ග්‍රහ මාරුව - මගේ කෙටිම කෙටි කතාව - 02

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,348
    20,923
    113
    ඉස්කෝලෙ මහත්තයා කොහොමත් කයිවාරුකාරයෙකි. එහෙත් ගම්මුන් ඔහුගේ කතා ඉවසා අසාසිටියේ ඔහුගේ උගත්කම හා තම දූ දරුවන්ගේ ඇස් පාදන්නට වෙසෙසින් මහන්සි වන බව දන්නා බැවිනි. අනික ඔහු කී කතාවල ඇත්තක් තිබෙන බව විටෙක හණමිටි අදහස් දැරූ ගම්මු පවා කල්පනා කළෝ ය.

    තරමක අළුත් අදහස් දරන්නට කුඩා කල සිටම සිත යොමුකලේ තම පියාගේ පොත් රාක්කයේ තිබූ ඉංග්‍රීසි පොත් සහ සඟරා කියවීමෙන් බව හෙතෙම පිළිගන්නට අදිමදි කලේ වරක් ඔහුගේ සහෝදරයෙකු හා වාද කරමිනි. ඔහු සිතා සිටියේ ම ස්වකීය බුද්ධියෙන්ම සිතා ගැමියන්ගේ මිත්‍යාවෙන් මිඳී සත්‍ය සොයාගත් පුද්ගලයා තමා කියා ය.

    කුඩා ගමක් වූ දිගාව පවුල් හැටකට අඩුවෙන් ජීවත් වූ නමුදු අහල ගම් දෙක තුනටම තිබූ එකම ඉස්කෝලය වූයේ දිගාවේ ඉස්කෝලය යි. එයිනුත් දිගාවෙහිම සිට එහිම ඉගැන් වූ එකම ගුරුවරයා වූයේ සෝමසිරි ඉස්කෝලේ මහත්තයා වීමෙන් ගමෙහි විශේෂ ගෞරවයක් ඔහුට හිමි වූ අතර ඉදිරියට විශේෂණ පද නොමැතිව ඉස්කෝලෙ මහත්තයා යන නාමයෙන්ම ඔහුව ඇමතීම ගම්මුන්ගෙන් ඔහු ලද ගරුබුහුමනක් විය.

    ඉස්කෝලෙ මහත්තයා පන්සලට මවගේ සහ පියාගේ දානය නොවරදවා රැගෙන ගිය ද , ගමේ පිං කටයුත්තක දී පෙරමුණ ගත්ත ද වරක් දෙකක් ලොකු හාමුදුරුවන්ගේ හිත අමනාප කරගත්තේ මිනිසුන්ට බොරු දේශනා නොකරන ලෙස ඉල්ලමින් වාද කරන්නට යාමෙන් හා බෝධිපූජා ඕන නැතැයි කියන්නට යාමෙනි .

    ගමේ තිබූ දේවාල දෙකටම විරුද්ධ වූ ඔහු ප්‍රසිද්ධියේ කපු මහතුන් දෙදෙනාටම කෑගැසූ තැන්වල ගම්මු ඔහුව නිහඬ කරවන්නට තැත් කළේ "හදිහූනියමකවත් කරයි මහත්තයෝ " යැයි පවසමිනි.

    ඉස්කෝලේ මහත්තයාගේ දරුවන් දෙදෙනා තවමත් පාසල් යන වයසේ නොවූවත් දැන් දැන්ම ඔහු සිතා ලක ලැහැස්ති වෙන්නට හැදුවේ ළමයි දෙදෙනා නගරයේ පාසලකට යැවීමට ය. ඒ "යසයි අම්මා ළමයින්ට බොරු උගන්නනවා. මුන් දෙන්නාවත් ගමෙන් පිට යවලා හදා ගන්න ඕනෑ" යැයි දරුවන්ට පැරණි චාරිත්‍රයක් වාරිත්‍රයක් කියා දෙන්නට යන තම බිරිඳට ඔලොක්කුවට කියමිනි.

    දිනක් හදිසියේම වෙද මහතා ළඟට තම පොඩි පුතා ද ඔසවාගෙන ආ ඉස්කෝලේ මහත්තයා මලානිකව සිටි දරුවා පෙන්වා වෙදකමක් කරන ලෙස කීව ද නාඩි බැලූ වෙදමහතා ලෙඩේ නිච්චියක් නැති නිසාත්, දරුවාගේ තත්වය ඉතා දුර්වල නිසාත් " මහත්තයෝ දරුවා බොහොම දුර්වලයි. අනික නාඩි අනුව මට ලෙඩේ හරියට හොයා ගන්ටත් බෑ. ඉක්මන් කරලා රජයේ දොස්තර කෙනෙකුට පෙන්නන්නට ඉස්පිරිතාලයකට යන්නට වෙනවා" යැයි කීවේ ය.

    එදින රජයේ රෝහලේ රස්තියාදු වූ ඉස්කෝලෙ මහත්තයා සහනදායී පිළිතුරක් ලැබුණේ නැත. ලෙඩක් ඇති බව කීවද ලෙඩේ මොකක් දැයි කිසිවෙක් සොයා ගත්තේ නැත.

    මෙන්න මේ පරීක්ෂණ කරන්න ඕනි යැයි කියමින් පරීක්ෂණ දෙක තුනක් කරමින් සතියක පමණ ගිය තැන රෝගය ගැන නිශ්චිත කිසිවක් නොකියාම බෙහෙත් පෙති හා පැනි දෙක තුනක් සමඟ දරුවා නිවසට හරවා එව්වේ ලෙඩේ වැඩි වුනොත් නැවත ඉස්පිරිතාලයේ නවතන්නට එන ලෙස කියමිනි.

    මසක් ගත විය. ඉස්කෝලෙ මහත්තයා දන්නා දන්නා වෙදුන් හා දොස්තර මහතුන් හමු වී නිවසට ගෙන්වාගෙන පවා රෝගය කුමක් දැයි සොයන්නට උත්සහ කළ ද ඒ කිසිවක් සාර්ථක නොවී ය.

    දරුවාට ඉස්පිරිතාලෙන් දුන් බෙහෙත් ද වෙදමහතා දුන් කසාය කල්කය හා ගුලි ද දිගින් දිගටම ලබා දුන් නමුදු දරුවාගේ රෝගයේ අඩුවක් නොවූ බැවින් අවසානයේ බිරිඳ ඉල්ලූ පරිදි බෝධිපූජාවක් පැවැත්වීමට ඉස්කෝලෙ මහත්තයා කැමති විය.

    පසු දින සවස පන්සල කොනේ සිටි සිරියාත් කමලාත් ඉස්කෝලේ මහත්තයා බෝධීන්වහන්සේ වන්දනා කරන අයුරු දැක ඒ දෙස බලා සිටියෝ ය.

    "අනෙ අප්පේ කොහොම හිටපු මහත්තයෙක් ද" කියමින් කමලා හිල්ලුවේ වම් උරහිසෙහි නිකට තබා ගනිමිනි.

    "ග්‍රහයා මාරුවෙන්ටම ඕනි නොවෑ මොලේ පෑදෙන්ටත්"
    සිරියා කීවා ය.

    බෝධිපූජාව නිම වී දින දෙකක් ගතවීමට මත්තෙන් දරුවා සනීප විය. මහත් සතුටට පත් ඉස්කෝලේ මහත්තයා පළමුව වෙදමහතා හමුවේ මේ බව කීවේ කලගුණ සලකා ය.

    ඉස්කෝලේ මහත්තයා පිටවී ගිය පසු වෙද මහතා අසලට ආ වෙදහාමිනේ " ඔන්න පේනවා නේ. ඔය මනුස්සයා බෝධිපූජා වලට කොයිතරම් නම් කට කැඩුනු කතා කිව්ව ද. අන්තිමට පිහිටට තිබුනේ එච්චරයි" යි කීවා ය.

    "එහෙම ම කියන්නත් එපා නෝනේ. ඔය ලෙඩේ හොඳ වුනේ බෝධිපූජාවෙන් වෙන්නත් පුළුවන්. මගේ බෙහෙතෙන් වෙන්නත් පුළුවන්. නැත්තන් රජේ බෙහෙත් පෙති වලින් වෙන්ටත් පුළුවන්." යැයි කියමින් වෙදමහත්තයා ඇදිපුටුවේ හේත්තු විය.

    (ප.ලි - මේක 03 වෙනි කෙටි කතාව :) හෙඩින් එක වැරදුනා.)
     
    Last edited:

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ස්තූති 👍
    මේක දැක්කොත් තරහ එයිද දන්නේ නෑ :lol:
    නෑ.. නෑ.. චුට්ටක් මෝඩ පහේ වුණාට.. නිමිච්ච මනුස්සයෙක්.. :yes:
     
    • Haha
    Reactions: B.Chat