්ෂ 07ක් ව තිබියදී සත්‍ය වශයෙන්ම රු. මිලියන 2.3කට ආසන්න මුදලක් වැය කිරීම, අපේක්ෂිත දිනයෙන් පසුව (2012 මාර්තු 31න් පසුව) එම බාහිර උපදේශකයා හට ම තවත් රු. ලක්ෂ 2.8ක් ගෙවා දැමීම සහ මේ සියලු මුදල් වැය කර අවසානයේ ව්‍යාපෘතියේ කිසිදු ප්‍රතිඵලයක් සිදු වී නොතිබීම.
    ⚠️
    පුරුද්දක් ලෙස විවිධ ව්‍යාපෘති පටන්ගැනීම සහ අතහැර දැමීම - උදා: 2011 සැප්තැම්බර් සිට 2012 සැප්තැම්බර් දක්වා ප්‍රකාශයට පත් කළ "මානව සම්පත් සංවර්ධන වසරට" අදාළ ව "නිපුණතා සඳ" නමින් දියත් කරන ලද ආධුනික රූපවාහිනී ගායනා තරගය වෙනුවෙන් රු. මිලියන 3කට අධික මුදලක් වියදම් කර, ඉන් පසු එම ව්‍යාපෘතිය අතහැර දැමීම. ශ්‍රී ලංකාවේ රැකියා විරහිතයින්ගේ දත්ත ගබඩාවක් (database) එකක් නිර්මාණය කිරීම සඳහා ප්‍රසම්පාදන පටිපාටියෙන් බැහැර ව මහජන මුදල් වියදම් කිරීම (සැ.යු. ජනපතිතුමනි, දැන් කෝ ඒ ඩේටාබේස් එක?) මානව සම්පත් සංවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා ජාතික සභාව නමින් පොතක් මුද්‍රණය කරන මැයෙන් මහජන මුදල් වියදම් කිරීම සහ ඒ ව්‍යාපෘතියට සිදු වූ දෙයක් නැති වීම (සැ.යු. ජනපතිතුමනි, කෝ දැන් ඒ පොත?)
    ⚠️
    මානව සම්පත් සංවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා ජාතික සභාවේ මූලික අරමුණ වූ "මානව සම්පත් සංවර්ධනය කිරීමට" වෙන් කළ මුළු මුදල වූ රු. මිලියන 30න් රු. මිලියන 19ක් වැය කර තිබීම සහ ඒ මිලියන 19න් 10ක් ම "ප්‍රචාරණ කටයුතු" යන මැයෙන් වියදම් කර තිබීම, සහ එම මුදලින් රු. මිලියන 05ක් ම, තමන්ගේ ම පෞද්ගලික ලිපිනයේ ලියාපදිංචි කරන ලද පෞද්ගලික ආයතනයකට ලබා දීම (සැ.යු. ගරු ජනපතිතුමනි, මේවා නොතේරෙන්න ඔබ බබෙක් නොවේ.)
    (මෙහිදී රූපවාහිනී සංස්ථාව, භූවිද්‍යා-පතල් කාර්යාංශය සහ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය ගැන ද ලිවිය හැකි නමුදු, ඒ ගැන දැනට කිසිවක් නොකියන්නේ හේතුවක් ඇති ව ය.)
    අවසාන වශයෙන්, ගරු ජනපතිතුමනි,
    රුපියල් කෝටි 10කට අධික මුදලක් පිළිබඳ ව කෝප් කමිටුව සහ නීතිපති දෙපාර්ශවය විසින් ම ඉල්ලා සිටින ලද විමර්ශනයක් මගහැර සිටින්නකුට තොරතුරු දැනගැනීමේ කොමිසමේ සභාපතිත්වය ලබා දීම, මාලිමාවෙන් පොරොන්දු වූ "හොරකම, දූෂණය, වංචාව නැති සමාජයක්" සමග ගැළපෙන්නේ කෙසේ ද, Clean Srilanka කරන්නේ මෙවැන්නවුන් සමග දැයි අසන අතරේ ම,
    මේ සටහනෙන් පසුවත් ඔබතුමා මේ පුද්ගලයාට තොරතුරු දැනගැනීමේ කොමිසම බාරදෙනවා නම්, ඒ හා සමග ම, සාරුව සුනිල් ලියනගේට කාන්තා කටයුතු අමාත්‍යාංශයත්, කෙහෙළියට යළි සෞඛ්‍ය අමාත්‍යාංශයත්, අර්ජුන් මහේන්ද්‍රන්ට මහබැංකුවත් බාර දීම සුදුසු බව සිහිපත් කරමි.
    ස්තුතියි.
    මීට,
    විශ්වාසී,
    චමීර දෙද්දුවගේ
    (සමාජ ක්‍රියාකාරී)
     
    • Haha
    Reactions: Asmodeus