දැනුම තියෙන්නේ කොහෙද?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,308
    100,144
    113



    දැනුම තියෙන්නේ කොහෙද? - භාරතීය ඥානමීමාංසාව

    භාරතීය ඥානමීමාංසාව හඳුන්වාදීම පිණිස මා ලියූ පළමු සටහනේදී මා පෙන්වා දුන්නා ඔවුන් ඇසූ ප්‍රශ්න සහ දැනුම සම්බන්ධයෙන් ඔවුන්ට තිබූ ආකල්ප බටහිර දාර්ශනිකයන්ට තිබූ ප්‍රශ්න සහ ආකල්පවලට වඩා අතිශය වෙනස් බව. (ඒ සටහනට යොමුව පළමු අදහස්-දැක්මේ (comment) ඇත.) ඔවුන් මතු කළ ප්‍රශ්න අතර තිබූ පළමු ගැටලුව නම් ඥානය/දැනුම තියෙන්නේ කොහෙද යන්නයි. තවත් විදිහකින් කියනවා නම් දැනුමට අදාළ වස්තුමීමාංසක බව (ontological status) කුමක්ද යන්නයි.

    භාරතීය ඥානමීමාංසාව ගැන මා ලියන සටහන් ඔබ කියවන්නේ පළමු වතාවට නම්, මා දැනුම (cognition) සහ නිවැරදි දැනුම (knowledge) යන පද යොදන්නේ තේරුම් දෙකකට බව වටහා ගන්න.

    දැනුම තියෙන්නේ කොහෙද යන ප්‍රශ්නය වෙත අප ආපසු ගියොත් මේ ප්‍රශ්නයට පිළිතුරු සැපයීමට පෙර අපට යම් පමණකට භාරතීයයන්ගේ පාරභෞතික චින්තාව (metaphysics) වෙත ගමන් කරන්නත් සිදු වෙනවා. මං පටන් ගන්නම් මෙහෙම.

    ඔබ දන්නවා සිදත් සඟරාවේ ‘ද්‍රව්‍යය’ (substance) යන්න කුමක්ද කියා පැහැදිලි කරද්දී “ගුණ ඈනට ඇසිරි වූයේ දැව් නම්” කියා කී වග. (මතකයෙන් ලියන්නේ වැරදි නම් නිවැරදි කරන්න). මෙතැන කීවේ “ගුණ” ආදීන්ට ආශ්‍රය නැතිනම් පදනම් ස්ථානය බවට පත් වන දේ ද්‍රව්‍යය ලෙස හඳුන්වන බවයි. ගුණ ආදීන්ට කියා කීවේ ගුණ (properties) සහ කර්ම (actions) කියන දෙකට. තවත් විදිහකින් කියනවා නම් ද්‍රව්‍යය යන්න අපට කෙළින්ම අඳුන ගන්න/ග්‍රහණය කරන්න බැහැ, ඒක අඳුන ගන්න වෙන්නේ ගුණ සහ කර්ම හඳුනා ගෙන ඒවායේ පදනම දෙස මානසිකව විග්‍රහ කර බැලීමෙන් පමණයි යන්න මේකෙන් කියැවෙනවා.

    මේක මං තවත් පැහැදිලි කරන්නම්. මෙතැන ගුණ කීවේ හොඳ, නරක වගේ ගුණවලට නෙවේ. ෆොටෝෂොප් වගේ මෘදුකාංග භාවිත කරන අයත් පරිගණක භාෂාවක් භාවිත කරන අයත් දන්නවා properties කියන වචනයේ තේරුම යෙදෙන හැටි. මෙතැන ගුණ කියා කියන්නේ එම තේරුමට. ඒ අනුව, කළු, සුදු ආදි වර්ණ, උස, මිටි ආදි විස්තර, උණුසුම, තදගතිය වගේ සංවේදනත් ගුණ ලෙසම තමා ගැනෙන්නේ. කොටින්ම කියනවා නම් අපේ පංච-ඉන්ද්‍රියයන්ට ගෝචර වන ඕනෑම දත්තයක් ගුණයක් තමා.

    අනෙක් අතට කර්ම කියා කියන්නේ සියලුම ආකාරයේ චලිතයන්. ඇවිදිනවා, පනිනවා, දුවනවා, එක් තැනක සිට වෙනත් තැනකට මාරු වෙනවා, වැනෙනවා, වැටෙනවා ආදි ඕනෑම චලිතයක් කර්ම ලෙස සැලකෙනවා.

    ඉතිං අප යමක් ප්‍රත්‍යක්ෂ කරන විටත් සිතින් චිත්තරූප මවන විටත් අප එය දකින්නේ හෝ සිතන්නේ මෙන්න මේ ගුණ, කර්ම කියන දෙකට අනුව. උදාහරණයක් ලෙස “කෝප්පයක්” දකින බව හිතන්න. ඔබ මොනවාද දකින්නේ? ඒකට නිශ්චිත පාටක් තියෙනවා. හැඩයක් තියෙනවා. අල්ලා බැලුවාම තද ගතියක් තියෙනවා. මේවා ගුණ. වතුර දැම්මා ම රඳවා තියා ගන්න පුළුවන්. මේසයක් උඩ තිබ්බාම නොසෙල්වී තියෙනවා. මේසෙන් වැටෙන්න පුළුවන්, කැඩෙන්න පුළුවන්. මේවා සියල්ල කර්ම.

    අපේ අද්දැකීමට ගෝචර වන්නේ ගුණ සහ කර්ම වුණාට, අප කවමදාකවත් ඒ ඒකම ගුණයක් වත් කර්මයක් වත් “කෝප්පය” ලෙස හඳුන ගන්න පෙළඹෙන්නේ නැහැ. අප කවමදාකවත් කියන්නේ නැහැ රතු පාට = කෝපපය කියල. වතුර රඳවා තබා ගැනීම = කෝප්පය කියා. අප ගුණ සහ කර්ම දකින කොට අපේ මනස මොකද කරන්නේ, ඒ ගුණ සහ කර්ම රඳවා තබා ගන්න පුළුවන් යම් වස්තුවක් එතැන ඇත කියා තේරුම් ගන්නවා. ආන්න ඒ වස්තුවට තමා අප කෝප්පය කියන්නනේ.

    එහෙම වස්තුවක් තියෙන බව අඳුන ගත්තාම අප ඊළඟට කරන්නේ අර කියන ගුණ සහ කර්මවල ආධාරකය, පදනම විදිහට ඒ වස්තුව දකින්න පෙළඹෙනවා. උදා. විදිහට අප කියන්නේ ‘කෝප්පය රතුපාටයි’ කියා මිසක ‘රතු පාට යනු කෝප්පයකි’ කියා කියන්න අප යොමු වෙන්නේ නැහැ. තවත් විදිහකින් කියනවා නම්, කෝප්පය කාරකයා (subject) විදිහට සලකලා ගුණ-කර්ම පූරකයන් (predicate) විදිහට දකින්නයි අප යොමු වෙන්නේ.

    මෙන්න මේ විදිහට යම් ගුණයක්, යම් කර්මයක් දරාගෙන සිටන යමක් වේ නම් ඒකට තමයි “ද්‍රව්‍යය” කියා කීවේ. (ඉතිං මීට පස්සේ සිදත්සඟරාව කියවන කොට භාරතීය දර්ශනය ගැනත් දැන ගෙනම කියවන්න).

    දැනුම ගැන කියන්න පටන් අරන් ඇයි මං මෙච්චර දෙයක් කීවේ. මේකයි හේතුව. භාරතීය දාර්ශනිකයන්ට අනුව ලෝකයේ යමක් පවතිනවා නම් - පැවැත්මක් (existence) තියෙනවා නම් - ඒ දෙය එක්කෝ ද්‍රව්‍යයයක් වෙන්න ඕනේ, නැතිනම් ගුණයක් හෝ කර්මයක් වෙන්න ඕනේ. ද්‍රව්‍යයත් නොවන, ගුණත් නොවන, කර්මත් නොවන කිසිම දෙයක් ලෝකයේ පවතිනවා කියා කියන්න බැහැ. එහෙම දේවල් තියෙන්න පුළුවන් මිනිසුන්ගේ හිතළු (imaginations) හිටියට විතරයි. හිතළු කියන්නේ පවතින දේවල් නෙවේ.

    අනෙක් අතට, යමක් පවතින්නේ ද්‍රව්‍යයක් හැටියට නම් එය අපට අද්දකින්න පුළුවන් වෙන්නේ එහි ඇති ගුණ සහ කර්ම හරහා. මේ නිසා, අසවල් දේ ද්‍රව්‍යයක් කියා කියන ගමන් එය ද්‍රව්‍යයක් බව හඳුනා ගන්නේ කුමන ගුණ සහ කර්ම ඇසුරින්ද කියා කියන්න වෙනවා. එහෙම නැතිනම් යමක් පවතින්නේ ගුණයක් හෝ කර්මයක් ලෙස නම් ඒ ගුණ සහ කර්ම රඳා පවතින ද්‍රව්‍යය කුමක්ද කියා කියන්න ඕනේ. මෙන්න මේ විදිහටයි ඔවුන් සිතුවේ.

    ඉතිං දැනුම කියන්නේ හිතළුවක් නෙවේ නේ. ඒක තියෙන/පවතින දෙයක් හැටියට හැමෝම අත්විඳිනවා නේ. මෙන්න මේ නිසා, දැනුම තියෙන්නේ කොහේද කියන ප්‍රශ්නය භාරතීය දාර්ශනිකයන් ‍තේරුම් ගත්තේ “දැනුම කියන්නේ ගුණයක් ද කර්මයක් ද නැතිනම් ද්‍රව්‍යයක් ද” කියන ආකාරයට. ඔවුන් එම ප්‍රශ්නයට උත්තර හොයන්න පෙළඹුණේ එහෙම.

    මෙතැනදී මේ දෙවිදිහටම උත්තර ලැබුණා. න්‍යාය, වෛශේෂික, ජෛන ඇතුළු බොහෝ දර්ශන සම්ප්‍රදායයන් මෙතැනදී කියා සිටියේ දැනුම කියන්නේ ගුණයක් කියා ය. ඒකට හේතුව ගුණ කියන දේවල් කාලයත් සමග වෙනස් වෙන්න පුළුවන්. උදා. විදිහට කෝප්පයේ ඇති රතු පාට කාලයත් සමග වෙනස් වෙන්න පුළුවන්. අවපැහැ ගැන්වෙන්න පුළුවන්, ඇතැම් විට පාට මුළුමනින් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි කෝප්පය වෙනස් වෙන්න බැහැ. ඒ කියන්නේ ද්‍රව්‍ය වෙනස් වෙන්නේ නැහැ, ගුණ විතරයි වෙනස් වෙන්නේ. දැනුම කියන්නේත් කාලයෙන් කාලයට වෙනස් වන දෙයක්. එහෙම දෙයක් ද්‍රව්‍යයක් වෙන්න ‍බැහැ. ඒ නිසා, දැනුම ගුණයක්.

    හැබැයි මෙතැන තවත් ගැටලුවක් මතු වෙනවා. ඒ තමයි, දැනුම කියන්නේ ගුණයක් නම්, ඒ ගුණයට පදනම් වන ද්‍රව්‍යය මොකද්ද යන්න. ගුණයකට තනිවම පවතින්න බැහැ.

    මේ ගැටලුවට ඔවුන් දීපු පිළිතුර නම් “ආත්මය” යන්න. ඔවු. ඔබට දැනුන විදිහ හරි. ආත්මය යන්න මේ අය දැක්කේ ද්‍රව්‍යයක් විදිහට. ඒ කියන්නේ දැනුම කියන ගුණයට පදනම් වන ද්‍රව්‍යය තමයි ආත්මය. (එහෙම නැතිව ක්‍රිස්තියානි ආදි ආබ්‍රාහමක ආගම්වල උගන්වන පරිදි දෙවියන් දුන්, දෙවියන්ගේ කොටසක්, වගේ ආගමික අර්ථයක් දෙන දෙයක් නෙවේ, භාරතීයයන් ආත්මය ලෙස දැක්කේ. එය ඥානය දරා සිටින පදනම).

    ආත්මයක් ඇති බව කොහොමද දැන ගන්නේ වගේ ප්‍රශ්න ඇත්තටම මේ අය දැක්කේ බොළඳ ප්‍රශ්න විදිහට. ඉහත ද්‍රව්‍යය යන්න මං පැහැදිලි කළ විදිහ ඔබට තේරුණා නම් ඔබ තේරුම් ගන්න ඕනේ, අපට “කෝප්පය” වගේ ඉතා පැහැදිලි වස්තුවක් වත් ඉන්ද්‍රියයන් ඇසුරෙන් දැන ගන්න බැහැ. අප එය දැන ගන්නේ ගුණ සහ කර්ම ඇසුරින්. අප දන්නවා, හැඩය, පාට ආදි ගුණ ඇති බව, වැටෙනවා, කැඩෙනවා ආදි කර්ම ඇති බව. ඉතිං ඒ ඇසුරින් ඒවාට පාදක වන වස්තුවක් ලෙස “කෝප්පයක්” ඇති බව තේරුම් ගන්නවා.

    ඒ විදිහටම අපට දැනුමක්/ඥානයක් ඇති බව දැනෙනවා. ඒක අපේ අත්දැකීම. ඒ ඇසුරින් අප තේරුම් ගන්නවා ඒ දැනුමට ද්‍රව්‍යය වන ආත්මයක් ඇති බව. භාරතීය දාර්ශනිකයන් මෙතැනදී උදා. ගන්නේ “සුළඟ”. අප සුළඟ ඇති බව තේරුම් ගන්නේ ගස් සෙලවීම, ඇඟ දැවටීම වගේ ගුණ-කර්මවලට අනුව. ආත්මයක් ඇති බව තේරුම් ගන්නේත් ඒ විදිහට.

    බෞද්ධයන් දැනුම ගුණයක් ලෙස සැලකුවේ නැහැ. ඔවුන් සැලකුවේ එය කර්මයක් විදිහට. ඒකට හේතුව මේකයි. අපට දැනුමක් ඇති බව අප දැන ගන්නා හැම වේලාවකම අප කරන්නේ “දැන ගැනීම” නම් වූ ක්‍රියාවේ නිරත වීම. කෝප්පයේ ඇති රතු පාට මොනවත් කරන්නේ නැහැ. හැබැයි දැනුම හැම විටම යමක් දැන ගන්න ගමන් තමයි ඉන්නේ. ඒ නිසා එය කර්මයක් (=ක්‍රියාවක්).

    මෙතැනදී බෞද්ධයන් විශාල ගැටලුවකට මුහුණ දුන්නා. දැනුම කර්මයක් (action) ලෙස දකිනවා නම් ඒ ක්‍රියාව කරන කෙනෙකු පෙන්වන්න කියා ප්‍රතිවාදීන් කියා සිටියා. එහෙත් සියලු බෞද්ධ සම්ප්‍රදායයන් එකහෙළා කියා සිටියේ මෙතැන ක්‍රියාවක් මිස කරන්නෙකු නැති බවයි. මේ නිසා බෞද්ධ ඥානමීමාංසාව, න්‍යාය-මීමාංසා ආදී බ්‍රාහ්මණ සම්ප්‍රදායයන්ට වඩා සෑහෙන වෙනස් වුණා. මං ජීවතුන් අතර හිටියොත් යම් දවසක ඒ ගැන වෙනම ලියන්නම්.

    මේ විදිහට බොහෝ දර්ශන සම්ප්‍රදායයන් දැනුම ගුණයක් හෝ කර්මයක් විදිහට සැලකුවත් සාංඛ්‍ය සහ වේදාන්ත දාර්ශනිකයන් පොඩ්ඩක් වෙනස් වුණා. ඒ අය කිව්වේ දැනුම ආත්මයේ අනන්‍ය ලක්ෂණය බවයි. තවත් විදිහකින් කියනවා නම් ආත්මය සහ දැනුම කියන්නේ එකම ද්‍රව්‍යය පදාර්ථයේ ලක්ෂණ. අවබෝධය පිණිස ආත්මය යන්න ද්‍රව්‍යය වශයෙනුත් දැනුම යන්න ගුණය වශයෙනුත් සැලකීමේ වරදක් නැහැ. හැබැයි මේ දෙක වෙන් කරන්න බැහැ.

    මේක හරියට ගින්දරයි රස්නයයි වගේ. ගින්දර තියෙන කොට එතැන රස්නය තියෙනවා. ගින්දර නැතිනම් නැහැ. අපට කොතැනකදී වත් ගින්න වෙනම සහ රස්නය වෙන වෙනම දකින්න බැහැ. දැන් කෝප්පයේ රතු පාට කීවාම කෝප්පය නොවන වෙනත් වස්තූන් තුළත් අපට රතුපාට දකින්න පුළුවන්. රස්නය ගින්න තුළ විතරයි දකින්න පුළුවන් වෙන්නේ. (මෙතැනදි මතක් කරන්න ඕනේ ආයුෂය - පණ - යන්න ඔවුන් දැක්කේ එක්තරා ගින්නක් විදිහට. ඒ නිසයි ආයුෂය ඉවත් වූ සිරුරක රස්නය නැති වෙන්නේ).

    ඉතිං ආත්මය සහ දැනුම දැක්කේත් ඒ විදිහට. මේ දෙක වෙන් කරන්න බැහැ.

    මෙතැනදී ඔවුන්ට වෙනත් ආකාරයක ප්‍රශ්නය වැලකට මුහුණ දෙන්න වෙනවා. උදා. විදිහට ඔවුන්ට එල්ල වූ එක් ප්‍රශ්නයක් මෙහෙමයි.

    දැන් අප ගැඹුරු නින්දකට වැටුනාම අපට කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. කොටින්ම අපේ දැනුම ක්‍රියා විරහිතයි. ආත්මය සහ දැනුම වෙන් කරන්න බැරි දෙකක් නම්, මේ විදිහට අපේ දැනුම නැති අවස්ථාවකදී ආත්මය නැති වෙනවා ද?

    මේ ප්‍රශ්නයට වේදාන්ත දාර්ශනිකයන් කීවේ මෙහෙ ම දෙයක්. දැනුම කවදාකවත් නැති වෙන්නේ නැහැ. ගැඹුරු නින්දකදී පවා “මට දැනුමක් නැහැ” කියන දැනුම ඇති වෙනවා. ඒ නිසා තමයි අවදි වූ විට තමුන් පැය කීපයක් වෙනත් කිසිම දෙයක් දැන ගන්නේ නැතිව සිටි බව අවබෝධ වෙන්නේ.

    දැන් ඔබට තේරෙනවා ඇති එදා භාරතීයයන් මොන තරම් මේ කරුණු අරබයා එහාට මෙහාට වාද විවාද කළාද යන්න. භාරතීය දර්ශනය කියන්නේ ඒ සුන්දර සංවාදවල එකතුවක්.

    භාරතීය ඥානමීමාංසාවේ අහන පළමු ප්‍රශ්න හතරෙන් පළමු ප්‍රශ්නය ගැනයි අද කතා කළේ. තවත් මෙවැනි භාරතීය ඥානමීමාංසා ලිපියකින් අනෙක් ප්‍රශ්න ගැනත් ලියන්නම්.

    මං
    බර්ට්‍රම් ජී. ලියනගේ
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,719
    16,496
    113
    images