දර්මචක්‍රය වෙනුවට අසෝක චක්‍රය

Little Hulk

Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    මේ ආණ්ඩුවෙන් කරන පිස්සු වැඩ වලට කොහොමත් මම එකඟ නෑ.

    හැබැයි මේ ධර්ම චක්‍රය නිවැරදියි.
     
    • Like
    Reactions: TechnWeb

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,139
    113
    කොහොමත් ලංකාවේ මිට්ටෝ ඔය ධර්ම චක්‍රේ කියලා හිතන් ඉන්නේ නැංගුරම් කෑල්ලක් නේ
     
    • Haha
    Reactions: Kalegana and 6h057

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113

    Facebook නැති අයට කියවන්න....
    .
    මේ දිනවල සමාජ මාධ්‍ය අවකාශයේ ‘ධර්ම චක්‍රය’ පිළිබඳ විවිධාකාරයේ සංවාද ඇති වී තිබෙනු දැකිය හැකිය. ගරාදි 24කින් යුතු අශෝක රජුගේ කාලයට අයත්යැයි සැලකෙන ‘චක්‍රය’ ධර්ම චක්‍රයක් ද එසේත් නැතිනම් සක්විති රජෙකුගේ හෝ අශෝක රජුගේ ආඥාව නිරූපිත චක්‍රයක් ද එසේත් නැතිනම් ජෛන ආගමට අයත් චක්‍රයක් ද ආදී අදහස් ගණනාවක් ඒ ඔස්සේ සාකච්ඡා වී තිබුණි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දම්සක් පැවතුම් දෙසුම සිදු කළ බරණැස ඉසිපතන මිගදායේ හෙවත් වත්මන් සාරානාත්හි පුරාවිද්‍යා නටඹුන් අතර තිබී හමු වූ සිංහයින් සතර දෙනෙකු සතර දෙසට සිංහනාද පවත්වන ආකාරයෙන් නිරූපිත අශෝක කුලුනු හිසේ මුදුනෙන් ම තිබුණේ මෙම විශාල චක්‍රය යි. හමුවන විට මෙම චක්‍රය කැබලිවලට බිඳී තිබූ අතර එහි කොටස් පිළිසකර කොට මේ වන විට සාරානාත් පුරාවිද්‍යා කෞතුකාගාරයේ තැන්පත් කොට තිබේ (කුලුනු හිස මුදුනෙහි එම චක්‍රය පිහිටි ආකාරය දැක්වෙන සාරානාත් කෞතුකාගාරයේ ඇති රේඛා සටහන පළමු කොමෙන්ට්ටුවේ දක්වා ඇත). පසුව ඉන්දියාවේ රාජ්‍ය ලාංඡනයට යොදාගෙන තිබුණේ එම ඉහළ කොටස නොමැති සාරානාත් අශෝක කුලුනු හිස යි. ඉන්දියාව පුරා තිබෙන අශෝක කුලුනුවල මෙවන් චක්‍රයක් ඉහළින්ම පිහිටුවා තිබී හමු වන්නේ බරණැස ඉසිපතන මිගදායේ මෙම අශෝක කුලුනේ පමණි. මෙම අශෝක කුලුනු හිසේ පිහිටි විශාල චක්‍රය සහිත නිරූපණය එය පිහිටි බිමේ දී සිදු වූ සුවිශේෂීම සිදුවීම වන ‘දම්සක් පැවතුම් සූත්‍රයේ සඳහන් ධර්මචක්‍රය ප්‍රවර්තනය කිරීම’ රූපාර්ථවේදී ලෙස නිරූපණය කිරීමක් බව සිතිය හැකිය. මහාවංස ආදි මූලාශ්‍රවල දැක්වෙන පරිදි අශෝක රජුගේ කටයුතු සඳහා මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ ඇතුළු ථේරීය පරම්පරාවේ මහායතිවරුන්ගේ උපදෙස් නිබඳවම ලැබූ නිසාත් අශෝක ලිපිවලම කියවෙන ලෙස එතුමා සංඝයා ඇසුරු කරන උපාසකයෙකු වූ නිසාත් එය බොහෝ දුරට එසේ වීමට ඉඩ තිබේ. එය එසේ නම් ධර්මචක්‍රයේ පැරණිම නිරූපණයක් බවට එම චක්‍රය පත් වේ.

    එසේම ඉන්දියාවේ ක්‍රි.පූ. යුගයට අයත් පුරාණ ස්තූප ගරාදි වැට ආදියේත් බුද්ධගයාවේ මහාබෝධි ගරාදි වැටේත් බුද්ධ චරිතයේ අවස්ථා නිරූපිත කැටයම්වල සිරිපතුල, බෝධිය ආදි සංකේත මඟින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේව සංකේතීය ලෙස දක්වන විට ඒ අතර මෙම චක්‍රය ද තිබීමෙන් ධර්මරාජ වූ බුදුරජුන්ව නිරූපණයට රූපාර්ථවේදී අර්ථයකින් මෙම චක්‍රය භාවිත වූ බව පෙනේ. චක්‍රයක් සමඟ සම්බුද්ධ චරිතයේ සම්බන්ධය පෙනෙන ප්‍රබලම සිදුවීම වන්නේ බුදුසිරිතේ උත්කර්ෂයෙන් දැක්වෙන ධර්මචක්‍ර ප්‍රවර්තනය යි. ඒ අනුව බැලූ කළ ද මෙම චක්‍රය ‘ධර්ම චක්‍රයේ පැරණිතම නිරූපණයක්’ බව පෙනේ.

    කෙසේනමුත් බොහෝ ඉන්දියානුවන් පවසන පරිදි මෙම චක්‍රය අශෝක රජුගේ ආඥා චක්‍රය පෙන්වන අශෝක චක්‍රය ද නැතහොත් භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම චක්‍රයදැයි සෘජු පුරාවිද්‍යාත්මක සාධකයක් ඔස්සේ තහවුරු කර ගැනීමේ කැමැත්ත අප තුළ විය. එය නිවැරදිව දැනගැනීමට ඇති විශ්වාසනීයම ක්‍රමය නම්, මෙම චක්‍රය නිරූපිත ඒ යුගය තෙක් දිවෙන මානවකෘතියක එය කුමක්දැයි ඒ යුගයේ අක්ෂරවලින් දක්වා ඇති අවස්ථාවක් සොයා ගැනීම යි. මාගේ වෙනත් පුරාවිද්‍යා පර්යේෂණ කටයුත්තක් සඳහා කල්කටා කෞතුකාගාරයට වැඩම කළ දිනයක අහම්බෙන් ඒ අවස්ථාව අප වෙත ලැබුණි. 1814 දී රාජකීය ආසියාතික සංගමය මඟින් ඇරඹූ කල්කටා කෞතුකාගාරය ආසියාවේ පැරණිම සහ විශාලතම මානවකෘති එකතුවක් සහිත කෞතුකාගාරය ලෙස සැලකේ. එය එක් එක් යුගයට අයත් බෞද්ධ මානවකෘතිවලින් පිරී පවතින කලාගාරයක් මෙනි. එහි වෙනම කොටසක් වෙන්කොට ඇත්තේ භාරුත් ස්තූපය වටා තිබූ කැටයම් සහිත ගරාදි වැටේ කොටසක් ස්ථාපනය කොට තැබීමට ය. එම වැටේ ඉතිරි කොටස (විශාලම කොටස) සහ තවත් පුරාවස්තු ගණනාවක් බ්‍රිතාන්‍යයට ගෙනයෑමට නැව්ගත කොට තිබූ අතර එම නැව ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදු කලාපයේ දී ගිලීගොස් තිබේ. එම පුරාවස්තු යළි සොයා ගැනීම සාගර පුරාවිද්‍යාඥයන් සතු කාර්යයකි.

    මෙම භාරුත් වැට සුංග යුගයට අයත් යැයි සැලකෙන අතර කලා ඉතිහාසාත්මක හා පුරාවිද්‍යාත්මක ලක්ෂණ සලකා ක්‍රි.පූ. 2-1 සියවස්වලට කාලනිර්ණය කොට තිබේ. එනම් මෙය අශෝක යුගයෙන් සියවසකට පමණ පසු ඒ ආසන්න කාලයේ ගැණෙන නිර්මාණයකි. එහි කැටයම්වල ජාතක කතා, බුද්ධ චරිතයේ අවස්ථා ආදිය නිරූපිත අතර එය මුල්යුගයේ බෞද්ධ ස්තූපයක් වටා ඉදිවූ මුළුමණින්ම බෞද්ධ සන්ධර්භයක පිහිටි මානව කෘතියකි. එහි අශෝක රජුගේ සෘජු සම්බන්ධයක් හෝ ජෛන ආගමික සම්බන්ධයකට අදාළ කිසිඳු සාධකයක් හමු නොවේ. එම භාරුත් වැටෙහි කැටයම් අතර ද අවස්ථා ගණනාවක මෙම චක්‍රය දැකිය හැකිය. එසේනම් මෙය අශෝක රජුගේ ආඥාව පෙන්වන චක්‍රයක් හෝ ජෛන ආගමික සම්බන්ධයක් ඇති සංකේතයක් වීමට ඉඩක් නැත. එය බෞද්ධ සංකේතයක් විය යුතුය. මෙම ගරාදිවැටේ කැටයම් අතර විවිධ තැන්වල බ්‍රාහ්මී අක්ෂරයෙන් ලියූ සටහන් හමුවේ. නොයෙක් අතීත මානවකෘති අධ්‍යයනය කරන විට ඒවායේ සටහන් කොට තිබෙන අභිලේඛන පාඨ වෙතොත් ඒවා ද කියවීම අපගේ පුරුද්දකි. එනිසා මෙම භාරුත් වැට අධ්‍යයනය කරමින් යන විට මාහට එහි තිබී අපූර්ව කැටයම් ඵලකයක් සහ එහි තිබූ පූර්ව බ්‍රාහ්මී අභිලේඛන පාඨයක් හමු විය (මෙම සටහනට අදාළ ඡායාරූපය බලන්න). එහි යම් විහාරයක් බඳු අභ්‍යන්තර අවකාශයක පෙර සඳහන් කළාක් බඳු චක්‍රයක් නිරූපණය කොට තිබුණි. විවිධ අන්දමින් සරසා ඇති එයට ඡත්‍රයකින් සෙවන සලසා තිබූ අතර දෙපසින් සිටගෙන සිටින මානව රූප ද්විත්වයක් ඒ දෙසට වන්දනා කරනා ආකාරයට නිරූපණය කොට තිබුණි. එම නිරූපණය අනුව එම චක්‍රය එකල භාවිත පූජනීය වස්තුවක් විය යුතුය. එහි ඉහළින්ම පූර්ව බ්‍රාහ්මී අක්ෂරයෙන් ‘භගවතො ධංම චකං’ යැයි ලියා තිබුණි. එහි සිංහල අර්ථය පහත පරිදි වේ. ‘භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම චක්‍රය යි. එසේනම් මෙම චක්‍රාකාර නිරූපණය අශෝක චක්‍රයක් හෝ ජෛන ආගමික නිරූපණයක් නොව අප භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම චක්‍රය බව සැලකීමට තවත් සාධක අවශ්‍ය නොවේ. එය ධර්ම චක්‍රයේ පැරණිම නිරූපණයකට උදාහරණයකි. එසේම, ‘මේ ධර්ම චක්‍රයයැ’යි එහිම සඳහන්
    ධර්ම චක්‍රයේ පැරණිතම නිරූපණය මෙය වීමට ද බොහෝ දුරට ඉඩ තිබේ.

    මාගේ අධ්‍යයනය අනුව පෙනීගිය කරුණක් නම් පසුකාලීන නිර්මාණවල ධර්ම චක්‍රයේ ගරාදි සංඛ්‍යාව පිළිබඳ අවධානය අඩු වී ඇති බවයි. අශෝක යුගයට අයත් මුල් ධර්ම චක්‍රයේ ගරාදි 24ක් තිබුණ ද පසුකාලීන ශිල්පීන් ගරාදි සංඛ්‍යාව පිළිබඳ එතරම් නොතකා ඇති බව ද එහි සමස්ත නිරූපණය පිළිබඳ පමණක් අවධානය යොමු කොට ඇති බව ද විවිධ පැරණි නිර්මාණ අධ්‍යයනයේ දී පෙනේ. කෙසේ නමුත් එය වැඩිදුරටත් අධ්‍යයනය කළ යුත්තකි. ලෝකයේ වෙනත් ආගම් මුල්කොට ගෙන පුරාවිද්‍යා ශානර (Biblical Archaeology වැනි) බිහි වී ඇතත් ලෝකයේ පැරණිම ආගමක් වන බුදුදහම මුල් කොට බෞද්ධ පුරාවිද්‍යාවක් මේතාක් නිර්මාණය නොවීම කණගාටුවට කරුණකි. කාලයත් සමඟ ධර්ම චක්‍රය ද විවිධ අයුරින් විකාශනය වූ අතර මේ වන විට විවිධ යුගවලට අයත් සහ විවිධ රටවලට අයත් විවිධ ධර්ම චක්‍ර නිරූපණ තිබේ. ඉපැරණි ගන්ධාර කලාවේ මේ විවිධත්වය හොඳින් දැකිය හැකිය. ඒ සියල්ලෙන්ම නිරූපණය වන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අනුත්තර ධර්ම චක්‍රය යි.

    -අලුදෙණියේ සුබෝධි ස්ථවිර
    2025-01-07 දින දී ය.

    ප.ලි. : කිසිදු වාදයක් පිණිස නොව, ධර්ම චක්‍රය පිළිබඳ සමාජ කතිකාවක් ගොඩනැගී ඇති මොහොතක එහි පැරණිතම නිරූපණ පිළිබඳ ශාස්ත්‍රීය ප්‍රවේශයක් ලෙස පමණක් මෙම සටහන රචනා කළ බව සලකන්න.
     
    • Love
    Reactions: TechnWeb and 6h057