ආ..ගෙම්බෙකුට කෑමක් අහුවෙලා නේද! පෝටෝ එක දැක්කම හුගක් අයට එහෙම හිතෙනවා ඇති.ඒත් මේ කතාවේ සිද්ධ වෙන්නේ ඒකේ අනික් පැත්ත. ඈ! මොකක්? ඒ හරුපේ තේරුම් මොකක්ද කියලා දැනගන්න ඕනේ නම් මේ ත්‍රෙඩ් එක ඉවරවෙනකම් කියවන්න.
ගෙම්බෝ කියන්නේ කෘමි සත්තුන්ගේ ජන්මාන්තර සතුරා කියලා අමුතුවෙන් කියන්න ඕනෑනේ.එකෙක් කාල මදැයි ..මූ නම් මගේ කටටත් මදි.. ගෙම්බෝ ඉතින් එහෙම හිත හිත කෘමි සත්තු ගිල දානවා ඇති නේ.
"මේක හරි යන්නේ නෑ,අපිට හැමදාම මේ ගෙම්බන්ගේ කෑම මේසෙට යන්න බෑ"
"ඔව් මේකට විරුද්ධව අපි එකතු වෙන්න ඕනේ සහෝදර,සහෝදරියනි"
"කොහොමද අපි ගොම්බන්ට විරුද්ධ සටන් කරන්නේ? කෝ ආයුද"
ආයුද නැති හින්දා සටන් ව්‍යාපාරය අවසන් වුනා.
ඒත් එක කුරුමිණි විශේෂයක් ගෙම්බන්ට එරෙහිව නැගී සිටියා.මේ නිර්භීත කුරුමිණියා දුන්න විශිෂ්ඨ ප්‍රතිප්‍රහාරය ගෙම්බන්ට දරා ගන්න බැරි තරම් දරුණු එකක් වුනා.මේ දිග හැරෙන්නේ ඒ අභීත කුරුමිණි විරුවාගේ කතන්දරයයි..
මෙන්න ඉන්නවා ඩයල් එක..ගෙම්බන් පරදා පෙරට..කුරුමිණියන්ට ජය වේවා!
අපේ කතා නායකයාගේ නම තමයි "ඉපොමිස්" කුරුමිණියා.පෙනුමෙන් සාමාන්‍යය කුරුමිණියෙක් කියලා හිතෙනවා ඇති.ඒත් මූ යක්ෂ කුරුමිණියෙක්.ආහාර දාමයක් ප්රතිවර්තනය වීමක ප්‍රතිඵලයක් විදියටත් මේ සතාව සලකන්න පුලුවන්.තේරෙන විදියට කිව්වොත් සාමාන්‍යයෙන් ඔයාලා අහලා දැකලා ඉගෙනගෙන තියෙන්නේ ආහාර දාමයක කෘමීන්ට ඉහළින් ගෙම්බා වගේ උභය ජීවීන් ඉන්නවා කියලානේ.මෙතෙන්දී වෙලා තියෙන්නේ පුරුක් දෙකේ ස්ථාන මාරුවෙලා.
ඒ කියන්නේ දඩයක්කාරයා ගොදුර බවට පත් වෙලා.
ඉපොමිස් කුරුමිණියාගේ කතාව අපි ඌගේ කීටයාගෙන්ම පටන් ගමුකෝ.කලින් වතාවේ අපි කතා කලා රැක සිට පහරදෙන කීටයෙක් ගැන.ඒත් දැන් කියන්න යන ඩයල් එක ඊට හපන්.මේක කියවන් යද්දී මිනිස්සු මත යැපෙන පිටසක්වලයෝ ගැන හැදිච්ච චිත්‍රපටයක් වුනත් මතක් වෙන්න පුලුවන්.
ඔය ඉන්නේ කීටයයි සුහුඹුලායි එකට
මේ කෘමි කීටයා අගල් භාගයක් විතර දිගට වැඩෙනවා.ඇග කහ හෝ සුදු පාටක් ගන්නවා.ඇගේ තියෙන ලප කලු සහ තැඹිලි පාටක් ගන්නවා.මේ ඉන්නෙ ඩයල් එක..
මේ ඉන්නේ මුල් කාලේ කීටයා.කලින් කිව්ව විදියේ වර්ණය සංකලනයක් පේන්න නෑ.පේනවානේ අර මාරක හකු දික් කරගෙන ඉන්න හැටි.
සාමාන්‍යයෙන් මේ මාරක කීටයා උගේ සුහුඹුල් සතා වගේ ගෙම්බන්ව හඹාගෙන ගිහින් පහර දෙන්නේ නෑ.පොඩි කපටි වැඩක් කරලා තමයි ගෙම්බන්ව ළඟ ගෙන්න ගන්නේ.කීටයා උගේ ඇන්ටනා චලනය කරමින් තමන් පොඩි ගොදුරක් කියලා ගෙම්බන්ට පෙන්නනවා.පොඩි ගොදුරක් නම් තමයි ගෙම්බොත් පැන ගෙන එන්නේ.ලොකු ගොදුරු උන් නොසලකා හරිනවා.කීටයා දැම්ම ඇමට අහුවෙලා ගෙම්බත් පැන පැන ලඟටම එනවා..."රස කෑමක් ..ම්ම්ම්ම්"
මේ වීඩියෝ ක්ලිප් එකේ බලාගන්න පුලුවන් කීටයා දාන ඇම.
අනේ ඉතින් අර ගෙම්බ දන්නේ නෑ තමන් විහින් වලේ වැටෙන්න මේ යන්නේ කියලා.ඌත් පෙරේතකමට අර කීටයා දිහාවට පැන පැන ඇවිත් ,කීටයාව ගිල දානවා.හුගක් වෙලාවට ගිල දාන වැඩේ ලේසි වෙන්නේ නෑ.මොකද මේ කීටයාගේ තියෙන්නේ තියුණු හකු යුගල දෙකක්.හුගක් වෙලාවට ගෙම්බා කීටයව ආයෙත් එළියට දානවා.කීටයා හරි වේගවත් .ඒ නිසා ගෙම්බගේ ප්‍රහාරය වළක්වාගන්නට කීටයා දස්සයි.හුගක් වෙලාව ඌ ගෙම්බාගේ කටට යන්න කලින්,ගෙම්බගේ උගුරේ හරි ඇගේ යටේ පැත්තේ හරි එල්ලෙනවා.
මේ ඉන්නේ අර කීටයාගේ ඇමට අහුවුන ගෙම්බෙක්.ඕක බැලුවම තේරෙන්න ඇති නේ කීටයා කොච්චර වේගවත් ද කියලා.
මෙහෙම එල්ලෙන්න පාවිච්චි කරන්නේ අර හකු යුගල දෙක.ඒ හකු වලට අහුවුනොත් ලේසියෙන් ගලවන්න බෑ.ගෙම්බා මේකෙන් ගැලවෙන්න උත්සාහ කරනවා.ඒ අතරේ කීටයා වැඩේ පටන් ගන්නවා.මුලදී කීටයා කරන්නේ කූඩැල්ලෙක් අපේ කකුලකින් ලේ උරා බොනවා වගේ ගෙම්බගේ දේහ තරලය උරන එක.මේ ගැන පරීක්ෂණ කරපු ඈයන්ට අනුව නම් ගෙම්බා වැහැරිලා යනකම්ම කීටයා ඔය විදියට එල්ලිලා උගෙන් යැපෙනවාලු.
ඉල්ලන් කෑව ගෙම්බෙක්
ගෙම්බෙක්ගේ උගුරේ එල්ලිලා ඉන්න කීටයෙක්
"මදැයි ලේසි ගොදුරක් කන්න ආවා.." ගෙම්බටත් වෙච්ච දෙයක්..
මේ කීටයෝ සම්පූර්ණයෙන්ම යැපෙන්නේ ගෙම්බෝ වගේ උභය ජීවින් මත.ගෙම්බෝ පව් කියලා හිතෙනවා ඇති නේ දැන්.කීටයා,සුහුඹුලා දක්වා වර්ධනය වීමට උභය ජීවින් තමයි පාවිච්චි කරන්නේ.
කීටයාගේ හකු යුගල දෙක(1)
ස්වභාවධර්මය විසින් විලෝපිකයා ගොදුර බවට පත් කරලා තියෙන ඉතා දුර්ලභ අවස්ථාවක් තමයි මේක.
කීටයා ගෙම්බගේ දිවේ පැටලිලා කටට ගියොත් ,ඌට පුලුවන් කටේ හරි උගුරේ හරි ,හකු වලින් එල්ලිලා උරා බොන වැඩේ කරන්න.
ගෙම්බෙක් නොදැනුවත්ව මේ කීටයා උඩින් ඇවිදන් ගියොත් ඌ කකුලක හරි එල්ලෙනවා.හරියට කූඩැල්ලෙක් වගේ.
මේ කීටයා උභය ජීවීන්ට රැක සිට පහරදීම සම්බන්ධව විශේෂඥයෙක්.එපොමිස් කුරුමිණියා,එහෙම නැත්නම් මේ කීටයාගේ සුහුඹුල් සතා ගොදුරු පසුපස හඹා යන ජාතියේ විලෝපිකයෙක්.ඒ කියන්නේ ගොම්බෝ හොයාගෙන ගිහින් තමයි කුරුමිණියා පහර දෙන්නේ.කුරුමිණියා වෙනත් සන්ධිපාදිකයන්ද ගොදුරු කර ගන්නවා වගේම සමහර අවස්ථාවන්හිදී බිම් පණුවොත් කා දමනවා.
ඔහොම ඉද්දී කුරුමිණියාට ගෙම්බෙක් එහෙම දකින්න ලැබුනොත්,අර කීට අවස්ථාවේ පුරුද්ද මතක් වෙලා ඌ පස්සේ පන්නගෙන යනවා.ඉන්පස්සෙ ඉතින් ගෙම්බන්ට ගැලවීමක් නෑ.
කුරුමිණියාගේ ගොදුරු බවත් පත් වෙච්ච ගෙම්බන් සහ හූනන්
ගෙම්බෙක් හම්බ වුන ගමන් පන්නගෙන ගිහින් ඌගේ ඇගේ එල්ලනවා මේ කුරුමිණියා.අර හකු යුගල දෙක තමයි ඌ මේ වැඩේට පාවිච්චි කරන්නේ.කුරුමිණියා ,ගෙම්බගේ ඇගේ එල්ලුනාට පස්සේ ගෙම්බා ඌව අයින් කර ගන්න දගලනවා,පනිනවා..ඒත් කුරුමිණියා අශ්වයෙක් පිට යන මිනිහෙක් වගේ ගෙම්බාගේ ඇගේ නැගලා ඉන්නවා.ඉන්පස්සේ තියුණු හකු වලින් ගෙම්බගේ පස්ස පැත්තේ කැපුමක් දමනවා.ටික වෙලාවකින් ගෙම්බා කොර වෙනවා.ඇවිද ගන්න බැරුව යනවා.
මේ කැපුම නිසා ගෙම්බගේ කොදු ඇට පේළියට හානියක් වෙන්නේ නෑලු.ගෙම්බා පනින්න පාවිච්චි කරන්නේ පසුපස කකුල් දෙකනේ.ඉතින් මේ කුරුමිණියා කරන්නේ ඔය පස්ස කකුල්වල චලනයට උදව් වෙන මාංශ පේශිවල බන්ධනි කපලා දාන එක කියලා පරීක්ෂකයෝ පළ කරන මතය.මේ මතය තහවුරු වුනොත් හිතා ගන්න පුලුවනේ කුරුමිණියගේ නුවණ කොහොමද කියලා.
කොහොම හරි කැපුමත් එක්ක අබ්බගාත වෙන ගෙම්බාව දැන් නිවීහැනහිල්ලේ කාලා දාන්න කුරුමිණියට පුලුවන් වෙනවා.ගෙම්බා වගේම හූනා,සැලමැන්ඩරා වගේ සත්තුත් මේ කුරුමිණියන්ගේ කෑම පිගානේ ඉන්නවා.අබ්බගාත කරපු ගෙම්බා පණපිටින්ම කා දමනවා මුන්.මේ භෝජනයට ඉපොමිස් කුරුමිණියෝ වගේම වෙනත් කුරුමිණි විශේෂත් එකතු වෙනවා..
මේ වීඩියෝවෙන් බලා ගන්න පුලුවන් ඉපොමිස් කුරුමිණියා දඩයම් කරන හැටි.කන අතරේ #කන සීන් එකකුත් යනවා.තව පොඩ්ඩෙන් ත්‍රීසම් එකක් බලන්න තිබ්බා.භෝජනයට එකතු වෙනවා ඉදිරියේදී එන්න තියෙන ත්‍රෙඩ් එකක කතා නායකයෙක් වෙන කුරුමිණියෙකුත්.
ගෙම්බෝ වගේ උභය ජීවීන් දිගින් දිගටම මේ කුරුමිණි විශේෂයේ ගොදුරක් වෙන්නේ ඇයි කියලා හිතෙනවා ඇතිනේ.පරිණාමය හරහා උන්ට ඒ හැකියාව ලැබිලා නෑ.උන් තවම හිතන්නේ ඉපොමිස් කුරුමිණියාත් අනෙක් කෘමි සත්තු වගේ අහිංසකයෝ කියලා.තවත් කාරණයක් තමයි මේ කුරුමිණියන්ට වත් උන්ගේ කීටයන්ටවත් රසායනික අවි නැහැ.ඒ කිව්වේ විෂක් නෑ.විෂක් තිබ්බා නම් මීට වඩා පහසුවෙන් ගොදුර වෙන සත්තු මර්ධනය කරගන්න තිබ්බා.
කුරුමිණියන්ගේ ගොදුරක් වුන ගෙම්බෙක්
ඉස්සර ගෝත්‍රික සටන්වලදී සතුරගේ හදවත කෑවයි කියලා කියනවානේ.සමහර වෙලාවට මේ කුරුමිණියා වගේම උගේ කීටයත් ගෙම්බන්ගේ ඇස් කාලා දානවලු.කෘමි වර්ගයා වෙනුවෙන් කරන පලිගැනීමක් වෙන්නත් පුලුවන් ඒක..හා නැද්ද.
මෙන්න ඉන්නවා වතුරට පැනලා ජීවිතය ගලවා ගත්ත ගෙම්බෙක්
මේක කියවලා ඉවර වුනාම "ස්වභාවධර්මය කොතරම් කුරිරුද" කියලා සමහරුන්ට හිතෙන්න ඇති.ඉපොමිස් කුරුමිණියා තමන්ගේ ජීවිතය රැක ගන්න නම් ගෙම්බෝ වගේ උභය ජීවින් මරලා කන්නම වෙනවා.නැත්නම් ඌත් උගේ අනික් වර්ගයා වගේම ගෙම්බෙක්ගේ බඩේ තමයි අවසන් ගමන් යන්න වෙන්නේ.පව් අහිංසක ගෙම්බෝ...ඒත් කෘමින්ගේ පැත්තෙන් බැලුවොත් ගෙම්බෝ දරුණු ඝාතකයෝ..
ඉස්සුවේ මෙතනින්