කෙටි කතාවක්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,234
    99,971
    113
    " එහෙනම් ඒ ගෑනු ළමයා මම එක්ක විවාහ වෙන්න කැමති නෑ ? " යි සිරිමන් සිල්වා, කපුරාළගෙන් ඇසී ය.
    " ඔව්, අකමැත්ත ගෑනු ළමයාගේමයි, වෙන වැරැද්දක් නෙවි "
    " මම කලිසන් නාඳින නිසා! එහෙම නෙව? " යි කපුරාළ කියන තෙක් නිසොල්මන් නොවූ සිරිමන් සිල්වා කපුරාළ ඇදලා පැදලා කියන්ට හැදු කීම සම්පූර්ණ කෙළේ ය.
    " ඔව්, එහෙම තමයි. ඒ ළමයාත් මහත්තයාගේ වෙන වැරැද්දක් කියන්නේ නැහැ. පවුලේ අනිත් ඔක්කොම ළමයි කපාල අඳින මහත්තැන් කසාද බැඳ තියෙන නිසා රෙදි අඳින කෙනෙක් කැපෙන්නේ නැත කියනවා. "
    " මම හිතුවා ඒ ගෑණු ළමයා මට අකමැති වෙන එකක් නෑ කියා. ඒකයි තමුසෙට කතා කරන්න කීවේ. මම දැනට කොංඩේ කපාලා රෙදි අඳින නිසා කලිසමක් ඇඳ ගැනීමෙන් ඇඳුම වෙනස් කිරීම පහසුයි. ඒ ළමයා විවාහ කරගන්න මම කොපමණ කැමති උනත් ඒකනම් කරන්නේ නැහැ. "
    " මහත්තයාගේ විදිය මං දන්නවා-ඒක නිසා තමයි මං කලිසන් අඳින්නය යි යෝජනා නොකරේ " යි සිරිමල් කපුරාල කී ය.
    කපුකම් කරන නමුත් කපටියකු හෝ බොරු කාරයකු හෝ නොවන ඔහු දෙපක්‍ෂයම අසන්තෝෂ නොකරන්නට වෑයම් කරන්නෙකි. එහෙයින් ඔහු මනමාලයා, මනමාලියට කෝප වෙතියි යන සැකයෙන් ඇගේ ගුණ කියන්ට වූයේ ය.
    " ඒ ළමයා අසතුටු උනේ වෙන වරදක් නිසා නෙවි. අනිත් අක්කලා ඔක්කොම කපාල අඳින මහත්තැන් බැඳලා ඉන්න නිසා ඒ ළමයා විතරක් රෙදි අඳින කෙනෙක් බැඳ ගත්තාම ටිකක් හිතට අමාරු වෙනවා නෙවෑ. "
    " ඔව් මට තේරෙනවා. මීට පස්සේ කපාලා අඳින මහත්තැන්ය නොකියා කලිසන් අඳින මහත්තැන්ය කියනවා, එතකොට කාටත් තේරෙනවා" සිරිමන් සිල්වා කට කොනට සිනාවක් නගමින් කීය.
    " කපාලා අඳින මහත්තැන් ය කියන්නේ ඒ ළමයා නෙවි, අපි" යි සිරිමල් කපුරාළ කී ය.
    සිරිමන් සිල්වා කොළඹ ගොස්, නිල් රෙදි වලින් නොයෙක් මිනුම්වලට කොට කලිසන් දෙසීයක් මහන්ට සාප්පුකාරයෙකුට නියම කොට දෙතුන් දවසකින් ගමට පැමිණියේ ය.
    පැමිණි ඔහු, ගමේ සියලු ලොකු කුඩා තරුණයන් ද ලොකු මිනිසුන් සතුටු නම් ඔවුන් ද රැස්කොටගෙන, සතියකට වරක් බැගින් තරඟ කෙළි පැවැත්වීමටත්, ඒ තරග වලින් දිනූවන්ට තෑගි දීමටත් තීරණය කරගෙන ගමේ තවත් ධනවත් මිනිසුන් හත් අට දෙනකුන්ද ඊට කැමති කරවා ගත්තේ ය.
    තෑගි දීම සඳහා පමණක් නොව අනෙකුත් සියලු දේ සඳහා වියදම් කරන්නේ සිරිමන් සිල්වා ය.
    මුද්‍රිත පත්‍රිකා දහස් ගණනක් ගම පුරා විසුරුවා හරින ලදී. පළමු සතියේ තරග කෙලියට ගමේ සිටි තාක් තරුණයෝ ද ළමයි ද ලොකු මිනිසුන් ටික දෙනෙක් ද පැමිණියෝ ය.
    රෙදි හැඳගෙන ක්‍රීඩා කිරීමේ අමාරුව වර්ණනා කළ සිරිමන් සිල්වා 'තරගයට එන සියලූ දෙනාම කොට කලිසන් හැඳගත යුතුය' යි යෝජනා කෙළේ ය. කොට කලිසන් නොහැඳගත් කිසිවෙක් තරගයට නොගන්නා ලදී.
    " අපට මොන කලිසන්ද ?" කියමින් ලොකු මිනිස්සු පසුබෑහ. සබකෝලය වැඩි ඉලංදාරීහු ද පසුබෑහ.
    අනුන්ගේ ඇනුම් පද හෝ සිනා හෝ නොතකන තරුණයෝ ද ළමයිද නොමිලයේ ලැබෙන කොට කලිසන් හැඳගෙන තරග කෙළිසෙල්ලමට සූදානම් වූහ.
    කලිසන් ඇඳීමට ආශාවෙන් සිටි තරුණයෝ ද ළමයි ද අපි 'කැමති' යි කියමින් එක පයින් සිටගත්හ.
    එදින ඒ ඒ තරග කෙළියෙන් ජයගත් පළමු වැන්නාට දෙන ලද තෑග්ග රුපියල් විසිපහකි; දෙවැන්නාට රුපියල් පහළොවකි; තුන්වැන්නාට රුපියල් දහයකි.
    දෙවැනි සතියෙහි තරග කෙළියට ඉදිරිපත් වූවන්ගේ ගණන ක්‍රමයෙන් වැඩි වී ය.
    ඇනුම් පද හා සිනා නොතකන ඇතැම් මහල්ලෝ කොට කලිසන් හැඳගෙන තරගයට බැසීමට කැමති වූහ.
    මසක් ගෙවෙන්ට පෙර සිරිමන් සිල්වා කොළඹින් දෙවරක්ම කොට කලිසන් ගෙන්වූයේය.
    තුන් මසක් ගිය තැන කොට කලිසන් හැඳගෙන තරග කෙළියට බැසීමට අකමැති එකෙකු මහල්ලන් අතරිනිදු සොයාගත නොහැකි වී ය.
    කවුරුනුත් මහත් වූ ආශාවෙන් කොට කලිසන් හඳින්ට වූ බැවින් තරගයට එළඹුණු සියලු දෙනාටම, තම තමන්ගේ කොට කලිසන් ගෙදර වලට ගෙන ගොස් කැමති නම් එයින් ප්‍රයෝජන ගැනීමට ද ඉඩ හරින ලදී.
    පළමු දෙතුන් සතිය තුළ කොට කලිසන් ගෙන ගියේ ටික දෙනෙකි.
    දෙමසක් ඉකුත් වූ තැන කවුරුත් කොට කලිසන් ගෙදර වලට ගෙන යන්ට වූහ.
    මුලදී ගෙදර වලදී කොට කලිසන් හැන්දේ ළමයින් පමණි.
    එහෙත් හමසක් ඉකුත් වූ තැන කොට කලිසමින් නොසැරසුණු ඉලන්දාරියකු සොයාගන්නා ලද්දේ අමාරුවෙනි.
    කලිසන් හැදීමේ ලාභයත් පහසුවත් කාටත් ක්‍රමයෙන් වැටහුණු බැවිනි.
    ගමේ තරග කෙළි සංගමයෙන් ලැබුණේ එකෙකුට කොට කලිසම බැගිනි. හමසක් ගිය තැන තරුණයන්ටත්, ළමයින්ටත් කොට කලිසන් දෙක තුන බැගින් ලැබිණ.
    කෙසේ ද ? කලිසම හොඳ බව, පහසු බව, වැටහුණු සියලු දෙනාම සරම් වෙනුවට කොට කලිසන් මස් වන්ට වූ බැවිනි.
    මුලදී සමිතිය උදෙසා වියදම් කෙළේ සිරිමන් සිල්වා ය. හමස ඉකුත් වූ තැන අන්‍යයන්ගෙන්ද සමිතියට උපකාර ලැබෙන්ට වී ය.
    "දෙයියෝ සාක්කි! දැන් ගබංචියාගේ පුතාත් අඳින්නේ කලිසන් නොවැ" යි සූරියකාන්ත හාමිනේ කීවා ය.
    " අනේ අම්මේ! ඒක නෙවෙන්නම්. කලිසමට ගිය කල. ගස් යන පොඩියාගේ පුතාත් දැන් ගෙදරටත් කොට කලිසම් ඇඳගෙනමයි ඉන්නේ. "යි සූරියකාන්ත හාමිනේගේ ලොකු දූ කීවා ය.
    ඈ කපාලා අඳින මහත්මයකු සමග විවාහ වූයේ මීට අවුරුදු දහයකට පමණ පෙර ය.
    " අපේ මහත්මයා දැන් කලිසන් අදින්ටත් ලැජ්ජයි කියනවා. ගිය පෝය දා මහත්තයයි මායි පන්සලට යන්න යනකොට ඉස්සරහටම හම්බඋණේ කොට කලිසමක් ඇඳගෙන මාළු බාන්න යන අබරංගෙ පුතා! 'කලිසම් අඳින්නත් ලැජ්ජයි.' මහත්තයා කිව්වේ එදා! " යි සූරියකාන්ත හාමිනේගේ දෙවැනි දූ කීවා ය.
    " මෙන්න මේ දරිවි තමයි මේක කෙරේ! " යි කියමින් තුන් වැනි දූ තම බාල නගා දෙස යටසින් බලා තක්කඩි සිනාවක් නැගුවා ය.
    තුන් වැනි දුව කපාලා අඳින මහත්තයකු සමග විවාහ වී දෑ අවුරුද්දකට වැඩි නොවී ය. එහෙයින් කලිසමට තිබුණු සැලකිල්ල ද තවම ඇගේ සිතින් තුනී නොවී ය.
    " මේක නෙව පුදුමේ! අබරන්ගේ පුතාටත් කලිසං ඇන්දෙව්වේ මමය කියන්නේ පිස්සුවෙන් වෙන්න ඇති! " යි කියමින් බාල නංගි තරහයෙන් කථා කළාය. ඈ අක්කාට රවා බලා හුනස්නෙන් නැංගා ය.
    " නංගී නොවෙන්නම් මේ ඔක්කොටම කලිසන් ඇන්දෙව්වේ! " යි ඈ තම නංගීට යළිත් සරදම් කළා ය.
    " නංගී සිරිමන් සිල්වාට අකමැති උන හින්දා තමයි මේ ඔක්කොම! "
    " ඔව්" යි ඈ තරහයෙන් කීවා ය. " එතකොට මං විතරෙයි අකමැති උණේ? අක්කලත් හොඳටම අකමැති උණා. දැන් හැමෝම කලිසන් අඳින්න ගත්තාම මං වැරදි කාරයා උණා!" යි කියමින් ඈ හඬන්ට වුවා ය.
    "ලිසා දැන් කැමැතිය යි කපුරාළ අත සිරිමන්‍ට කියාලා යවනවා!" යි මෑණියො සිනාසෙමින් කී හ. ලිසාගේ සහෝදරියෝ ද සිනාසෙන්ට වූහ.
    " වැඩේ හරිගියා මහත්තයා! ඒ ළමයා විතරක් නෙවි අක්කලත් කැමතියි. නමුත් ගමේ කපාලා අඳින මහත්තැන් නම් හරියට මහත්තයා එක්ක කේන්ති! යි කියමින් සිරිමල් කපුරාළ සිනාසුණේ ය
    "මන් දන්නවා" යි කියමින් සිරිමන් සිල්වා ද සිනාසුණේ ය
    "කොහොම ද ? කවුද කිව්වේ?"
    " පුංචි නෝනා අද උදේ මට ලියුමක් එවා තිවුනා, එයා අකැමැති නැත. අක්කලාය මුලදී අකැමැති උණේ! තරහ වෙන්න එපාය!"
    මෙවර කපුරාළ සිනාසුණේ කොක්හඬ නඟමිනි.
    --මාර්ටින් වික්‍රමසිංහ--

    copied from Sachin Rathwatte post.
     
    • Haha
    Reactions: Inigo Montoya