
පසුගිය දිනෙක යාගොඩ අසලදී ඔඩීසි දුම්රියට හැපුනු ළමයා... දෙමව්පියෝ දන්නෙ නෑ කොහොමද හැපුනෙ කියලාවත්. ගමේ අය කියන කතා අතර ඔවුන් අතරමං වෙලා. පැන්නා කියනවා, ෆෝන් කනේ ගහන් හිටිය කියනවා, තල්ලු කරන්න ඇති කියනවා. රියදුරු මහතා ගෙන්වා කොරණල් මහතා විසින් විස්තරයක් ලබාගැනීම සාමාන්‍ය සිරිත වුවත් මෑතක සිට ඒ සිරිතත් අභාවයට යනවා.
ඒ ළමයා කෝච්චි පාරේ ගම්පහ දෙසට පයින් යමින් ඉඳලා පසුපසින් එන දුම්රියේ හෝන් හඬට පීල්ලෙන් ඉවත් වී පසුපස නොබලාම ගොස් තියෙනවා. බොහෝ අය පීල්ලෙන් විතරක් ඉවත් වී ඔය කෝච්චිය යන්නේ පීල්ලේ විතරනේ කියන හැඟීමෙන් යනවා මා දැක තිබෙනවා. ඒ අයගේ වයස අනුව මම නවත්තලා බේරගෙන තියෙනවා. එහි රියදුරු මහතා කියනවා තව අඟල් 6 ක් ඉවත් උනා නම් හැපෙන්නෑ කියා... පව් අක්කල දෙන්නට සිටි එකම මල්ලී...
වසර 39 ක සේවාකාලයක් ඇති සහ පනහකට වඩා හැප්පිලා ඇති රියදුරෙක් වශයෙන් ජනතාව කෙරෙහි අනුකම්පාවෙන්ම දෙන මේ උපදෙස් පිළිගන්නා ලෙස ඉල්ලමි.
- රේල් පාරේ පයින් යන්නම එපා.
- යන්නම සිදුවුනොත් නිතර පසුපස බලමින්, කිසිවෙකු හා කතා නොකරමින් ක්‍ෂණිකව දුම්රියක් ආවොත් අයිනේ කාණුවට, මඩවලට පනින්න සූදානමෙන් යන්න.
- හැකිතාක් වෙනත් පාරක් සොයාගන්න. දුර වුනාට කමක් නෑ.
- ඔබ යද්දී අනික් පාරේ හරි කෝච්චියක් ආවොත් සියළු පාරවල් වලින් අඩි 8 ක් පමණ ඉවත් වී ඒක යනකම්ම ඉන්න.
- කෝච්චිය එද්දී ඔබට ඉවත් වෙන්න තියෙන ප්‍රමාණය අඩි 8 ට අඩු නම් ඔබ බිම ඉඳ ගන්න. තවත් අඩු නම් පීල්ලට සමාන්තරව හාන්සිවෙන්න. "ෂී කුණු ගෑවෙනවනේ" කියා තීරණ ගන්න ලේට් උනොත් තත්පර දෙකෙන් ඔබ හැපෙනවා.. එවිට කුණු ජරාව ගෑවෙන්නේ ඔබේ මිනිය අස්කරන අයට... ලස්සනට ආපු ඔබ එක්වරම ජරාගොඩක් වී ඒවා ඔබ ආඩම්බරකම් පෙන්නූ අයට දකින්න සලස්සන්න එපා.. එහෙමවත් හිතන්න...
- මේ මොනා පිළිපැද්දත් ඔබ රේල් පාරේ යනවා නම් අයිඩෙන්ටිය අරන් යන්න... ඒ මොකටද? ඒ අපිට මිනිය අඳුනාගන්න.
ස්තූතියි!
ජ්‍යේෂ්ඨ දුම්රිය රියදුරු කැලුම් ගාල්ලගේ මහතාගේ පළකිරීමක්
(දැනුම් සයුර)