ටිරාන් නාඩගමේ සිට ඇලෝසියස් නාඩගම දක්වා...

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    ටිරාන් නාඩගමේ සිට ඇලෝසියස් නාඩගම දක්වා...




    ටිරාන් නාඩගමේ සිට ඇලෝසියස් නාඩගම දක්වා...



    කතුවැකිය

    07 November 2016

    ටිරාන් අලස් අපට අභිමුඛ වූයේ 2005 වර්ෂයේ මහින්ද රාජපක්ෂගේ ඡන්ද ව්‍යාපාරයේ කැම්පේන් මැනේජර් වූ මංගල සමරවීර හරහාය. මහින්ද රාජපක්ෂට ඔහු හඳුන්වා දී තිබුණේ මංගලය. ටිරාන් අලස්ව රුවන් ෆර්ඩිනැන්ඩස් හමු වන්නේද මෙම ඡන්ද ව්‍යාපාරය තුළය. සියලූ දෙනා අඹ යාළුවන් වන්නේ ඉන් අනතුරුවය. ටිරාන් උතුරු ප‍්‍රදේශයේ SIM කාඞ් ව්‍යාපාරය හරහා එකල දැවැන්ත ප‍්‍රාග්ධනයක් රැස් කර තිබුණේය.
    2005 වන විට ඇති තරම් මුදල් සහිතව සිටි ටිරාන්ට මාධ්‍ය සමාගමක අදහසක් එන්නේ මාධ්‍ය හරහා දේශපාලනයට කළ හැකි බලපෑම ගැන රංජිත් විජේවර්ධනගේ අත්දැකීම් හරහා දැන සිටි නිසාය. ටිරාන්ගේ මව්බිමපත්තරය ආරම්භ වූයේ අංශ දෙකක් ඒකාබද්ධ වීමෙනි. එකක් ටිරාන්ගේ ප‍්‍රාග්ධනයයි. අනෙක රුවන්ගේ දේශපාලන සම්බන්ධතාය. 2005හේ මහින්දගේ ජයග‍්‍රහණයට පසුව එම ආණ්ඩුවේ දෙවන බලවතා බවට මංගල පත් වූ අතර මාධ්‍ය මඟින් දේශපාලන බලවේග පාලනය කිරීම මව්බිමට ඉතුරු විය. ඒ මොහොත වන විට දේශපාලන චෙස් පොත තුළ පැවති ප‍්‍රධාන බලවේග දෙක වූයේ මහින්ද චින්තනය සහ එල්ටීටීඊ යයි. උතුරේ ගැටලූවට සාමකාමී විසඳුමක් යන සටන් පාඨය මහින්ද ඡන්ද ව්‍යාපාරයේ ප‍්‍රධාන සටන් පාඨය වුවත් ශෝඨාභය රාජපක්ෂට තිබුණේ වෙනත් අරමුණකි. ඒ මොහොතේ අප නොදැන සිටියේ මෙම දෙවන අදහසේ විභවතාවයි. ඒ මොහොත වන විට ප‍්‍රාග්ධනය පමණක් හිමිව තිබූ ටිරාන්ට මව්බිමපුවත්පත හරහා ක‍්‍රම ක‍්‍රමයෙන් සමාජ බලයක් හිමි විය. රුවන් සතු සබඳතා ජාලයේ හොඳ නරක සංඝටක පිළිබඳව කිසිදු අවබෝධයක් සතු නොවූ ටිරාන්ගේ ego එක ක‍්‍රම ක‍්‍රමයෙන් ඉහළ නැග්ගේය. ටිරාන් කිසිදා මව්බිමපුවත්පත් කර්තෘ මණ්ඩලය සතු අයිතීන් උල්ලංඝනය නොකළේය. මහින්ද බලපෑම නිසා මව්බිමපුවත්පත වසන්නට නියම වූ විටත් අවුරුද්දක පමණ කාලයක් යනතුරු ඔහු මාධ්‍යවේදීන්ට වැටුප් ගෙව්වේය. අනෙක් අතට අද දවසේ කවුරු මොනවා කීවත් එල්ටීටීඊයේ එමිල් කාන්තන් සහ බැසිල් රාජපක්ෂ හමු වූයේ ටිරාන් හරහාය. බොහෝ ජාතික වීරයන්ගේ ලැයිස්තුවේ ටිරාන්ගේ නම නැති වුවත් බොහෝ අය ජාතික වීරයන් වූයේ ඉහත මවු හමුවීම නිසාය. එමිල් කාන්තන්ට බැසිල්ගේ ආත්මමූලිකත්වය පිළිබඳ නව හැරවුම ගැන නියම තොරතුරු පොට්ටු අම්මාන්ට වාර්තා කළ නොහැකි වීම යුද්ධයේ නව හැරවුම විය. සමහර මිනිසුන් ඉතිහාස කි‍්‍රයාවට එකතු වන්නේ අහම්බයෙනි.



    කෙසේ වෙතත් මව්බිමපුවත්පතේ සන්නිවේදන බලය හරහා ටිරාන් අලස් නරක පාඩමක් ඉගෙන ගත්තේය. එය වනාහී භූමි තත්ත්වය නොසලකා හැර මාධ්‍ය මඟින් දේශපාලනය මෙහෙය විය හැකි බවට වූ විශ්වාසයයි. මාධ්‍ය සතු හැකියාවෙන් දේශපාලනයයම් තරමකට කළ හැකි බව සැබෑවකි. නමුත් ඊට සියල්ල කළ නොහැකිය. ඊළඟට ලංකාදීපයෙන් ටිරාන්ට හමු වූ අලූත් මිත‍්‍රයන් දෙදෙනා ඔහුගේ දෛවය තීන්දු කරන සාධකයක් බවට පත් විය.



    දේශපාලනය යනු විවිධ ඕපාදූප නිර්මාණශීලීව කැරකැවීමත්, වචනවලට භාෂාවේ සාමාන්‍යයෙන් නැති තේරුම් ලබා දීමත් කියා විශ්වාස කරන පුද්ගලයන් හිතන්නේ මාධ්‍යවලින් හැමදෙයක්ම කළ හැකි බවයි. අත්තෙන් අත්තට පනින කුරුල්ලන් දෙදෙනා දැන් ඇලෝසියස්ගේ කූඩුවට රිංගා ඇත. ලංකාවේ ව්‍යාපාරික කටයුතු කරගෙන යාමේ දී පත් වන දේශපාලකයන්ගේ අනුග‍්‍රහය නැතිව ව්‍යාපාර කරගෙන යා නොහැකි බව සිවිල් සමාජයහැර අන් සියල්ලෝ දනිති. දශක ගණනාවක් විවිධ දේශපාලකයන් ඉතා සියුම් ලෙස මාධ්‍ය හරහා පාලනය කළේ රංජිත් විජේවර්ධනය. Sunday Times හරහා මේ දිනවල ක‍්‍රියාත්මක වන ඇලෝසියස් විරෝධය වනාහී රනිල් වික‍්‍රමසිංහ වෙතට යවන රතු එළියකි.



    මාධ්‍යවලට කළ හැකි වැඩ සේම එසේ නොකිරීමට හැකි දේ ද ඇත. ලංකාදීපේ සිටි කුරුල්ලන් දෙදෙනා රනිල් වික‍්‍රමසිංහ සමඟ නැවත මිත‍්‍ර වී ඇත. ලංකාවේ මෙවැනි සබඳතාවලට මෙසේ කියයි. දේශපාලනයේ දී සදාකාලික සතුරන් හෝ මිතුරන් නැත.ටිරාන් අලස්ගේ ඔට්ටු ඇල්ලීම් නරක නැත. මිතුරන් නිසා එක මොහොතක හිරේ විලංගුවේ වැටීමට ගිය ටිරාන් යුද්ධයෙන් පසු ඇල්ලූ ඔට්ටුවෙන් ජයග‍්‍රාහී විය. නමුත් 2015 ජනවාරි 8 වනදාට පසුව ඔහුගේ ඔට්ටු ඇල්ලීමේ කි‍්‍රයාවලිය දුර්වල විය. මුදල්වලින් විශ්මිත දේවල් කළ හැකි රටක් ලෙස ශ‍්‍රී ලංකාව මුලින්ම හැඳින් වූයේ පේ‍්‍රමදාස යුගයේ ලංකාවට පැමිණි කැසිනෝ රජා යන විරුදාවලිය ලත් ජෝසීම්ය. මුදල්වලට විශ්මිත දේවල් කළ හැකි බව (කෙටි කලක් ඇතුළත) දෙවන වරට ලංකාවට ඔප්පු කළේ ටිරාන් අලස්ය. භිච්කොක්කේ චිත‍්‍රපට නරඹා නැති ටිරාන්ට කුරුල්ලන්ගේ මානසික ව්‍යුහය වටහා ගැනීමට නොහැකි වීම පුදුමයට කාරණයක් නොවේ.



    දැන්වත් පාඩමක් ඉගෙන ගන්න යැයි ඔහුට කියන්නට අපට නොහැකිය. මන්ද ඔහු කවියෙක් හෝ දේශපාලකයෙක් හෝ නොවන නිසාය. නමුත් ඇලෝසියස් ට ටිරාන්ගෙන් ඉගෙන ගැනීමට බොහෝ දේවල් ඇත. මාධ්‍ය හරහා විශාල බලපෑමක් දේශපාලනයට කරන අය අවසානයට යන්නේ සිර ගෙදරට බව ටිරාන්ගේ ගුරු ගීතයහරහා ඇලෝසියස්ට ඉගෙන ගත හැකිය.



    මාධ්‍ය මඟින් දේශපාලනය අනාගන්නේ නැතිව හසුරුවන එකම පුද්ගලයා රංජිත් විජේවර්ධනය. මේ හැකියාව නිසා රනිල් වික‍්‍රමසිංහ ඔහු ගැන තියුණු විමතියෙන් බලා සිටියි. එංගලන්තය තැචර්ගේ පාලන යුගයේ දී පාලනය කළේ රූපට් මර්ඩොක්ය. ලංකාවේ රූපට් මර්ඩොක් යනු රංජිත් විජේවර්ධන මිස කිලී මහරාජා නොවේ. මහරාජාට අවුරුදු කුමාරියන් තේරීම නම් යස අගේට කළ හැකිය. නමුත් නූල් සූත්තර කලාව ඔහු හොඳින් ප‍්‍රගුණ කර නැත. ඔහු වටේ ඉන්නේ හද්ද මාධ්‍ය මැට්ටන්ය. දැන් ඇලෝසියස්ගේ වාරය ඇරඹී ඇත. ව්‍යාපෘතිය 2020 දී රනිල් වික‍්‍රමසිංහ බලයට රැගෙන ඒමයි. හරි ගියොත් ඇලෝසියස් වෝල්ස් වීදිය කරා ගමන් කරනු ඇත. පැරදුනොත් ඔහුට ටිරාන්ට මෙන් යාමට ඇත්තේ වැලිකඩටය. එදිනට වික‍්‍රමසිංහ මහතා ගමන් කරන්නේ පස්වෙනි පටුමගේ නිවෙසටය. ඒ විශ‍්‍රාම ගන්නටය. සාගල රත්නායක මහතාට එවිට වත්ත බලා ගැනීමට දෙණියායට යා හැකිය. ඔට්ටුවක් අල්ලමුද?