දුෂ්කර මඟක් ඔස්සේ ලංකා ඇල්ලට

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    දුෂ්කර මඟක් ඔස්සේ ලංකා ඇල්ලට


    ඉදිරියෙන් පාර වසා ඇත. ඒ අලුත්වැඩියාවන් සඳහා නම් නොවේ. විශාල ගසක් කඩා වැටීමෙනි. විදුලි රැහැන් ප‍ට පාර පුරාම ය. තියුණු කටු සහිත අතු පීරාගෙන පරිස්සමින් රිංගා ගත් අප පිළිගත්තේ අකරතැබ්බයෙන් අසරණ වූ පාසල් යාමට ආ දරු දැරියන් ය. ඒ අතර සිටි කතරගම යාමට පැමිණ අතරමං වූ සාරා මහත්මිය අප්‍රසිද්ධ ඇලි කීපයක තොරතුරු හෙළි කළාය​






    av-10-1.jpg







    අසාමාන්‍ය කාලගුණික තත්ත්වයෙන් බැට කෑ කුඩා කඩපිළේ වහලයේ කොටස් ඉගිළ ගොසිනි. උදෑසන කහට කෝප්පයක රස විඳිමින් රැගෙන ආ රො‍ටී ගිල දැමුවේ උසම ඇල්ලේ සොඳුරු සොබා අසිරිය සිත් සේ විඳ ගනිමිනි. බඹරකන්ද ඇල්ලේ කඩා හැලෙන ජල කඳ පවනේ වේගයට සුනු විසුනු වී යයි‍. කිලෝමීටර් 40 – 50 වේගයෙන් රැගෙන එන පිනි බිංදු මීටර් ගණන් ඈතින් සිටින අපව වැලඳ ගත්තේ සිහින් පොද වැස්සක් පරිද්දෙනි.
    පොළොවේ තෙත ගතිය නැත. කඳ කෙළින් තබාගෙන වෙනදා ආදරයෙන් වැලඳ ගන්න මඟ බලා සිටින කූඩැල්ලෝ ගම් බිම් අතහැර ගොසිනි.



    av-10-6.jpg




    බඹරකන්ද පාමුලට ළඟා වූ අපේ කණ්ඩායම හතර දෙනෙකි. වැඩි කාල වේලා නොගෙන පහසු ඇඳුමකට මාරු වූ අපි පයිනස් කැලයට ඇතුළු වූයේ ලංකා ඇල්ල සොයා යාමේ අරමුණිනි. යා යුතු ම‍ඟේ අඩිපාර පෙනෙන මානයේ නැත. වියළී හැලී ගිය කොළ රොඩු ඒ සියල්ල සඟවා ගෙන ය. වියැළි ෆයිනස් කොළවල ලිස්සන සුලු ගතිය ඉතා අධිකය. නොවැටී ගමන් කිරීමට කණ්ඩායමේ කිසිවකු සමත් වූයේ නැත. විනාඩි ගණනක් ඉබාගාතේ ගමන් ගත් අපට කීප විටක්ම මඟ වැරැදිණි.



    av-10-5.jpg
    අඩහෝරාවක් ගෙවී ගොස් අවසන්ය. ෆයිනස් කැලයෙන් මිදී විවෘත කඳු බෑවුමකට ළං වීමට අපට හැකි විණි. කර රැඳි මලු බර ළිහිල් කර මද විවේකයක් ගත් කණ්ඩායම එවර පිවිසුණේ මානා වැසී ගත් කඳු බෑවුමකට ය. මඟ අහුරාගත් වියැළී ගිය පඳුරු පීරා යා යුතු මඟ සොයා ගත්තේ දැඩි වෙහෙසක් දරා ය.


    විවෘත කඳු වැටි පිට්ටනියේ හුදෙකලා බව මකන්නට තැනින් තැන උජාරුවෙන් නැඟී සිටින ගස් ය. කහ පැහැ ගැන්වූ නෙත් මායිමට හසුවන කඳු නිම්නයේ ඇඳි


    පැන්සල් ඉරක් සේ ගලා එන දිය පහර වම් පසට පහළින් අලංකාර ඇල්ලක් මවයි. (ලංකා ඇල්ල නොවේ)

    av-10-3.jpg




    අඩිපාර ඔස්සේ මීටර් ගණනක් ඉදිරියට පියවර තැබූ කණ්ඩායමට කදු වැටි අතරින් ගල් කුලු වල හැපී පෙරී එන සුදෝ සුදු ජල කඳ එකවරම පහළට කඩා වැටී එන තුරු ගොමුවේ සැඟවී යන සොඳුරු දසුන බොහෝ දුරට දැකගත හැකිවිණි.


    අප මේ දකින්නේ ලංකා ඇල්ලේ ඉහළ කොටසකි.‍ කඳු වැටි බෑවුමේ සිටි මානා ලතාවකට නැළැවෙයි. වේගවත්ව හමනා සුළඟ ගමනට බාධාවකි. ඉදිරියෙන් ආ මඟ දැන් දෙකට බෙදේ. ඇල්ලට ළඟාවීමට නම් වම්පස පහළ මාවතේ යා යුතු ය. ආරක්ෂාකාරී පවුරක් සේ විහිදී ඇති වනයට අප ඇතුළු වූයේ දෙකට තුනට නැමි නැමීය. දිය කඩිත්තක් පැනගත් අපි හරිත වියන් යටින් රිංගමින් සොයාගත් මඟ ඔස්සේ ගලින් ගලට මාරු වුණෙමු. සෞම්‍යය දේශගුණික සිසිල් ගතිය ගතට ගෙන දෙන්නේ ප්‍රාණවත් බවකි. විවෘත වූ වන වියනේ කුඩා ඉඩ අවුරා අහස දෙසට විහිදුන පර්වතය පුරා දෝර ගලන ජල කඳ අපූරු ඇල්ලක් මවයි. වීදුරුවක් මත කිරි බාල්දියක් හැලුවා සේ අඩු වැඩි වෙමින් පෙණරැලි නංවා කඩා හැලෙන්නේ අප සොයා ආ ලංකා ඇල්ලයි.



    av-10-4.jpg


    ආකර්ෂණීය සුන්දරත්වයට මුසපත්වූ දෙනෙත් ඉවතට ගැනීම හරිම අසීරු ය. ජලය පිරී ඉතිරෙන තටාකය ස්වභාවධර්මයේ අපූරු නිර්මාණයකි. මෙය තනි ගලෙන් ලංකා සිතියම හැඩයට නිම වී තිබේ. තටාකයේ හැඩකාරී බව දැක බලා ගන්නට නම් දුෂ්කර මඟකින් ඉහළට යා යුතු ය.


    ‘මන්නාරමෙන් පිරී ‘මඩකලපුවෙන්’ පිටාර ගලන ලංකා ඇල්ලේ ජල කඳ අධික ශීත බවින් යුක්තය. අනතුරුදායක බව සඟවා ගත් තටාකයේ වශීකෘත ආරාධනය දිය පහස විඳ ගැනීමටය. ඇල්ලට තනි රකින හරිත වන උයනේ සොබා සිරිය වරක් දෙවරක් නොව කීප වාරයක් බැලුවත් හිතට මදි ය. මානව ක්‍රියාවලින් තොර නොකිළිටු වනයේ සුන්දරත්වයට වශී නොවන කෙනෙක් නැත.



    11127664_10206762267604339_909460393723895331_n.jpg




    13882432_1162595637115946_6343205726413624208_n.jpg






    වනයෙන් පිටවූ වහාම ඇද හැලුණු පොද වැස්ස ආශිර්වාදයක් විය. මඟ බෙදුන ස්ථානයට යළි ආ අප ඉහළ මගේ ගමන් ඇරැඹුවෙමු. කඳු බෑවුමේ අවසානය ගල් මුල් ඉලිප්පී ඇති පල්ලමකි. එහි මඟක් ගෙවා ඇතුළු වූයේ තවත් කුඩා වන ගොමුවකටය. ස්වභාව ධර්මයේ කැටයම් කලාව පෙන්වූ පර්වත පසු කළ අපට දිය කඳක් ක‍ඩා හැලෙන හඬ ඇසේ. වන තුරු පත් අතර සැඟවී කඩා හැලෙන අඩි 12 ක පමණ උසකින් යුතු තවත් ඇල්ලක් අපට හමුවිණි. එහා ඉමට යාමට නම් ඇල්ල මතින් පැන යා යුතු ය.



    ආරම්භයේ සිටම කෙළින් අතට ඉහළට විහිදුණ කඳු ගැටය මහත් ආයාසයෙන් නැඟ ගත්තේ වියළි තෘණ පදුරුවලට පින්සිදු වන්නට ය.

    මුදුනේ ආසන්නයට පැමිණියත් යා යුතු පැහැදිලි මඟක් නොපෙනේ. ඈත කඳු වැටියක ගිනි පෙට්ටියට වඩා කුඩා වූ ගොඩනැගිලි නෙතට හසු විය. මඟ වැරැදී වල්මත් වූ හිතට නිදහසේ හිතන්නට ඉඩ දී බිම වාඩි වුණෙමු.





    වැරැදීමෙන් හෝ කඳු තරණයත් අපූරු අත්දැකීමක් විය. මිනිත්තු ගණනකට පසු සගයකුගේ තියුණු ඇසට විදේශීයයන් පෙරටු කරගත් මඟ පෙන්වන්නකු ඈත කඳු වැටියේ ගමන් කරනු හසු විය. කෑ ගසා උදව් ඉල්ලීමේ ප්‍රතිඵලයක් ලෙස යා යුතු මඟ සලකුණු කොට ඔවුහු පිටත්ව ගොසිනි.





    හෝරා එක හමාරක දැඩි වෙහෙසකාරී කඳු නැඟීමක් අවසන් කරමින් උඩවේරිය වතු මායිමට ළංවීමට හැකිවිණි. පලබර දරාගත නොහැකිව පාරට නැමී සීනී පේර කරන ආරාධනාව ඉවත දැමීමට හිත ඉඩ දුන්නේ නැත.

    වතුකරයට ඇතුළු වීමට මඟ වැටී ඇත්තේ සුළං කපොල්ලක් හරහා ය. දැඩිව හමන සුළං ඉදිරියේ අසරණ වූ අපට මිනිත්තු කීපයක් එක තැන රැඳී සිටීමට සිදුවිය.





    අබලන් වූ ලැයිම් කාමර පිළක වාඩි වූ කණ්ඩාය‍ෙම් අපි දිවා ආහාරයට පාන් පෙත්තක රස බැලුවෙමු. දගර ගැසුණු ඉරක් සේ කඳු වළල්ල වටා ඈත ඉහළට ඉලිප්පී ගිය ගල් බොරලු පිරි මඟ දිගේ යා යුතුව ඇත. සොඳුරු සිත්තමක් සේ අලංකාර මඟ දෙපස දසුන් ගතේ වෙහෙස උදුරා ගත්තේ නොදැනුවත්මය.





    සුළං ‍කපොලු කීපයක් පැන ගත් අපි ආගරපතන තේ කර්මාන්ත ශාලාව අබියසට පැමිණියෙමු. තේ වත්තක් වූවත් සරුසාර බව වියැකී ගොසිනි.

    අහලකවත් කඩයක් නැති ඉසව්වේ අසල නිවසක කාන්තාවන් සදා දුන් තේ කෝප්පය අධික වෙහෙසට පත් ගතට දිව්‍ය ඔසුවක් ‍විය. මෙතැන් සිට ඔහියට තවත් කිලෝමීටර් 6 ආසන්න දුරක් ඇත. සීතල ගතිය ටිකෙන් ටික වැඩි වන සෙයක් දැනේ.





    දවසක් පු‍රා ලද නැවුම් අත්දැකීම් ගොන්නත් තුරුළුකරන් ශීතලෙන් ගැහි ගැහී ඔහියට පා තබන විට ගෙවා ඇති දුර කි.මී. 26.7 පමණ විය. හනි හනිකට උළුඳු වඩේ කීපයක් ගිල උණු ප්ලේන්ටියක රස බැලූ අපි දිවවිත් දුම්රිය ස්ථානයේ විවේක කාමරයේ අගුලු දා ගත්තේ රාත්‍රි තැපැල් දුම්රිය පැමිණෙන තෙක් ය.


    [FONT=&quot]කුමුදු ගුණසේකර



    බම්ප් කරලා යන්න...
    ලස්සන නිසයි ගේනාවේ...

    [/FONT]
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    ‘මන්නාරමෙන් පිරී ‘මඩකලපුවෙන්’ පිටාර ගලන ලංකා ඇල්ලේ ජල කඳ

    :baffled::baffled::baffled: