සුදත් සමරවීර
ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය
“මූලයක් නොමැතිව ආසාදිතයන් වාර්තා වන්නේ නම්, එය සමාජ සම්ප්‍රේෂණය ලෙසින් හඳුනාගැනීමට හැකියි. වෙනත් වචන වලින් පවසන්නේ නම්, පවත්නා ආසාදිත පොකුරු වලට සම්බන්ධතාවයක් නොමැතිව ආසාදිතයින් වාර්තා වන විට සමාජ සම්ප්‍රේෂණය සිදුවී ඇත. මේ වනවිට, ශ්‍රී ලංකාව සමාජ පැතිරීමක් දක්වා ලඟා වී නොමැත.”
False
Statement“මූලයක් නොමැතිව ආසාදිතයන් වාර්තා වන්නේ නම්, එය සමාජ සම්ප්‍රේෂණය ලෙසින් හඳුනාගැනීමට හැකියි. වෙනත් වචන වලින් පවසන්නේ නම්, පවත්නා ආසාදිත පොකුරු වලට සම්බන්ධතාවයක් නොමැතිව ආසාදිතයින් වාර්තා වන විට සමාජ සම්ප්‍රේෂණය සිදුවී ඇත. මේ වනවිට, ශ්‍රී ලංකාව සමාජ පැතිරීමක් දක්වා ලඟා වී නොමැත.”
Fact check
ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥවරයා ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ව්‍යාප්තිය වැරදි ලෙස වර්ග කරයි
ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර විසින් සිය ප්‍රකාශය තුළ සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ව්‍යාප්තිය සමාජ සම්ප්‍රේෂණ මට්ටමට ලඟා වී නොමැති බවයි. එසේම, සමාජ සම්ප්‍රේෂණය සිදුවිය හැක්කේ තහවුරු වූ රෝගීන් යම් කිසි “මූලයක්” දක්වා සලකුණු කළ නොහැකි නම් යැයිද ඔහු සඳහන් කරයි.
මෙම ප්‍රකාශයේ හරි වැරදිබව සොයාබැලීම සඳහා FactCheck මගින්, සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත් කරනු ලැබූ දෛනික කොවිඩ්-19 රෝගීන් පිළිබඳ දත්ත සහ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කොවිඩ්-19 සඳහා උපයෝගී කර ගන්නා නිර්වචනයන් පරිශීලනය කොට ඇත.
කෝවිඞ්-19 ව්‍යාප්තියේ අවස්ථා 4ක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අර්ථදක්වා ඇත. ඒවා නම්, ආසාදිතයන් නොමැති අවස්ථාව, විරල ලෙස ආසාදිතයන් හමුවන අවස්ථාව, පොකුරු ලෙස ආසාදිතයන් හමුවන අවස්ථාව සහ සමාජ මට්ටමින් ආසාදිතයන් හමුවන අවස්ථාව,වේ. නිදර්ශකය 1 මගින් මෙම එක් එක් අවස්ථාවන් සඳහා වන නිර්වචනයන් ඉදිරිපත් කර ඇත. හදුනාගැනෙන ආසාදිතයන්, පැහැදිලිව දැක්වෙන යම් කාලසීමාවක් ඇතුළත හදුනාගැනෙන්නේ නම්, පැහැදිලිව ගතහැකි යම් ප‍්‍රදේශයකින් හදුනාගැනෙන්නේ නම්, සහ ඔවුන් සියලූදෙනාම කෝවිඞ්-19 වෛරසයට යම් පැහැදිලි පොදු ආකාරයකින් නිරාවරණයව ඇති බව හදුනාගැනෙන්නේ නම්, එවන් අවස්ථාවක කෝවිඞ්-19 වෛරසයේ පැතිරීම පොකුරුවලට සීමාවී තිබෙන බව ගැනේ. තවදුරටත් පැහැදිලි කළහොත්, කෝවිඞ්-19 ආසාදිතයෙක් යම් කෝවිඞ් පොකුරකට අයත්වන්නේ යැයි ගණන් ගැනීමට නම් අ) එම ආසාදිතයා- පැහැදිලිව දක්වා ඇති යම් කාලසීමාවක් ඇතුළත, ආ) පැහැදිලිව ගතහැකි යම් ප‍්‍රදේශයක දී, ඇ) පැහැදිලි පොදු ආකාරයකින් කෝවිඞ්-19 වෛරසයට නිරාවරණයව ඇතිය, යන කාරණා ඔස්සේ එම පොකුරට සම්බන්ධ කළ හැකි විය යුතුවේ.
නිදර්ශකය 2 මගින් දැක්වෙන්නේ, 2020 ජූලි 1 සිට නොවැම්බර් 9 දක්වා (මෙම ප්‍රකාශය සිදුකෙරුණු වකවානුව) වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාවේ වෙනස්වීමයි. එහිදී නිරීක්ෂණය කළ හැක්කේ, ඔක්තෝබර් 05 මිනුවන්ගොඩ/පෑලියගොඩ පොකුර පැන නැගීමෙන් පසු මෙම ප්‍රකාශය සිදුකළ කාලය වන තුරු වාර්තා වූ නව රෝගීන්ගෙන් 97% ක් (නැතිනම් රෝගීන් 10,533 කගෙන් රෝගීන් 10,446 ක්) එම පොකුරට සම්බන්ධ කර ඇති බවයි. මෙසේ, මෙම ආසාදිත පොකුරේ ව්‍යාප්තිය දින 37 ක් පසුකොට ඇත (වෛරසය ආසාදනය වීමෙන් පසුව මුල් රෝග ලක්ෂණ පහළවීමට ගතවන උපරිම කාලයමෙන් තුන් ගුණයකට ආසන්නව). එනිසා, මිනුවන්ගොඩ/පෑලියගොඩ සිද්ධිය පොකුරක් ලෙස අර්ථ දක්වා තිබීම “පැහැදිලිව දැක්වෙන කාල සීමාවක්” යන නිර්ණායකය පදනම්ව සිදු වූවක් විය නොහැක.
අනෙකුත් පෙර සඳහන් නිර්ණායක දෙක පදනම් කරගනිමින් තක්සේරු කිරීමේදී, මිනුවන්ගොඩ/පෑලියගොඩ පොකුර වෙත බැර කෙරුණු රෝගීන් රටේ දිස්ත්‍රික්ක 15ක් පුරාවෙන්ම සොයාගෙන තිබෙන බවද අපට පෙනී යයි. එනිසා, මිනුවන්ගොඩ/පෑලියගොඩ පොකුරක් ලෙස හදුන්වාදී තිබෙන්නේ“පැහැදිලිව ගත හැකි යම් ප‍්‍රදේශයක්’’ යන නිර්ණායකය පදනම් කර ගෙන යැයි ද, සිතිය නොහැකිය.
මෙම සොයා ගැනුණු රෝගීන් කාලය අතින් දින 37ක් තුළ සහ දිස්ත්‍රික්ක 15 ක් තුළ ව්‍යාප්තව තිබීම හේතුවෙන්, ,”පැහැදිලි පොදු ආකාරයකින් වෛරසයට නිරාවරණයව ඇත” යන නිර්ණායකය පදනම් කරගෙන මිනුවන්ගොඩ/පෑලියගොඩ පොකුරක් ලෙස අර්ථ දක්වා ඇති බව ද සිතිය නොහැක.
එනිසා, සොයා ගැනුණු බොහෝ රෝගීන් මිනුවන්ගොඩ/පෑලියගොඩ පොකුර වෙත බැර කිරීමේ පදනම, ආසාදිත පොකුරක් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සිදු කර ඇති නිර්වචනයේ එන නිර්ණායක ත්‍රිත්වයම සම්බන්ධයෙන් සාර්ථක නොවේ.
එනිසා, ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥවරයාගේ මෙම ප්‍රකාශය නිවැරදි නොවේ යැයි අපි වර්ගීකරණය කරමු.
සටහන: බොහෝ දුරට නිල වර්ගීකරණයේ දෝෂය පැන නැගෙන්නේ, සෑම නව රෝගියෙක්ම මිනුවන්ගොඩ/පෑලියගොඩ අවට ප්‍රදේශයෙන් හමු වූ හරෝගියෙකුට අනුමාන වශයෙන් සම්බන්ධ කර ගැනීමට හැකි වන තෙක් රෝගීන් නැවත නැවතත් පසුපසට අනුමාන වශයෙන් යා කිරීම හේතුවන් විය හැක. මෙම දෝෂ සහගත ප්‍රවේශය මගින්, ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 100% ක් කොවිඩ්-19 ආසාදිතයින් බවට පත්වූවත්, එය තවමත් මිනුවන්ගොඩ/පෑලියගොඩ පොකුරට සීමා වී ඇතැයි නිර්වචනය කිරීමට ඉඩ සලසයි. එනම් එය ආසාදිත පොකුරක සංකල්පය අර්ථ විරහිත කරයි.
*FactCheck හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන තොරතුරු මතයි. අපගේ සෑම කරුණු සොයා බැලීමකදීම මෙන්ම මෙම කරුණු සොයා බැලීමේදීද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck හි මෙම ඇගයීමද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සුදානම්.
- කොවිඩ්-19 රෝගියෙකුට මීටරයකට අඩු දුරකින් මිනිත්තු 15 ක් හෝ ඊට වැඩි කාලයක් සිටීම;
- කොවිඩ්-19 රෝගියෙකු හා සෘජුව ශාරීරිකව සම්බන්ධතා පැවැත්වීම;
- මනා පුද්ගලික ආරක්ෂණ උපකරණ (PPE) භාවිතයකින් තොරව කොවිඩ්-19 මගින් පෙලෙන රෝගීන්ට සෘජුව සත්කාර කිරීම;
- මෙරට අවදානම් තක්සේරු කිරීම් මගින් දැක්වෙන පරිදි, වෙනත් නිර්වචනයන්[ගෘහස්ථ සංවෘත වටපිටාවන්, සෞඛ්‍ය සත්කාර වටපිටාවන්, පොදු/හවුල් ප්‍රවාහනය සහ, පූජනීය ස්ථාන, සේවා ස්ථාන, පාසල්, පෞද්ගලික සමාජ උත්සවාංග වැනි වෙනත් මනාව නිර්වචනය කරන ලද වටපිටාවන් සහ එක්රැස් වීම් වැනි විවිධ වාතාවරණයන් සඳහා වන නිර්වචනයන් මීට ඇතුළත් වේ].
සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සමීප ආශ්‍රිතයන් සහ දෙවන පෙළ ආශ්‍රිතයන් යන දෙකොටසම ආසාදිත පොකුරක කොටස් ලෙසින් වාර්තා කරයි. එසේ කිරීම මගින්, සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ආසාදිත පොකුරක් සඳහා වන නිර්වචනය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඒ සඳහා ඉදිරිපත් කොට ඇති නිර්වචනයෙන් එපිටට පුළුල් කරයි. මේ ඔස්සේ, මෑතකාලීන වසංගත ව්‍යාප්තිය මිනුවන්ගොඩ/පෑලියගොඩ පොකුර තුළට සීමා වී ඇතැයි යන ප්‍රකාශය සිදුකිරීමට ඉඩ ලැබී ඇත.
සැලකිය යුතු අන්දමින්, වසංගත පොකුරක ව්‍යාප්තිය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වන නිර්වචනය මගින්, "ආසාදිත පොකුරට නිරාවරණය වීම වැළැක්වුවහොත් පොදු ජනගහණයට ඇත්තේ අඩු අවදානමක්" යැයි ගම්‍ය කරයි. කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්ම රටේ ප්‍රදේශ කිහිපයක්ම "ඉහළ අවදානම්" කලාප ලෙසින් වර්ගීකරණය කිරීම ඔස්සේ දැක්වෙනුයේ, ව්‍යාප්තියේ ගතිලක්ෂණයන් සහ ඒ සඳහා රජයෙන් දක්වන ප්‍රතිචාරයන් වඩාත් සමීප වන්නේ සමාජ ව්‍යාප්තිය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ඉදිරිපත් කර ඇති නිර්වචනය වෙත බවයි.
සැලකිය යුතුයි: උක්ත ප්‍රකාශය සම්බන්ධයෙන් වන මෙම FactCheck විශ්ලේශණය පාදක වී ඇත්තේ, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉදිරිපත් කර ඇති වෛරස සම්ප්‍රේෂණ තත්වයන් සතර සඳහා වන නිර්වචනයන් මත වේ. ඇතැම් විට ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥවරයා විසින් සිය ප්‍රකාශය සඳහා යොදාගත්තා විය හැකි, ශ්‍රී ලංකාවේ සම්ප්‍රේෂණ තත්වයන් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විකල්ප නිර්වචනයන් හඳුනා ගැනීමට FactCheck සමත් නොවුණි.