

කොටියෙක් ගැනයි මේ කතාන්දරය. ව්‍යග්‍ර පවුලේ නෙවේ , LTTE කොටියෙක්. කතන්දරේ මට අහන්න ලැබුණේ වියපත් ඉංග්‍රීසි ගුරුතුමියක්. උන්දැ ළමයින්ට උගන්නල තියනවා අඩසියවසකටත් වඩා. අදටත් උන්දැ සැහැල්ලුවෙන් ඉන්නවා, මිනිහකුට තියා පොලවටවත් දැනෙන්නේ නැතිවෙන්න. ලංකාවේ තරුණයෝ දෙපිළ බෙදී, ගහමරාගත්ත අඳුරු යුගයේදී, පාසල් , විශ්වවිද්‍යාල හෙම හුගක් වැහුනනේ. එත් ඇය හිතේ හයියට, ස්වාමිපුරුෂගෙන් පවා බැනුම් අහමින් ( එතකොට තරුණයි ඔන්න) , පාසලේ උගන්නුවාලු.උන්දැ මේ කතාව කිව්වේ.
ලංකාවේ සෞම්‍ය , සීතල පරිසරයක් තියන කඳුරට නුවරක තමා මේ පවුල හිටියේ . දෙමල. තාත්තයි අම්මයි , පුත්තු දෙන්නයි. ඒ පවුල බොහොම සුතුටින් , ආදරෙන් හිටිය. තාත්තාත් සෑහෙන ආදායමක් ලැබෙන රක්සාවක් කළේ. පුතාල දෙන්නත් ඉගෙනීමට දක්ෂයි.
ජර්මනිය කිව්වම මතක් වෙන්නේ මොනවද ? හිට්ලර් . නාසීන්. ඒ වගේම ජර්මන්නු දක්ෂ ගණන් කාරයෝ. යාන්ත්‍රික ශිල්පීන්. හෝමියෝපති වෙදකමත් එහෙනේ.එහේ තියනවා ලෝකෙම පිළිගත්තු , සරසවි ගොඩක්.
අපේ මේ තාත්තට ඕනි උණා ලොකු පුත්‍රයාව ජර්මනියට පිටත් කරලා , එහේ උගන්වන්න. ඒක හොඳ තීරණයක් මගේ හිතේ. ආදායමෙන් ලොකු පංගුවක් වෙන් කරන්න වෙනවා තමයි. ඉතින් ළමයින්ට මිසක් වන කාටද මේවා ? ඔන්න ඉතින් කාගෙ කාගේත් අසිරි මැද , පුතා පිටත් වුණා ඉගෙනීම සම්පුර්ණ කරන්න.
මේ විදියට වැඩ කටයුතු වුණා. පුතා ඒ ඉසව්වේ හොදින් ඉගෙනගන්නවා. මාස් පතා තාත්තා මුදල් යවනවා.
ඒ දවස්වල ඉතින් කොම්පියුටර , ෆෝන් වලින් ලේසි පාසුවට සල්ලි යවන්න බැහැ. තත්තා අත්පිට මුදල් , බැංකුවට ගෙනුහින් තමා පුතාට ලැබෙන්න දැම්මේ. හැම මාසෙම මේ විදියට ලොකු ගාණක් , පඩියෙන් බර පංගුවක් ගෙනිහින් දානවා.
මේ වග කවුරුත් ඉතින් දැනගෙන හිටියා.
තක්කඩිකම් , හොරකම් අතින් ගෙන්දගම් පොලවට වඩා සෑහෙන්න හොද උනත්, මේ නගරයේත් හිටියා හොරු , කාලකන්නි . එහෙව් එකෙක් ඇහැගහගෙන හිටිය , තාත්තා ගෙනියන මේ සල්ලි ගැන. දවසක් දා තාත්තා ඔය සල්ලිත් අරන් බැංකුවට යද්දී, ජනාකීර්ණ ස්ථානයකදී සල්ලි මල්ල උදුරගන්න මේ හොරා , පැන ගොහින් අතුරුදන් වෙනවා.
කෑ ගහල , කට්ටිය එක්කාසු කරගෙන එතන පීරලා හෙව්වත් හොයාගන්න බැරි උනා , හොරාව. පොලිසියේ උදව් ඇතුවත් ඒක කරගන්න බැරි උණා.
තාත්තගේ ආදායමෙන් වැඩි පංගුව වෙන් කළේ පුතාටනේ. ඒ හැරෙන්න ලොකු ව්‍යාපාර තිබුණ , මහා ධන කුවේරයෙක් නෙවේ උන්නැහේ . ඉතින් මේ වෙලාවේ තාත්තා හොදටම අසරණ උණා.
උන්දැ බොහොම හිතේ අමාරුවෙන් ගෙදර ගොහින්, පුටුවේ වැටිලා අතපය කඩා දාපු එකකු වගේ හූල්ල හූල්ල හිටියා. උන්නැහේගේ එක අසල්වැසියෙක් තමා අපේ ගුරුතුමී. අසල්වාසිනුත් එච්චර වත් පොහොසත් නොවුනාට, කොහොම කොහොම හරි එකතු කරලා දීලා පුතාට යවන්න කියලා. ඒකට ටික දොහක් ගිහින්. දුප්පත් මිනිස්සුනේ.
හැබැයි මේ උපකාරය ලැබෙද්දී , මොනවද දන්නවද වෙලා තිබුණේ ?
ලොකු පුතා තනිවම ගෙදර ඇවිත්.
එත් ඒ ඇවිත් තිබුණේ මිනී පෙට්ටියකින්. මිහිපිට තියෙන සෞභාග්‍යමත් නගරයක ඉඳගෙනත්, මුදල් නැති නිසා දවස් ගාණක් හාමතේ ඉඳලා අන්තිමට මැරිලා. සරීරෙ කොච්චර කෘශ වෙලා , වෙනස් වෙලාද කීවොත් , අම්මා අප්පටවත් ඇඳින ගන්න බැරි උනාලු.
එහෙම වෙන්න ඇහැකිද ?
මට හිතෙන්නේ ඕක ජර්මන්නුන්ගේ ලේ වල තියෙන පවුකාරකමක්. දෙවැනි ලෝක යුද්දෙදි ඔස්ට්‍රියාවේ ඔස්විෂ් සිරකඳවුර කරපු විදිය ගැන එකේ හිටපු හිරකාරයෙක් ලියපු පොතක තියනවා , නාසි දොස්තර කෙනෙක් පරීක්ෂණ සඳහා හිරකාරයින්ව බඩගින්නේ තියපු හැටි. එහෙම තියලා ජීව සලකුණු ( vital signs ) වියැකී යනකොට සීනි කැටයක් දෙනවලු. සිනි කැටේ ඉක්මනින් පරිවෘතීයට ලක්වෙනකොට , හිරකාරයා සිහි විකල් වෙනවලු.
ඉතින් නැවත සමුර්ධිමත් රටක් උනත් උන්ගේ දුෂ්ටකම් එහෙමම තියෙන්න ඇති .
ලොකු එකා මෙහෙම ආවයින් පස්සේ මොකද උනේ. ඒ අම්මයි තාත්තයි දරු දුකෙන්ම ලෙඩ වෙලා මැරිලා ගියාලු. පොඩි එකා අතුරුදහන් වෙලා. ඌ කොටින්ට එකතු වුනයි කියලා කට්ටිය දැනගත්තේ 2000 සටන් විරාම කාලේදී. අපේ ගුරුතුමීව මුණගැහෙන්න ඇවිත් මාව මතකද කියලා අහල කතාකරලා ගිහින්.
හොදයි. කතාන්දරය ඉවරයි. ඒක කතාවේ නමට කොහෙත්ම සම්බන්ධ නැහැ නේද ? ඒ උනත් ප්‍රශ්නයක් තියනවා අහන්ඩ. තර්කය , බුද්ධිය නැතිව හැගීම් වලින් උත්තර දෙන්න. ඔබ ඒ පවුලේ පොඩි එකා උනානම් මොකද කරන්නේ ?