ශ්‍රී ලංකාවේ රෝහල් තුල වැසිකිළි වර්ග ගණනාවකි. විශේෂඥ වෛද්‍ය වරුන්ට එකකි. සාමාන්‍ය වෛද්‍යවරුන් ට එකකි. හෙද හෙදියන්ට වෙනම එකකි. ඇටෙන්ඩන්ට්ලාට තව එකකි. රෝගීන්ට තවත් එකකි. හදිසියකදී රෝගී නොවන මහජනතාවට ද අර රෝගීන්ගේ වැසිකිළියම ය.
මේ තත්ත්වය තවත් බැරෑරුම් වන්නේ ඔපරේෂන් කාමර හෝ දැඩි සත්කාර ඒකක ආදී ඇඳුම් මාරු කිරීමට නියමිත ස්ථාන වලදී ය. ඒවායේ වෙනම කාමර පවතින අතර එහිදී ඔය ඉහතින් කියූ වර්ග කිරීම ගැහැණු පිරිමි ආදී ලෙස තවත් දෙකකට බෙදෙති.
--------
විශේෂඥ වෛද්‍යවරුන් ද සමාන්‍ය වෛද්‍යවරුන් ද හෙද හෙදියෝ ද ඇටෙන්ඩන්ලාද සමාන්‍ය කම්කරුවෝද තව ECG , Physiotherapy , Radiographer, PHI, Midwife ආදි අනෙකුත් සහයක සේවා ද ආදී ලෙස රෝහල් වල තරම් වෘත්තීය තට්ටු ක්‍රමය දැක ගත හැකි තවත් තැනක් නොමැති තරම් ය. ඒ ඒ අයට වෙන වෙනම වෘත්තීය සමිති ද වෙති. ඇතැම් අයට ඒ ඒ පක්ෂ වල නම් වලින්ම එක්සත්, නිදහස්, සමාජවාදී ලෙස වෙන්වූ වෙනම කඳවූරු වෙති.---------
මේ ඈයෝ එකම මේසයක කෑමට වාඩි නොවෙති. එකට තේ එකක් නොබොති. ඒ ඒ තල වල ඔවුන් කොටු වී ඇත්තෝ ය. මේවායේ විරසකයන් මෙන්ම ඇතැම් විට යාළු මිත්‍රකම් පවතින අවස්ථා ද නොමැත්තේ නැත. එහෙත් අපි විවිධ අසමානකම් හුවා දක්වමින් ඒ ඒ තල වලට වෙන්වී සිටිති.
සිංගප්පූරුවේ, එංගලන්තයේ , ඕස්ට්‍රේලියාවේ මේවා ඔක්කෝටම එකය. රෝගීන්ගේ වාට්ටු වල වැසිකිළි ඇරුණු කොට අනිත් සියල්ල පොදු වැසිකිළි වෙයි. Staff room එකට හැමෝම යති එති. ඇඳුම් මාරු කරන්නේ ගෑණු පිරිමි වෙන්වීමෙන් පමණක් ය. ඇතැම් යුරෝපීය රටවල ගැහැණු පිරිමි ලෙස වෙන් වන්නේ.ද නැත. එකිනෙකා අතර දුරස්ථභාවය අවම ය හෝ නොමැතිය. ඒ සමාජය තුල සමානාත්මතාවය වැජඹෙයි.
ඔය විවිධ ප්රවෘත්ති තුළින් එකිනෙක විරසකයන් වරින් වර එලි බහින්නේ අර මූල බීජය කරුණු කොට ගෙනමය. ඒ මූල බීජයත් සේවක සමිති දේශපාලන පක්ෂ සමග ඇති සම්බන්ධයත් මේ ගැටළුව අප්‍රසන්න තලයකට ගෙන විත් ඇත. අපිට මෙසේ ඉස්සරහට යා නොහැකිය. වෙනස් වීමටත් වෙනස් කිරීමටත් කාලය උදා වී තිබේ. අනෙක් සේවා වල ද මේ ගැඹුරු බෙදී යාම තිබේ. මේ වෙනස් කම් නැති කර ගෙන සමානාත්මතාවයෙන් සළකන සමාජයක ජීවත් වීමට ඔබ සූදානම් විය යුතුය. එසේ නොවන්නේ නම්, තියෙන විදිය හොඳ නම්, ඔබ දියුණු රටක් නොපතන්න. දියුණු රටක් පතන්නේ නම්, සමානාත්මතාවය අගය කරන්න.
ගුණදාස කපුගේ ගේ සිංදුවක් මේ වෙලාවට මතක් වීම නොවැළැක්විය හැකිය.
සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන...
පැතුම් කර්නර්