කොන්දේ කැක්කුම හැදුනෙ නැති කෙනෙක් සොයා ගැනීම අපහසුයි. ඒ තරමට කොන්දෙ අමාරු අප අතර බහුලයි. බොහෝ අය එදිනෙදා වැඩකටුයුතු වලින් බැහැර වී ලෙඩ නිවාඩු ගැනීමට හේතුවන ප්‍රධානතම රෝගය නම් කොන්දෙ කැක්කුමයි.
කොන්දෙ කැක්කුම ඔය තරම් බහුලව දක්නට ලැබෙන්නේ ඇයි?
අපි පරිණාමය වුණේ කකුල් හතරෙන් ඇවිදින සතුන්ගෙන් නේ. කකුල් හතරෙන් ඇවිදින කොට කොඳු ඇට පෙළට වැඩි අපහසුවක් නැහැ. එයට දරන්නට වෙන බර සමබරව ගාත්‍රා හරහා බෙදී යනවා. එහෙත් ප්‍රශ්නය ඇති වුණේ මිනිසා කකුල් දෙකෙන් සිටගත් විටයි. හිස, අත් පා, උරස පමණක් නොව උදරයේ බරත් තනිකර කොඳු ඇට පෙළටම දරන්නට සිදු වුණා. ඒ නිසාම කොඳු ඇට පෙළේ නොයෙකුත් ආබාධ ඇති වෙන්නට පටන් ගත්තා. මිනිසා ඉඳගෙන ඉන්න විටත්, නිසි ඉරියව්වෙන් නොසිටීම නිසාත් කොන්දෙ කැක්කුම ඇති වුණා. මීට අමතරව බරක් ඔසවන විට කොන්ද නොනමා, කකුල් දෙක පමණක් නවා නොඉස්සීමේ හේතුවෙන් ද කොන්දේ කැක්කුම හටගන්නවා.
කොඳු ඇට පෙළ ගැන යමක් කිව්වොත්...?
කශේරුකා නමින් හඳුන්වන දළ වශයෙන් සිලින්ඩරාකාර වූ ඇට කැබලි 33 ක් එක මත එක පිහිටීමෙන් සැදුණ නම්‍යශීලී අවයවයකි. කොඳු ඇට පෙළ, ගෙලෙහි කොඳු ඇට 7ක් ද, උරහිසෙහි 12 ක් ද, කටී ප්‍රදේශයේ 5ක් ද වන අතර ශ්‍රේණි ප්‍රදේශයේ කොඳු ඇට 5ක් එකිනෙක හාවී ත්‍රිකාස්ථියද, අවසානයේ වලිගයේ අස්ථි කැබලි 4ක් (හෝ 5ක්) එකතුවීමෙන් අනුත්‍රිකාස්තිය නම් වලිගයේ අවශිෂ්ඨ වූ අවයවයද වශයෙන් කොඳු ඇට පෙළ සකස් වී තිබෙනවා.
කොඳු ඇට පෙළේ කශේරුකා (කොඳු ඇට) අතර, අන්තර් කශේරුකා කාටිලේජ් හෙවත් Vertibral Disc නම් කාටිලේජයෙන් තැනුණු පෙති වැනි අවයවයන් ද දක්නට ලැබෙනවා. එමඟින් කොඳු ඇටවල නම්‍යශීලී බව ඇති කරවයි. ගෙලෙහි කශේරුකා හිස ඉහළට පහළට හා දෙපැත්තට හැරවිය හැකි අයුරින් ඉතාමත් නම්‍යශීලී අයුරින් සැකසී ඇති අතර උරයේ හා කටී ප්‍රදේශයේ කශේරුකාවලට එතරම් නැමිය නොහැක. කටී ප්‍රදේශයේ කශේරුකාවලට බර දැරිය හැකි අයුරින් විශාලව හා ශක්තිමත්ව පිහිටා ඇත. කොඳු ඇට පේළියේ මැද පිහිටි නාලය දිගේ සුසුම්නාව නම් ස්නායු රජ්ජුවක් ගමන් කරයි. එය මොළයේ සිට ශරීරයේ විවිධ ඉන්ද්‍රියයන් සහ ගාත්‍රා කරා ගමන් කරන ස්නායුවලින් සමන්විත වන අතර කොඳු ඇට දෙකක් අතර ඇති ඉඩකින් ස්නායු එළියට විත් ඉන්ද්‍රියයන් කරා ගමන් කරයි. මීට අමතරව සිරුරට අවශ්‍ය රුධිරයෙන් කොටසක් නිපදවීමද කොඳු ඇටවල පිහිටි ඇට මිදුළුවලට පැවරෙන තවත් කාර්යයකි.
කොඳු ඇට පෙළේ වේදනාව හට ගැනීමට හේතුවන රෝගාබාධ මොනවාද?
පිට කොන්ද ප්‍රදේශයේ ඇති ඕනෑම පටකයක (උදා - කශේරුකාවන්, අන්තර් කශේරුක කාටිලේජය, අස්ථි බන්ධනි, පේශීන්, ස්නායු, අස්ථි) හට ගන්නා කැඩීමක් බිඳීමක් හෝ ආසාදනයක් නිසා එතැන වේදනාවක් හට ගත හැක. මීට අමතරව ඉන් පැන නැගෙන ස්නායු වලට යම් ආබාධයක් ඇති වුවහොත් වේදනාව හට ගන්නේ ආබාධය ඇති තැන නොව ස්නායු සැපයුම අවසන් වන ස්ථානයේදීය. සයටිකා (Scatuca) නමැති රෝගී තත්ත්වය ඊට එක් උදාහරණයකි. කකුලේ සංවේදිතාවය සපයන සයටිකා නම් ස්නායුව (Sciatic nerve) කොඳු ඇට පෙළේ පහත කොටසේදී තෙරපුණ විට දැනෙන වේදනාව කකුල් පිටුපස කොටසේ විලුඹ දක්වා දුවයි. මෙහිදී රෝගය ඇත්තේ කොඳු ඇට පෙළෙහි වුවත් වේදනාව ඇත්තේ කකුලේ සහ විලුඹේය. මෙවන් වේදනාවක් ඉංගී‍්‍රසියෙන් හඳුන්වන්නේ (referred Pain) යොමු වේදනා ලෙසය. තවත් සමහර විට කොඳු ඇට පෙළේ වේදනාවට හේතුව සිරුරේ වෙනත් ස්ථානයක (උදා - ආමාශයේ තුවාල, පිත්තාශයේ ආසාදන සහ ගල්, වකුගඩුවල ආසාදන සහ ගල්, මුත්‍රා මාර්ගයේ ආසාදන සහ ගල්, ගර්භාෂයේ රෝග) හටගන්නා රෝගයකි. තවත් සමහර විට කොන්දේ වේදනාවට හේතුව පිළිකාවක් හෝ ලියුකේමියා වැනි රුධිරගත රෝගයක් වීමදට ද පුළුවන.
මේ අනුව බලන කල සමහර කොන්ද කැක්කුම් වලට නියම හේතුව සොයා ගැනීමට වෛද්‍යවරුන්ට පවා අපහසු දෙයකි. කෙසේ වෙතත් කොඳු ඇට පෙළේ කැක්කුම් වලින් 85%කට හේතුව කශේරුකාවල කැඩුමක්, බිඳුමක් හෝ ආසාදනයකි. 10%කට හේතුව අන්තර් කශේරුක කාටිලේජ පෙත්ත ස්නායු රජ්ජුව දෙසට ලිස්සායාමය. එය ඉංගී‍්‍රසියෙන් හඳුන්වන්නේ Sip disc හෙවත් PID (Prolpsed Intevertebral Disc) යනුවෙනි. මෙම තත්ත්වය බොහෝ විට හටගන්නේ වැරදි ක්‍රමයට බර ඉසිලීම නිසාය. කෙසේ වෙතත් තවත් සතුටුදායක ආරංචියක් කිව යුතුමය. එනම් කොන්දේ කැක්කුම් වලින් 90%ක්ම විශේෂිත ප්‍රතිකාරයක් නොකළත් මසක් ඇතුළත විවේකය ගැනීමෙන් පමණක් ඉබේටම සුව වෙන බවය.
එක්සේරේ පින්තූරයක් ගත් විට ඔය කොන්දේ කැක්කුම ඇති වීමට හේතුව ලෙහෙසියෙන්ම සොයාගන්න පුළුවන් ඇති නේද?
මොන පිස්සුද? ඒක වැරදි මතයක්. සාමාන්‍ය එක්ස් - රේ එකක් මඟින් සොයාගන්න පුළුවන් වන්නේ කොඳු ඇටයක කැඩුමක් හෝ බිඳුමක් සිදු වී එහි හැඩය වෙනස් වී ඇත්තම් හෝ ඇටයේ කැල්සියම් තැන්පත් වී ඇති ආකාරයත් පමණි. කොඳු ඇට පෙළට සම්බන්ධ මෘදු පටකවල හෝ පේශීවල හටගන්නා ආබාධ හෝ ස්නායු ගත ආබාධ කිසිවක් එමඟින් දැක බලාගත නොහැකියි. ස්නායු රජ්ජුව තුළ යම් ආබාධයක් සිදු වී ඇත්දැයි බලාගැනීමට අවශ්‍ය නම් එය තුළට එක්ස් - රේ පටලයට පෙනෙන ඩයි වර්ගයක් ද විද (නිර්වින්දන තත්ත්වය යටතේ ඔ පචර ගැනීමෙන් රෝග විනිශ්චය කළ හැකිය. කෙසේ වෙතත් ඔ පචර මඟින් දැක බලාගත හැකි කොන්දේ ආබාධ ප්‍රමාණය නම් ඔබ හිතනවාට වඩා ඉතාමත් සිමාසහිතයි.
මට කලක් තිස්සේ පවතින කොන්දේ අමාරුවක් තියෙනවා. ප්‍රතිකාර ගත්තම අඩුවෙනව. ආයෙමත් ටික දවසකින් මතුවෙනවා. හේතුව කුමක් වෙන්න පුළුවන් ද?
බොහෝ කොන්දේ කැක්කුම් කල් පවතින ඒවා තමයි. පේශීවලට ඇතිවන ආබාධ ඉක්මණින් සුව වුණත් අස්ථි බන්ධනි හා ආසාදනයට ලක් වූ හන්දිවලට සැපයෙන රුධිර සැපයුම අඩු නිසා ඒවා සුව වීමේ සීඝ්‍රතාවයත් අඩුයි. කෙසේ වෙතත් කල් පවතින කොන්දෙ කැක්කුම් තාවකාලිකව අඩු කිරීමට ඖෂධ ඇතත් ඊට අමතරව බර අඩු කරගැනීම, ව්‍යායාම ගැනීම හා නිසි ඉරියව්වට කොන්ද කෙළින් තබාගෙන වාඩි වී සහ ඝන ලෑල්ලක් මත දැමු මෙට්ටයක නිදා ගැනීම වැනි දේ කිරීමත්, බර ඔසවන විට කොන්ද කෙළින් තබාගෙන දණහිස් නවා ඒවා එසවීමත් කළ යුතුයි.
මගෙ කොන්දෙ කැක්කුම ආවේ එක පාරටම, ඊට කළින් කිසි අමාරුවක් තිබුණේ නැහැ. එයට හේතුව කුමක් විය හැකිද?
එකවර හටගන්නා අධික කොන්දේ කැක්කුමට හේතු කිහිපයක් තියෙන්න පුළුවනි. බරක් වැරදි විදිහට ඔසවන විට කොන්ද ඇද වී යාම නිසා ඇති වූ අනතුරක් බොහෝ විට වෙන්න ඉඩ තිබෙනවා. මෙය පේශියකට, අස්ථියකට හෝ අස්ථි බන්ධනියකට එහෙමත් නැත්තම් ස්නායුවකට වූ අනතුරක් විය හැකියි. එසේත් නැත්තම් Osteoporosis නොහොත් අස්ථිවල කැල්සියම් නැත්පත් වීම අඩු වී යාම නිසා දුර්වල වී තිබූ අස්ථියක් හෝ පිළිකාවක් නිසා දුර්වල වූ අස්ථියක් සුළු තෙරපමුකින් වුවත් එකවර බිඳී ගොස් අධික වේදනාවක් ඇති විය හැකියි.
රෝග ඉතිහාසය නිවැරදිව අවබෝධ කරගෙන පරීක්ෂා කිරීමෙන් රෝග විනිශ්චයකට ඒම අපහසු වෙන්නෙ නැහැ.
කොන්දෙ කැක්කුමක් හට ගත් විට වෛද්‍යවරයකු හමුවීමට යා යුත්තේ මොන අවස්ථාවන් හිදී ද?
කොන්දෙ හටගත් වේදනාව පේශීන් නිසා හටගත් එකක් නම් දින 3කින් පමණ පහවී යනවා. වේදනාව දින 3කට වඩා පවතින්නේ නම් විශේෂයෙන් ම කොන්දේ නැමීම, හැරවීම සමඟ වේදනාව හට ගන්නේ නම් ඒ ස්නායුවකට සිදු වූ ආබාධයක් නිසා හටගත් එකක් විය හැක.
ඔබ කහින විට හෝ කිවිසුම් යන විට කොන්දේ වේදනාව වැඩි වන්නේ නම් අන්තර් කශේරුක කාටිලේජයක් සුසුම්නාව දෙසට නෙරා යාම නිසා ඇති වූ (Prolapsed Disc) තත්ත්වයක් විය හැකියි. අතේ හෝ කකුලේ හිරී වැටුණු ගතියක් කොන්දෙ කැක්කුම සමඟ දැනෙන්නේ නම් එය ද ඉහත කී තත්ත්වය නිසා ඇති විය හැකියි. එවිට ද වෛද්‍යවරයා හමු වී ප්‍රතිකාර ලබා ගැනීමයි නුවණට හුරු.
කොන්දෙ වේදනාව සමඟ ඔබගේ මුත්‍රා කිරීම සහ මළපහ කිරීම ද පාලනය කරගත නොහැකි තත්ත්වයක් ඇතිවන්නේ නම් එය ඔබගේ සුසුම්නාවට අනතුරක් සිදුවෙමින් පවතින බව පවසන රෝග ලක්ෂණයකි. ඉන් සුවය ලැබීමට නම් හදිසි සැත්කමක් කරගන්නට සිදුවන්නට පුළුවන. මෙය ද බොහෝ විට කොඳු ඇට පෙළේ පහළ කොටසේ අන්තර් කශේරුක කාටිලේජ පෙත්තක් පිටුපසට නෙරා යාම නිසා ඇති වූ සුසුම්නාවේ තෙරපුමක් හේතුකොට ගෙන ඇති වූවා විය හැකිය.
මුත්‍රා මාර්ගයේ ආසාදන සහ වකුගඩුවල රෝගාබාධ නිසාත් කොන්දේ කැක්කුම ඇති විය හැක. මෙහිදී මුත්‍රා දැවිල්ලක් මුත්‍රා සමඟ ලේ යාම සහ ඇඟ සීතල කොට උණ ගැනීමද කොන්දේ වේදනාවට අමතරව ඇති විය හැක. උදරය මත අත තැබු විට හද ගැස්මේ රිද්මයට ගැස්සෙන ගෙඩියක් වැනි දෙයක් දැනෙන්නේ නම් එය හෘදයේ සිට රුධිරය සිරුර පුරා ගෙන යන සංස්ථානික මහා ධමනියේ හටගත් පිම්බීමක් (Aoric Aneurism) විය හැක. මෙවැන්නන් ද හැකි ඉක්මණින් සැත්කමකට භාජනය නොකළහොත් හදිසියේම එය පුපුරා සිරුර තුළ ලේ වහනය වී මියයාමට පුළුවන.
කාන්තාවන්ට, පිරිමින්ට වඩා කොන්දෙ අමාරු හැදෙනවා යැයි කියන්නේ ඇත්තද?
ඔව්. ඒක ඇත්ත. ඔවුන්ගේ ගර්භාෂය හා ඩිම්බකෝෂ ආශි‍්‍රත රෝග නිසාත්, (ගර්භාෂයේ විරුද්ධ අතට හැරී තිබීම Retroverted Uterus සහ ගර්භාෂයේ පහත්වීම වැනි විශේෂයෙන්ම ආර්තවය ආශි‍්‍රතවත්, එන්ඩොමෙට්‍රිඕසිස්, Endometriosis නම් රෝගය නිසාත්) ගර්භණී කාලයේදීත් කොන්දේ අමාරුව කාන්තාවන්ට වැඩිපුර ඇති වන්නට පුළුවනි. ආර්තවහරණයට පසුව කාන්තාවන්ගේ ඇටවල කැල්සියම් ඝනත්වය අඩුවීම නිසාත් (Osteoporoisis) කොන්දෙ අමාරු ඇති වේ. රූමටොයිඩ් ආතරයිටිස් නමැති හන්දිපත් අසාදනයත් බහුලව දක්නට ලැබෙන්නේ කාන්තාවන්ටයි. ඒ නිසයි කාන්තාවන් අතර කොන්දෙ අමාරු වැඩිපුර දක්නට ලැබෙන්නේ.
මගේ දුවගේ වයස අවුරුදු 16යි. ඇය අඩි උස සපත්තු පැළදීමට හරි කැමතියි. කලක් තිස්සේ අඩි උඩ සපත්තු දැමීමෙන් ඇයගේ පිටකොන්දේ කැක්කුම ඇතිවේවිද?
ඔව්. එහෙම වෙන්න පුළුවනි. අඩි උස සපත්තු පැළඳීම නිසා ඇඟෙහි සමතුලිතාවය බිඳ වැටී බර දැරීමේ අක්ෂය (Weight Bearing Axis) වෙනස් වී ඇඟ ඉදිරියට ඇදී යාමේ හේතුවෙන් කටී ප්‍රදේශයේ වේදනාවත්, දණ හිස් අමාරුවෙන් හැදෙන්නට පුළුවනි.
මානසික හේතුන් නිසාත් කොන්දෙ කැක්කුම ඇති විය හැකිද?
ඔව්. මානසික අවපීඩනය සැදුණු බොහෝ රෝගීන්ට කොන්දෙ කැක්කුම සහ ඇඟපත වේදනාව ඇති විය හැක. ඇමාරිකාවේ කළ පර්යේෂණයකට අනුව පෙනී ගියේ මානසික අවපීඩනයෙන් පෙළෙන රෝගීන්ගෙන් 50% ක් පමණ මුලින්ම ප්‍රකාශ කළේ ඔවුන් ඇඟපතේ සහ කොන්දේ වේදනාවෙන් පෙළෙන බවයි. අධික මානසික පිඩාව (Stress and Strains) සහ කාන්සාව (Anxiety) නිසාද කොන්දෙ කැක්කුම ඇති විය හැකියි.
මාවනැල්ල ගමගේ රෝහල
ජ්‍රජා සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍ය
ආරියසේන යූ. ගමගේ
@Dinamina
