කෝච්චියෙන් ත්‍රිකුණාමලයට - දෙවැනි චාරිකාව (පළවෙනි දවස) - Part 1

Jayashantha84

Active member
  • Sep 18, 2021
    29
    207
    28
    පාන්දර තුනට විතර නැගිටිල, හීතලේ ගැහි ගැහී නාල, ලෑස්තිවෙලා මම පන්නිපිටිය හන්දියේ සම්පත් බැංකුවට එහා පැත්තෙ තියෙන බස් ස්ටොප් එක ළඟට එද්දි 4.10ට විතර වුණා. උදේ පාන්දර වාහන ගොඩක් අඩු හින්ද, සමහරු ඩ්‍රයිව් කලේ රේස් ට්‍රැක් එකක යන තරම් වේගෙන්. මාස්ක් එකක් දාගෙන හිටපු හින්ද හුස්මෙන් හුස්මට කණ්ණාඩි දෙකේ වාෂ්ප බැඳෙද්දි, ඒ හැම පාරම ඒක ගලවල අතින් පිහල ආයෙත් දාගත්ත. පැය භාගෙකට විතර පස්සෙ 138 (හෝමාගම) බස් එකක් ඇවිත් නැවැත්තුව. මම පුපුරන්න තරම් ඇඳුම් පුරෝපු අළු නිල් පාට බැක් පැක් එකත් පිටේ එල්ලගෙන බස් එකට නැගගත්ත. හිස් සීට් එකක්වත් තිබුණෙ නැති හින්ද, බැක්පැක් එක ගියර් බොක්ස් එක උඩින් තියල, ඉස්සරහ දොර ළඟම වම් පැත්තෙ මුල්ලෙ උඩ තියෙන රැක් එකේ වවුලෙක් වගේ එල්ලිලා, නිදානයක් රකින බහිරවයෙක් වගේ බෑග් එකේ ඇහැ අලවගෙන හිටිය.

    හැම හෝල්ට් එකකම වගේ නවත්ත නවත්ත සෙනඟ පටෝගත්තු බස් එක 5.15 විතර වගේ වෙද්දි කොටුව ස්ටේෂන් එක ළඟින් නැවැත්තුව. මම මගී පාලම නගින්න ගනිද්දිම “තව සුළු මොහොතකින් උදය දේවි 4 වෙනි වේදිකාවට ළඟාවෙනු ඇත” කියන නිවේදනය ඇහුණ. මම හයියෙන් හයියෙන් ඇවිදගෙන මගී පාලමෙන් බැහැල පළවෙනි දෙවෙනි පන්තිවලට ටිකට් දෙන කවුන්ටරේ ළඟට ගිහින් ට්‍රින්කෝ වලට දෙවෙනි පන්තියෙ ටිකට් එකක් ගත්ත. ටිකට් එකට රුපියල් 500යි. ඒක අරගෙන මගේ වොලට් එකේ එළියෙන් තියෙන පොකට් එකේ දාගෙන ස්ටේෂන් එක ඇතුළට ගිහින් හතර වෙනි වේදිකාවට ඇවිත් නවත්තල තිබුණු උදය දේවි කෝච්චියෙ දෙවෙනි පන්තියෙ පෙට්ටි හම්බෙනකන් ඇවිදගෙන ගියා. කෝච්චියේ අග්ගිස්සෙම තිබුණු දෙවෙනි පන්තියේ පෙට්ටි තුනෙන් හෝ හතරෙන් එකකට අඩ අඳුරෙම නැගල ජනේලයක් අයිනේ ලේක් හවුස් පැත්තට මූණ දාල වාඩි වෙලා ජනේලේ ඇරගත්ත. බැක් පැක් එක ඔඩොක්කුවෙන් තියාගෙන, මගෙ ටැබ් එකෙන් Olga Tokarczuk ගේ Flights නවකතාව කියවන්න පටන් ගත්ත. පිටු දෙකක් විතර කියවල මම ටැබ් එක ආපහු බැක්පැක් එකට දාගත්ත. කෝච්චිය කොටුවෙ ස්ටේෂන් එකෙන් පිටත්වෙන්න තව විනාඩි 20ක් විතර තිබුණ. (උදය දේවි කෝච්චිය හැමදාම උදේ 6.05ට කොටුව ස්ටේෂන් එකෙන් පිටත් වෙනව). ටික වෙලාවකින් කෝච්චියේ ලයිට් දැම්ම. ඒත් එක්කම වගේ ෆෑන් එකත් කැරකෙන්න ගත්ත. මම පෙට්ටිය ඇතුළෙ ඉඳගෙන ඉන්න සෙනඟ දිහාත් එලියෙ වේදිකාවෙ ඉන්න සෙනග දිහාත්, සීට් පේළි දෙක අතරින් එහාට මෙහාට ඇවිදගෙන යන අය දිහාත්, මගේ ෆෝන් එක දිහාත්, මගේ ඔරලෝසුව දිහාත්, එහා පැත්තෙ වේදිකාවල යන එන කෝච්චි දිහාත් මාරුවෙන් මාරුවට බල බලා හිටිය. හරියටම 6.05 ට කෝච්චිය හිමින් හිමින් කොටුව ස්ටේෂන් එකෙන් පිටත්වුණා.

    නිල්පාට කවර දාපු දෙවෙනි පන්තියේ ඇඩ්ජස්ටබල් සීට් එකේ හොඳ සුවපහසුවක් දැනුණ. ඊට කලින් ත්‍රිකුණාමලයටත් පාසිකුඩා යන්න වාලච්චේනටත් ඔය කෝච්චියෙන්ම ගිහිල්ල තිබුණු හින්ද, මුල්ම වතාවට උදය දේවි කෝච්චියේ යද්දි මට දැනුණ විශේෂත්වය, නැවුම්බව වෙනුවට පරණ ගමන් වල මතකයන් අළුත් වෙනව මට දැනුණ. ප්‍රධාන මාර්ගය තරම්ම සුවිශේෂී නොවුණත් නැගෙනහිර මාර්ගයත් හරිම අපූරු එකක්. කොටුව ස්ටේෂන් එකේ ඉඳන් මහව හංදිය ස්ටේෂන් එකට යනකම් වගේ, අතරින් පතර කුඩා කැලෑ රොදවල් මැද්දෙන්, ගම් මැද්දෙන්, නගර මැද්දෙන්, පාරවල් වලට සමාන්තරව, ඉඳල හිටල පාරවල් හරහ, වෙල් යායවල් මැද්දෙන් මේ කෝච්චි පාර වැටිල තියෙනව. අපිට නිතරම දකින්න හම්බෙන වැටමාර (ගිනිසීරියා) පඳුරුවල ඉඳන් මම නම් වත් නොදන්න ගස් කොළන් බොහෝ ගාණක් රේල්පාර දෙපැත්තෙම වැවිල තියෙනව. දොළ පාර කිහිපයකුත්, ඕලු, සුදු නෙළුම් පිරුණු පොඩි වැව් දෙක තුනකුත් තියෙනව. රාගම හන්දිය, ගම්පහ, වේයන්ගොඩ, මීරිගම, පොල්ගහවෙල, පොතුහැර, කුරුණෑගල, වැල්ලව, ගනේවත්ත, නාගොල්ලාගම ස්ටේෂන් පහුකරගෙන එන කෝච්චිය මහව හන්දියෙන් විනාඩි 20ක් විතර නවත්තල, ඒකෙ එන්ජිම ගලවල අනිත් පැත්තට අමුණනව. ඊට පස්සෙ කෝච්චිය ආව දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් යන්න පටන් ගන්නව. මම ඉන්න තැනට දැන් දැනෙන්නෙ කෝච්චිය ඉස්සරහට යනව කියලයි.

    මහව හන්දියෙ ඉඳන් රේල්පාරෙ වැඩි කොටසක් ළඳු කැලෑ රක්ෂිත වනාන්තර මැද්දෙන් දුවනව. මහව හන්දියට පස්සෙ යාපහුව ස්ටේෂන් එක. ඊට පස්සෙ කෝන්වැව ස්ටේෂන් එක. ඊට පස්සෙ රණමුක්ගම. ඊට පස්සෙ මොරගොල්ලාගම. ඊට පස්සෙ සියඹලාගමුව. ඊට පස්සෙ නගම. ඊට පස්සෙ අවුකන. ඊට පස්සෙ කලා වැව. මේ හරියෙ දිගටම කැලෑව රේල් පාර දෙපැත්තෙම. ඊළඟට ඉහළගම, කැකිරාව, හොරිවිල, පලුගස්වැව, හබරණ, හතරැස්කොටුව ස්ටේෂන් ටික පහුකලාට පස්සෙ කෝච්චිය ප්‍රධාන දුම්රිය මංසන්ධියක් වෙන ගල් ඔය හන්දිය ස්ටේෂන් එකට එනව. මම නම් නැගෙනහිර මාර්ගයෙ ඔය හරියට හරිම කැමතියි. මේ වියළි කලාපීය කැලෑ ප්‍රදේශ පිළිවෙලින් කලා වැව, හබරණ, ගල් ඔය කියන රක්ෂිතයන් වෙන්න ඕනෙ. දවල්ට අලි එහෙම පේන්න නැති වුණත්, මේ සීමාවෙ හරිත වර්ණ වියළි පරිසරය හරිම චමත්කාරජනකයි. ඔබට පුළුවන් නම් කවුළුවක් ළඟින්ම වාඩි වෙන්න. පරිස්සමින් විමසිල්ලෙන් ඉන්න පුළුවන් නම් ෆූට්බෝර්ඩ් එකත් මේ සුන්දරත්වය අත්විඳින්න හොඳම තැනක්.

    ට්‍රින්කො යන අය ගල් ඔය හන්දියෙන් බැහැල වෙනම කෝච්චියකට නගින්න ඕනෙ. ගල් ඔය හංදිය ස්ටේෂන් එකේ කැන්ටිමක් එහෙමත් තියෙනව. ඒකෙ මැදින් කපල ලුණුමිරිස් දාපු බටර් පාට ටිකක් තෙල් ගතියක් තියෙන උලුඳු වඩේ හරිම රසයි. මම ආපහු එද්දි ඒ උලුඳු වඩේ දෙකක්ම අරන් කෑව. ගල් ඔය හන්දියෙන් ට්‍රින්කො යන කෝච්චිය පිටත් වෙන්නෙ උදය දේවි කෝච්චිය ගල් ඔයට ආවට පස්සෙ. මම ඉක්මනට උදය දේවි කෝච්චියෙන් බැහැල ගිහින් දෙවෙනි පංතියෙ පෙට්ටියකට නැගල ඒකේ ඉස්සරහම තිබුණු සීට් එකෙන් ඉඳගත්ත. එතන කවුළුව ඇරල තිබුණ. දුඹුරු පාට සීට් කවර තිබුණු ඒ මැදිරි නම් සෑහෙන්න පරණයි. ඒ වගේ සුවපහසුව අඩුයි. 12.25 ට විතර මේ කෝච්චිය ට්‍රින්කො යන්න පිටත්වුණා. සමහරවිට මම කලින් පාර ට්‍රින්කො ගියෙත් ඔය කෝච්චියෙ ඔය පෙට්ටියේ ඔය සීට් එකේම වෙන්න ඇති.

    ගල් ඔය හන්දිය පහු කරල යනකොට රේල් පාර දෙපැත්තෙ මතුවෙන්නෙ අර්ධශුෂ්ක කලාපීය කටු පඳුරු බහුල කැලෑවන්. මේ හරියෙදි කෝච්චිය සෑහෙන වේගෙන් යනව වගේම ගැස්සෙන පැද්දෙන ගතියත් වැඩි වෙනව. මේ කෝච්චියෙ නම් ෆුට්බෝඩ් එකේ හරි ඒ ළඟට වෙලා හරි යන්න නම් ඉතාමත් අසීරුයි. ගල් ඔය හංදියට පස්සෙ කෝච්චිය අලුත් ඔයට එනව. ඊට පස්සෙ පිළිවෙලින්, අග්බෝපුර, කන්තලේ, ගන්තලාව, මොල්ලිපොතාන, තඹලගමුව, චීන වරාය ස්ටේෂන් පහුකරගෙන ඇවිල්ල ත්‍රිකුණාමලය ස්ටේෂන් එකෙන් ගමන නිමාකරනව. ට්‍රින්කො ලයින් එකත් මේ ස්ටේෂන් එකෙන් ඉවරවෙනව. චීන වරාය ස්ටේෂන් එක පහු වෙනවත් එක්කම කිලෝමීටරයක් විතර දිග වාහන පෝලිමක් තිබුණ තෙල් ගහන්න. ඒ පෝලිමේ වැඩිපුරම තිබුණෙ මෝටර් සයිකල්.

    ගල් ඔය හංදියෙ ඉඳන් අග්බෝපුර ස්ටේෂන් එකට එනකල් කිලෝමීටර් 25.3ක් විතර දිග කෝච්චි පාර කවුඩුල්ල රක්ශිතය හරහා වැටිල තියෙනව. ඒ වගේම අතරින් පතර වෙල් යායවල් මැද්දෙනුත් රේල් පාර දුවනව. සමහර තැන් වල තල් සහ පොල් රුප්පාවල් වගේම තනි තල් ගස් සහ පොල් ගසුත් තියෙනව. පහුගිය දවස් ටිකේ වැහැල තිබ්බ හින්ද වෙල් වලත් සමහර පතස් වලත් ටිකක් වතුර පිරිල තිබුණ. දිවුල් ගස් දෙක තුනකුත් තැනින් තැන තිබුණ. ඔබ තාමත් මේ පාරෙ කෝච්චියෙන් ගිහිල්ල නැත්නම් ගිහින් බලන්න. සමහරවිට මම ලියනවටත් වඩා මේ මාර්ගය සොඳුරුයි කියල ඔබට හිතෙයි.

    හැබැයි මම නම් වැඩිපුර කැමති කලින් ගිහින් නැති පාරක කලින් ගිහින් නැති පැත්තකට යන්නයි කියල මට මේ චාරිකාවෙදි පෞද්ගලිකව දැනුණ. ඒ සමහරවිට මම නිරීක්ෂණය කරන සහ මතක තබාගන්න ප්‍රමාණය වැඩි හින්ද වෙන්නත් පුළුවන්. ඒ වගේම මට දැනෙන විදිහට අපි එක පාරක් හරි ගිහින් තියෙන පාරක ආයෙමත් යද්දි විමතියට පත් වෙන්න තියෙන අවකාශය, සම්භාවිතය ඉතා අඩුයි. ඒ වගේම මුල් වතාවට වඩා ගමන කෙටියි කියලත් මට දැනුණ. මට එහෙම දැනුණට ඔබ ප්‍රිය කරන්නෙ ගමනට වඩා ගමනාන්තය නම්, ඔබ ඒ ගමන කෙටි වෙන තරමට කැමතියි.

    ට්‍රින්කො ස්ටේෂන් එකෙන් මාව හොටෙල් එකට ඩ්‍රොප් කරන්න මම කලින් ට්‍රින්කො ගිය වෙලාවෙ අඳුන ගත්තු ටුක්-ටුක් ඩ්‍රයිවර්, මගේ මාර්ගෝපදේශකයා සහ හිතවතා නියාස් ඇවිල්ල හිටිය. පහුගිය අවුරුදු දෙකට නියාස් අවුරුදු පහකින් විතර වයසට ගිහින් තිබුණ. නියාස් මාව මේ වතාවෙත් නවාතැන් ගන්න මම කාමරයක් බුක් කරල තිබුණු උප්පුවේලි බීච් හොටෙල් එකට ඩ්‍රොප් කලා. ඒ හෝටලේ දැන් කළමණාකරනය කරන, දුඹුරු පාට කොටු කොටු තියෙන අත් කොට කමිසෙකට කළු දිග කලිසමක් ඇඳල හිටපු කොටට කපපු කොණ්ඩෙයි රැවුලයි දෙකම ඉදුණු උකුස්සෙක්ගෙ වගේ ඇස් තියෙන සාමාන්‍ය උසක් තිබුණු, තලඑළළු ෆයිසාල් එක්ක ටිකක් කතා කර කර ඉඳල මම රූම් එකට ගිහින් ගිහින් හොඳට නාගෙන ලන්ච් එක ගත්ත.

    ඊට පස්සෙ කළුපාට කොටු වැටුණු, අළු පාට කොට කලිසමට උඩින් නිල් පාට ටී-ෂර්ට් එකක් ඇඳගෙන කොන්ක්‍රීට් දාපු පාර දිගේ ඇවිදගෙන තාර පාරට වැටිල වම් පැත්තට ඇවිදගෙන ගියා. කිලෝමීටර් භාගයක් විතර ගියාම බාබර් සාප්පුවක් හම්බුණා. එතන හිටපු රතු ටී-ෂර්ට් එක උඩට කළු කොට කලිසමක් ඇඳල හිටපු කළු මහත කොණ්ඩෙ කොටට කපල හිටපු තරුණ බාබර් කැඩිච්චි සිංහලෙන් මාත් එක්ක කතා කර කර මගේ කොණ්ඩෙ කොට වෙන්න කැපුව. එතනට සල්ලි ගෙවල මම ආපහු හොටෙල් එකට එන්න පටන්ගත්ත. පටු තාරපාර දෙපැත්තෙ සිල්ලර කඩ, හාර්ඩ්වෙයාර් එකක්, කෑම කඩයක් දෙකක්, සංචාරකයන්ට නවාතැන් දෙන පොඩි හෝටල් දෙක තුනක්, මාළු ලෑලි දෙකක්, එළවලු මැස්සක්, වඩේ කරත්තයක්, බර්ගර් ස්පොට් එකක්, කුකුල් මස් කඩයක් එහෙම තිබුණ. ඒ කරත්තෙ ළඟ හිටපු වඩේ වෙළෙන්ඳා තද නිල්පාට පසුබිමේ කළු කොටු තියෙන සරමකට උඩින් පරණ සුදු බැනියමක් ඇඳපු අවුරුදු 70ක් විතර වයසක මනුස්සයෙක්. ඊට එහා පැත්තෙ දුඹුරු පාට ප්ලාස්ටික් පුටුවක සුදු සරමක් සහ සුදු බැනියමක් ඇඳගත්ත මැදි වයසේ පිරිමි කෙනෙක් වඩේ වෙළෙන්ඳත් එක්ක කතා කර කර හිටිය.

    රූම් එකට ඇවිත් විනාඩි 10ක් විතර ඉඳල මම ගියා උප්පුවේලි බීච් එකට. උප්පුවේලි ධීවර ගම්මානයක්. උප්පුවේලි බීච් එක නිලාවැලි බීච් එක තරම් පිරිසිදු ලස්සන බීච් එකක් නොවුණත්, උප්පුවේලි වල ඉඳන් ත්‍රිකුණාමලයට ආසන්නයෙන් තියෙන සංචාරක ආකර්ශණ බලන්න යන්න ලේසියි. දුර අඩුයි. ඒ වගේම උප්පුවේලි ත්‍රිකුණාමලේ රේල්වේ ස්ටේෂන් එකටත් ගොඩක් ළඟයි. මම මේ වතාවේ ටිකක් දුරට ඇවිද්ද හින්ද ත්‍රිකුණාමලේ තියෙන සමහර ප්‍රසිද්ධ සංචාරක ආකර්ශණ ත්‍රිකුණාමලය නගරයෙන් කිලෝමීටර් 20 -25 වගේ දුරින් තියෙන විත්තිය දැනගත්ත. උදාහරණයක් විදිහට මාබල් බීච් සහ කින්නියා පාලම කිලෝමීටර් 20-25ක් වගේ දුරින් තියෙන්නෙ උප්පුවේලි වල ඉඳන්. නිලාවැලි බීච් එකටත් කිලෝමීටර් 10-12ක් වගේ දුරයි උප්පුවේලි ඉඳන්. ඔබ යන්නෙ පෞද්ගලික වාහනයකින් නම් මේ දුර ලොකු ගැටළුවක් වෙන එකක් නෑ. ඒත් ඔබ කුලී රථයකින් යනව නම් ඔබේ ගමන් වියදම් ගැනත් ටිකක් සැලසුම් කරන්න වෙනව.
     

    Attachments

    • 294588184_10227605708749530_8285677335776342336_n.jpg
      294588184_10227605708749530_8285677335776342336_n.jpg
      225.5 KB · Views: 106
    • 294486272_10227605707869508_5837360351310463326_n.jpg
      294486272_10227605707869508_5837360351310463326_n.jpg
      152 KB · Views: 106
    • 294253397_10227605707389496_1941837433151555216_n.jpg
      294253397_10227605707389496_1941837433151555216_n.jpg
      130.3 KB · Views: 98
    • 294653016_10227605707069488_9069916510035929843_n.jpg
      294653016_10227605707069488_9069916510035929843_n.jpg
      132.4 KB · Views: 109
    • 294519577_10227605706069463_764983031874669045_n.jpg
      294519577_10227605706069463_764983031874669045_n.jpg
      174.2 KB · Views: 104
    • 294886426_10227605705349445_4141689210716138934_n.jpg
      294886426_10227605705349445_4141689210716138934_n.jpg
      881.9 KB · Views: 112
    • 295256373_10227605708349520_6431626759689629675_n.jpg
      295256373_10227605708349520_6431626759689629675_n.jpg
      675.3 KB · Views: 101
    • 294997855_10227605705149440_2824445857061847837_n.jpg
      294997855_10227605705149440_2824445857061847837_n.jpg
      835.6 KB · Views: 104
    • 294553069_10227605708149515_8695726006066403648_n.jpg
      294553069_10227605708149515_8695726006066403648_n.jpg
      716 KB · Views: 101
    • 294490106_10227605704589426_2577611580030793576_n.jpg
      294490106_10227605704589426_2577611580030793576_n.jpg
      233.3 KB · Views: 109

    Jayashantha84

    Active member
  • Sep 18, 2021
    29
    207
    28

    කෝච්චියෙන් ත්‍රිකුණාමලයට - දෙවැනි චාරිකාව (පළවෙනි දවස) - Part 2

    උප්පුවේලි බීච් එකෙත් නිලාවැලි බීච් එකේ වගේම ගොඩක් පළල වෙරළ තීරයක් තියෙනව. දුඹුරුපාට අළුත් සැන්ඩ්ල්ස් දෙක ගලවන්නෙත් නැතුව වැල්ලෙ එරී එරී කොරවක්කෙක් වගේ මම වෙරළෙ රළ බිඳෙන හරියට ආව. ඊට පස්සෙ සැන්ඩ්ල්ස් දෙක ගලවල රැල්ල වදින සීමාවෙන් ටිකක් එහාට වෙන්න තියල, මම පිළිමයක් වගේ හිටගෙන මූදු රැලි ඇවිත් මගේ නිරුවත් කකුල් වල වදින විදිහට හිටිය වටපිට බල බලා. මූදු රළ ඇවිදින් නිරුවත් කකුල් වල දැවටෙන කොට දැනෙන විදිහයි, ඒ රැල්ලම වෙරළෙ හැප්පිලා බිඳිල ඇවිත් කකුල් වල දැවටීගෙන ආපහු යනකොට දැනෙන විදිහයි දෙවිදියක්. ඒ වගේම රැල්ලෙන් රැල්ලට වතුර දැනෙන විදිහත් වෙනස්. මට මේක මීට වඩා පැහැදිලි කරන්න අමාරු වුණත් මම හිතනව ඔබත් මේ සිදුවීම කවද හරි අත්විඳල ඇති කියල. හැබැයි මෙහෙම ඉද්දි ඔබ ටිකක් විමසිල්ලෙන් ඉන්න. ලංකාවෙ සමහර බීච් වල දියවැල් වලට අහුවෙන්න පුළුවන්. ඒ වගේම ඉඳල හිටල ටිකක් උස රැළි එන්නත් පුළුවන්. ඒත් නිලාවැලි බීච්, උප්පුවේලි බීච්, මාබල් බීච්, පාසිකුඩා බීච්, කල්කුඩා බීච් අයිති ලංකාවේ අතිශයින්ම සුන්දර නැගෙනහිර වෙරළ තීරයේ නම් මාරාන්තික දියවැල් තියෙනව කියල මට තාම අහන්න ලැබිල නෑ. පැයක් හමාරක් මෙහෙම රැල්ල පාග පාග හිටියම මට නම් රූම් එකට ගියාමත් ටික වෙලාවක් යනකල් රැල්ල කකුල් වල තාමත් දැවටෙනව වගේ දැනෙනව. සමහරවිට මේ අත්දැකීම ඔබත් විඳල ඇති.

    වැහි මන්දාරමත් එක්ක අහස මුහුද දෙකම අළු පාටක් අරන් තිබුණ. සිතිජය ළඟ අහසෙ ගෑවී නොගෑවී සුදු පාටට හුරු ලොකු නැවක් තිබුණ. ඊට මෙහායින් මාළු අල්ලන්න ගියපු බෝට්ටු 25ක් 30ක් විතර තැනින් තැන රැල්ලෙන් රැල්ලට පැද්දි පැදි තිබුණ. මම හිටපු තැනට වමෙනුත් දකුණෙනුත් අව්වට පිච්චුණු මූදත් එක්ක පොරබදල හුරු ගල් අඟුරු පාට හැඩි දැඩි ධීවරයො කට්ටියක් මාදැලක් ගොඩට අදිමින් හිටිය. ඒ පිරිස මට පෙණුන විදිහට පරම්පරා කිහිපයක්ම නියෝජනය කලා. කෙළවරක් නැතුව හැදෙන බිඳෙන ආයෙත් හැදෙන ආයෙත් බිඳෙන රළ ගෙඩි එක්ක මූදත් ඉමක් කොණක් හොයාගන්න බැරි සංසාරෙ වගේ කියල මට හිතුණ. දුඹුරු පාට හොම්බක් තියෙන දුඹුරු පාට බල්ලෙක් මං ළඟට ඇවිත් ඉව කරල ටික වෙලාවක් මං ළඟ ඉඳල ආයෙත් ඌ ආපු පැත්තටම ආපහු ගාට ගාට ගියා. මම මොබයිල් ෆෝන් එකෙන් මූදෙත්, බීච් එකෙත්, වටපිටාවෙත් බෝට්ටුවලත් පොටෝ කීපයක් ගත්ත. ඊට පස්සෙ ෆෝන් එක සාක්කුවට දාගෙන, සැන්ඩ්ල්ස් දෙක එක අතකට අරගෙන, කහ පාට, අහස් නිල් පාට, රතුපාට, කොළපාට තීන්ත ගාපු බඳවල් තියෙන බෝට්ටු පේළිය පහුකරගෙන අඩි තුන්සීයක් විතර ඉස්සරහට හිමින් හිමින් ඇවිදන් ගියා. සමහර බෝට්ටු වල දැල් එල්ලල තිබුණ. බීච් එක දිගට ගොඩබිම පැත්තෙ පැල පොල් ගස් පේළියක් තිබුණ. ඒ පේළියට එළියෙන් උස පොල් ගස් දෙක තුනකුයි, තල් ගස් දෙක තුනකුයි තිබුණ. සරුවට වැවුණු පැල පොල් ගස් පේළියට එහායින් හෝටල් දෙක තුනක් තිබුණ. ඊට එහායින් ධීවරයන්ගේ පැල්පත් ගෙවල් තිබුණ.

    මම ආපහු හැරිල රැල්ල පෑගෙන විදිහට වතුරෙ දාරෙ දිගේ ආපු පැත්තට හිමින් හිමින් ඇවිදන් ගියා. එතකොට වෙලාව හැන්දෑවෙ පහමාරට විතර ඇති. මුහුදයි අහසයි ගොඩබිමයි ඔක්කොම අන්දකාරෙ ගිලෙන්න ගනිද්දි මම හිමින් හිමින් ආපහු හෝටලේට ඇවිදගෙන ගියා. දුඹුරුපාට, කළු පාට, අළු පාට, ලා තැඹිලි පාට වගේ පාට කිහිපෙක මොසේයික් ටයිල් අල්ලපු එලියෙ තියෙන බාත් රූම් එකේ බිඩේ ශවර් එකෙන් කකුල් වල වැලි හෝදගෙන කාමරේට ගියා. ඊට පස්සෙ මම ගියා ඩිනර් එකට මොනවහරි ගන්න ලන්ච් පැකට් එක ගත්තු කෑම කඩේටම. එච්චර බඩගිනි නැතිවුණත් පෙරේතකමට චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක් අරන් ගිහින්, ඒකෙන් කාලකට ටිකක් වැඩියෙන් අමාරුවෙන් කෑව. ඉතුරු ටිකෙන් පණුවො අහුලන දෙමළිච්චෙක් වගේ චිකන් කෑලි ටිකක් විතරක් අහුලගෙන කෑව. කන්න කලින් හොඳට නාගත්තත් වෙනද වගේ බඩගින්න වැඩිවුණේ නම් නෑ.

    ඊට පස්සෙ ටිකක් ඇඳේ ඇලවිලා ඉද්දි, පැය දෙකකටද කොහෙද කරන්ට් එක කැපුව. ගමන් මහන්සිය හින්ද කොහෙද මට එහෙමම නින්ද ගියා. 11ට විතර ඇහැරෙද්දි කරන්ට් එක ඇවිත්. නැගිටල, දත් මැදල, පාන්දර පහමාරට ෆෝන් එකේ එලාම් එක තියල, ලයිට් නිවල ආයෙත් නිදාගත්ත.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,280
    113
    34
    Kalutara
    ට්‍රින්කො ගියා හැබැයි රෑ කෝච්චියෙ. රෑ 9ටද කොහෙද කොටුවෙන්. මෙලෝ දෙයක් පෙනුනේ නෑ ඉතින් රෑ නිසා. පහුවෙනිදා ආවෙත් රෑම තමා. පාන්දර 3ට කොටුවට.
     

    Jayashantha84

    Active member
  • Sep 18, 2021
    29
    207
    28
    ට්‍රින්කො ගියා හැබැයි රෑ කෝච්චියෙ. රෑ 9ටද කොහෙද කොටුවෙන්. මෙලෝ දෙයක් පෙනුනේ නෑ ඉතින් රෑ නිසා. පහුවෙනිදා ආවෙත් රෑම තමා. පාන්දර 3ට කොටුවට.
    මට නම් ඉතින් ගමනත් වටිනව ගමනාන්තය වගේම. ඒ හින්ද යන්නත් දවල් දවසම දාගන්නව.

    යන්න ආස හිතුනා
    නියම ගමනක් bro. දවසක අනිවාර්යයෙන්ම යන්න. කෝච්චියෙනුත් ගිහින් බලන්න.
    ------ Post added on Sep 24, 2022 at 9:17 AM