අපි කවුරුත් කෝපි බොන්න ආසයි, ඒ වගේම කෝපි කෝප්පයක් දවසකට සැරයක් බොන එක ශරීර සෞඛ්‍යයට සෑහෙන හොඳයි කියලත් කියනව, ඒ උනාට ගැස්ට්‍රයිටිස් තියෙන අයට නම් කෝපි ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. පැකට් කරපු කෝපි වගේම ගෙදරදි කොටාගත්ත කෝපි වලිනුත් අපි කෝපි හදාගන්නව . ඒ වගේම කිරි කෝපි , අයිස් කෝපි, බිත්තර කෝපි , cappuccino , expresso , macchiato වගේ නානාප්‍රකාර වර්ගෙ කෝපි දකින්න ලැබෙනව.
සාමාන්‍යයෙන් කෝපි හදන්නෙ කෝපි ගෙඩි වේලලා ඇටේ අරන් ඒක grind කරල හරි කොටාගෙන හරි ගන්න කුඩු වලින්. හැබැයි අපි මේ කතාකරන Kopi luwak (කෝපි ලුවක් ) හදන්නෙ වෙනස් විදිහකට. ඇත්තටම කිව්වොත් kopi luwak කියන්නෙ ඉන්දුනීසියාවේ නිපදවෙන ලෝකෙ මිල අධිකම කෝපි වර්ගයක්. මේවයෙ කිලෝවක මිල ඇමරිකානු ඩොලර් 200 - 400 දක්වා වෙනව , ඒ කියන්නෙ දල වශයෙන් රුපියල් 50,000ක්. Kopi luwak වල ඉතිහාසය ගැන ගත්තොත් මුලින්ම මේක ඉන්දුනීසියානු ජාතිකයො විසින් හොයාගන්නෙ ලන්දේසි අධිරාජ්‍යවාදී පාලන සමයෙදි. මේ කාලෙදි කෝපි හේන් වලින් කෝපි ගන්න ස්වදේශිකයන්ට අවසර තිබිල නෑ. හැබැයි මෙයාලට වෙන විදිහකින් කෝපි ඇට හොයාගන්න පුලුවන් උනා, ඒ තමා උගුඩුවන් ( Palm civet ) කෝපි ගෙඩි ආහාරයට ගෙන මළපහ කරපු කෝපි ඇට. සාමාන්‍යයෙන් මේක ගොඩක් ගස් වල ඇටවල තියෙන පරිණාමීය අනුවර්තනයක්, ඒවයෙ ඵල සතුන් ආහාරයට ගත්තම ඒවයෙ බීජ කිසිම හානියක් නැතුව මළපහ එක්ක පිටවීම. කෝපි හොයාගන්නම බැරි තැන ස්වදේශිකයො මේ මලපහ එක්ක තිබ්බ කෝපි ඇට සකස් කරල පානය කරන්න ගත්ත, පුදුමයකට වගේ මේ කෝපි අර සාමාන්‍ය කෝපි වලට වඩා ගොඩක් රසවත් උනා, ඒ කෝපි බීජ උගුඩුවගෙ ජීර්ණ මාර්ගය ඔස්සේ එනකොට පැසීමකට (fermentation ) ලක්වෙලා තිබීම නිසා. පස්සෙ මේක ලෝකෙ පුරාම ප්‍රචලිත උනා.
උගුඩුවා කියන්නෙ නිශාචර සතෙක්, මෙයාල ඉදුණු කෝපි ගෙඩි කන්න ආසයි, ඉතින් මෙහෙම කාල පිටකරන මලපහ වල සම්පූර්ණයෙන්ම තියෙන්නෙ අර කෝපි වල ඇට, මේක තමා Kopi luwak වල අමුද්‍රව්‍ය විදිහට ගන්නෙ. ඉන්දුනීසියානු භාෂාවෙ Luwak කියන වචනෙ තේරුමත් උගුඩුවා කියන එකයි. හැබැයි මේකෙ නරක පැත්තක් තියෙනව, සම්මත පිළිගැනීම අනුව kopi luwak නිපදවීම සදාචාර සම්පන්න ව්‍යාපාරයක් ( ethical business ) විදිහට පිළිගැනෙන්නෙ නෑ. ඒ මහා පරිමාණයෙන් උගුඩුවන්ගෙ මලපහ ලබාගන්න මේ ව්‍යාපාරයේ ඉන්න අය උගුඩුවො කූඩුකරල හදනව විතරක් නෙවෙයි, උන්ට කෝපි ගෙඩි විතරක් බලෙන්ම ආහාරයට ලබාදෙන නිසා. මේ නිසා ලෝකයෙ ගොඩක් සත්ව අවිහිංසාවාදි සංවිධනය kopi luwak නිෂ්පාදනයට විරුද්ධව වැඩ කරනවා.
ඉතින් ඕක තමයි ලෝකෙ මිල අධිකම කෝපි වර්ගවලින් එකක් ගැන කතාව.
© Bhasuru Prabashwara 2018



