වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු ඡන්දයෙන් ජනාධිපතිවරයා ලෙස තේරී පත්වී අදට (20) වසර දෙකක් සපිරෙයි.
2022 වසරේ ජුලි මස 20 වනදා මෙරට 08වන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තේරී පත්වූ බව එවකට පාර්ලිමේන්තු මහලේකම්වරයා ලෙස කටයුතු කළ ධම්මික දසනායක මහතා සඳහන් කළේය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉවත් වීමත් සමග විධායක ජනාධිපති ධුරය සඳහා පුරප්පාඩුවක් පැවති අතර ඒ අනුව අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා පත් කරගැනීමට පියවර ගත්තේය.
අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ, ඩලස් අලහප්පෙරුම සහ අනුර කුමාර දිසානයක යන මහත්වරුන් ඉදිරිපත් විය.
ඡන්ද විමසීම උදෑසන 10ට පාර්ලිමේන්තුවේ දී ආරම්භ වු අතර කථානායක මහින්ද යාපා අබේවර්ධන ඇතුළු මන්ත්‍රීවරුන් 223 දෙනෙකු ඡන්දය භාවිත කළේය.
මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටි අතර ඡන්ද 04ක් ප්‍රතික්ෂේප වී තිබුණි.
ඒ අනුව වලංගු ඡන්ද සංඛ්‍යාව වු 219න් ඡන්ද 134ක් ලබා ගනිමින් රනිල් වික්‍රමසිංහ මහතා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස තේරී පත් වුණි.
එදින සිට වර්තමානය දක්වා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය හොඹවන අතර එවකට පැවති ආර්ථික අර්බුදයෙන් රට බේරාගනිමින් කටයුතු කළ නායකයෙකු ලෙස වත්මන් ජනාධිපතිවරයා සැලකෙයි.
එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති ධුර අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වන බවට රනිල් වික්‍රමසිංහ මහතා මේ දක්වා සෘජුව ප්‍රකාශ කර නැතත් ජනාධිපතිවරයාගේ පාර්ශ්වය පවසන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂයා රනිල් වික්‍රමසිංහ මහතා බවය.