ණයට මොකද කරන්නේ?
ලංකාවේ වත්මන් ණය ගෙවා ගන්න බැරිව හිරවී සිටීම අප මුහුණ දී සිටින ලොකුම ආර්ථික අර්බුදය වෙයි. විදේශීය ණය හිමියන්ට ඩොලර් වලින් ගෙවිය යුතු ණය ගෙවා ගැනීමට තරම් ප්‍රමාණවත් ඩොලර් රටක් ලෙස උපයා ගැනීමට නොහැකි වීම මෙයට හේතුවයි.
එසේ සිදු වීමට කාරණා දෙකක් හේතු වෙයි. එකක් රජය විසින් දිගින් දිගට තොර තෝංචියක් නැතිව ණය ගැනීම ය. සාමාන්‍යයෙන් රජයක් ණය ලබා ගන්නේ ගෙවීමට නොවේ. හේතුව එම දීර්ඝකාලීන ණය කල් පිරුණු පසු තව ණයක් ගෙන එය පියවා දැමිය හැකි බැවිනි. ඔවුන් ණය ගත්ත ද ඒවා ගෙවා දමන්නේ ඔවුන්ගෙන් පසුවට එන ආණ්ඩුවක් යැයි සිතීම හෝ ණය ගෙවන දිනක ගන්නා අය නොව වෙන අය බලයේ සිටීවී යැයි උපකල්කරන බැවින් දේශපාලකයන් ණය ලබා ගෙන අද ප්රශ්නය විසඳා එය හෙටට කල් දමා ගනිති. ණය ගෙවන සමය වන විට එහි වගකීම ඔවුන් මත නොපැවරේ. එසේ දිගින් දිගටම ණය ලබා ගත් විට ඒවා ක්‍රමයෙන් එකතු වී තව දුරටත් ගෙවා ගෙන යෑමට නොහැකි තත්ත්වයක් උදා වූවොත් අලුතින් ණය ලබා ගැනීම අපහසු වෙයි. අලුතින් වෙළඳපොළේන් ණය නොලැබෙන නිසා කලින් ගත් ණය ගෙවා ගැනීමට නොහැකි වීම හෙවත් බංකොලොත් භාවයට රටක් පත් වෙයි.
කලින් ලබා ගත් ණය වලින් රටේ ආදායම් ජනිත වන ආර්ථිකයක් ගොඩ නගා තිබුනා නම්, ඒ ණය ගෙවා ගැනීමට රට තුල ඩොලර් ජනිත වීම සිදු වෙයි. එහෙත් ලංකාවේ ආර්ථිකය තුල එවන් වර්ධනයක් සිදු වී නොමැතිය. එබැවින් රට තුල අධික ඩොලර් හිඟයකි. ආදායමත් නැත්නම් , ණයට ලැබෙන්නෙත් නැතිනම්, අපිට ජීවත් වීමට සල්ලි කෝ? ඒ නිසා ශ්‍රී ලංකාව බංකොලොත් වීමේ විශාල ඉඩක් නුදුරේම ඇති බව අපිට පෙනෙන්නට තිබේ.
මින් ගැලවෙන්නේ කෙසේද ?
දේශපාලකයාට option 2ක් තිබේ.
එකක් නම්, එවන් අර්බුදයක් නැතැයි කියමින්, අපිට සල්ලි ඇතැයි කියමින් කල් මරමින් ආණ්ඩුව ඇදගෙන යෑමය. රට තුල වියදමට මදි සල්ලි ටික අච්චු ගසා ගනු ලැබේ. ලෝකය පුරා ණය දීමට කෙනෙක් සොයමින් කැරකෙයි. මහ බැංකුව මගීන් විශාල බොරු කියමින් ජනතාවගේ විශ්වාසය රඳවා තබා ගැනීමට කටයුතු කරයි. මෙමගින් සිදු වන්නේ තුවාලය තවත් ගැඹුරට කුණු වීම පමණය. පිළිකාව උඩු දිවීම පමණය. කෙසේ හෝ ඊළඟ ඡන්දයක් තෙක් මේ අර්බුදය උඩට මතු වීමට නොදී සිටීම ඔවුන්ට ලේසිය. " Denial is not the solution " යැයි කියමනක් ආර්ථික විද්‍යාවේදී යෙදේ. එනම්, මෙවන් ණය ආර්ථික ගැටලුවක් සඟවා ගෙන සිටීමෙන් එය විසඳීමට ඇති හැකියාව දුර්වල වේ. දැන් ඔබ ලංකාවෙ සිදු කෙරෙමින් පවතිනවා දකිනුයේ මෙයයි.
අනෙක් option එක නම්, රට තුල ඇති ආර්ථික අර්බුදය පිළිගැනීමය. එය පිළිගෙන ජනතාවට පැහැදිලි කර, එයට අවශ්‍ය විසඳුම් සොයා ගැනීමට ඉක්මනින් කටයුතු කිරීම ය. ඒ විසඳුම් පහත ආකාරයෙන් වෙයි.
ලෝකයේ වෙළඳපොළ තුල මෙවන් මුදල් ගෙවා ගැනීමට නොහැකි කඩා වැටීමක් පැමිණි විට යෑමට ලෝකය එකතු වී අරමුදලක් පිහිටුවා ගෙන තිබේ. එයට අපි අන්තර්ජාතික මූල්‍ය අරමුදල හෙවත් IMF යැයි කියති. අප සතු පළමු පියවර නම්, IMF එක වෙත යෑමය. මීට පෙර 16 වතාවක් අපි එහි ගොස් ඇත්තෙමු. මෙතෙක් අප ගත කල සෑම දින 100කින් 42ක්ම ඔවුන්ගේ මැදිහත් වීම මත කටයුතු කර තිබේ. IMF සමග සාකච්ඡා කෙරෙන ගමන් ඊළඟ පියවර තැබිය යුතු වන්නේ IMF එකේ ද අනුදැනුම මත ය.
එනම්,
එය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හෙවත් Debt restructuring වෙයි. මෙහි පියවර තුනකි. පළමු වැන්න නම් අපට ණය දීපු ආයතන වල මුළු ණයෙන් කොටසක් බොල් ණය ලෙස කපා ගැනීමය. ණයේ මුල් මුදලින් 20%ක් 15% අඩු කර ගැනීම හෙවත් Principal Haircut එකක් ලබා ගැනීම ලෙස මේ පියවර දැක්විය හැකිය.
දෙවැනි පියවර නම්, පොළිය අඩු කර ගැනීම හෙවත් coupon එක වෙනස් කර ගැනීමය. තුන් වැන්න නම් ණය reprofiling හෙවත් ණය ගෙවීමට ලබා දී තිබු කාලය දික් කර ගැනීම ය. මේ කාරණා තුන ඔස්සේ රජයකට සිය ණය ප්‍රතිව්‍යුහගත කල හැකිය. එම සාකච්ඡා වලට IMF, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ආදි බහුජාතික සංවිධාන ද අනතුරුව පැරිස් ක්ලබ් එක හෙවත් ද්විපාර්ශවීය ණය ලබා දෙන නිලනොලත් රාජ්‍ය අංශයේ රටවල නියෝජිතයන් ද , පුද්ගලික මූල්‍ය වෙළඳපොළේ නියෝජිතයන් ද එලෙසම දේශීය ණය ලබා දී ඇති වානිජ බැංකු ආදිය ද එකතු වෙයි. මේ සඳහා වෙනමම සමාගම් පවතින අතර මේ කටයුත්ත සඳහා වෙනමම නීතීඥ සමාගම්, මූල්‍ය වෙළඳපොළ විශේෂඥ කණ්ඩායමක් සහ රජයේ පාර්ශවයන් සහභාගී වෙයි. මේ සඳහා මාස 6ක සිට අවුරුදු කීපයක් දක්වා කාලයක් ගත විය හැකිය.
අප අපගේ සමස්ථ ණය ප්‍රමාණය මෙලෙස ප්‍රතිව්‍යුහගත කර ගත් පසු අපේ ණය වාරික යළි කුඩා වන අතර එම කුඩා වාරික ගෙවා ගෙන යෑමට IMF එකෙන් අලුත් ණය පහසුකම් ලබා දෙනු ලැබේ. IMF ණය ඉතා දීර්ඝකාලයකට ඉතා කුඩා පොළියකට ලැබෙන බැවින් එය දරා ගැනීම රජයකට අපහසු නොවේ. එහෙත් IMF එක එන්නේ දැඩි කොන්දේසි සහිතව ය. ණය ගෙවා ගැනීමට අප සතු හැකීයාව වැඩි කිරීම එම කොන්දේසි වල අරමුණ වෙයි. රජයේ සේවකයන් අඩු කිරීම, රජය කුඩා කිරීම පාඩු ලබන ආයතන පුද්ගලීකරණය කිරීම, රුපියල අවප්‍රමාණ කර ඩොලරයේ මිළ ඉහළ දැමීම තුලින් අපනයන වෙළඳපොළ උත්තේජනය කර ගැනීම, බදු ප්‍රමාණය වැඩි කිරීම ආදී රජයේ ආදායම් ඉහළ දමා ගෙන, වියදම් අඩු කර ගෙන ණය ගෙවීමේ හැකියාව වර්ධනය කිරීම එම කොන්දේසි වල අරමුණයි.
ණය බර එසේ සැහැල්ලු වෙද්දී රටේ ආර්ථික සංවර්ධනය ඇති කර ගැනීම රජයේ වගකීමක් වෙයි. Economic Growth එකක් උදා කර ගැනීමට ආර්ථිකය වර්ධනය කර ගැනීමට අපට නොහැකි වුවහොත් රටට ණය වාරික යළිත් ගෙවා ගැනීමට අපහසු වන අතර යලි යලිත් බංකොලොත් භාවයට පත්වීමේ අවදානමක් තිබේ. එබැවින් IMF එකට යෑමෙන්, ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පමණක් රටේ අර්බුදය විසඳෙන්නේ නැත. එනම්, අප දීර්ඝකාලීන ආර්ථික සංවර්ධන උදා කර ගත යුතුය. ඒ සඳහා කල යුතු වැඩකටයුතු රාශියකි. ඒවා නම් ස්වාධීන නිදහස් වෙළඳපොළ ආර්ථිකයක් නිර්මාණය කර ගැනීම, ස්වාධීන මහ බැංකුවක් , ස්වාධීන අධිකරණයක්, නීතියේ පරමාධිපත්‍ය ඇති කර ගැනීම, කාර්යක්ෂම රාජ්‍ය පරිපාලනයක් ඇති කර ගැනීම ආදී මූලික ලක්ෂණ අප රජය තුල නිර්මාණය කල යුතුය.
වර්තමානයේ සිටින හොර දේශපාලකයන්ට එම මූලික ලක්ෂණ ඇති කීරීමට නොහැකිය. තමන් අපරාධකාරයෙකු වූ විට , තමන් හොරෙකු වූ විට, තමන් කූට ව්‍යාපාරිකයෙකු වූ විට ඔවුන්ට රටේ ආර්ථිකය ගොඩ නැගීමට නොහැකිය.
එබැවින් ප්රත්යක්ෂවම මේ දේශපාලකයන් සමග ඔබට මේ අර්බුදයෙන් ගොඩ යා නොහැකිය.
පැතුම් කර්නර්