දැන් ඉතින් සක්විතිට අපි කුමක් කරමුද? | What shall we do to Sakvithi Ra

athukoralam

Member
Jun 28, 2006
205
3
0
දැන් ඉතින් සක්විතිට අපි කුමක් කරමුද? | What shall we do to Sakvithi Ra


from http://w3lanka.blogspot.com


sakvithi.jpg







අභය රණසිංහ මුදියන්සේලාගේ චන්දන වීරකුමාර හෙවත් කුප්‍රකට වංචාකරු සක්විති රණසිංහ වාර්තා වන පරිදි කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි යි කියා මෙම සටහන පටන් ගන්නෙමු. එවිට පිරිසකට මළ පනින බව දනිමු. එහෙත් එය ඇත්තකි.


මූලික වශයෙන් ලංකාවේ දිළිඳු ජනයාගෙන් සූරා කනු ලබන බදු මුදලින් පුනරාවර්තන වියදම් මුළුමනින් ම සපුරා ගනිමින් උසස් පිළි ගැනීම් අපේක්ෂාවෙන් පවත්වාගෙන යන රාජකීය මට්ටමේ ඕනෑම පාසලකින් රාජ්‍ය පාලකයන් වැනි ප්‍රභූ ධනවතුන් මෙන් ම මෙවැනි පල් හොරුන් ද බිහි විය හැකි ය.


ධනවාදය තුළ පල් හොරා සහ ප්‍රභූ ධනවතා අතර ඇත්තෙන් ම තිබෙන්නේ කෙස් ගසක වෙනසක් පමණි. මෙය හොඳින් පෙන්වා දුන් පුද්ගලයා ලලිත් කොතලාවලයි. ලංකාවේ බිල් ගේට්ස් ලෙස හැසිරුණු මේ ඊනියා ප්‍රභූවරයා එක රැයින් සක්විති රණසිංහ මට්ටමට වැටිණි.


පබා වැල නාට්‍යයේ අන්තිම කොටස ඔබට මතකද? ත්‍රිරෝද රථයක් පදවමින් සිට පළාත් පාලන ඡන්දයක් තරග කළ උක්කු සත් වසරකට පසු ඇමතිවරයකු වී ජීවත් වන ජීවිතය එහි නිරූපණය කර තිබිණි. මේ සත් වසර තුළ ඔහු හැදූ ගෙයි තරම, ගත් යාන වාහන තොගය හා ඔහු වටා සිටි සේවක කාරකාදීන් පිරිස මතකද?


ලංකාවේ දුක දිනා ජයගතු හපන්නු වැඩි දෙනෙක් උක්කු වැනි මහජන දේපල සොරා ගත්තෝ වෙති. ලැයිස්තුවක් ලියන්නට පටන් ගත්තොත් එහි මුලින් ම ඉන්නේ මියගිය හා ජීවත් වන අපේ ජාතික වීරයෝ ය.


අද අංක එකේ ප්‍රභූන් ලෙස වැජඹෙන පුද්ගලයන් හා සක්විති රණසිංහ අතර කිසිදු වෙනසක් නැත. යුක්තියෙන් අංශු මාත්‍රයක් හෝ ඉටු වන්නේ නම් අද සිටින වීරයන් ඕනෑ කෙනෙක් සක්විති මෙන් ම නින්දිත ඉරණමකට ලක් වීමට පුළුවන.


සක්විති කාණු පල්ලෙන් ආ එකෙකි. ඔහුට මහජන මුදල් ලෙහෙසියෙන් මංකොල්ල කෑ හැකි පරිදි තාත්තාගෙන් පුතාට ලැබෙන දේශපාලන උරුමයක් තිබුණේ නැත.


ඔහුගේ ව්‍යාපාරය ආරම්භ වන්නේ රුහුණෙන් වීම ද රසවත් කාරණයකි. ඔහු සිය ටියුෂන් ව්‍යාපාරය නඩත්තු කළේ තනිකර ම මාධ්‍ය ප්‍රචාරයෙනි. අද ඔහුගේ අත්අඩංගුවට ගැනීම විකුණාගෙන කන ජනමාධ්‍ය බොහොමයක අතුණුබහන්වල ඒ දිනවල සක්විතිගෙන් කෑ කෑමවල නො දිරවූ කොටස් තිබේ.


තමන් වැනි යන්තම් ඉංග්‍රීසි ටිකක් කට ගා ගත් හිස් මිනිසකු 'මම උගැන්වීමට ම උපන්නෙමි' යි කී පළියට වැල නො කැඩී ඔහු වටා රොද බැඳ ගන්නා මිනිසුන් සිටින සමාජයක තමන් අද්භූත බල ඇති සක්විති රජකු යයි සක්විතිට සිතීම ඔහුගේ ම පමණක් වරදක් නො වේ. මෙය ඔහුට පමණක් නොව අනෙකුත් සියලු සක්විති රජවරුන්ට ද අදාළ කරුණකි.


ලංකාවේ ධනවාදය විසින් ප්‍රවර්ධනය කරනු ලබන බල්ලන් මරා හෝ උපයා ගන්නා සල්ලි උඩ පීනමින්, චොකා බයිලා සංස්කෘතික ජීවිතයකට අනුව ගත කරන පාදඩ ජීවිතයේ ගොදුරක් බවට පත් වූ සක්විති කෑ මංකොල්ලය ඔහු වර්ගයේ වෙනත් ඕනෑම කෙනෙකු විසින් කරනු ලබන දෙයකි.


පරම්පරා ගණනක් ලාංකිකයන් උගස් කර ගන්නා ණයෙන් ක්‍රියාත්මක කරන 'සංවර්ධන' ව්‍යාපෘතිවලින් ඇස වසා සියයට දහයක් පහළොවක් කොමිස් ගන්නට අවස්ථාව තිබුණා නම් සක්විති මෙසේ කරන්නේ නැත.


ලාංකිකයන් වැඩි දෙනෙකුගේ පරමාදර්ශී ජීවිතය වනාහි ඉහත කී සීයට දහයේ කොමිස් ජීවිතයයි. ලංකාවේ මිනිසුන්ගේ නාඩි වැටෙන හැටි හොඳින් දත් පබා ලියූ මහේෂ් රත්සර මද්දුම ආරච්චි පබා වැල නාට්‍යයේ අගට උක්කුගේ දියුණුව අමුණන්නේ ඒ නිසා ය. එකී සිහිනය හඹා යන්නට බැරි වූ විට ලංකාවේ මිනිස්සු වෙනත් විකල්ප සොයා යති. පිරමිඩ් ක්‍රම, සල්ලි පොළියට දීම හෝ පොළියට සල්ලි ගෙන දිරාමාරු වීම හෝ පගා ගැසීම, මාටියා ගැසීම, පිල්ලි ගැසීම හෝ රක්ෂණ සමාගම් ආදිය වෙනුවෙන් අනෙක් මිනිසුන් රැවටීම, පාවා දීම හා ප්‍රයිවට් ප්‍රැක්ටිස්, ටියුෂන් ආදී වෙනත් මරිසි ගසති.


සක්විති ළඟ මුදල් තැන්පත් කළ අය ඔහු මෙන් ම ක්ෂණික ලාභ පැතූ පොඩි සක්විතිලා ය. සක්විති රණසිංහ සිය ජාවාරම සඳහා ලොකු සක්විතිලා ද පාවිච්චි කළේ ය.


අපි ඔක්කොම එක එක මට්ටමේ සක්විතිලා ය. එක සක්විති කෙනෙකු අල්ලාගෙන මරා කන්නට අප දැන් සූදානම් වන්නේ මෙකී සක්විතිකම සමග එකට යන ම්ලේච්ඡත්වය නිසා ය.


සක්විතිට කුමක් කරමුද? කුමක් කළත්, ඉන්දියාවෙන් එහාට පළා යන්නට හෝ එහි දිගට ම ඉන්නට බැරිව හෝ වෙනත් දේශප්‍රේමයක් නිසා හෝ, අනතුරුදායක ලෙස දෙමළ නමකින් ලංකාවට පැමිණ, කිසි සේත් ම නො යා යුතු, සම්බන්ධතා පවා නො පැවැත්විය යුතු තැනකට මුදල් ඉල්ලා ගන්නට යන්නට සිදු වූ සක්විති රණසිංහ ණයට ගත් මුදල් ආපසු ලබා ගැනීම නම් හරි යන වැඩක් වන්නේ නැත.


මේ මිනිසාගේ එක් සාධනීය ලක්ෂණයක් හෝ දැකිය හැකි ය. එනම්, සිය දරු පවුල සමග එකට සිටින්නට ඔහු දරා ඇති උත්සාහයයි. මෙවැනි අය එක්තරා දුරකට මුග්ධයෝ ය. ඔවුනට දුර නො පෙනෙන්නේ එම මුග්ධකම නිසා ය. අනෙක් පැත්තෙන් ඔවුහු තමන් පිළිබඳ අධි මානසිකත්වයකින් ද, .තමන් තුළ ඇති ගුප්ත බල පිළිබඳ විශ්වාසයකින් ද පෙළෙන්නෝ වෙති. එමෙන් ම ජීවිතය බිඳ වැටුණු පසු ඔවුහු අතිශය දුර්වල පුද්ගලයෝ බවට පත් වෙති. සක්විති රණසිංහ අංක එකේ කපටියකු යයි යමකු සිතුවේ නම් දැන් එය වෙනස් කර ගැනීමට කාලය එළඹ තිබේ. වරද ඇත්තේ සක්විති රණසිංහගේ පමණක් නොව ඔහු වැන්නන් අදහන හා ඔවුන්ට රැවටෙන මේ සමාජයේ ය.


දැන් ඉතින් අපි කුමක් කරමුද? මුදල් සැඟවූ තැනක් පෙන්නන්නට යන විට පොලිස් නිලධාරියකුට පහර දී ආයුධය පැහැර ගෙන පැන යන්නට සලස්වා වෙඩි තබා මරමුද? නැතිනම් ජීවිතාන්තය දක්වා හිරේ අරිමුද? ඇප දී එළියට ගෙන දඬුවම් මුදලාලිට දුන් දඬුවම දෙමුද?


අපේ පිළිතුර මෙසේ ය.


'දැන් ඉතින් අපි කුමක් කරමුද? ආදරය කරනු මිස' (අශෝක හඳගමගේ සින්තටික් සිහින ටෙලි නාට්‍යයෙනි.)


අප කරන්නේ එයයි. එනම් මේ දූෂිත සමාජයට තව දුරටත් ආදරය කිරීමයි.
 
  • Like
Reactions: srimalleiton

cjanaka

Active member
  • Jul 13, 2007
    518
    122
    43
    මේ සල්ලි සේරම මූ ගත්තා වෙන්න බෑ.
    දවසට කෝටිය ගානේ වියදම් කලත් තව කෝටි ගානක් ඉතුරු වෙන්න ඔනේ.
    අනෙක මූ ගාව ස්ල්ලි තිබුන නම් ඉන්දියාවට වෙලා දුක් විදින්න ඔනෙ නෑ.
     

    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    මේ සල්ලි සේරම මූ ගත්තා වෙන්න බෑ.
    දවසට කෝටිය ගානේ වියදම් කලත් තව කෝටි ගානක් ඉතුරු වෙන්න ඔනේ.
    අනෙක මූ ගාව ස්ල්ලි තිබුන නම් ඉන්දියාවට වෙලා දුක් විදින්න ඔනෙ නෑ.
    eva kasinoo :):confused::yes:
     

    L-smacker

    Member
    Jan 22, 2010
    1,450
    119
    0
    West Virginia
    මේ සල්ලි සේරම මූ ගත්තා වෙන්න බෑ.
    දවසට කෝටිය ගානේ වියදම් කලත් තව කෝටි ගානක් ඉතුරු වෙන්න ඔනේ.
    අනෙක මූ ගාව ස්ල්ලි තිබුන නම් ඉන්දියාවට වෙලා දුක් විදින්න ඔනෙ නෑ.


    උගේ ගෑනි ගත්තා වෙන්න බැරිද?