--ගුවන් යානාව තිතටම ගොඩ බැස්සුවා?--

Tera@

Active member
  • Jun 23, 2011
    137
    75
    28
    Colombo
    --ගුවන් යානාව තිතටම ගොඩ බැස්සුවා?--

    :shocked:--ගුවන් යානාව තිතටම ගොඩ බැස්සුවා?--:shocked:

    malaysia-airlines-airbus-a330.jpg

    මිනිසුන් 239ක් සමඟ මැලේසියානු ගුවන් සේවයට අයත් 370 යානය (MH370) හිටිවනම තුනී වායුගෝලය තුළ අතුරුදන් ව ගියේ සියවසේ ලොකුම ගුවන්යානා අබිරහස ට මඟපාදමින් ද? සියලු සැක අබිබවා යානයේ නියමුවන් දෙදෙනා, තමන්ගේ ම ගුවන් යානය අහස් කොල්ලයකට ලක් කළේ යැයි සැක සිතන්නට ලෝකයට සිදුවූයේ ඇයි..?
    ------------------------------------------------------------
    මාර්තු 8 වැනිදා අලුයම 12.41 ට ක්වාලාලම්පූර්වලින් උඩු ගුවනට නැගුණු 370 යානය මැලේසියාවේ ක්වාලාලම්පූර් හි ගුවන් පාලක මැදිරිය අමතා ‘හොඳයි, සුබ රාත්‍රියක්’ යැයි කියනවිට පෘථිවියේ වේලාව සටහන් වූයේ උදේ 8.11 ලෙස ය. එය පැය 8 ක කාලයකි. යානය යා යුතු මඟ ගියා නම් ඒ වේලාව වන විට එය තිබිය යුත්තේ බෙයිජිං නුවරට ආසන්නයෙනි.

    එහෙත් දැන් විශ්වාස කෙරෙන්නේ යානය මේ පණිවුඩය ලබාදෙන්නට ඇත්තේ යම්කිසි රහස් ගමනාන්තයකට ගොඩබෑමෙන් පසු යානයේ විදුලි බලය ක්‍රියාත්මක කර තිබියදී විය හැකි බවයි. සියුම් කාලපරාසයක් තුළ දකුණු චීන මුහුදට ඉහළින් තිබියදී එය ආපසු හරවා ඇති බවත් ඉන්පසු යානය පැය 7 ක් පියාසර කර තිබෙන බවත් යානයේ එන්ජිම නිෂ්පාදනය කළ සමාගමේ දත්තවලින් පෙනිණි.

    “එය අතුරුදන් වෙන්න කියාපු පිහිටීමක්..” අමෙරිකා රහස් ඔත්තු සේවා විශේෂඥයෙක් දකුණු චීන මුහුදේ අති දැවැන්ත අබිරහස් ජල තලය ගැන ඒබීසී පුවත්සේවය අමතා කීය. සුබ රාත්‍රියක් යැයි පවසන විටත් යානයේ සියලු සන්නිවේදන උපකරණ නියමු කුටියෙන්ම අක්‍රිය කර තිබූ බව පසුව හෙළිවිය.

    එය සිතා මතාම කරන ලද්දක් බව පැවසේ. යානය අතුරුදන් වී සතියක් පමණ ඉක්ම යන විට සැකයේ ඇස යොමුවූයේ ගුවන් නියමුවන් දෙදෙනා වෙත ය. 53 හැවිරිදි ජ්‍යෙෂ්ඨ ගුවන් නියමු කපිතාන් සහාරි ගුවන් සැතපුම් පැය 18,365 ක් සිය පියාසැරි වාර්තා පොතට එක් කරගෙන සිටි අයෙකි.

    ඔහු ‘ගුවන්යානාව තිතට ගොඩබාන්නකු’ ලෙස සගයන් අතර නමක් දිනා සිටියේය. ඔහු දරු තිදෙනකුගේ පියෙකි. ළාබාලම දරුවා වන වයස විසි ගණන්වල පසුවන දියණිය සහ බිරිය සමඟ සැපපහසු දිවියක් ගෙවූ අයෙකි. ඔහුට එක් මුනුබුරකු ද සිටියි.

    කෙසේ වෙතත් ජ්‍යෙෂ්ඨ ගුවන් නියමු සහාරි අහමඞ් ෂා ගේ සුපිරි පන්නයේ නිවෙස මැලේසියානු පොලිසියේ සෝදිසියට ලක් වුණේ ඔහු තමන්ගේම ගුවන්යානය හයිජැක් කර තිබෙනවා වෙන්නට පුළුවන් බවට පුවත ලොව පුරා පැතිර යාමට දින කිහිපයකට පෙර, යානය අතුරුදන් වූ දින සන්ධ්‍යාවේ සිටම ය.

    එයින් හැඟවෙන්නේ මැලේසියාව ඔහු ගැන යම් දෙයක් හෝ යම් සැකයක් ලෝකයෙන් වසං කිරීමට උත්සාහ කළ බව ද? එම සෝදිසියේදී ඔවුහු බොහෝ දෑ සොයාගත්හ. එයින් එක් දෙයක් නම් ගුවන්යානා සිමියුලේටරයකි. සාමාන්‍යයෙන් උනන්දු සහගත ගුවන් නියමුවෝ සිය නිවෙසේ සිමියුලේටර තබාගනිති.

    එය පරිගණක වැඩසටහන් වලට සම්බන්ධ කර ආගන්තුක දේශයන් හි ගුවන් පථ පිළිබඳ සජීවී ලෙස අධ්‍යයනය කිරීමටත් ඒවායේ ගගන පෙරහුරු සිදුකිරීමටත් හැකි ය. සැබෑ ගුවන්තොටුපොළවලින් යානය අහසට ගැනීමේ අභියෝගාත්මක පෙරහුරුවේ පවා යෙදිය හැකිය.

    මෙය, සැබවින්ම ඔහු සිය ගුවන්යානය මගීන් දෙසිය දෙනෙක් සමඟ ඈත පෙරදිග හෝ වෙන යම් බිම් තීරයක් වෙත ගෙන ගියේ නම් ඒ සඳහා අවශ්‍ය කරන මානසික අභ්‍යාසය අනිවාර්යයෙන්ම ඔහු වෙත ලබාදෙන්නට ඇත. තවද මැලේසියානු පොලිසිය පැවසුවේ අවසන් පියාසැරිය සඳහා ඔහු පිටත්වූ දිනයේම ඔහුගේ බිරිය සහ දියණිය ද නිවෙසින් බැහැර වී ඇති බව සහ නැවත පැමිණ නැති බව ය.

    දෛවෝපගත දිනයේ ගුවන්යානයට ගොඩවීමට පෙර ඔහු කළ කී දෑ ගැන ද බොහෝ තොරතුරු හෙළිවී තිබේ. සැකයේ ඇස මේ ජ්‍යෙෂ්ඨ ගුවන් කපිතාන්වරයා වෙත නාභිගත වීමට බලපෑ ප්‍රධානතම කරුණ ඔහු මැලේසියානු විපක්ෂ නායක අන්වර් ඊබ්‍රාහිම්ගේ සමීපතමයකු සහ ඊටත් වඩා භක්තිමත් අනුගාමිකයෙක් බව හෙළිවීමයි. ඔහු ‘ප්‍රජාතන්ත්‍රවාදය මැරිලා’ (Democracy is Dead) යනුවෙන් සඳහන් ටී ෂර්ටයක් හැඳගෙන සිටින ඡායාරූපයක් ද මේ වන විට ජනමාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

    අන්වර් ඊබ්‍රාහිම් රටේ ජනපි‍්‍රය ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකි. තවද ආණ්ඩුවේ වෛරයට පාත්‍රවීම මත මීට පෙර ද සිරගත කර ඇති අයෙකි. පුං මෛථුන චෝදනා ලබා සිටි ඔහු, එම සමලිංගික හැසිරීම් නඩුව විභාගකිරීම සඳහා පුත්රජයා අධිකරණය වෙත කැඳවා තිබුණේ හරියටම මාර්තු 8 වැනිදා ය.

    එනම් යානය අතුරුදන් වූ දිනයේ ම ය. ඔහු ට පස් අවුරුදු සිර දඬුවම් නියම වීමෙන් පැය කිහිපයකට පසු යානය අතුරුදන් විය. එපමණක් නොව පසුව හෙළිවුණේ කපිතාන් ෂා, යානය භාරගැනීමට ක්වාලාලම්පූර් ගුවන්තොට වෙත යාමට පෙර දිනයේ එනම් මාර්තු 7 වැනිදා සැතපුම් 15 ක් මඟ ගෙවා පුත්රජයා වෙත ගොස් තිබූ බවයි.

    ඔහු පුත්රජයා ගියේ සිය බැතිබර නායක අන්වර් ඊබ්‍රාහිම්ගේ නඩු විභාගය දකින්නට ය. එහිදී අන්වර් ව ඔහු මුණගැසුණු බව ද සිතයි. පසුව ෂා රාතී‍්‍ර 9 ට පමණ ගුවන්තොට වෙත ආවේය. යානය ගුවන්ගත වූයේ රාත්‍රී 12.41ට ය.

    අන්වර් ඊබ්‍රාහිම්ට ලැබුණු නඩු තීන්දුව මතභේදාත්මක එකක් විය. ඒ නිසා කපිතාන් ෂා සිත් රිදවාගෙන තිබූ බවට සැක නැත. මේ පසුබිම තුළ කපිතාන් ෂා දේශපාලන සිත්රිදවුම මැලේසියානු රජය අපහසුතාවට පත්කිරීමෙන් සහ මගී ජීවිතවලින් පළිගැනීමෙන් සනසාගන්නට සිතුවාද?

    මේ අතර සහායක ගුවන් නියමු, 27 හැවිරිදි ෆාරික් අබ් හමීඞ් ද පියාසැරිය සඳහා සූදානම් වෙමින් සිටියේය. ඇසින් දුටු සාක්ෂිවලට අනුව ඔහු එදා සිලි සිලි මලුවලට සමාන කුඩා මලු සම්භාරයක් වෑන් රථ දෙකකට පටවා තිබේ. 2007 වසරේ මැලේෂියා ගුවන්සේවයට බැඳුණු ඔහු පියාසැරි පැය 2,763 ක වත්කමක් පමණක් තිබූ නවකයෙකි.

    බෝයිං 727 යානාවල සේවය සඳහා ඔහු යොදවා තිබුණේ සිමියුලේටර පෙරහුරුව සාර්ථක ලෙස නිම කිරීමෙන් පසු නොබෝදා ය. ඔහු සිය මවුපියන් හා සහෝදර සහෝදරයන් සිවුදෙනා සමඟ සාමාන්‍ය ජීවිතයක් ගත කළ තරුණයෙකි. ඔහු කෙළිලොල් අයකු බවට ද සාක්ෂි තිබේ.

    යානය අතුරුදන්වීමෙන් පසු, 2011 වසරේදී තායිලන්තයේ සිට මැලේසියාව බලා ඔහුගේ යානයෙන් ගමන් කළ ජොන්ටි රොස් නමැති තරුණිය ජනමාධ්‍ය හමුවේ කියා සිටියේ එම ගමනේදී ඔහු තමන් සහ තම මිතුරිය නියමු කුටිය තුළට කැඳවූ බවයි. එහිදී ඔහුගේ සගයා සමඟ ඔවුන් තිදෙනා නියමු කුටිය තුළ දුම්පානය කළ බව ද මැලේසියානු ගුවන් බලධාරීන්ට තරු විසි කරමින් ඇය කියා සිටියාය.

    2001 සැප්තැම්බර් 11 න් පසු ගුවන්යානා තුළ නියමු කුටිය තුළ එවැනි හැසිරීම්වලට නීතියෙන් ඉඩක් නැත. එපමණක් නොව එහිදී ගත් ඡායාරූප ද ඇය ජනමාධ්‍ය වෙත ලබාදුන්නාය. කෙසේ නමුත් ෆාරික් හා සහාරි, එදින පියාසැරි මුරයට තමන් දෙදෙනා එක්ව යොදන ලෙසට විශේෂ ඉල්ලීමක් කර තිබුණේ නැත. අනෙක් අතට රොස්ගේ ප්‍රකාශය, නියමු කුටියට ඇතුළු වූ තෙවැන්නකු එහි පාලනය අතට ගත්තා ද යන සැකය ද බලධාරීන් තුළ මතු කළේ ය.

    යම් හෙයකින් යානය නැවත හමු වුවහොත් සහ යානය එදින වන විට ඉඳුරාම වෙනස් ඉරණමකට මුහුණ දී තිබුණොත් මේ සැකයේ බීජ හරහා ලෝක ජනමාධ්‍ය ඇතුළු බලධාරීන් දැනටමත් මේ නියමුවන් දෙදෙනාට විසල් අසාධාරණයක් කර තිබෙන බව ද කිව යුතු ය.

    කෙසේ වෙතත් මේ ලිපිය මුද්‍රණයට යන අවස්ථාව වන විට ලෝකයේ රටවල් 25 ක් යානය සෙවීමේ මහා මෙහෙයුමට සම්බන්ධ වී තිබේ. දකුණු කොරිඩෝරයේ සෙවිලි කටයුතුවල ඔස්ටේ‍්‍රලියාව යුහුසුලුව මුහුණ දෙයි. තමන්ගේ රටේ රේඩාර් පද්ධතියට හසු නොවී කිිසිම ගුවන්යානයකට යා නොහැකි බව පැවසූ ඉන්දියාව මුල පටන්ම සෝදිසි මෙහෙයුමට එක් විය.

    පාකිස්තානය, බංග්ලාදේශය, චීනය, මියැන්මාරය, ලාඕසය, වියට්නාමය, තායිලන්තය, ඉන්දුනීසියාව, ප්‍රංශය, එක්සත් රාජධානිය, අමෙරිකා එක්සත් ජනපදය මෙන් ම කසකස්තානය, උස්බෙකිස්ථානය, කිර්ගිස්ථානය, තුර්කිමෙනිස්ථානය වැනි රටවල් පවා සියවසේ මහා සෝදිසි මෙහෙයුමට දැන් එක්වී සිටිති. ඔවුන්ට අනුව ඉන්දියන් සයුර ගවේෂණය කිරීම විසල් අභියෝගයකි.

    ඒ, එය අඩි 23,000 ක් දක්වා ගැඹුරු නිසා පමණක් නොව ජනශුන්‍ය දූපත් සියගණනක් ද ඉන්දියානු සාගරය ආශි‍්‍රතව පිහිටා තිබෙන නිසා ය. කෙසේ නමුත් ගැටලුව වන්නේ ගොඩබෑ ගුවන්යානයක් සෙවීම මදුරුවෙක් සෙවීම තරම් අසීරු වී තිබෙන්නේ මක් නිසා ද යන්නයි. අනෙක, සතියකටත් වැඩි කාලයක් මගීන් දෙසිය දෙනෙක් කෑම බීම ඇතුළු සෙසු ගැටලු අභියෝගයක් වී තිබේ නම් ජීවත්වන්නේ කෙසේද? එහි අරුත, යානය කිසිවෙක් සිහිනෙන්වත් නොසිතන ස්ථානයට ගොඩ බස්සවා තිබෙන බවද?

    නැතිනම් යානය මිහිමත කිසි තැනක නැති බවද? නිව්යෝක් ටයිම්ස් පුවත්පතට අනුව යානයේ සිටි මගීන්ගෙන් එක් අයෙක් චීනයේ පුද්ගලික ජෙට් සමාගමක සේවය කරමින් සිටි ගුවන්යානා ඉංජිනේරුවෙකි. තවද ව්‍යාජ ගමන් බලපත්‍රවලින් ගමන්ගත් මුස්ලිම් ජාතිකයන් පස් දෙනෙක් ද යානයේ වූහ.

    ඔවුන් සියලූ දෙනා ද දැන් මේ අබිරහසේ සැකකරුවන් ය. වෝල් ස්ට්‍රීට් ජර්නලයට අනුව යානය අප්‍රකට පටු ගුවන් පථයකට ගොඩ බස්වා සඟවා තිබීම, තාක්ෂණය ඉතා දියුණු මේ යුගයේදී පවා සිදුවිය නොහැකි දෙයක් නොවේ.

    බෝයිං යානය විසල් බව සැබෑ නමුත් අවම වශයෙන් සැතපුමක් විශාල බිම්කඩක් එය ගොඩබෑම සඳහා සෑහෙයි. කපිතාන් ෂා, එවැනි ගොඩබෑමක් සඳහා සිය සිමියුලේටරයෙන් පෙරහුරු කළේදැයි දැනගැනීමට මඟක් තවම නැතත් මෙයට කලින්ද පැවසූ පරිදි ඔහු ‘ගුවන් යානා තිතට ගොඩබස්සවන්නෙකි’.

    විශ්ලේෂකයෝ සහ පර්යේෂකයෝ සියවසේ ලොකුම ගුවන් අබිරහස විසඳීම සඳහා හැකි සෑම කල්පිතයක් ම ඉදිරිපත් කරමින් සිටිති. වෙනකක් තබා කපිතාන් ෂා, ටිං ටිං කතාන්දර කියවන්නෙක් ය යන කල්පිතය පවා මේ වන විට ඉදිරිපත් ව තිබේ.

    1968 වසරේ හර්ජ් ලියූ ෆ්ලයිට් 714 කතාන්දරයෙන් කියැවෙන්නේ ටින් ටින්, කැප්ටන් හැඩොක් සහ මහාචාර්ය කැල්කියුලස් ගමන්ගත් ජෙට් යානයක් ඈතපෙරදිගට ගෙන ගොස් හයිජැක් කිරීම ගැන ය. යානය හයිජැක් කරන්නේ එහි නියමුවන් දෙදෙනා විසිනි. අනතුරුව එය හුදෙකලා යමහල් දූපතක් වෙත ගෙන යයි.

    කෙසේ නමුත් ගුවන්යානයක් සලකුණක්වත් නොතබා මගීන් ද සමඟ අතුරුදන් ව ගිය පළමු අවස්ථාව මෙය නොවේ. මෙයට වසර 11කට පෙර බෝයිං 727 යානයක් ඇංගෝලාවේ ලූවන්ඩා අගනුවරට ඉහළ අහසේදී එසේ අතුරුදන් විය. 1945 වසරේදී ෆ්ලොරිඩා වෙරළ තීරයට ඉහළින් බෝම්බ ප්‍රහාරක නාවික යානා 5 ක් හිටිවනම නැතිවිය.

    ඒවා කිසිදිනෙක නැවත හමුවූයේ නැත. 1947 වසරේ බ්‍රිතාන්‍ය ගුවන්සේවයට අයත් ස්ටාර් ඩස්ට් හමුදා ගුවන්යානය ආර්ජන්ටිනාවේ ඇන්ඩීස් කඳුකරයට ඉහළ අහසේ සැඟවී ගියේය. 2009 වසරේ එයාර් ෆ්‍රාන්ස් ගුවන් සේවයට අයත් එයාර්බස් 330 යානය බ්‍රසීලයේ රියෝද ජෙනෙයිරෝ නුවරින් අහසට නැඟ පැය කිහිපයක් යන විට නියම කළ පරිදි අත්ලාන්තික් සයුරට ඉහළින් ඉගිලෙමින් සිටියේය.

    එය නැවත හමුවූයේ වසර 2 කට පසු ය. ඒ, යානයේ ගමන්ගත් 228 දෙනාගේ මළසිරුරු සමහරක් ද සමඟ සයුරු පත්ලෙනි. ප්‍රංශ රජය පැවසුවේ අයිස් ස්ඵටික වැස්සක් විසින් යානය මුහුදට හෙළා තිබෙන බවයි. 1999 වසරේදී ඊජිප්තු ගුවන්සේවයට අයත් 990 ගුවන්යානය කඩාවැටී තත්පර 36 ක් තුළ අඩි දාහතරදහසක් මුහුදේ අධිවේගයෙන් ගිලී ගියේය.

    මෙවැනි සිද්ධි සිය ගණනකින් ගුවන්ගමන් ඉතිහාසය පිරීගොස් තිබේ. උඩු ගුවනේදී ගුවන්යානා අතුරුදන්වීමට හේතු දහස් ගණනක් තිබිය හැකිය. ඒවා, යාන්ත්‍රික දෝෂ සහ අහිතකර කාලගුණයේ සිට හඳුනානොගත් පිටසක්වළ වස්තු යනාදී වශයෙන් දැවැන්ත පරාසයක විහිදෙයි.

    මගී ජීවිතවල වගකීම උඩු ගුවනේදී සියතට ගන්නා ගුවන් නියමුවෝ ගුවන්යානය පැදවීමට, පියාසැරියට මෙන්ම සිය ස්ථානගත වීම් පිළිබඳ නිරන්තර සන්නිවේදනයට ද බැඳී සිටිති. නමුත් ඒ යුතුකම පැහැර හැර ඇති විටෙක යානය පොළොවට ගෙන එන තෙක් ඒ ගැන කරන්නට දෙයක් ද නැත. තවද ගුවන් නියමුවන් අතර ප්‍රකට ජනපි‍්‍රය කියමනකට අනුව, “පක්ෂීන් මියගිය විට උන් වෙනුවෙන් උඩු ගුවනේ සොහොන් කොත් තැනෙන්නේ නැත..”

    -රදිකා ගුණරත්න-:shocked:
     

    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    දැන් මේක කොහෙන් ඉවර වෙන කථාවක් වෙයිද මන්දා
    හරියට මෙගා නාට්්‍යක් වගේ