ගිරා මත්ස්‍යයා අලංකාර මාලුවෙකි. ආහාරයට ද ගත හැකියි. නමුත් එය නැවැත්විය යුතුම ය. එයට සුවිශේෂී හේතු රැසක් ඇත. අපගේ ධීවර ප්‍රජාව ඒ ගැන දැනුවත් විය යුතුය. අපගේ සාගරේ ආහාරයට ගත හැකි නොයෙක් මසුන් වර්ග වලින් බහුලව ඇත. ඒ නිසාම අප ගිරා මත්ස්‍යයාට අභය දානය දිය යුතුය. ඒ ගිරා ඉටු කරන අසීමිත සේවය මිල කළ නොහැකි නිසාය.
කොරල් පර ආශ්‍රිතව ජීවත් වන ගිරා මත්සයා මල කොරල්පර කොටස් සහ කොරල් පර වලට අහිතකර ඇල්ගී විශාල වශයෙන් ආහාරයට ගනී. මේ මත්ස්‍යයාගේ දින චර්යාවෙන් 90% ක පමණ කාලයක් ගත වන්නේ කොරල් පර ආශ්‍රිතව ආහාර ලබා ගැනීමටය.
නිවර්තන කලාපයේ කොරල්පර බොහොමයක් අහිතකර ඇල්ගී මගින් පීඩාවට ලක් වී ඇත. මෙයට ප්‍රධාන හේතුව ප්‍රමාණවත් ගිරා මත්ස්‍ය ගහනයක් එම කොරල් පර ආශ්‍රිතව දක්නට නොලැබීමයි. සැබැවින්ම අනෙකුත් ශාක භක්ෂක මසුන්ගෙන් ගිරා මත්ස්‍යයාගෙන් සිදුවන සේවය සිදුවන්නේ නැත.
සියල්ලටම වඩා වැදගත් කරුණ වන්නේ ගිරා මත්සයා සිය වසුරු ලෙස පිරිසිදු සුදු වැලි පිට කිරීමයි. එක් ගිරා මත්ස්‍යයෙකු වසරකට සුදුවැලි කිලෝ ග්‍රෑම් 320 ක් (රාත්තල් 700 ක්) පමණ පිට කරනු ලබයි.
ඇල්ගී සහ මල කොරල්පර ආහාර ගෙන පිරිසුදු වැලි පිට කරන මෙම හැඩකාරයා රැක ගත යුතුමයි. වාර්තාවලින් ප්‍රබල ලෙස තහවුරු වී ඇති කරුණක් වන්නේ 1980 දශකයේ ගිරා මසුන්ට අභයදානය ලබාදුන් ස්ථාන වලට ආසන්න කොරල්පර මේ වන විට සුවපත් වෙමින් පවතින බවයි.සැබැවින්ම මෙය ඔවුන් රැකගැනීමට දරන උත්සහ දිරිගන්වන සුළු තත්වයකි.
ඒ නිසා ධීවර මිතුරනි, ඔබේ දැලට, බිලී කොක්කට හසුවන ගිරා මත්ස්‍යයාට අභයදානය දෙන්න. එය අනාගතයේ ගොඩනැගෙන නිරෝගිමත් කොරල් පරයක් ආශ්‍රයෙන් වඩාත් සරු මත්ස්‍ය අස්වැන්නක් ලබා ගැනීමට හේතු වනු නොඅනුමානය.
Last edited:
