කේන්තියට වැට බැඳිමු ද?

hpalpola

Well-known member
  • කේන්තියට වැට බඳිමු ද?

    බුදුරජාණන්වහන්සේ වේළුවනාරාමයේ වැඩ වාසය කරන වෙලාවක, අක්කෝසක භාරද්වාජ කියන බමුණා උන්වහන්සේ ඉස්සරහට ඇවිල්ලා බණින්න පටන් ගත්තා. මේකට ප්‍රධාන හේතුව වුනේ තවත් භාරද්වාජ කියලා බමුණෙක් ඊට කලින් බුද්ධ ශාසනේ මහණ වීම. බමුණා බැනලා ඉවර වෙනකන් බුදුරජෙණන්වහන්සේ නිහඬව ඉඳියා. බැනලා ඉවර වුනාම උන්වහන්සෙත් බමුණාත් අතර මෙහෙම සංවාදයක් ඇති වුනා.

    බමුණා, ඔහේගෙ ගෙදරට අමුත්තො එන්නෙ නැද්ද?
    අපෝ එනවා.
    ඒ අමුත්තො ආවම ඔවුන්ට කන්න පුළුවන් රස දේවල් දෙනවද?
    එහෙමයි. මම ඔවුන්ට කන්න පුළුවන් රස දේවල් දෙනවා.
    හරි. දැන් ඒ අමුත්තෝ ඒ කෑම පිළිනොගත්තොත් මොකද කරන්නෙ?
    පිළිගත්තෙ නැත්නම් ඉතින් අපිට ම තමයි.

    බමුණා මෙහෙම උත්තර දුන්නට පස්සෙ බුදුරජාණන්වහන්සේ බමුණාට කියනවා,

    බමුණා. ඔබ නොබනින මට බැන්න ද? තරහක් නොගන්න මා ගැන තරහක් ගත්ත ද ඒ බැනුම්, තරහ මන් බාර ගන්නෙ නෑ. ඒවා බාර ගන්නවා කියන්නෙ හරියට මම තමුන් එක්ක එකට කෑම කනවා වගේ වැඩක්. මන් තමුන් එක්ක එකට කන්නෙ නෑ. ඒ නිසා ඒ කරපු බැණුම් තරහා ආදිය තමුන්ටමයි.

    මේ කතාව අහපු බමුණා වෙනස් වුනා. පස්සෙ මේ බමුණාත් බුද්ධ ශාසනයේ මහණ වෙලා රහතන්වහන්සේ නමක් බවට පත්වුනා.

    හිතන්න, ඔබගේ ජීවිතයේදී ඔබට අක්කෝසක භාරද්වාජලා කී දෙනෙක් මුණ ගැහිලා ඇත් ද? එක්කෙනෙක් දෙන්නෙක් නැත්නම් ඊට වැඩියෙන්. බොහෝවිට එක්කෙනෙක් නම් අනිවාර්යෙන් මුණ ගැහිලා ඇති. අපේ කිසි වරදක් නැතිව අපිට කේන්තියෙන් දොස් කියන මිනිස්සු කොයිතරම් ඉන්නවාද? ඒ වගේ කෙනෙක් හමු වුනාම ඔබ හැසිරෙන්නෙ නැත්නම් හැසිරුනේ කොහොම ද කියලා හිතලා බලන්න. සමහරු වරදක් තිබිලා වුනත් නැතත් තමුන් එක්ක කවුරුහරි තරහ ගන්නවනන් ඒ කෙනා එක්කත් තරහ ගන්නවා. ‘මට බැන්නොත් මම බනිනවා, මට ගැහුවොත් මම ගහනවා’ කියලා ජීවත් වෙන මිනිස්සු අපි අතරෙ ඉන්නවා. විශේෂයෙන්ම මෙහෙම ජීවත් වෙන බෞද්ධයොයි කියා ගත්ත අය ඉන්නවා.

    තව අපේ අතරෙ ඉන්නවා, මන් කියන්නෙ බෞද්ධයො අතරෙ ඉන්නවා අහවලාට අහවලා බැන්න නිසා මම අහවලා එක්ක තරහයි, නැත්නම් එයා අපේ අම්මට බැන්නා මන් ඒ නිසා එයා එක්ක තරහයි, ඔයාට මගේ යාළුවට බණින්න තියෙන අයිතිය මොකක් ද, අන්න අපේ අහවලාට ගහලා එහෙම වෙන්න දෙන්න බෑ අපිත් ගිහින් ගහපු එකාට ගහමු කියලා අනුන් නිසා තරහ ගන්න මේ අක්කෝසක භාරද්වාජ වගේම අය. ඉස්කෝලවල සෑහෙන්න ඉන්නවා හේතුව නොදැන රණ්ඩු වලට පැටලෙන අය. සමහර පවුල් වලත් ඉන්නවා එහෙම අය. ඒ අය මිනිස්සු එක්ක තරහ වෙන්නෙ ඒ අයට කරපු දේවල් වලට නෙමෙයි, ඒ අය දන්න කෙනෙක්ට අර කෙනා කරපු දේවලට නැත්නම් කෙරුවා කියලා අහන්න ලැබෙන දේවලට. හරියට කුලියට තරහ ගන්නවා වගේ. දැන්නම් එහෙම අය අඩුයි. බුදුරජාණන්වහන්සේ ඒ ජීවන ක්‍රමය අනුමත කරන්නෙත් නැහැ.

    මේ කලින් කිව්ව කතාව සඳහන් වෙන්නෙ අක්කෝසක සූත්‍රයෙ. බුද්ධ දේශනාව තමයි තරහ ගන්නෙ නැතුව ජීවත් වන එක. මෙතනදි බමුණාට බුදුරජාණන්වහන්සේ කියන්නේ ඔබ තරහ අරන් බනිද්දි මමත් තරහ අරන් බැන්නනම් ඒක හරියට සහයෝගයෙන් බෙදාගෙන කනවා වගේ කියලා. ඒ කියන්නෙ එකම වගේ කියලා. ඒ කියලා බුදුරජාණන්වහන්සේ කියනවා මන් එහෙම කෙනෙක් නෙමෙයි කියලා. කෙනෙක් තරහෙන් අපිට බනිද්දි, අපිත් තරහ අරන් ඒ කෙනාට බනින එක බුදුරජාණන්වහන්සේ අනුමත කරන්නෙ නෑ කියන එකනෙ සරලව මේ කියන්නෙ. ඔබ බුදුරජාණන්වහන්සේ දේශනා කළ ධර්මය පිළිපදිනවා නම් ඔබටත් සිද්ධ වෙනවා ඉතින් අකමැත්තෙන් වුනත් මේ විදියට ජීවිතය හදා ගන්න. පාරේ යන බල්ලෙක් අපිව කෑවා කියලා අපි ආපිට බල්ලව කන්න යන්නෙ නෑ නෙ. ඒ කියන්නෙ කෙනෙක් බැන්න කියලා ඒ කෙනා එක්ක තරහ නොගන්න, කෙනෙක් ගැහුවා කියලා ඒ කෙනා එක්ක තරහ නොගන්න සරලවම කිව්වොත් කෙනෙක් අපිට මොනව කළත් නොකළත් ඒ මත රැඳිලා තරහ නොගන්න තත්ත්වයට පත් වෙන්න අපිට සිද්ධ වෙනවා. මම නම් කැමැත්තෙන් ඒ පාර තෝර ගත්තා. මන් ඒකට ආශයි. මුලදි මේක ටිකක් අමාරුයි, මොකද නුහුරු දෙයක්නෙ. සාමාන්‍ය දේට වඩා සම්පූර්ණයෙන්ම කණපිට දෙයක්. ඒකට හිත හදා ගන්න විදියත් ඉස්සරහදි කියා දෙනවා. වැටි වැටි හරි දණ ගාගෙන හරි මන් ඒ පාරෙ යනවා. මොකද මන් දන්නවා ඒ පාරේ යන කෙනෙක් කවදාවත් අතරමං නොවන වග. දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමගනෙ. ඒ පාර සතුටින් පිරුණ පාරක් නිසා ඒ ගැන විස්තර ඔයාලත් එක්ක බෙදා ගන්නයි මේ උත්සාහය කරන්නෙ. රැඳිලා ඉන්න අපිත් එක්ක, වෙනස් කර ගන්න ජීවිතය.

    හැමෝටම තෙරුවන් සරණයි.
     
    Last edited: