දකුණු අප්‍රිකාවේ CRICKET තහනම හා ඊට අදාල හේතුන්

lasa1106

Member
Apr 26, 2012
626
197
0
දකුණු අප්‍රිකාවේ CRICKET තහනම හා ඊට අදාල හේතුන්

FROM LAKBIMA NEWS PAPER

වර්ණභේදවාදය නිසා දකුණු අප්‍රිකාවට ජාත්‍යන්තර ක්‍රිකට් අහිමි වූ කතාව

අඳුරු මහාද්වීපය ලෙස හඳුන්වන අප්‍රිකාවේ කෙළවරක පිහිටි දකුණු අප්‍රිකාව ඉතා දිගු කලක් බ්‍රිතාන්‍ය කිරීටයට නතුව තිබූ රටකි. සියවස් ගණනක් පුරා බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවති නිසා දකුණු අප්‍රිකාව බ්‍රිතාන්‍ය සංස්කෘතික ලක්ෂණවලින් සහ බ්‍රිතාන්‍ය පාලන රටාවකින් යුතු අප්‍රිකානු රාජ්‍යයක් විය. බ්‍රිතාන්‍යයන් විසින් හඳුන්වා දුන් ක්‍රිකට් ක්‍රීඩාව සෙසු යටත් විජිතවල මෙන්ම දකුණු අප්‍රිකාවේද ව්‍යාප්තව පැවතුණි. එංගලන්තයට සහ ඕස්ට්‍රේලියාවට පසු ටෙස්ට් තත්ත්වය ලැබූ දකුණු අප්‍රිකාව ඉතා කෙටි කලකින් ටෙස්ට් ක්‍රිකට් ලොව ප්‍රබල රාජ්‍යයක් වන ලකුණු පෙන්වන්නට විය. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටක් ලෙස දකුණු අප්‍රිකාව සිය මුල්ම තරගයට මුහුණ දෙන්නේද එංගලන්තය සමගිනි. ඒ 1888 - 89 තරග වාරයේදීය. දකුණු අප්‍රිකාවේ ‍පෝර්ට් එළිසබෙත්හි පැවති මෙම තරගයෙන් එංගලන්තය දින දෙකක් තුළ ජය ලැබූ අතර මෙම ටෙස්ට් තරගයේදී එක ඕවරයකට පන්දු 4ක් පමණක් ඇතුළත් වීම සහ තරගය දින 3කට සීමා වීම විශේෂයක් විය. ඉතා කෙටි කලකින් තම ටෙස්ට් ක්‍රිකට් දක්ෂතා උපරිම තලයට ගෙන එන්නට දකුණු අප්‍රිකානුවෝ සමත් වූහ. 1908 පමණ වන විට ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අභිබවා යන තරමට ඔවුන් ප්‍රබල කණ්ඩායමක් බවට පත් විය.

එහෙත් දකුණු අප්‍රිකානු රජය එරට පුරා ක්‍රියාත්මක කරමින් තිබූ වර්ණ භේදවාදී ප්‍රතිපත්ති එරට අන් සියලු ක්‍ෂේත්‍රවලට මෙන් ක්‍රීඩාවටද බලපෑම් කරන්නට විය. ඔවුන්ගේ වර්ණ භේද වාදී ප්‍රතිපත්තිවලට අනුව සුදු ජාතිකයන් සඳහා වෙනමම ක්‍රීඩාංගණ, බස්රථ, පාසල්, රෝහල්, බැංකු, වෙළෙඳසල් තිබූ අතර බහුතර කළු ජාතීන්ට හිමිවූයේ ඉතා අයහපත් ජීවන තත්ත්වයකි. රටේ ප්‍රධාන ධන උත්පාදන මාර්ග සුදු ජාතීන් සතුවූ අතර ඔවුන්ගේ වගා බිම්, කම්හල් ආදියේ සේවය කිරීමට පමණක් කළු ජාතිකයන්ට ඉඩකඩ ලැබුණි.

දකුණු අප්‍රිකාවේ ක්‍රියාත්මක වර්ණ භේදවාදයේ කුරිරු ස්වරූපය ලෝකයට පැහැදිලි වූ හොඳම අවස්ථාව ලෙස 1934 වසරේ දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිතව තිබූ ‍පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උත්සවය දැක්විය හැක. තම රට තුළ පවත්වන මෙම ක්‍රීඩා උළෙලට සුදු ජාතීන් හැර අන් කිසිදු ජාතියකට සහභාගිවීමට ඉඩ දිය නොහැකි බව එරට ප්‍රකාශ කළ අතර මෙම තත්ත්වය දකුණු අප්‍රිකාව සමග දැඩි හිතවත්කම් පැවැත්වූ බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව වැනි රටවල් පවා අන්දමන්ද කරන්නට සමත්විය. රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා වට ගණනාවක් අවසන එම ක්‍රීඩා උත්සවය එංගලන්තයේ පැවැත්වීමට තීරණය වූයේ දකුණු අප්‍රිකාව තම තීරණය වෙනස් නොකළ බැවිනි.

දෙවන ලෝක සංග්‍රාමය නිසා ලෝකයට දකුණු අප්‍රිකාවේ වර්ණ භේදවාදය අමතකව ගියද යුද ගිනිදැල් මැද ද දකුණු අප්‍රිකාව තුළ වර්ණභේද වාදය ඒ අයුරින්ම ක්‍රියාත්මක විය. 1955 පමණ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ‍පොදු රාජ්‍ය මණ්ඩලය වර්ණ භේදවාදී ප්‍රතිපත්ති වෙනස් කරන මෙන් දකුණු අප්‍රිකාවට දැඩිව බලපෑම් කරන්නට විය. එහෙත් තමන්ගේ ශක්තිමත් ආර්ථිකය සහ බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රටවල අනුග්‍රහය අනියම් ආකාරයෙන් ලැබිමද නිසා දකුණු අප්‍රිකාව අඛණ්ඩව සිය වර්ණභේද වාදය ඉදිරියට රැගෙන ගියේය.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සහ අධිරාජ්‍යවාදී ක්‍රිකට් සම්මේලනය පවා ඔවුන්ගේ වර්ණ භේද වාදයට එරෙහි විය. 1976දී දකුණු අප්‍රිකාවට එරෙහිව අප්‍රිකානු රටවල් ඔලිම්පික් වර්ජනයක්ද සිදුකරන ලදී. එහෙත් බ්‍රිතාන්‍යය සහ ඊට හිතවත් රටවල් විටෙක රහසිගතවද විටෙක එළිපිටද දකුණු අප්‍රිකාවට සහය දැක්වීම ගැටලු සහගත විය. එරට අභ්‍යන්තර ක්‍රිකට් තරගාවලිය වන 'කුරි' කුසලාන තරගාවලිය පවා කළු ජාතීන්ට තහනම් වූ අතර කළු ජාතිකයන්ට තරග නැරඹීමට තිබුණේ අඩු පහසුකම් සහිත ස්ථානවීමද ජාත්‍යන්තර ක්‍රිකට්ක්‍ෂේත්‍රයේ පිළිකුලට ලක්ව තිබුණි.

රාජ්‍ය නායකයන්, ආගමික ප්‍රධානීන්, ලෝක සංවිධාන ඇතුළු පාර්ශ්වයන් ගණනාවක් දකුණු අප්‍රිකාවට වර්ණ භේදවාදී රාමුවෙන් මිදෙන්නැයි බල කළද එය ඉටුනොවීය. ක්‍රිකට් පාලනය කරන ජාත්‍යන්තර සංවිධානය වන අයි.සී.සී. ආයතනයේ පූර්ණ සාමාජිකත්වය ලැබූ බටහිර ඉන්දීය කොදෙව්, ඉන්දියාව වැනි (කළු හම සහිත වැසියන් විසූ) රටවල් සමග ක්‍රීඩා කිරීම පවා දකුණු අප්‍රිකාවප්‍රතික්‍ෂේප කිරීම නිසා ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුව තුළ පවා මත ගැටුම් නිර්මාණය වන්නට විය.

එහෙත් ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ පූර්ණ සාමාජික රටවලින් බහුතරය සුදු ජාතික නියෝජනයක් සහිත වීම නිසා ඉන්දියාව, පාකිස්ථානය සහ බටහිර ඉන්දීය දූපත්වලට කළ හැකි දෙයක් නොවීය. ඕස්ට්‍රේලියාව, එංගලන්තය, නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව එක කඳවුරක සිටීම නිසා ආසියානු, අප්‍රිකානු සම්භවයක් සහිත රටවල මතයට එහි ඉඩක් නොලැබුණි. කෙසේ වෙතත් 1968 වසරේදී සිදුකිරීමට යෝජිතව තිබූ එංගලන්ත පි‍ලේ දකුණු අප්‍රිකානු සංචාරයට ඇතුළු වූ බැසිල් ඩී ඔලිවේරා නම් කළු ජාතික ක්‍රීඩකයාට දකුණු අප්‍රිකාවට ඇතුල්වීමට ඉඩ දිය නොහැකි බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කිරීම සමග එංගලන්තයට වර්ණ භේද වාදය යනු කුමක්දැයි නිවැරදිව වටහා ගත හැකි විය.
එංගලන්ත ටෙස්ට් හා ප්‍රාන්ත ක්‍රිකට් සංගමය සහ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු නියෝජිතයෝ පවා මෙම තීරණය වෙනස් කරන්නැයි දකුණු අප්‍රිකාවෙන් ඉල්ලා සිටියහ. එපමණක් ද නොව ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත ක්‍රිකට් බලධාරීන්ද ඊට සමාන ඉල්ලීම් කළ බව වාර්තා වේ. එහෙත් දකුණු අප්‍රිකාව බැසිල් ඩී ඔලිවේරාට වීසා නිකුත් කිරීම අඛණ්ඩව ප්‍රතික්‍ෂේප කිරීම නිසා එම සංචාරය අවලංගු කිරීමට තීරණය විය.

මෙම තත්ත්වය දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ මළගමට සම වන බව විචාරකයන්ගේ මතය විය. ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය තුළ පවා දකුණු අප්‍රිකාවට එරෙහිව එංගලන්තය අදහස් දැක්වූ මුත් ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය දකුණු අප්‍රිකාව සම්බන්ධව ඉතා මිත්‍රශීලී පිළිවෙතක් අඛණ්ඩව අනුගමනය කිරීම ජගත් ක්‍රිකට් ක්‍ෂේත්‍රයේ දැඩි පිළිකුලට ලක්විය.

‍පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් බහුතරයක් විරුද්ධ වුවද ඕස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් පිල ටෙස්ට් තරග හතරකින් යුත් සංචාරයක් සඳහා 1969 වසර අග දකුණු අප්‍රිකාවට පැමිණියේය. ප්‍රබල ඕස්ට්‍රේලියානු පිල 4-0 ලෙසින් පරාජය කිරීමට දකුණු අප්‍රිකාව එවර සමත් විය. එහෙත් මෙම සංචාරය තම අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය වනු ඇතැයි දකුණු අප්‍රිකාව නොසිතූ බව පසුව පීටර් ‍පොලොක් නම්ශ්‍රේෂ්ඨ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයා විස්ඩන් සඟරාවට පවසා තිබුණි.

1970 වසරේ දකුණු අප්‍රිකානු පිල එංගලන්තයට යෑමට නියමිතව තිබුණි. එහෙත් 1968 තරගාවලියේදී දකුණු අප්‍රිකාව කළ දේට එකට එක කරමින් එංගලන්තය මෙම සංචාරය අවලංගු කළේය.
බලා‍පොරොත්තු කඩවූ එංගලන්ත ක්‍රීඩකයන් සහ ක්‍රීඩා ලෝලීන් උදෙසා ලෝක ක්‍රිකට් පිලක් එංගලන්තයට ගෙන ඒමට එංගලන්ත ක්‍රිකට් බලධාරීන් විසින් තීරණය කරන ලදී. එම ලෝක පිල බටහිර ඉන්දීය ජාතික ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් විසින් මෙහෙයවන ලද අතර එම පිලට ඉන්දීය සහ පාකිස්තාන් ක්‍රීඩකයින් ඇතුළත් විය. කිසිදු ගැටලුවකින් තොරව දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් වූ බැරී රිචර්ඩ්ස්, මයික් ‍ප්‍රොක්ටර්, එඩී බාලෝ, පීටර් ‍පොලොක් වැනි ක්‍රීඩකයෝ එම ලෝක පි‍ලේ අනෙකුත් කළු සහ සුදු ජාතික ක්‍රීඩකයින් සමග සුහදව ක්‍රීඩා කළහ. ඒ අනුව වර්ණ භේද වාදය දකුණු අප්‍රිකානු ක්‍රිකට් පරිපාලකයන්ට විනා ක්‍රීඩකයන්ට අදාළ නැති බවක් ලෝකයට ප්‍රදර්ශනය විය.
ලෝක ක්‍රිකට් පිල සහ එංගලන්ත කණ්ඩායම තරගවදින කාලය තුළදී දකුණු අප්‍රිකාව ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවෙන් නෙරපීමට අයි.සී.සී. ආයතනය තීරණයක් ගත්තේය. මෙම තීරණය ක්‍රියාවට නගන විට දකුණු අප්‍රිකාව ලොව අංක එකේ ටෙස්ට් කණ්ඩායම බවට පත්වෙමින් තිබුණි. 1960-70 අතර කාලයේ ඔවුන් ටෙස්ට් තරග 12කට ක්‍රීඩාකර 8ක් ජයගෙන, එකක් පමණක් පරාජය වීම ඔවුන්ගේ දක්ෂකමට උදාහරණයකි. 1965 සිට වසර 5ක් එකදු ටෙස්ට් තරගයක් හෝ පරාජය නොවී සිටි දකුණු අප්‍රිකාව ටෙස්ට් පිටියෙන් නෙරපා හරින කල එහි සිටි දක්ෂයෝ බොහෝය. 1968 විස්ඩන් සඟරාව නම් කළ 'වසරේ විශිෂ්ටතම ක්‍රීඩකයා' වූ පීටර් ‍පොලොක් ඇතුළුව ග්‍රැහැම් ‍පොලොක්, එඩී බාලෝ, බැරි රිචර්ඩ්ස්, මයික් ‍ප්‍රොක්ටර් වැනි සුපිරි ක්‍රිකට් විරුවන්ගේ දස්කම් දැකගැනීමට ක්‍රිකට් ලෝලීන්ට නොහැකිවීම සැබෑම අවාසනාවක් විය.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් නෙරපා හැරියද දකුණු අප්‍රිකානුවෝ එංගලන්ත ප්‍රාන්ත තරගවලට අඛණ්ඩව සහභාගි වූහ. ඔවුනට සහෝදර ක්‍රීඩකයන්ගේ සමේ වර්ණය ගැටලුවක් නොවූ බව පැහැදිලිය. දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක බැරී රිචර්ඩ්ස් ගේ ක්‍රීඩා වීරයා වූයේ කළු ජාතික බොක්සිං ශූර මොහොඩ් අලී වීම ඊට නිදසුනකි. වරක් අලී එංගලන්තයේ බොක්සිං තරගයකට සහභාගි වෙමින් සිටි අවස්ථාවක බැරි රිචර්ඩ්ස්ව කාමරයේදී මුණගැසී ඇත. කෙටි පිළිසඳරකින් පසු බැරී තමා දකුණු අප්‍රිකානුවෙකු බව අලීට පවසා තිබේ. කළු ජාතික අයිතීන් වෙනුවෙන් සටන් වදිමින් සිටි මොහොමඩ් අලී බැරි රිචර්ඩ්ස්ට පහරදීමට ඔහු පසුපස එළවා ගෙන ගොස් ඇතැයි සඳහන් වේ. එදා යාන්තමින් බේරුණ බැරි රිචර්ඩ්ස් වසර කිහිපයකට පසු මෙම සිදුවීම අලීට සිහිකර ඇත. එවිට දෙදෙනාම ලෝප්‍රකට ක්‍රීඩකයන් වී සිටි අතර ඔවුන් දෙදෙනාට පමණක් නොව අවට සිටි අයටද සිනහව නතර කරගත නොහැකි වූ බව වාර්තා වෙයි. වර්ණ භේද වාදය තුළ එවැනි හාස්‍ය උත්පාදක සිදුවීම් මෙන්ම හද පාරවන සිදුවීම්ද නැතිවා නොවේ.

1980 දශකයේ මුල් භාගයේ දකුණු අප්‍රිකාවේ සල්ලි ගස සොලවනු වස් කැරලිකාර සංචාරයක යෙදුන බටහිර ඉන්දීය කොදෙව් පි‍ලේ සිටි ලෝ පූජිත වේග පන්දු යවන සිල්වෙස්ටර් ක්ලාක් එහි දුම්රියක සුදු ජාතිකයන්ට වෙන්වූ මැදිරියකට වැරදීමෙන් ගොඩවූ අවස්ථාවක දුම්රිය ආරක්ෂකයන් ඔහු බෙල්ලෙන් අල්ලා එළියට දැමීම එවැනි කනගාටුදායක සිදුවීමකි.

තම මව්බිමට ජාත්‍යන්තර ක්‍රීඩාපිටිය තහනම් වුවද ඇතැම් දකුණු අප්‍රිකානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනත් රටවල පුරවැසි බව ලබා ජාත්‍යන්තර ක්‍රීඩාපිටිය ජය ගෙන තිබේ. 1984 ඔලිම්පික් තරග සඳහා එංගලන්තය නියෝජනය කළ ධාවන ශූරිය සෝලා බඩ් එවැනි ක්‍රීඩිකාවකි. දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් විශාල පිරිසක්ද එංගලන්තය සහ ඕස්ට්‍රේලියාවට පැමිණ ඒ රටවල් නියෝජනය කළ අතර කලක් ඕස්ට්‍රේලියාව නියෝජනය කළ වමත් ආරම්භක පිතිකරු කෙප්ලර් ක්‍රිස්ටෝෆර් වෙසල්ස් ඒ අතරින් විශේෂ තැනක් ගනී. ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් තරගයේදී අනගි ශතකයක් ලැබූ වෙසල්ස් ශ්‍රී ලාංකිකයන්ටද අමුත්තෙකු නොවේ. දකුණු අප්‍රිකාවට 1991දී ටෙස්ට් තත්ත්වය යළි ලැබුණ පසු පෙරලා මව් රටට ගිය වෙසල්ස් දකුණු අප්‍රිකාව වෙනුවෙන්ද ටෙස්ට් තරගවලට සහභාගිවීමද විශේෂයකි.

දශක දෙකකට පසු 1991දී දකුණු අප්‍රිකාවට යළි ටෙස්ට් තත්ත්වය සහ ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා සහභාගිවීමේ වරම්ද හිමි විය. 1991දී ඔවුන් සිය ටෙස්ට් ක්‍රිකට් දෙවන ගමන ඇරඹුවේ කළු ජාතික බටහිර ඉන්දීය පිල සමග දකුණු අප්‍රිකාවේදීම ටෙස්ට් තරගයකට සහභාගි වෙමිනි. දකුණු අප්‍රිකානු රජය ඒ වන විට වර්ණභේද වාදී ප්‍රතිපත්ති මුළුමනින්ම අතහැර කළු ජාතිකයන්ටද සුදු ජාතිකයන්ට හිමි වරප්‍රසාද ලබාදී තිබුණි.

හමේ වර්ණය නොතකා සුදු සහ කළු දකුණු අප්‍රිකානුවෝ එක්සත් දකුණු අප්‍රිකාවක් උදෙසා ජයඝෝෂා නැගූ එම ටෙස්ට් තරගය මානව වර්ගයාටම වැදගත් තරගයක් විය.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු
 
Last edited:

lasa1106

Member
Apr 26, 2012
626
197
0
ඔය තහනමට පස්සේ ලංකාවෙන් කණඩායමක් ගියා දකුණු අප්‍රිකාවට යන්න එපා කියද්දී. පස්සේ ලංකාවෙන් ගිය කණ්ඩායමේ හිටිය ඔක්කොටම අයෙත් ක්‍රිකෙට් ගහන්න බැරි වෙන්න , ජිවිත කාලය පුරාවටම ක්‍රිකෙට් තහනමක් දැම්මා ................
 

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    WEDI SALLI NISA GIYA MEGOLLO
    Squad: Bandula Warnapura (captain),
    Flavian Aponso,
    Hemantha Devapriya,
    Lantra Fernando,
    Mahes Goonatilleke,
    Nirmal Hettiaratchi,
    Lalith Kaluperuma,
    Susantha Karunaratne,
    Bernard Perera,
    Anura Ranasinghe,
    Ajit de Silva,
    Bandula de Silva,
    Jeryl Woutersz,
    Tony Opatha (player/manager).
     

    lasa1106

    Member
    Apr 26, 2012
    626
    197
    0
    WEDI SALLI NISA GIYA MEGOLLO
    Squad: Bandula Warnapura (captain),
    Flavian Aponso,
    Hemantha Devapriya,
    Lantra Fernando,
    Mahes Goonatilleke,
    Nirmal Hettiaratchi,
    Lalith Kaluperuma,
    Susantha Karunaratne,
    Bernard Perera,
    Anura Ranasinghe,
    Ajit de Silva,
    Bandula de Silva,
    Jeryl Woutersz,
    Tony Opatha (player/manager).


    elaz............ oya set eka tama