දැනුමක් ඇති බව දැන ගන්නේ කෙසේද? - භාරතීය ඥානමීමාංසාව 3

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,624
    100,874
    113


    මීට පෙර මා ලියූ ලිපි දෙකකින් භාරතීය ඥානමීමාංසාව බටහිර ඥානමීමාංසාවෙන් වෙන් වන අයුරුත් ඔවුන් මතු කරන පළමු ප්‍රශ්න හතරින් පළමුවැන්න වන ඥානය පවතින්නේ කොතැනකද යන කරුණ ගැනත් පැහැදිලි කළා. මේ ලිපි හැම එකක්ම ස්වාධීන ලිපි. ඒ නිසා, මුල් ලිපි කියෙව්වේ නැහැ කියා මෙය කියවා තේරුම් ගන්න බැරි කමක් නැහැ. එකම දෙයක් නැවත මතක් කරන්න ඕනේ, මේ ලිපිවලදී මං සමහර වචන යොදා ගන්නේ ඒ වචනවල සම්මත තේරුමින් එහාට ගිහිං. ඒ වගේ වෙලාවට ඒවාට අදාළ තේරුම මං වරහන් තුළ ඉංගිලිසියෙන් යොදනවා.
    භාරතීය ඥානමීමාංසාව (Indian Epistemology) පටන් ගන්නේ ම දැනුමක් (cognition/an episode of cognition) ඇති බව සමාන්‍ය ජනසමාජය පිළිගන්නා සුලබ කරුණක් බව පිළිගෙන නේ. ඒ අනුව තමයි ඉතිරි ප්‍රශ්න හැදෙන්නේ. එහෙම අහපු දෙවන වැදගත් ප්‍රශ්නය තමයි, “දැනුමක් තියෙන බව පොදුවේ පිළිගත්තට, එහෙම දැනුමක් තියෙනවා කියා ඇත්තටම දැන ගන්නේ කොහොමද?” කියන ප්‍රශ්නය.
    ඇත්තටම මේ ප්‍රශ්නය භාරතීය දාර්ශනිකයන් මහත් සේ කාර්යබහුල කරන්න පෙළඹුණු ප්‍රශ්නයක්. සෑම සම්ප්‍රදායයක්ම විවිධ මාදිලියේ පිළිතුරු ඉදිරිපත් කළා තමුන්ගේ සම්ප්‍රදායය තහවුරු කරන්න.
    අපි මුලින්ම බලමු න්‍යායදර්ශනය දෙස. ඔවුන් කීවේ යම් දැනුමක් ඇති බව දැන ගන්න නම් වෙනත් දැනුමක් අවශ්‍ය බවයි. මේක මෙහෙම දෙයක්. දැන් හිතන්න මිනිසෙකු තුළ දැනුම් සමුදායක් හට ගන්නා බව. ඒක න්‍යාය දර්ශනයට අනුව මෙහෙමයි.
    c1 = මං දන්නවා මං මේ වෙලාවේ ෆේස්බුක් අඩවියේ භාරතීය ඥානවිභාගය ගැන ලියපු ලිපියක් කියවමින් ඉන්නේ.
    c2 = මට c1 යන දැනුම ඇති වූ බව දැන් දන්නවා.
    මේ විදිහට යම් දැනුමක් ඇති වූ බව ඊට පසුව එන වෙනත් දැනුමකින් පෙන්වා දුන්නොත් මිස නැතිනම් එහෙම දැනුමක් ඇති වූ බව මං දන්නේ නැහැ.
    ඇයි නෛයායිකයන් මෙහෙම විග්‍රහයකට ආවේ? ඒකට එකම හේතුව, ඔවුන් පිළිගත්තේ නැහැ, දැනුම යනු අනිච්ඡානුගව ඇති වෙන්න පුළුවන් දෙයක් බව. මං උදේ නැඟිට්ට වෙලේ සිට රෑට නිදා ගන්න තුරුම විවිධ ක්‍රියාවල නිරත වෙනවා. විවිධ දේ අත් විඳිනවා. හැබැයි ඒ හැම දේම දැනුමක් විදිහට මගේ ඔළුවට පිරෙන්නේ නැහැ. සමහර දේවල් අත්වින්දද කියලවත් ගාණක් නැහැ. ඒවා මතකත් නැහැ. අප උදේට කෑවේ මොනවද කියාවත් සමහරවිට දවල්ට මතක නැහැ. එහෙම වෙන්නේ ඒ හැම අවස්ථාවකදීම c1 කියන අවස්ථාව උදාවුණාට c2 කියන අවස්ථාව උදා වෙලා නැති නිසා. C2 කියන අවස්ථාව උදා වුණොත් විතරයි ඒක දැනුමක් වෙන්නේ.
    දැන් මෙතනදි මේ කාරණය බෞද්ධ චිත්තවීථී සංක්ලපය සමග පටල ගන්න එපා. මේ c1 සහ c2 කියන්නේ එකක් පසු පස එකක් විදිහට කාලපරතරයක් නැතිව හට ගන්න සිත් දෙකක් නෙවේ. දැනුම් අවස්ථා දෙකක්. ඇතැම්විට c1 හට ගෙන බොහෝ වේලාවකින් පසුව තමයි c2 හට ගන්නේ. ඇතැම්විට දෙකම ඉතා ළඟින්ම හට ගන්නවා. ඒකට මෙහෙමයි කියල නියමයක් නැහැ.
    ප්‍රතිවාදීන් මෙතැනදී වැදගත් ප්‍රශනයක් මතු කළා. ඒ තමයි, අනවස්ථා දෝෂය (infinite regress). ඉතිං c1 යන්න දැනුමක් බව දැන ගන්න c2 පහළ වීම අවශ්‍යයි නම්, c2 යන්න දැනුමක් බව දැන ගන්න c3 යන්නක් අවශ්‍ය නොවේද? ඔය විදිහට කෙළවරක් නැතිව දැනුම් හට ගන්න අවශ්‍යයි නේද යමක් දැන ගන්න.
    මේකටත් නෛයායිකයන්ට පිළිතුරක් තිබුණා. ඔවුන් කීවේ c1 හට ගැනීම උවමනාවෙන් සිදු වන්නේ නැති බවයි. ඒ කියන්නේ, අපේ ඉන්ද්‍රියයන් වැඩ කරනවා. අපට ඇස් පේනවා, කන් ඇහැනවා, දැනෙනවා වගේ දේවල් නිතර වෙනවා. ඉතිං උදේ නැඟිට්ට වෙලේ ඉඳන් රෑට නිදා ගන්න කම් ඇහැට පේන හැම දේම අපට දැනුමක් වෙන්නේ නැහැ. මේකට හේතුව c2 හට ගන්නේ අපේ අවශ්‍යතාව, කැමැත්ත මත වීම. ඉතිං කාට හරි උවමනා නම් c2 යන්න දැනුමක්ද කියා දැන ගන්න එවිට c3 යන්නක් හට ගන්නවා. එහෙම අවශ්‍යතාවක් සාමන්‍යයෙන් හට ගන්නේ නැහැ. ඒ නිසා මෙතැන අනවස්ථා දෝෂය ඇති වෙන්නේ නැහැ.
    කුමාරිල භට්ට විසින් මූලකත්වය ගත් භාට්ට මීමාංසා දර්ශනයේදී මේ දැනුමක් ඇති බව දැන ගැනීම කියන ප්‍රශ්නයේදී උත්තර දුන්නේ මෙහෙම. ඔහු නෛයායිකයන් කියන කතාව පිළිගන්නවා. හැබැයි c2 කියන ඥාන අවසථාව පිළිගන්නේ නැහැ. ඒ වෙනුවට මෙහෙම අදහසක් ඉදිරිපත් කළා. යම් වස්තුවක් (object) අපේ ඥානයට ගෝචර නොවී නිකම්ම අපේ ඉන්ද්‍රියයන්ට පමණ නම් ගෝචර වන්නේ, ඒක නිකම්ම වස්තුවක් විතරයි. හැබැයි අපේ දැනුමට ගෝචර වුණා නම්, එවිට ඒ වස්තුව “දැනගත් වස්තුවක්” (known object) බවට පත් වෙනවා. අපේ දැනුම කියන්නේ මෙහෙම දැන ගත් වස්තුවල එකතුවක්.
    මේක කොහොමද නෛයායික මතයට වඩා වෙනස් වෙන්නේ? භාට්ට මීමාංසා මතයට අනුව අප උදේ නැඟිට්ට වෙලේ සිට නිදා ගන්න තුරු ගෝචර කර ගන්නා හැම වස්තුවක්ම දැනුම නෙවේ. ඒත් සමහර වෙලාවට අපේ දැනුම මඟින් මේ විදිහට හමුවන සාමාන්‍ය වස්තූන් “දැනගත් වස්තූන්” බවට පරිවර්තනය කරනවා. මේ විදිහට ඥානයට ගෝචර වන වස්තුවේ ස්වරූපය වෙනස් කිරීමට හැකි වීම තමයි මට කියා දෙන්නේ “මං මේ වෙලාවේ ෆේස්බුක් අඩවියේ ලිපියක් කියවමින් ඉන්නේ” කියා..
    කුමාරිල කියන්නේ භාරතයේ පහළ වුණු සුපිරිම දාර්ශනිකයෙක්. ඒත් කුමාරිලගේ මේ මතයට නම් හැමෝම එලව එලවා පහර දුන්නා. ඔවුන් සියලු දෙනා කියා සිටියේ, දැනුම මඟින් වස්තුව ප්‍රකට කිරීම (menifest) කරනවා මිස වෙනස් කිරීමක් නොකරන බවයි.
    ප්‍රභාකර මීමාංසා දර්ශනයේදී ප්‍රභාකර භට්ට විසින් මීට වඩා වෙනස් යෝජනවාවක් ඉදිරිපත් කළා. ඔහු ගෙනා විග්‍රහයට කියන්නේ ත්‍රිපුටිප්‍රත්‍යක්ෂය කියා. ඔහු පැහැදිලි කරන විදිහට අප යම් වස්තුවක් දැන ගන්නා විට, (1) කිසියම් වස්තුවක් මගේ දැනුමට ගෝචර වන බව, (1) මං ඒ වස්තුව දැන ගන්නා පුද්ගලයා බව, සහ (3) මං ඒ වස්තුව දැන ගැනීම නම් වූ ක්‍රියාවේ නිරත වන බව යන තුනම එකවරම දැන ගන්නවා. මේ නිසා, නෛයායිකයන් ඉදිරිපත් කළා මෙන් එක දැනුමක් දැන ගන්න තව දැනුමක් අවශ්‍යයි වගේ දෙයක් මෙතැනදී සිදු වන්නේ නැහැ.
    වේදාන්ත දාර්ශනිකයන් (විශේෂයෙන්ම ශංකරයන්ගේ අද්වෛතවේදාන්තය) මෙතැනදී සාක්ෂිචෛතන්‍ය (witness-consciousness) යනුවෙන් සෑම දැනුමකටම පදනම් වන පොදු දැනුමක් ගැන කතා කරනවා. ඔබට මතක නම් මං දැනුම පවතින්නේ කොහෙද යන ලිපියේදී කීවා වේදාන්ත දර්ශනයට අනුව දැනුම ආත්මය සමග අනන්‍ය වන බව. ඒ අනුව මේ සාක්‍ෂිචෛතන්‍ය කියන්නේ ආත්මයේ අනිවාර්ය ලක්ෂණයක්.
    සාක්‍ෂිචෛතන්‍ය කියන්නේ කවුරුන් හෝ කරන කියන දේ දිහා පිටින් ඉඳන් බලන් ඉන්නවා වගේ දෙයක්. ඒක අපේ ආත්මය තුළ හැමදාම අවදියෙන් ඉන්න දෙයක්. මේ විග්‍රහයේ තියෙන විශේෂත්වය තමයි අපේ දැනුම (awareness) ගැන මෙන්ම අපේ නොදැනුම (ignorance) ගැනත් මේ සාක්‍ෂිචෛතන්‍ය දන්නවා. ඒ නිසා තමයි අපට කියන්න පුළුවන් වෙන්නේ අසවල් දේ මං දන්නවා, අසවල් දේ මං දන්නැහැ කියා. ඒ අනුව, දැනුම සහ නොදැනුම කියන දෙකම මේ සාක්‍ෂිචෛතන්‍යයේ අනිවාර්ය කොටස්. (මේ විදිහට ආත්මය සාක්‍ෂ්‍යකරුවා බවට පත්වීම භගවද්ගීතාව කියවා ඇතිනම් ඔබට අලුත් දෙයක් නොවන බව මම විශ්වාස කරනවා. ඒ කෘතියේ තියෙන්නේත් වේදාන්ත දර්ශනයම තමයි).
    මධ්‍යමක සහ යෝගාචාර කියන බෞද්ධ දර්ශන සම්ප්‍රදායයන් දෙකම දැනුමක් ඇති බව දැන ගන්නේ කෙසේද යන ප්‍රශ්නයේදී කියා සිටියේ දැනුම ස්ව-සංවේදානාත්මක (self-cognizing/reflexive) බවයි. ඒ කියන්නේ, මං මේ වෙලාවේ ෆේස්බුක් ලිපියක් කියවමින් සිටින්නේ කියා දැන ගන්න මට වෙනම දැනුමක් අවශ්‍ය නැහැ. ඒ දැනුමටම පුළුවන් ඒ දේ කරන්න. හැබැයි මං දැන ගන්නා දේ මතක තබා ගන්නවාද නැද්ද කියන්නේ වෙනම හේතුවක් නිසා කරන දෙයක්.
    දැනුම මතක තබා ගත්තාත් නැතත්, එය අපේ ආලයවිඥානය වෙනස් කරන බව යෝගාචාරිකයන් වැඩිමනත් කරුණක් විදිහට මෙතැනදී එකතු කළා. ආලයවිඥානය ගැන ලියන්න මේක හොඳ වෙලාව නොවේ. සරලව කීවොත් ආලයවිඥානයත් වේදාන්ත දාර්ශනිකයන්ගේ සාක්‍ෂිචෛතන්‍ය වගේ පිටුපසින් සිට බලා සිටින කෙනෙක්. හැබැයි වෙනසක් තියෙනවා. සාක්‍ෂිවිඥානය ක්‍රියා කරන විදිහට ආලයවිඥානය “දැන ගැනීම” නම් වූ ක්‍රියාව කරන්නේ නැහැ. “දැන ගැනීම” සිදු වී අවසාන වූ පසු එහි ඵලය ඉදිරියට අරන් යාමයි කරන්නේ.
    භාරතීය දර්ශනයේ හමුවන මේ හැම දාර්ශනික සම්ප්‍රදායයක්ම වෙන වෙනම වැඩුණු දැවැන්ත සම්ප්‍රදායයන්. ඒවායේ තියෙන එක ලක්ෂණයක් තමා යම් කරුණක් ගැන කතා කරන විට ඒ දේ ගැන කතා කරන්නේ තවත් කරුණු කීපයක් සමග බද්ධ කිරීමෙන්. මේ නිසා, මං මේ කරන්නා වගේ, එකතැනකින් කෑල්ලක් අරගෙන ඒක විතරක් පැහැදිලි කරන්න අමාරුයි. ඒත් දැනට මං මේ කියන කාරණය වැටහෙනවා නම් ලිපි සියල්ල එකතු වුණාම ඔබටම ඒවා අතර ඇති සම්බන්‍ධයත් ඒවායේ ඇති වැදගත්කම් සහ අඩුලුහුඩුකම් වටහාගන්නත් පුළුවන්.
    ඉතිං භාරතීය ඥානමීමාංසාව ගැන ලියපු තවත් ලිපියකින් අපි හමු වෙමු.
    මං
    බර්ට්‍රම් ජී. ලියනගේ
     
    • Like
    Reactions: greenthunder