දහවැනි සිහිනය
එකම හට්ටියක පිසෙන බත තුන් ආකාරයකින් පිසෙනු දකින ලදි. එක කොටසක් හොඳින් තැම්බෙයි, තව කොටසක් ඉතා අමුයි, තවත් කොටසක් ඉතා තෙත්ය.
විපාකය
අනාගත කාලයේ රජවරු අධාර්මික වෙයි. ඔවුන් අධාර්මික වන විට රාජකාරියෙහි යෙදුණු අයද, බමුණු නැහැවියන්ද, දෙවියන්ද අධාර්මික වෙයි. නොදැහැමි රාජ්‍යයේ සුළඟද රළුව හමයි. වාතය දූෂනය වෙයි. සුදුසු කල්හි නිසි ලෙස වැස්ස නොලැබෙයි. වැව් ඉහත්තාවේ වැසි වසින විට යට කොටසට වැසි නොවසියි. යට කොටසට වසින විට මතු කොටසට නොවසියි.
එකොලොස්වැනි සිහිනය
ලක්ෂයක් වටිනා සඳුන් අරටුවක් කුණුවූ මෝරු වලට විකුණයි.
විපාකය
මාගේ (බුදු රජානණ්වහන්සේගේ ) ශාසනය පිරිහෙන කල්හි වන්නේය. මතු කල සිව්පසයෙහි ලොල් වූ විළි නැති භික්ෂූහු බොහෝ වන්නේය. මවිසින් සිව්පස ලෝලත්වය පහත්කොට දෙසන ලද ධර්මය සිවුරු ආදී සිව්පසය ලබාගැනීම සඳහා අනුන්ට දේශනා කරන්නේය. සිව්පස ලාභය හැර සසරින් එතෙරවීම කොටසෙහි සිට නිවන අරමුණු කොට දෙසීමට නොහැකි වන්නෝය. මාගේ වචන මාලාවත් මිහිරි හඬත් අසා (මිනිසුන් විසින්) වටිනා සිවුරු ආදිය දෙන්නාහුය. එසේම දෙනු කැමැත්තෝද වෙතියි දේශනා කරන්නාහුය. සමහරු නුවර ඇතුලත සතර මං සන්ධි, රජ වාසල දොරටු ආශ්‍රිතව හිඳ කහවණු, අඩ කහවණු, ඔසු ආදී මුදල් නිසා දේශනා කරන්නහුය. මෙසේ මා නිවන අගය කොට දෙසන ලද ධර්මය සිව්පස ලැබීම, කහවණු, අඩ කහවණු පිණිස විකුණා දම් දෙසීම ලක්ෂයක් වටිනා සඳුන් අරටුවක් කුණුවූ මෝරු වලට විකිණීමක් වැනි වන්නේය.
දොලොස්වැනි සිහිනය
ලබු කබල් (දිය ගෙන යන ලබු කැට ) දියෙහි ගිලී යාම.
විපාකය
අනාගතයේ නොදැහැමි රජුන්ගේ කාලයේදී කුල පුත්‍රයන්ට තනතුරු නොදෙන්නාහ. කුල හීනයන්ටම දෙන්නාහ. ඔව්හු ප්‍රධානියෝ වන්නාහුය. දිළිඳු කුලවත්හු රජු ඉදිරියේ හෝ රජ දොරටුවේ හෝ ඇමතියන් ඉදිරියෙහි, විනිසුරු මඬුල්ලෙහි කුල හීනයන්ගේ කතාවෙහි ගිලී යන්නාක් මෙන් නිසොල්මන් වන්නාහ. දුසිල්වත් විවිධ පුද්ගලයන්ගේ කථා පරම සත්‍ය ලෙස සැලකෙන කාලයක් එන්නේය.
දහතුන්වැනි සිහිනය
ඉතා විශාල ගල් පර්වත නැව් මෙන් ජලයෙහි පාවීම.
විපාකය
අනාගත කාලයේ කුල හීනයන්ටම පදවි දෙති. ඔව්හු අධිපති වෙති. කුලවත් අය දිළිදු වෙති. කිසිවෙක් ඔවුන්ට ගරු සරු නොදක්වති. රජු ඉදිරියේ හෝ ඇමතියන් ඉදිරියේ හෝ යුක්තිය පසිඳලන ස්ථානයෙහි හෝ යුක්තිය පසිඳලීමෙහි දක්ෂ වූ ගල් පර්වත වැනි කුල පුත්‍රයන්ගේ කතා නොසලකා හරියි. එසේම සංඝ කර්ම වලදීද ඉහත ස්ථානයන්හිදී මෙන්ම සීල සිල්වත්, ධර්ම විනයධර භික්ෂූන් වහන්සේ නොසලකා හරියි. උන්වහන්සේලාට ගරු නොකරති.
දහහතරවැනි සිහිනය
කුඩා මැඩියන් (ගෙම්බ්බන්) කළු සර්පයන් පසුපස එලවා ගොස් උන් අල්ලා ගෙන කෑම.
විපාකය
ලෝකය පිරිහෙන කාලයේ මිනිස්සු දැඩි කාමාශාවෙන්, කෙළෙස් වසඟව නව යොවුන් භාර්යාවන් වසඟයෙහි සිටිනවා. භව භෝග ආදිය ඔවුන්ගේම ආධිපත්‍යට යටත් වනවා. ඒවා පාලනය කරනු ලබන්නේ ඔවුන්ගේ භාර්යාවන් විසින්ය.
පසලොස්වැනි සිහිනය
රන්වන් රණහංසයන් පිරිවරා ඇවිදින කළු කපුටන් දැකීම.
විපාකය
අනාගත රජවරු හස්ථි ශිල්පාදියෙහි, යුද්ධ ශිල්පාදියෙහි අදක්ෂයි. ඔවුන් රාජ්‍යට විපත් පමුණුවතියි සිතා සමාන ජාති ඇත්තන්ට තනතුරු, යස ඉසුරු නොදෙති. පාද දෙවීම, නැහැවීම, කෙස් රැවුළු කැපීම යනාදිය සිදු කරන සේවකයන්ට යස ඉසුරු දෙති.
සොලොස්වැනි සිහිනය
එළුවන් දිවියන් පසුපස එලවාගොස් උන් අල්ලා කෑම.
විපාකය
ලොව පිරිහෙන කල අධාර්මිෂ්ඨ රජවරුන්ගේ කාලවල අකුලීනයන් රජුගෙ ගේ විශ්වාසට පත්වෙති. කුලීනයන් දුබල වෙති. විනිශ්චය ශාලාවෙහි දුබලයන් බලවත් වෙති. එසේම ලැජ්ජා ප්‍රියශීලී භික්ෂූන්ට අලජ්ජී භික්ෂූන්ගෙන් පීඩා හිරිහැර එල්ලවී ඔවුන් වන ගත වෙති. ධර්ම විණයධර භික්ෂූන් දුර්වල වෙති.
ඔබ සැමට තෙරුවණ් සරණයි...
නැවත පළ කිරීමක් නම් සියලු දෙනාගෙන් සමාව ඉල්ල සිටිමි.