දැනුත් සතුටෙන්.

athumusic

Active member
  • Sep 19, 2017
    270
    194
    43
    දැනුත් සතුටෙන්.


    මුහුදෙන් නැගුණේ සුපුරුදු රළ බිඳෙන හඬ පමණි. ඒ හැරුණු කොට අවට නිහඬතාව එතරම් කඩවූ බවක් දකින්නට තිබුණේ නැත.
    වෙරළේ රුක් සෙවණක් යට මසුන් මරන්නෙක් වාඩිවී සිටියේය-.නිකම්ම නොවේ. ඔහු සිටියේ දුම් වැටියක් උරමිනි.

    මසුන් මරන්නා විවේකීව ගත කරන රුක් සෙවණ පසු කරමින් ගමන් කරමින් සිටියේ ධනවත් ව්‍යාපාරිකයෙකි. ව්‍යාපාරිකයා මසුන් මරන්නාව දුටුවේය.මසුන් මරන්නාගේ සැහැල්ලු ඉරියව්ව ගැන විමසිලිමත් වන්නට තරම් ව්‍යාපාරිකයා උනන්දු වූයේය.

    ‘මේ මිනිහා මෙතෙනට වෙලා මොකක් කරනවද මන්දා මේ වෙලාවේ.දුම් බිබී නිකං නාස්ති කරන්න කාලයක් මිනිහට තියෙනවද?කෝකටත් අහලා බලමු මිනිහාගෙන්ම.’ සිතූ ව්‍යාපාරිකයා මසුන් මරන්නා අසලට ගියේය.

    “මොකද උන්නැහේ නිකම්ම මෙතන්ට වෙලා දුම් බිබී කරන්නේ? මේ වෙලාවේ කරන්න දෙයක් ඇත්තෙම නැද්ද?”

    “අද දවසට ඕනෙ කරන මාළු මං අල්ලලා ඉවරයි මහත්තයා.” මසුන් මරන්නාගේ පිළිතුර ලැබිණි.
    ඒ පිළිතුර ව්‍යාපාරිකයාගේ සුපුරුදු සිතිවිලි හා ගැළැපුණේ නැත.එනිසා ඔහු තුළ මඳ කෝපයක් ඇති විය.

    “ඇයි ඔහේ තව වැඩිපුර මාළු ටිකක් අල්ලගන්න හිතන්නැත්තේ මෙතන ගස් හෙවණට වෙලා ගත කරන වෙලාවේ?” ව්‍යාපාරිකයාගේ හඬ තුළ කිසියම් කෝප සහගත බවක් රැඳී තිබිණි.

    “මාළු වැඩියෙන් ඇල්ලුවා කියලා මොකක්ද වෙන්නේ මහත්තයෝ?” මසුන් මරන්නාගෙන් නැගුණේ පිළිතුරක් නොව තවත් ප්‍රශ්නයකි.

    “මාළු වැඩිපුර අල්ලලා ඒවා විකුණලා වැඩිපුර සල්ලි හොයා ගන්නවා.ඒ සල්ලිවලින් ගන්නාවා ලොකු බෝට්ටුවක්.” ව්‍යාපාරිකයා පැහැදිලි කළේය.

    “ලොකු බෝට්ටුවක් අරන් මොකද්ද කරන්නේ?”

    “ඇයි මනුස්සයෝ, ඒ බෝට්ටුවෙන් තමුන්ට දියඹට යන්න පුළුවන්නේ බයක් නැතුව.එහෙම ගිහින් තවත් වැඩියෙන් මාළු අල්ලනවා.ඒ මාළුත් විකුණලා හොඳට සල්ලි හොයා ගන්නවා.” ව්‍යාපාරිකයා තව දුරටත් පැහැදිලි කළේය.

    “ඉතින් ඊට පස්සේ?”
    “එහෙම දිගටම කරන කොට තමුන්ට හොඳ ලොකු පෝසතෙක් වෙන්න පුළුවන්.තව බෝට්ටු අර ගන්න පුළුවනි.තමන්ගෙ යටතේ සේවකයෝ තියා ගන්න පුළුවනි.”

    “ඉතිං මහත්තයා ඊට පස්සේ?”

    “ඒ කියන්නේ තමුන්ටත් මං වගේම ලොකු ව්‍යපාරිකයෙක්,සල්ලි කාරයෙක් වෙන්න පුළුවනි.”

    “ඊට පස්සේ?”
    “ඔන්න එතකොට පුළුවනි තමුන්ට තමන්ගේ ජීවිතේ බොහොම සාමකාමීව ගත කරන්න.”

    “ඉතිං මහත්තයා,මං මේ දැන් කරන්නෙත් ඒකමනේ.”

    මතක් කිරීම - ඔබට ඔබේ ජීවිතය සතුටින් ගෙවන්නට හෙට වන තුරු සිටිය යුතු නැත.එසේම ඔබේ ජීවිතය සතුටින් ගත කරන්නට වඩා පොහොසත් විය යුතු නැත.බලවත් විය යුතුද නැත.
    ජීවිතය යනු මේ මොහොතයි.එය සතුටින් ගත කරමු.

    (පරිවර්තන සටහනකි - කර්තෘ අඥාතය.)


     
    • Like
    Reactions: blue_in_rio