ක්‍රිස්තු වර්ෂ 1505 සිට 1658 දක්වා පැවැති පෘතුගීසි පාලන සමයේදී බෞද්ධ ජන ජීවිතය දැඩි ලෙස පරිහානියට පත් විය. පැවිදි විනය සහ දහම් දැනුම පිරිහී ගොස් ගිහි පැවිදි වෙනස සිවුරට නොහොත් කහ කඩයකට පමණක් සීමා වූ කාලයක් ඇති විය. එකල සිටි භික්ෂුන් ජීවත් වූයේ යන්ත්‍ර මන්ත්‍ර, වෛද්‍ය කර්මය, ජෝතිෂ්‍යය , ළමයින්ට අකුරු ඉගැන්වීම ආදී දෑවලින් ගැමියන්ට සේවයක් කරමින්ය. එබැවින් සෑම ගමකම එවැනි පුද්ගලයන් කිහිප දෙනකු වාසය කර ඇත. එකල ඔවුන් හැඳින්වූයේ ගණින්නාන්සේ ලෙසය.
පාහියන්ගල
ඔය පැත්තේ තියෙනවා පැරණි නාම ගණනාවක්. ඒවා පුලහිං, වීරසිං, ජාහිං, පාහිං වශයෙන් සඳහන් වෙනවා. මේ පාහිං කියන එක ම පාහියන් වුණා කියල හිතන්න පුළුවන්. කොහොම උනත් ඈත අතීතයට ඇදිල යන ඉතිහාසයක් මේ පස්‌යොදුන් කෝරළයට තියෙනවා. මේ ප්‍රදේශයේ හරියට පැරණි විහාරස්‌ථාන තිබුණු බවත් පේනවා. ගණේ නම යෙදී තියෙන්නේ ඒ විහාරස්‌ථාන තිබූ ප්‍රදේශවලටයි. ගණේගොඩ, ගණේමුල්ල, ගණේතැන්න, ගණේකන්ද, ගණේගල ආදී ප්‍රදේශ අදත් ඒ නම්වලින්ම ව්‍යවහාර වෙනවා. ඒවා ගණින්වහන්සේලා වාසය කළ ප්‍රදේශයි. ගණේ කියන්නේ විහාරස්‌ථානයටයි. ඒ විහාරස්‌ථානවල සිටින ඇත්තන්ට ගෞරව වශයෙන් පාවිච්චි කළා ගණින්වහන්සේ කියලා. ඒ ගණින්වහන්සේ කියන එකමයි ගණින්නාන්සේ වුණේ.
ගණින්නාන්සේ කියන එක අගෞරවයට වගේ කියනවා. ගණයා, ගණගෙඩියා කියලත් කියනවා. නමුත් ගණින්වහන්සේ කියන එක ගෞරවාන්විත වචනයක්. ලංකාවේ සෑම ප්‍රදේශයකම වගේ පාවිච්චි වෙන මේ ගණේ කියන යෙදුමෙන් පුළුවන් තේරුම් ගන්න එදා මේ ප්‍රදේශවල ගණින්වහන්සේලා වාසය කළ බව. විහාරස්‌ථාන තිබුණු බව. ගණේලන්ද පන්සල, ගණේගොඩ දේවාලය වගේ යෙදුම් බස්‌නාහිර පළාතේ ඇතැම් ප්‍රදේශවලත් දකින්ට ලැබෙනවා. ඒ හැම යෙදුමකින්ම පේන්නේ ඒ ඒ ප්‍රදේශවල විහාරස්‌ථාන තිබුණ බවත් සංඝයා සිටිය බවත් ය. මේ ගණේ කියන යෙදුම් නුවර යුගයටත් වඩා පරණයි. ගණේ කියන්නේ සමූහය කියන තේරුමයි. පස්‌දුන් කෝරළයේ හරියට ගණේ කියන නමින් ස්‌ථාන තිබුණා. ඒ වායේ භික්‍ෂුන් වහන්සේලාත් සිටියා. ගණින්නාන්සේ කියන එක එච්චර පරණ නැහැ. ඒක නුවර යුගයේ සංඝරාජ හාමුදුරුවන් උපසම්පදාව පටන්ගත්තට පස්‌සේ ඇති වූ වචනයක්. ඒක ගෞරවාන්විත වචනයකුත් නොවේ. සංඝරාජ හාමුදුරුවන් උපසම්පදාව ලබන කොට ලංකාවේ එකද උපසම්පදා භික්‍ෂුවක්‌වත් සිටියේ නෑ කියන කතාව තව දුරටත් පරීක්‍ෂා කළ යුතු වෙනවා. මොකද විමලධර්මසූරිය රජතුමාගෙ කාලෙ උපසම්පදාව ආරම්භ කරල ගතවෙලා තිබුණෙ අවුරුදු අනූවක විතර කාලයක්. ඒ නිසා එක ද උපසම්පදා භික්‍ෂුවක්‌වත් සිටියේ නෑ කියන කථාව ඉතා හොඳින් පරික්‍ෂා කළ යුතු වෙනවා.