අලුත් පත්කිරීම් අවුල් වගේ
මාලිමාවේ සහෝදරවරුනි,
මෙම ලියවිල්ල ටිකක් දිග වුවත් මා ලිවිය යුතුය. මගේ ජීවිත කාලය තුල පසුගියදා පත්වූ අනුර කුමාර ජනපති හා හරිනි අමරසූරිය අගමැතිනිය වැන්නන් නැවත පත්වේ යයි මම නොසිතමි. එබැවින් අප ඒ වෙනස ආරක්ශා කරගත යුතුය. අප යායුත්තේ මින් ඉදිරියට මිස පසුපසට නොවේ. ඔවුන් දෙදෙනාම මම අවස්තා දෙක තුනකදී හමුවූ අතර හරිනිත් මමත් කොලඹ පෝර්ට් සිටි අරගලයේ සිටි අතර අනුර කුමාර හමුවී කතාබස් කලේ ගෝඨාබය වන විනාශය ඇතුලු විනාශයන් සිදුකරද්දීය.
මට මාලිමාවේ හා සජබයේ පරිසර ප්‍රතිපත්ති ඉදිරිපත් කරන අවස්තාවන්ට සහභාගීවන්නට ආරාධනා කලත් මා සහබාගී නොවුනේ ඒ හරහා වදින ලේබලය මගේ පරිසර කටයුතු වලට හානිවේ යයි මම පුද්ගලිකව සිතූ නිසාය. මේ දෙපොලේම මා දන්නා මිනිසුන් සිටී. එහෙත් පරිසරවේදීන්ට රටක් පාලනය කරන්නට හෝ දේශපාලන පක්ශ සමග හෝ රජයේ සිටින දූශිතයන් සමග හෝ පරිසර දූශකයන් සමග සදාකාලිකව සටන් කරන්නට හැකියාවක් නැත.
මමද විශ්වවිද්‍යාල ජීවිතයේ ශිෂ්‍ය සංගම් වල සිට පොලීස් කූඩුවේ ලැග්ග අයුරු මා මීට පෙර ලියා ඇත. එහෙත් මා තෝරාගත් පරිසර ක්ශේත්‍රයේ වසර 34ක් කටයුතු කලේ රටට හිතැති, මිනිසුන්ට හිතකර දේශපාලකයන් මේ බිමේ පැලවෙන තුරුය. සොබාදහම තේරුම්ගත් මිනිසුන් පාලකයන් බවට පත්ව නැවත නැවත කියන්නට ඉඩ නොතබා එක්වරින්ම අපගේ පරිසර අරගලය තේරුම් ගන්නා මිනිසුන් රට බාරගන්නා තුරුය. එය සිදුවනු දැකීම මගේ ජීවිතයේ ඉතිරිව ඇති කෙටි කාලය තුල ඇති අභිප්‍රායයකි. මේවනවිට පරිසර නඩු 600කට ආසන්න ප්‍රමානයකට මූලිකත්වය දී ඇති මම ගෝටාභය සමයේ හා ඊට පෙර පරිසර හානියට ඒ ඒ කාලවල සිටි රජයයන් ගත් තීරන රාශියක් නවතා හෝ වෙනස් කොට ජනතාව අවදිවන තුරු මම මගේ සගයන් හා එක්ව සේවය රටට උපරිමයෙන්ම ලබාදී ඇත.
ගෝටාබයගේ තීරනයක් වූ වැලි ප්‍රවාහනයට බලපත් අනවශ්‍ය බව ප්‍රකාශය පත්වූයේ ඔහු පත්වී සති දෙකකින්ය. එයට එරෙහිව අධිකරන තීන්දුවත් ලබාගත් අප එම අමන තීන්දුව වෙනස් කලේය. වර්තමාන ආන්ඩුව සති දෙකක්වත් නොසිට අප අකමැති දේ කරමින් සිටින බව කනගාටුවෙන් වුවත් ලියවිය යුතුය. සෙතිල් මුහන්දිරම් සහ කිහිප දෙනෙකු මේ පිල්බඳව ඇති තරම් ලියා තිබුනි.
මේ දක්වා වර්තමාන රජය ලබාදුන් තනතුරු අතර 90 දශකයේ සිට ගල් අඟුරු වලට එරෙහිව මා සටන් කල, ගල්කිස්ස වෙරලට වැලි පිරවීමට එරෙහිව සටන් කල, 1/2020 වන චක්‍රලේකය හරහා ලංකාවේ වනාන්තර හෙක් ලක්ශ 5ක් වනසන්නට මග සකස් කල පුද්ගලයන් අද ඉහල තනතුරු වලට පත්කොට තිබීම හරහා ඒ විශ්වාසය පළුදු කොට ඇත. ගල් අඟුරු කප්පිත්තා වූ සියඹලාපිටිය අද විදුලිබල මන්ඩලයේ සභාපතිය. සූර්‍ය බලය ප්‍රවර්ධනයේ කකුලෙන් ඇදි පාලිත උප සබාපතිය.
ගෝටාභය පත්වී සති දෙකකින් පමන කාදිනල් හිමිගේ ආරාධනය මත එවකට නොරොච්චෝලේ හා සාම්පූර්හි නව ගල් අඟුරු බලාගාර දෙකකට එරෙහිව සටන් කරමින් සිටි අපට ගෝටාබය ජනපති හමුව්න්නට ඉඩ ලැබින. මමත් කාඩිනල් තුමාත්, හලාවත හා කොලඹ අගරදගුරුත්, පරාක්‍රම ජයසිංහත් ජනපති ලේකම් කාර්‍යාලයේදී ගෝටාබය හමුවූ අතර අප කතාකරන හැමවිටම ගොන් කතා කියන්නට එපා බූරු කතා කියන්නට එපා කියමින් අප අපහාසයට ලක් කලේ සියඹලාපිටියලා දශක කිහිපයක් පුරා ගල් අගුරුවල වටිනාකම ඔහුට තදින්ම කාවද්දා තිබූ නිසාය. එහෙත් අප එලියට ආපසු ඔහු නිකුත්කල මාධ්‍ය නිවේදනයේ අප ඉල්ලූ පුනර්ජනනීය බලශක්තිය 80%ක් 2030 වන විට සකසන බවට පොරුන්දු දී තිබින. සියඹලාපිටිය මාලිමාවේ බලශක්ති ප්රතිපත්තිය සකසන බවත් ඔහු පුනර්ජනීය වෙනුවට ස්වාභාවික වායු පුම්බන බවත් මට අසන්නට ලැබුනේ චන්දයට පෙරය. අප දිනාගත් පුර්ජනනීය බලශක්ති ඉලක්කය දිය කර හරින්නට අපට ඉඩ දෙන්නට පුලුවන් කමක් නැත.
එමෙන්ම පරිසර ලේකම් වෙරල සංරක්ශනයේ සිටි සමයේ මිලියන 890ක් විනාශ කරමින් වැලි පිරවුමක් කොට අසාර්තක වූ තැන ඉරාජ් ගෙන්වා වීඩියෝවක් කරන්නට තරම් රාජ්‍ය සීමාවලින් ඔබ්බට යන්නට කටයුතු කලේය. මේවා වෙනස් කල යුතු තීන්දුය. තනතුරුය. හෙට අනිද්දා පරිසර අධිකාරිය ගැනද කතාකරන්නට වේ යයි කෙනෙකු මටකීවේය. මේවා නිසා හිත් බිදීගිය රාජ්‍ය හා රාජ්‍ය නොවන පුද්ගලයන් කිහිපදෙනෙකුම මට ඊයේ සහ අද කතාකල බවත්, මා එම පනිවිඩය මා සමග බොහෝකාලයක් පරිසර කටයුතු වලදී කතාකල සමන්ත විද්‍යාරත්න හා තවත් ප්‍රතිපත්ති සැකසීමට දායක වූ ඇන්ටන් ජයකොඩි මහතුන් සමග බෙදාගත් බවත් සඳහන් කරමි.
දේශපාලකයන්ට අනුව කටයුතු කිරීම නිසා අද ආගමන විගමන පාලක හිරකූඩුවේය. වන සංරක්ශනයේ සිටි හොඳ නිලදාරියෙකු වූ ආරියදාස මහතාට බඩුර්දීන්ගේ ඉඩම් මංකොල්ලයට කල්ලාරු, මරිච්චකට්ටි ඇතුලු වනාන්තර වලින් රක්ශත ඉඩම නිදහස් කිරීමට සිදුවූයේ බැසිල්ගේ බලපෑම නිසාය. ලංකාවේ දේශපාලන පැවැත්ම අනුව රජයේ නිලදාරියෙකුට ස්වාධීනව කටයුතු කිරීමට හැකියාවන් නැතිවීම කරුමයකි. ඉහත පත්කල අය අතුරින් බන්ධුල හරිස්චන්ද්‍ර දිසාපති සමයේ අපට ආරාධනා කොට හම්බන්තොට රාජ්‍ය නිලධාරීන්ට පරිසරය ගැන වැඩසටහනක් කරන්නට යෝජනා කොට පහසුකම් සැපයූ අයෙකි. එහෙත් නාහෙට නාහන ඇමති විමලවීර යටතේ ගෝටා ආන්ඩුව යටතේ හෙක් ලක්ශ 5ක වෙනත් රජයේ වනාන්තර සංවර්ධනයට යොදවන්නට ඔහුට 1/2020 වන චක්‍රලේකය ගසන්නට ඔහුට සිදුවිය. පසුව ඔහුටද විරුද්ධව අප නඩු මගට ගියේය.
සපුතන්ත්‍රි වැනි නිලදාරීන් තවමත් ජූනියර් යයි උදය ගම්මන්පිල තර්ක කලද ඔහු අවංකයෙකු බව මගේ හැගීමයි. කාලය දීර්ගකොට ඇති ඇතැම් අමාත්‍යාංශලේකම්ලා බොහොමයක් දක්ශයන් හා අවංක මිනිසුන් බවත් අවුල් අය කිහිපදෙනෙක් ඉන්නා බවත් මම සිතමි.
මාලිමා ආන්ඩුවට තනතුරුවලට පත්කරන්නට නිලදාරීන් සොයන්නට සිදුව ඇත්තේ අප සමාජයෙන්ම මිස ආනයනය කොට නොවේ. එබැවින් එය අර්බුධයක් ලෙස මම දකින්නට කැමැත්තෙමි. දක්ශ අවංක මිනිසුන් අපේ සමාජය තුල අල්පය. රටේ මිනිසුන්ද එසේමය. තෙල් පෝලිමේ සිට ලබාගත් තෙල් ලීටරය රුපියල් 3000ට විකිනූ සමාජයක සිට අප ශුද්ධ වූ මිනිසුන් සෙවීම අවුල් බව මම දනිමි. එහෙත් ඒවා සියල්ලම සාදාරනීකරනය කිරීම නොව අවශ්‍යවන්නේ සමාජය වඩා යහපත් තත්වයකට පත්කොට හැකි මිනිසුන් දේශපාලනයට හා රාජ්‍යපාලනයට යොමුකර ගැනීමය.
සිදුවූ වෙනස පූර්නත්වයට පත්නොවී අතරමග හරවන්නට හෝ තිරිංග යොදවන්නට බොහෝ අයට ඕනෑකමක් ඇති බව නොරහසකි. එහෙත් එය පොදු මිනිසුන්ගේ අවශ්‍යතාවය නොවේ යයි මම සිතමි. පසුගිය දිනවල මාලු මර්කට් එකේදී, ගරාජ්වල හා ලියවන පට්ටල්වලදී මට හමුවූ මිනිසුන්ට බොහෝ බලාපොරොත්තු මාලිමාවෙ ජයග්‍රහනය හරහා ලබාදී තිබේ. ඒ බලාපොරොත්තු කඩ කරවීමට මාලිමාවටවත් අයිතියක් ඇතැයි මම නොසිතමි. ඉහල තනතුරුවලට පත්කිරීමේදී සමාජයේ මේවනවිටත් දෝශ දර්ශනයට ලක්ව ඇති පුද්ගලයන් වෙනුවට ඕනෑතරම් විකල්ප පුද්ගලයන් සිටින බව මම අදහමි. ඔවුන් සොයාගන්නා තෙක් ඉන්නා උන්ට ඉන්නට ඉඩ හැර ඔවුන් කලමනාකරනය කිරීම මේ පත්කිර්‍රීම් වලට වඩා වටින බව මම විශ්වාස කරමි.
Facebook - hemantha vithanage
https://www.facebook.com/share/p/xzDH46Bq458A9qTu/?mibextid=WC7FNe