චාරිකා
මේ කතාව අතීත කතාවක් . මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්.හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL එකක් ගන්නවා කියන එකත් හරි ලොකු දෙයක්.
ලියුම් ලියලා පොත් අස්සේ දාලා එහා මෙහා වුණ ආදර කතා එමටයි.කොච්චර බස් ආවත් SCHOOL BUS එකේම එල්ලිලා යන්න තිබුණ ඕනෙකම, තාම එහෙම්මයි. මගේ මුළු ජීවිතේම වෙනස් වුණේ A/L කරන කාලේ. මම ගෙව්වේ සැහැල්ලු ජීවිතයක්.තාමත් එහෙම තමයි. හැබැයි ඒ හැමදෙයක් එක්කම මාත් එක්කම මගේ අම්මා හිටියා.
එක එක හැල හැප්පීම් එක්ක ජීවිතේ ගලාගෙන යනවා. ඒත් මම තාම හිතින් ජීවත් වෙන්නේ ඒ සුන්දර පාසල් කාලේ. ජීවිතේ ගොඩක් දේවල් සිද්ධවෙන්නේ එකපාරයි. ඉස්කෝලේ කාලෙත් එහෙමයි. ඒ මතකය අනික් හැමදේටම වඩා සුන්දරයි. ඇත්තමයි.
මම මෙහෙම කියන්නම්,
“සංසාර චාරිකා නිමවෙනා දින තෙක්ම…එනවාද මා එක්ක පදවන්න නෞකාව…”
මම ධරණි චාරිකා..
ඉස්කෝලේ ලොකුම අක්කලා බවට පත්වෙමින් ඉස්කෝලේ යන්න පටන් ගත්තා අන්තිම අවුරුද්දට.
“ලබන අවුරුද්දේ මේ කාලේ වෙද්දි අපි ගෙවල් වල නෙහ්…?” උදේම තේජා කිව්වා.
“මම නම් ජොබ් එකක් හොයන් යනවා බන්…” මම කිව්වා.
“මොට්ටයා… මොනවා හරි ඉගෙන ගනින් පිස්සෙක් නොවී….” තේජා කිව්ව විදියට මට හිනාගියා.
“ඒක බලමුකෝ….” කියලා මම පන්තියට යන්න යද්දිම,
“ධරණි…” කියාගෙන Bio මැඩම් පාත් වුණා.
” Good Morning මැඩම්….” මට මුළු පාසල් වාරෙම කෙලවුණා වගේ දැනුනා.
“Good Morning… මෙහ්… අර Invitation card එක design කළාද ඔයා…?”
“අහ්හ්හ්… ඔව් මැඩම්… මම තුන්කම ඇන්ඳා. මැඩම් කැමති එකක් තෝරලා දෙන්න. මම ඒක අඳින්නම්….”
“හොඳ කෙල්ල. අද ගෙනාවද…?”
“මම හෙට ගේන්නම් මැඩම්….” ඇත්තම කිව්වොත් මම එකක්වත් ඇඳලා නෑ.
“හරි. හෙට උදෙන්ම දෙන්න මට….” කියලා මැඩම් ගියා.
“උඹ තුනක් ඇන්ඳා….??” මැඩම් යනකල් ඉඳලා තේජා ඇහුවා.
“පිස්සුද බන්…මට එහෙම එකක් මතක් වුණෙත් දැන්. අද අඳින්න ඕන ගිහින්…..” තේජයි මමයි හිනාවෙවී පන්තියට ගියා.
පටන් ගත්ත දවස කියලා නෑ උගන්නනවා. මට මතක් වෙන්නෙම අපූර්ව කරපු වැඩේ. එදායින් පස්සේ මම මිනිහව මඟ ඇරියා මිසක් කොහොමත් මූණට හම්බුවෙන්න ගියේ නෑ. මට ඒ මූණ දකින්නත් අප්පිරියයි. ෂික්.
“ධරණි….” Physics මැඩම්ගේ සුමියුරු නාදයෙන් මම මුසපත් වුණා.
“මැඩම්….”
“කොහෙද සිහිය…?” ඒක ගැන නම් කතා කරලා වැඩක් නෑ. සිහිය කියන නාමයක් නෑ මට.
“විභහගේ කට උඩට එනකොට එක එක විකාර වලින් ඔළුව පුරවගන්නද හදන්නේ…?” මැඩම් බනිනවා බැනිල්ලක් මට අහන් ඉඳලා එපා වුණා.
“සොරි මැඩම්….”
“සොරි කියන්න ඕනේ මට නෙමෙයි. ඔයාටම සොරි කියාගන්න වෙයි ඔහොම ගියොත් නම්….” මැඩම් කියද්දි මට යකා නැග්ගා. එයාට මොකද මට මොකක් වුණාම.
Science Day එක ළං වෙනකොට හොඳටම වැඩ වැඩි වුණා. චිත්‍ර අඳින්න පුළුවන් නිසා එක එක විකාර අඳින්න සෙට් වුණේ මට. හවස ඉස්කෝලේ ඇරිලා හැමදාම ඉන්න වුණා ඒ වැඩ වලට. ක්ලාස් යන්නත් බැරි වුණා.
“ලබන සතියේ සිකුරාදා වෙද්දි මේ මඟුලත් ඉවරයි…මට නම් එපා වෙලා බන්. අරුන් එක්ක කරන්න බෑ. උන් හිතන් ඉන්නේ අපි දෙන්නා ඉන්නේ උන්ගේ ආව තේව කම් කරන්න කියලා….” Bio මැඩම් දීපු team එකේ එවුන් නම් මෙලෝ වැඩකට නෑ. කයිය විතරයි. කිසි වැඩක් නෑ. මටයි තේජටයි හොඳ පණ ගිහින් ඉන්නේ.
“මම එකොළහ වසරේ නංඟිලා සෙට් එකකට එන්න කිව්වා බන් සඳුදා ඉඳන්. එතකොට අර decorations ටික උන්ට කියලා කරගන්න. අපේ උන්ගේ ඔළුව වැඩියි නේ. දැක්කනේ invitation බෙදන්න යන්න තිබුණ උනන්දුව….” තේජා බනින්න පටන් ගත්තා.
“අපොයි ඔව්… ගිහින් රඟලා එන්න. මළ විකාර…වැඩේ බල්ලට ගියත් කොල්ලෝ ටික ආවම උන්ට පේන්න බිසී වෙන්න. පොර talk දෙන්න උන් ඉස්සරහ. ඕවටනේ කට්ටිය එන්නේ….” මමයි තේජයි අපේ උන්ට බැන බැන බස් හෝල්ට් එකට ගියා.
ඈත තියාම මම දැක්ක විදුරංග කොකන් පපා ඉන්නවා. සචිනි එනකල් වෙන්න ඇති.
“ආන් අර මහ කුකුළා….” තේජා කියද්දිම මට හිනාගියා.
“අරකි එනවා ඇති බන්… අපිට මොකෝ….”
“ඒකි අපූර්ව එක්කත් යනවා. මූ එක්කත් යනවා. අනේ මංදා දැන් ඔහොම නම් ඉස්කෝලෙන් අවුට් වුණාම කොහොම ඉඳීද කියලා…”
“අපිට වැඩක් නෑ බන් තේජා ඒකි ගැන. අපේ මොකෙක්වත් නෙමෙයිනේ…”
බස් එකක් හෝල්ට් එකේ නතර කරලා තිබුණා. වැඩිය සෙනඟ හිටියේ නැති වුණාට ඉඳගන්න වුණේ අන්තිම සීට් එකේ. තේජා ජනේලේ ළඟ වාඩි වුණා. ඒකිට ජනේලේ අයින සෙට් වුණේ නැත්තන් ගමනක් යන්න බැරි ලෙඩක් තියෙනවා. ටිකකින් විදුරංග නැඟලා මං ළඟින් වාඩි වුණා. මට හිතුනෙම නැඟිටලා යන්න. ඒත් තේජා මගේ අත අල්ලගෙන මාව සන්සුන් කළා.
“ඇයි පරක්කු වෙලා….?” විදුරංග ඇහුවා.
“Science Day එක. වැඩ….” මම කෙටියෙන් උත්තර දුන්නා.
“අපේ අම්මත් වැඩ. මං දැක්කා ඔයා ඇන්ඳ invitation එකක්. ඔයාට ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන් කියලා මම දැනන් හිටියේ නෑ…” විදුරංග කිව්වා.
“මම ඉතිං බෝඩ් එල්ලගෙන හිටියේ නෑනේ….”
“Exam ඉවරවෙලා කරමු exhibition එකක්. මම උදව් කරන්නම්….” වැඩේ නම් හොඳයි. ඒත් මට මෙයාගේ නම් උදව් එපා.
“මචං Bio මැඩම්….” තේජා කියද්දි මම ඔළුව උස්සලා බැලුවා.
මැඩම් ඉන්නවා දුම්මල වරම අතට ගත්තා වගේ අපි දිහා බලන්. මම එක පාරම විදුරංග දිහා බැලුවා. පඬි ටෝක් දුන්නට පොරත් බය වෙලා.
“විදුරංග… එදත් මං උඹට කිව්වා නේද අම්මා අප්පා නැති එවුන් එක්ක වැඩි භජනේ එපා කියලා….” මැඩම් බනින්න ගත්තම මට යකා නැග්ගා.
“කෑ ගහන්න එපා අම්මේ….” විදුරංග බොහොම හිමින් කිව්වා.
“වරෙන් යන්න….” කියලා මැඩම් විදුරංගගේ අතින් ඇද්දා.
“මං බලාගන්නම් තමුසේ ගැන….” කියලා මැඩම් එයාගේ මහ ලොකු පුතණ්ඩියව ඇඳන් ගියා.
“මොකක්ද බන් ඒ වුණේ….?” තේජා මගේ අත අල්ලගෙන ඇහුවා. ඒත් මගේ හිත තිබුණේ මැඩම් කිව්ව කතාව ළඟ. අම්මා නැති වුණාට තාත්තා ඉන්නවනේ මට. ඇයි එයා එහෙම කිව්වේ…?
“ධරණී… කෙල්ල… මොකෝ මේ….?” තේජා මගේ උරිස්සෙන් හෙලෙව්වා.
“මොකක්ද අරයා අර කිව්වේ….?” කණට ගැහුවා වගේ මගේ ඔළුවම රිදෙන්න ගත්තා.
“කටට ආවට කියන ඒවා කවුද ගණන් ගන්නේ…? උඹ කෝකටත් ගෙදර ගිහින් අම්මට සීන් එක කියහන්. අනික උඹේ ලව් එකක් නෑනේ විදුරංග එක්ක….”
මම බස් එකෙන් බැහැලා ගෙදර දිව්වේ එක හුස්මට. ඇඳුම් ටික ගලවන්නෙත් නැතුව මම අම්මා එක්ක විස්තර කිව්වා.
“පිස්සුද ඔයාගේ මැඩම්ට. එහෙම හොයන්නේ බලන්නේ නැතුව බස් එකකදි කෑගහන්නේ…?” අම්මා මගේ ඔළුව ඉඹලා ඇහුවා.
“අනේ මම දන්නේ නෑ අම්මා… එයා මොකක්ද අර කිව්වේ අම්මා අප්පා නැති කතාව…?” මම අම්මගෙන් ඇහුවා.
“කටට එන පලියට කියන ඒවා පුතා…මම තාත්තට කියන්නම්කෝ….” අම්මා මාව තුරුල් කරගද්දි හිතුනෙම මැරුණ අම්මා මේ අම්මගේ ඇඟ ඇතුළේ ඉඳන් මට ආදරේ කරනවා කියලා.
හිතුවා වගේම මැඩම් හවස ගෙදරට කෝල් කළා.
“වැරැද්දක් වුණාම ඒකට දඬුවම් කරන විදියක් තියෙනවනේ මැඩම්. අනික දුවගේ සම්බන්ධයක් නෑ පුතා එක්ක. ඇයි පුතාගෙන් ඒක ඇහුවේ නැද්ද…?” අම්මා හිතේ අමාරුවට කියවන් ගියා.
“ලොකු පුතා… මොකක්ද මේ විදුරංග කියලා තියෙන්නේ දෙන්නගේ affair එකක් තියෙනවා කියලා….” අම්මා මගෙන් අහද්දි මට විදුරංගව මරන් කන්න හිතුනා. පර බල්ලා.
පහුවදා ඉස්කෝලේ ගියාම මුළු පන්තිය ඉස්සරහම මැඩම් මහ කැත විදියට මට බැන්නා. මට ඒක නම් කොහොමත් ඉවසන් ඉන්න බැරි වුණා.
“මැඩම්… ධරණි මගේ යාළුවා. මැඩම්ගේ පුතා ධරණි පස්සෙන් ආවා මිසක් මෙයා ගියේ නෑ. අනික එයා කියන විදියේ සම්බන්ඳෙකුත් නෑ. මැඩම්ගේ පුතා යන එන කෙල්ල ගැන විස්තර ඕනේ නම් අපි දෙන්නම්. ගිහින් එයාව හොයාගන්න…” තේජා මං වෙනුවෙන් නැඟිටලා කියද්දි මුළු පන්තියම තේජා දිහා බැලුවා.
“තමුසෙලා දෙන්නම ගැන මම බලාගන්නම්. Science Day එක පැත්ත පළාතේ එන්න එපා. මම කියන්නම්කෝ ප්‍රින්සිපල් මැඩම්ට….” Bio මැඩම් පුපුර පුපුර කිව්වා.
“කමක් නෑ මැඩම්. ඒත් කරලා නැති වැරැද්දකට බැනුම් අහන එකෙත් සීමාවක් තියෙන්න ඕනේ….” තේජා බය නැතුව කිව්වා.
“මොකක්ද බන් ඒ ගෑණිට වෙලා තියෙන්නේ…? අනේ එයාගේ නල්ල මලේ පුතා. මොකෙක්ද ඌ…?” මැඩම් ගියාට පස්සේ කට්ටිය වට වුණා.
“පිස්සු බන්… මොළේ හොඳ නෑ. අම්මගෙම පුතා. ඌ හිතන් ඉන්නේ ඌ විතරයි කොල්ලා කියලා. අම්මා හිතන් ඉන්නේ එයාගේ පුතා තමා පුතා කියලා. බම්බුව තමයි….” හැම එකාම මැඩම්ට බනින්න පටන් ගත්තා.
ටිකකින් අපි දෙන්නට ඔෆිස් එකට එන්න කිව්වා. විනය භාර වයසක සෙට් එකම එතන. මෙයා නියමෙට බෝම්බේ පත්තු කරලා වගේ.
“තේජාන්වි… හරි ලස්සනයි මැඩම් කෙනෙක්ට කතා කරලා තියෙන විදිය. වැරැද්දක් කළාම පිළිගන්නවා නෙමෙයි…” ප්‍රින්සිපල් මැඩමුත් අගක් මුලක් නොදැන කියවන්න ගත්තා.
“ප්‍රින්සිපල් මැඩම්… වැරැද්දක් කරලා නැතුව පිළිගන්නේ මොකටද කියන්නකෝ…? එක දෙයක් මම කියන්නම් මේ ලෝකේ කොල්ලෝ ඔක්කොම මැරිලා විදුරංග විතරක් ඉතුරු වුණත් ධරණි එයාව නම් බඳින්නේ නෑ. ඒක ෂුවර්…..” මගේ හිතේම තිබුණ දෙයක් තේජා කියද්දි මට හිතුනේ මෙහෙම කොන්ද පණ තියෙන යාළුවෙක් ඉන්න එක කොච්චර හොඳද කියලා.
“කොහොම වුණත් දෙන්නගේ පන්ති තහනම් කරනවා මම…” කියලා මැඩම් අපි දෙන්නගේ පන්ති තහනම් කළා සති දෙකකට.
“ඒකට කමක් නෑ මැඩම්. හැබැයි කිසිම වැරැද්දක් නැතුව සමාව ගන්න නම් අපි ලෑස්ති නෑ….” කියලා තේජා මාව ඇඳගෙන ආපහු පන්තියට ගියා.
source http://thewoman.lk/love-girls-stories/



