ගුරුවරයා එදා සහ අද
දැනට දශක පහකට හෝ හයකට පමණ පෙර අපේ ගම්බද පාසල්වල සේවය කළ ගුරුවරුන් නිතර අපේ මතකයට නැඟේ. අද මෙන් මුදල් පසුපස හඹා යන සමාජයක් නො තිබුණ එකල බොහෝ ගුරුවරු ඇඳුමෙන් පැළඳුමෙන් මෙන්ම අන් හැම අංශයකින් ම වාගේ චාම් ජීවිතවලට පුරුදු ව සිටිය හ.
ලැබුණ වැටුපෙන් පමණක් සෑහීමට පත් වූ ඔවුහු මුල් කාලයේ දී අත් ඔරලෝසුවක්, බයිසිකලයක් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයක් මිලට ගැනීමට පෙලඹුණු අතර වසරක් දෙකක් ගත වූ පසු තමා ගේ ම නිවසක් ගොඩනැඟීම වැනි කටයුත්තකට ද යොමු වූ හ. ඇතැම් විට ගමේ තිබුණු තම කුඹුරු කැබැල්ල වගා කිරීමට අමතරව අද මෙන් මහා පරිමාණ ආර්ථික බෝග වගාවකට හෝ වෙනත් ආදායම් මාර්ගයකට හෝ යොමු වී අමතර ආදායමක් ලබා ගැනීමට ද ඔවුනට අවශ්‍ය නො වී ය. මුදලට උගැන්වීම සදාචාරයට පටහැනි ක්‍රියාවක් ලෙස සැලකෙන එවන් යුගයක පෞද්ගලික පන්ති පැවැත්වීමක් ද නො වී ය.
මේ අතර එදා ගුරුවරු එකල පැවැති සමාජ තත්ත්වය අනුව මනා දැනුමකින් ද යුක්ත ව සිටිය හ. එදා පාසල්වල ඉගැන්වූ සැම විෂයයක් පිළිබඳව මෙන්ම රටේ හා ලෝකයේ සිදු වන කාලීන සිද්ධි පිළිබඳව ද ඔවුහු දැනගන සිටිය හ. එමෙන්ම ඔවුහු පැරැණි සිංහල ගද්‍ය හා පද්‍ය ග්රන්ථ පිළිබඳව මෙන්ම විවිධ සෞන්දර්ය ක්‍රියා පිළිබඳව ද දැනුවත් වූ හ. අද මෙන් නො ව එදා ලෝකයේ දැනුම වර්ධනය වූයේ අඩු වේගයකින් වන අතර එදා ගුරුවරු ද ඊට සමගාමීව තම දැනුම ද වර්ධනය කර ගත් හ.
එදා අද මෙන් පුවත්පත් සඟරා බහුල නො වී ය. බොහෝ ගුරුවරු දිනපතා පුවත්පත් මිල දී ගත් හ. එකල ප්‍රචලිත ව පැවැති රසවාහිනී, නවයුගය හා කවි සඟරා වැනි දේ මිලට ගත් හ. ඒවා කියවීමෙන් ලත් දැනුම තම ශිෂ්‍යයන් අතර ද බෙදා දුන් හ. මේ අතර මාසයේ වැටුප් ලබාගත් විට නගරයේ පොත්හලකට ගොස් අවශ්‍ය පොතක් මිල දී ගැනීමට ද ඇතැම්හු පෙලඹී සිටිය හ. මේ පොත්පත් එකතු කර තම නිවසේ පෞද්ගලික පුස්තකාලයක් ද ගොඩනඟා ගත් හ.
ඔවුහු ශිෂ්‍යත්ව විභාග ඇතුළු රජයේ විභාගවලට පෙනී සිටින සිසුන්ට නිවාඩු දිනවල හා සවස් වරුවල අතිරේක පන්ති පැවැත්වූයේ ද කිසි ම ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් නො වේ. මේ අතර සිසුන් විසින් අසන ලද ඕනෑ ම ප්‍රශ්නයකට වුව ද ක්ෂණිකව සාර්ථක පිළිතුරක් ලබා දීමට ද ඔවුහු සමත් ව සිටිය හ.
පවතින සමාජ හා ආර්ථික පරිසරයට අනුව අද ගුරුවරුන් ගෙන් අපි මේ තත්ත්වය මේ අයුරෙන් ම බලාපොරොත්තු නො වෙමු. එහෙත් අද දැනුම ලබාගැනීමේ විවිධ ක්‍රම හා පහසුකම් ද ඉතා සුලබ ය. එබැවින් හැම ගුරුවරයකු ම තම විෂය දැනුම තමා ගේ විෂයයට පමණක් සීමා නො කර වඩ වඩාත් පුළුල් කර ගත යුතු ය. දැනුම බෙදා දීමෙහි නියුක්ත ගුරුවරයා හැම විට ම දැනුමෙන් සන්නද්ධ ව සිටිය යුතු ය.
මේ අතර අද බොහෝ තරුණ ගුරුවරු පරිගණක දැනුම ඇතුළු නවීන තාක්ෂණ දැනුම ද වර්ධනය කර ගනිමින් සිටිති. එය සතුටට කරුණකි. එමෙන්ම පාසල්වල ගුරු මණ්ඩලයේ විවිධ බාහිර වැඩ කටයුතුවල දී පවා කැප වෙමින් කටයුතු කරන ගුරුවරු ද ඇත. ජීවත් වීමේ බලවත් අරගලයක යෙදී සිටින අතර දරුවන් වෙනුවෙන් මෙසේ කැප වී කටයුතු කරන සියලු ම ගුරු භවතුන්ට අපි අපේ ආශිර්වාදය ද පුද කරමු.