කොරෝනා වෛරසයට සාර්ථක එන්නත් කිහිපයක්ම සොයා ගැනීමත් සමඟ ඒවා පොදු ජනතාවට එන්නත් කිරීම අමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, කැනඩාව ආදී රටවල් කිහිපයක් මේ වනවිට ආරම්භ කර ඇති අතර, යුරෝපා සංගමයේ එන්නත්කරණයද ලබන 27 වැනිදා ආරම්භ වීමට නියමිතයි.
මේ වනවිට අමෙරිකානු හා ජර්මානු ඒකාබද්ධ නිපැයුමක් වූ ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත, අමෙරිකානු මොඩර්නා එන්නත, ඔක්ස්ෆර්ඩ් සරසවියේ ඇස්ට්‍රා සෙනෙකා ඇතුළු එන්නත් කිහිපයක්ම ඒ සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.
කෙසේ නමුත්, ඒවායේ මිල ගණන් මෙතෙක් අදාළ සමාගම් විසින් හෙලිදරව් කර තිබුණේ නැහැ.
එහෙත්, යුරෝපා සංගමයේ එම එන්නත් මිලදී ගැනීමට අදාළ ලේඛණයක් උපුටා දක්වමින් බෙල්ජියමේ කණිෂ්ඨ අමාත්‍යවරයෙකු අදාළ මිල ගණන් ට්වීටර් පණිවුඩයක් මගින් හෙළිකර තිබුණා.
එය පසුව මකා දැමුවද සමාජ මාධ්‍ය මගින් අදාළ මිල ගණන් මේ වනවිට හෙළිදරව් කර තිබෙනවා.
ඒ පිළිබඳව යුරෝපා සංගමය අදහස් ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කළා.
මෙලෙස හෙළිදරව් වී ඇති පරිදි බ්‍රිතාන්‍ය ඇස්ට්‍රා සෙනෙකා එන්නත යුරෝ 1 යි 78 කට මිල කර ඇති අතර, ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත අලෙවි කරනු ඇත්තේ අමෙරිකානු ඩොලර් 8 යි 50 කටයි.
සෙනෝෆි-ග්ලැක්සෝ ස්මිත්ක්ලයින් එන්නත යුරෝ 7 යි 56 කට මිල කර ඇති අතර, කියෝවැක් එන්නත මිල කර ඇත්තේ යුරෝ 10 කටයි.
බෙහෙවින් සාර්ථක ප්‍රතිඵල අත්කරදෙන බව තහවුරු වූ ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත යුරෝ 12 කට මිල කර ඇති අතර, අමෙරිකානු මොඩර්නා එන්නත ඩොලර් 18 කට මිල කර තිබෙනවා.
ඒ අනුව වැඩිම මිල සහිත මොඩර්නා එන්නතක සැබෑ වෙළඳපොල මිල වන්නේ ශ්‍රී ලංකා මුදලින් රුපියල් 3420 ක්.
https://www.truenews.lk/a-corona-vaccine-costs-3420-sri-lankan-rupees/
