දෙමළ ඊළාම් සන්නද්ධ කල්ලි වල ඉතිහාසය

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    දෙමළ ඊළාම් සන්නද්ධ කල්ලි වල ඉතිහාසය

    ( මේ ලිපි තිබුනේ පාදඩ අසපුව කියන බ්ලොග් එකේ .සියලු ගවුරවය ලිපියේ මුල් හිමිකරුට හිමි විය යුතුය )

    දෙමළ ඊළාම් සන්නද්ධ කල්ලි වල ඉතිහාසය

    1960 දශකයේ අග භාගය වෙනකොට උතුරේ දේශපාලන බලය සම්පූර්නයෙන්ම වාගේ හිමිවුනේ චෙල්වනායගම් ගේ "ඉලංකෙයි තමිල් අරසු කච්චි" (ලංකා දෙමළ රාජ්‍යය පක්‍ෂය) ට​. ඊට අමතරව ජී.ජී. පොන්නම්බලම් ගේ සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයත් තරමක් බලයක් අත් කරගෙන හිටියා.

    නමුත් දෙමළ තරුණයන් මේ සාම්ප්‍රදායික පක්‍ෂ වල ක්‍රියාකලාපය ගැන සෑහීමකට පත් වුනේ නෑ. ඔවුන් දෙමළ ඊළාම දිනා ගැනීමට නම් ඊට වඩා "දැනෙන​" ක්‍රියාමාර්ග අවශ්‍යය බව හිතුවා. මේ සඳහා ඔවුන් තෝරාගත්තේ ප්‍රචන්ඩත්වය​.

    මුල් යුගයේ තරුණ සංවිධාන ඇත්තෙන්ම සංවිධාන වලට වඩා කල්ලි ස්වරූපයක් ගත්තා. මේවාට විධිමත් සංවිධානාත්මක යාන්ත්‍රනයක් තිබුනේ නෑ. ඒ වෙනුවට තරුණයන් කීප දෙනෙක් එකතු වී සුළු ත්‍රස්තවාදී ක්‍රියා වල නිරතවීමක් දකින්න පුළුවන්.

    මුල්ම තරුණ කල්ලිය ඇති වෙන්නේ 1969 වැල්ලටිතුරේ ප්‍රදේශයේදී. ඒ තංගදුරේ කල්ලිය​.



    තංගදුරේ කල්ලිය​

    ආරම්භක සාමාජිකයන් :
    නඩරාජා තංගවේලු (තංගදුරේ) - නායක​
    සෙල්වරාජා යෝගචන්.ද්‍රන් (කුට්ටමනී)​
    පොන්නදුරේ සිවකුමාරන් (පොන්)
    ශ්‍රී සභාරත්නම්
    වේළුපිල්ලේ ප්‍රභාකරන් (තම්බි)

    තංගදුරේ කල්ලිය බිහි වෙන්නේ යාපයේ උතුරේම පිහිටි මුහුදුබඩ ගමක් වන වැල්ලටිතුරේ හිදී. වැල්ලටිතුරේ කරයාර් කුලයේ ජනතාව වාසය කරන ගමක්. ඉන්දියාවට අසන්නයේ පිහිටීම නිසා ඉන්දියාවත් සමඟ හොරබඩු ජාවාරම වැල්ලටිතුරේ ප්‍රදේශයේ තදින්ම ව්‍යාප්ත වෙලා තිබුනා. කණ්ඩායමේ නායකයන් දෙදෙනා වුන තංගදුරේ සහ කුට්ටමනී ඇතුළු බහුතරයක් සාමාජිකයන් වැල්ලටිතුරේ පදිංචිකරුවන්.


    Group.jpg


    මේ තරුණයන්ට පැහැදිලි දේශපාලන දර්ශනයක්, සංවිධාන යාන්ත්‍රනයක් හෝ යුධ උපක්‍රම පිළිබඳ දැනුමක් තිබුනේ නෑ. ඔවුන් ඉන්දියාවත් සමඟ හොරබඩු වෙළඳාම සහ සුළු ත්‍රස්තවාදී ක්‍රියා වල නිරත වුනා. ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්‍ෂයේ තරුණ සංවිධානයේ නායක අමිර්තලිංගම්ට මේ තරුණයන් එක්ක කිට්ටු සබඳකමක් තිබුනා. ඔහු තම දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව ප්‍රචන්ඩත්වය මුදා හරින්න මේ තරුණයන්ව යොදා ගත්තා.


    තමිල් මනවර් පෙරවායි (දෙමළ ශිෂ්‍යය ලීගය)​ / තමිල් ඉලයිඥර් පෙරවායි (දෙමළ තරුණ ලීගය)

    ආරම්භක සාමාජිකයන් :
    පොන්නදුරේ සත්‍යසීලන් - නායක​
    පොන්නදුරේ සිවකුමාරන් (පොන්)
    කේ. පද්මනාභා

    ඒක යාපනේ සිසුන් දැක්කේ තමන්ට සිදුවුන විශාල අසාධාරණයක් විදිහට​. මේ නිසා උතුරේ ශිෂ්‍යයන් අතරේ සන්නද්ධ ක්‍රියාකාරකම් වලට විශාල උනන්දුවක් ඇති වුනා. මෙහි ප්‍රතිඵලයක් විදිහට තමයි 1970 දී පොන්නදුරේ සත්‍යසීලන් ගේ නායකත්වයෙන් "තමිල් මනවර් පෙරවායි" හෙවත් දෙමළ ශිෂ්‍යය ලීගය ඇති වෙන්නේ. 1973 දී ඊට වෙනත් තරුණයනුත් ආකර්‍ෂනය කරගැනීම සඳහා එහි නම "තමිල් ඉලයිඥර් පෙරවායි" හෙවත් දෙමළ තරුණ ලීගය ලෙස වෙනස් කරා.

    පළමුවරට "ඇඟට දැනෙන​" මට්ටමේ ප්‍රචන්ඩ ක්‍රියා වල නිරත වෙන්නේ තමිල් මනවර් පෙරවායි සංවිධානය​. එහිදී ප්‍රමුඛ තැනක් ගන්නේ තංගදුරේ කල්ලියේ සාමාජිකයෙක් වුන​ පොන් සිවකුමාරන්. පොන් සිවකුමාරන් උතුරේ ත්‍රස්තවාදයේ පුරෝගාමියා කිව්වොත් නිවැරදියි. උසස් පෙළ සඳහා රසායන විද්‍යාව හැදෑරූ සිසුවෙක් වුන ඔහු තමයි මුලින්ම දිවි නසා ගැනීම සඳහා සයනයිඩ් කරලක් පැළඳගැනීමේ සම්ප්‍රදාය හඳුන්වා දෙන්නේ.

    පොන් සිවකුමාරන් ගේ නායකත්වයෙන් තමිල් මනවර් පෙරවායි සංවිධානය 1970 දශකයේ මුල භාගයේදී ප්‍රචන්ඩ ක්‍රියා ගණනාවක නිරත වුනා. 1970 දී රජයේ නියෝජ්‍ය අමාත්‍ය සෝමවීර චන්.ද්‍රසිරි ගේ මෝටර් රථයේ බෝම්බ තැබීම​, 1971 දී යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දුරෙයිඅප්පා ට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සහ 1974 දී කෝපායි හි මහජන බැංකුව කොල්ලකෑම ඒ අතරින් ප්‍රධානයි.

    නමුත් කෝපායි බැංකු කොල්ලයේදී පොලිසියට කොටු වන සිවකුමාරන් සයනයිඩ් කෑමෙන් දිවි නසා ගත්තා. ඒ දෙමළ ත්‍රස්තවාදියෙක් අත් අඩංගුවට පත් වීම වැලැක්වීමට දිවි නසා ගන්නා පළවෙනි අවස්ථාව​.


    දෙමළ නව කොටි (Tamil New Tigers) - TNT

    ආරම්භක සාමාජිකයන් :
    චෙට්ටි තනබාලසිංහම් - නායක
    වේළුපිල්ලේ ප්‍රභාකරන් (තම්බි)

    හොරබඩු ජාවාරම් කරුවෙක් වුන චෙට්ටි තනබාලසිංහම් සහ එවකට 18 හැවිරිදි තරුණයෙක් වුනු ප්‍රභාකරන් "දෙමළ නව කොටි" සංවිධානය ආරම්භ කරා. ඔවුන් බලාපොරොත්තු වෙන්නේ දැඩි විනයක් සහිත කුඩා සංවිධානයක්. මෙහිදී ඔවුන් පොන් සිවකුමාරන් ගේ ක්‍රියාවලින් විශාල ආභාෂයක් ලැබුවා.

    චෙට්ටි තනබාලසිංහම් හමුදාව සමඟ ඇතිවෙන ගැටුමකින් මිය ගිය පසු සංවිධානයේ නායකත්වය ප්‍රභාකරන්ට හිමි වුනා.

    දෙමළ නව කොටි සංවිධානය සුළු පරිමානයේ ත්‍රස්ත ක්‍රියා සහ කොල්ලකෑම් ගණනාවක නිරත වුනා. 1974 අගමැතිණියගේ යාපනය සංචාරය අතරතුර ඔවුන් බෝම්බ පිපිරීම් කීපයක් ම සිදු කළා. මේවායින් ජීවිත හානි සිදු නොවුනත් ඔවුන් යාපනය තරුණයන් අතර යම්කිසි වීරත්වයක් දිනා ගත්තා.

    දෙමළ නව කොටි සංවිධානය ජාතික මට්ටමේ කතාබහට ලක් වෙන්න පටන් ගන්නේ 1975 ජූලි 27 වෙනිදා ප්‍රභාකරන් සහ සගයන් කීපදෙනෙක් යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දුරෙයිඅප්පා වෙඩිතබා ඝාතනය කිරීමෙන්. මේ තමයි දෙමළ ත්‍රස්තවාදී සංවිධානයක් සිදු කළ පළමු වැදගත් දේශපාලන ඝාතනය​.


    දෙමළ විමුක්ති සංවිධානය​ (Tamil Liberation Organization) - TLO

    ආරම්භක සාමාජිකයන් :
    නඩරාජා තංගවේලු (තංගදුරේ) - නායක​
    සෙල්වරාජා යෝගචන්.ද්‍රන් (කුට්ටමනී)
    ශ්‍රී සභාරත්නම්

    තංගදුරේ කල්ලිය 1973 දී "දෙමළ විමුක්ති සංවිධානය" නමින් තමාව හඳුන්වා ගත්තා.

    ඔවුන් ප්‍රභාකරන් ගේ දැඩි විනයක් සහිත කුඩා කණ්ඩායමක මොඩලයට වඩා විශ්වාස කරන්නේ පුළුල් මහජන සහබාගීත්වයෙන් යුක්ත මොඩලයක්. සංවිධානයේ දෙවෙනි නායක කුට්ටමනී යාපනයේ ජනතාව අතර විශාල ජනප්‍රියත්වයක් දිනා ගත්තා.

    ඔවුන් ප්‍රචන්ඩ ක්‍රියා වල නිරත වුනේ අනෙකුත් සංවිධාන වලට සාපේක්‍ෂව අඩුවෙන්. ඒ එක්කම ඔවුන් තමිල්නාඩු දේශපාලන පක්‍ෂ සහ රෝ සංවිධානය සමඟ සබඳකම් ඇති කර ගත්තා. උතුරේ සන්නද්ධ කණ්ඩායම් අතරින් වැඩිම ඉන්දියානු සබඳකම් තියෙන්නෙ ඔවුන්ට​.


    දෙමළ ඊළාම් විප්ලවකාරී ශිෂ්‍ය සංවිධාය (Eelam Revolutionary Organization of Students) - EROS (ඊරොස්)

    ආරම්භක සාමාජිකයන් :
    ඒළියතම්බි රත්නසබාපති
    වේළුපිල්ලේ බාලකුමාරන්
    නේසදුරේ තිරුනේසන් (ශංකර් රාජී)
    බාලනඩරජා අයියර් (සින්න බාලා)

    1975 දී ලන්ඩනයේ ඉගෙනුම ලැබූ දෙමළ ශිෂ්‍යන් පිරිසක් විසින් ඊරොස් සංවිධානය පිහිටුවා ගත්තා. ඔවුන් සන්නද්ධ කල්ලියකට වඩා දේශපාලන සංවිධානයක් වශයෙන් ක්‍රියාකාරී වීමට නැඹුරු වුනා. ප්‍රචන්ඩ ක්‍රියා වලට වඩා ඔවුන් මුල් තැන දුන්නේ දේශපානල න්‍යායට​. ඒ අතරම ඔවුන් මාක්ස්වාදී අදහස් වලින් විශාල ආභාෂයක් ලැබුවා


    Group.jpg


    මෙතෙක් සන්නද්ධ කල්ලි වල ක්‍රියාකාරකම් උතුරට සීමා වෙලා තිබුනේ. මුලින්ම නැගෙනහිර දෙමළ තරුණයන් අතරට ගිය සංවිධානය ඊරොස්. ඒ වගේම ඔවුන් මුස්ලිම් තරුණයන් ඊළාම් අරගලයට ඈඳා ගැනීමට විශේෂ උත්සහයක් දැරුවා.

    ඊරොස් සංවිධානයේ මිලිටරි අංශයේ නායක ශංකර් රාජී විසින් පලස්තීන සන්නද්ධ කණ්ඩායම් සමඟ ඇති කරගන්නා සබඳතා මත ඊරොස් සංවිධානයේ බොහෝ දෙනා ලෙබනනයේ හමුදා පුහුණුව ලැබුවා. ඒ වගේම ඔවුන් වෙනත් සංවිධාන වල දෙමළ තරුණයන්ටත් ලෙබනනයේ සන්නද්ධ පුහුණුව ලැබීමට අවස්ථාව ලබා දුන්නා. මේ සබඳතා හරහා ඊරොස් සහ දෙමළ නව කොටි සංවිධාන අතර හොඳ මිත්‍රත්වයක් ගොඩ නැගුනා.


    ඊරොස් සංවිධානයේ ආරම්භයත් එක්කම දෙමළ සන්නද්ධ කල්ලි වල මුල් යුගය නිමා වෙනවා. එතැන් සිට කුඩා සන්නද්ධ කල්ලි වෙනුවට මධ්‍යගත පාලනයක් සහිත, මනාව සංවිධානය වුන​, දේශපාලන න්‍යාය, හමුදා පුහුණුව සහ ජාත්‍යන්තර සබඳතා සහිත සංවිධාන ගොඩ නැංවීමට දෙමළ තරුණයන් උත්සහ ගත්තා. ඒ සඳහා ආදර්ශය වුනේ ඊරොස් සංවිධානය​.

    මෙතැන් සිට උතුරේ මනාව සංවිධානය වුන දෙමළ සන්නද්ධ සංවිධාන විශාල ප්‍රමානයක් බිහි වෙනවා.
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    part 2

    වඩ්ඩුකෝඩෙයි සම්මුතිය

    1976 දී ලංකා දෙමළ රාජ්‍යය පක්‍ෂය​, දෙමළ කොංග්‍රසය සහ තවත් දෙමළ බෙදුම්වාදී පිරිස් "දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ" (Tamil United Liberation Front - TULF) නමින් නව දේශපාලන පක්‍ෂයක් පිහිටුවා ගත්තා. මේ පක්‍ෂයේ නායකත්වය හිමිවුනේ චෙල්වනායගම් ට​.

    ඔවුන් 1976 මැයි 14 වෙනිදා වඩ්ඩුකෝඩෙයි හිදී නව සම්මුතියක් ඇති කර ගන්නවා. ඒ "දෙමළ ඊළාම්" නමින් නව රාජ්‍යයක් බිහි කරගැනීමට. එහිදී සියළු දෙනාම එකඟවෙනවා 1977 මහ මැතිවරණයට දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ යටතේ වෙනම රාජ්‍යයක් වෙනුවෙන් තරග කිරීමට​.

    මේක දෙමළ බෙදුම්වාදයේ තීරනාත්මක සන්ධිස්ථානයක්.

    1977 මහ මැතිවරණයට මාස කීපයකට පෙර උතුරේ ප්‍රභලම දේශපාලන නායකයන් දෙදෙනා වුන පොන්නම් බලම් සහ චෙල්වනායගම් මිය ගියා. ඒ නිසා දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ 1977 මහ මැතිවරණයට ඉදිරිපත් වුනේ අමිර්තලිංගම් ගේ නායකත්වය යටතේ.

    මහ මැතිවරණයේදී යාපනය සහ වන්නි දිස්ත්‍රික්ක වල සියළුම ආසන ජය ගන්නේ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ​. මඩකලපුව දිස්ත්‍රික්කයේ ආසන 2 ක් සහ ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්ක වල ආසනය බැගිනුත් ඔවුන්ට හිමි වුනා. යාපනය දිස්ත්‍රික්කයේ බොහෝ ආසන වලදී ඔවුන් 70 - 85 % අතර ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගත්තා. මේ අනුව වඩ්ඩුකෝඩෙයි සම්මුතිය උතුරේ දෙමළ ජනතාව එක හඬින් අනුමත කළ බව හිතන්න පුළුවන්.

    අමිර්තලිංගම් මේ වනවිට සන්නද්ධ දෙමළ තරුණයන් සමඟ ඉතා කිට්ටු සබඳතාවයක් ගොඩ නංවාගෙන හිටියා. ඔහු ඔවුන්ව ප්‍රසිද්ධියේ හැඳින්වූයේ "අපේ කොල්ලෝ" ලෙස​.

    1977 එක්සත් ජාතික පක්‍ෂය බලයට පත් වූ පසු දෙමළ ජනතාව ඉලක්ක කරගෙන වාර්ගික ප්‍රචන්ඩ ක්‍රියා රැල්ලක් ඇති වුනා. මේ ප්‍රචන්ඩ ක්‍රියා වලින් 300 ක් පමණ දෙනා මිය ගියා. තවත් විශාල ප්‍රමානයක් අවතැන් වුනා.

    වඩ්ඩුකෝඩෙයි සම්මුතිය ප්‍රකාශයට පත් වීම ආසන්නයේම එවකට උතුරේ ක්‍රියාත්මක වුන ප්‍රධාන දෙමළ සංවිධාන දෙකේම විශාල ව්‍යූහාත්මක වෙනස්කම් ඇති වුනා. ඒ එක්කම වගේ නව ත්‍රස්තවාදී කන්ඩායම් කීපයක්ම අළුතෙන් බිහි වීමත් දකින්න පුළුවන්. ඒ සංවිධාන සියල්ලම​ තමාගේ නමට "ඊළාම්" කොටස ඈඳා ගැනීම විශේෂ කරුණක්.


    දෙමළ ඊළාම් විමුක්ති කොටි (Liberation Tigers of Tamil Eelam) - LTTE

    ආරම්භක සාමාජිකයන් :

    වේළුපිල්ලේ ප්‍රභාකරන් - නායක​
    චාල්ස් ඇන්තනී (සීලන්)
    කදිර්ගාමපිල්ලේ නල්ලයිනාතන් (උමා මහේෂ්වරන් / මුකුන්දන්)
    සත්‍යසිවම් ක්‍රිෂ්ණකුමාර් (කිට්ටු)
    ගෝපාලස්වාමි මහේන්.ද්‍රරාජා (මහත්තයා)
    වෛද්‍යලිංගම් සෝනලිංගම් (ෂංකර්)

    1976 දී දෙමළ නව කොටි සංවිධානය දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය විදිහට ප්‍රති-සංවිධානය වුනා. සංවිධානයේ නායකත්වය සඳහා පස් දෙනෙකු ගෙන් සමන්විත මධ්‍යම කාරක සභාවක් පත් කර ගැනුනා. එහි සභාපති ධූරය හිමි වුනේ උමා මහේෂ්වරන් ට​. ඒ ඔහු සංවිධානයේ අනෙකුත් අයට වඩා අධ්‍යාපන මට්ටමෙන්, කථිකත්වයෙන් සහ ඉංග්‍රීසි දැනුමෙන් වැඩි නිසා. ඒ නිසා සංවිධානයේ "නිල​" නායකයා ලෙස පෙනී හිටියේ උමා මහේෂ්වරන්. නමුත් නියම බලය තිබුනේ ප්‍රභාකරන් අතේ.


    Group%2B1.jpg


    දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ තරුණ සංවිධානයේ සාමාජිකයන් දෙදෙනෙක් වන උමා මහේෂ්වරන් සහ උර්මිලා කොටි සංවිධානයේ මුල් කාලීන සාමාජිකයන් වුනා. උර්මිලා තමයි දෙමළ ත්‍රස්තවාදී සංවිධානයකට එක් වුන පළමුවන කාන්තා සාමාජිකාව​. මේ දෙදෙනා හරහා අමිර්තලිංගම් ගේ සහ කොටි සංවිධානයේ සබඳකම් තවත් තහවුරු වුනා.

    කොටි සංවිධානය මුල සිටම ඉතා දැඩි විනයක් සහිත, ඒ වගේම දැඩි ලෙස මිලිටරි කරනය වුන සංවිධානයක් ලෙස කටයුතු කලා. මෙහිදී ප්‍රභාකරන් සහ ඔහුගේ විශ්වාසවන්තම සගයන් දෙදෙනා වුන සීලන් සහ කිට්ටු කැපී පෙනුනා.

    ඒ එක්කම සුවිශේෂී චරිත දෙකක් කොටි සංවිධානයට මේ මුල් කාලයේදීම එක් වුනා.

    එක් අයෙක් තමයි සෙල්වරාසා පද්මනාදන් (කේ.පී.). ඔහු කොටි සංවිධානයේ ජාත්‍යන්තර සංවිධානාත්මක ජාලය ගොඩ නැංවීමේදී විශේෂ කාර්‍යභාරයක් ඉටු කලා. විශේෂයෙන්ම ආයුධ ලබා ගැනීමේ සබඳතා ගොඩනංවා ගැනීම මෙහිදී වැදගත් වුනා.

    අනෙක් කෙනා ඇන්ටන් බාලසිංහම්. ලන්ඩනයේ ජීවත් වුන මාධ්‍යවේදියක් වුන ඇනටන් බාලසිංහම් කොටි සංවිධානයට බැඳෙන්නේ දෙමළ ඊළාම් විමුක්ති සංවිධානයේ සබඳතා හරහා. කොටි සංවිධානයට මෙතෙක් නොතිබූ මතවාදීමය පදනම ගොඩ නංවන්නේ බාලසිංහම්. මෙහිදී ඔහුගේ කතෝලික පසුබිම සහ ඔහුගේ ඕස්ට්‍රේලියානු ජාතික බිරිඳ නිසා කොටි සංවිධානයට බටහිර හිතවාදී මුහුණුවරක් ලැබුනා.



    Group%2B2.jpg


    දෙමළ ඊළාම් විමුක්ති සංවිධානය (Tamil Eelam Liberation Organization) - TELO

    ආරම්භක සාමාජිකයන් :

    නඩරාජා තංගවේලු (තංගදුරේ) - නායක​
    සෙල්වරාජා යෝගචන්.ද්‍රන් (කුට්ටමනී)
    ශ්‍රී සභාරත්නම්
    අමිර්තනාදන් අඩෛක්කලනාදන් (සෙල්වම්)
    කුලසේකරම් දේවසේකරම්



    Group.jpg

    1977 දී දෙමළ විමුක්ති සංවිධානය දෙමළ ඊළාම් විමුක්ති සංවිධානය (ටෙලෝ) විදිහට ප්‍රතිසංවිධානය වුනා. එහි නායකයන් දෙදෙනා වුනේ තංගදුරේ සහ​ කුට්ටිමනී.

    ටෙලෝ සංවිධානය කොටි සංවිධානයට වඩා පුළුල් මහජන සහබාගීත්වයෙන් යුක්ත අරගලයක් ගැන විශ්වාසය තැබූ නිසා එය සාමාජිකත්වය අතින් කොටි සංවිධානයට වඩා ඉදිරියෙන් හිටියා. ඒ වගේම කුට්ටිමනී උතුරේ ජනතාව අතර විශාල ජනප්‍රියත්වයක් හිමි කරගත්තා.

    ඒ වගේම ටෙලෝ සංවිධානය රෝ සංවිධානයත් සමඟ කිට්ටු සබඳතා ඇති කර ගත්තා. ඉන්දියාව තමාගේ උතුරේ ඉත්තා විදිහට පාවිච්චි කරන්න උත්සහ කලේ ටෙලෝ සංවිධානය​.

    ටෙලෝ සංවිධානයේ යුධ අංශය "දෙමළ ඊළාම් විමුක්ති හමුදාව" (Tamil Eelam Liberation Amry) - TELA නමින් හැඳින්වුනා. එහි නායකත්වය දැරුවේ කුලසේකරම් දේවසේකරම්.


    දෙමළ ඊළාම් මහජන විමුක්ති සංවිධානය (People's Liberation Organization of Tamil Eelam) - PLOTE

    ආරම්භක සාමාජිකයන් :

    කදිර්ගාමපිල්ලේ නල්ලයිනාතන් (උමා මහේෂ්වරන්) - නායක​
    සතාසිවම් සිවෂන්මුගමූර්ති (සුන්දරම්)
    ධර්මලිංගම් සිද්ධාර්ථන්

    ප්‍රභාකරන් සහ උමා මහේෂ්වරන් අතර ඇතිවන මත ගැටුම් ගණනාවක ප්‍රතිඵයල් විදිහට 1980 දී උමා මහේෂ්වරන් තම හිතවාදීන් සමඟ කොටි සංවිධානයෙන් ඉවත් වෙලා ප්ලොට් සංවිධානය පිහිටුවා ගත්තා.



    Group.jpg


    ප්‍රභාකරන් සහ උමා මහේෂ්වරන් අතර ගැටුමට මුල් වෙන්නේ උමා මහේෂ්වරන් මධ්‍යම කාරක සභාවේ සභාපති විදිහට කොටි සංවිධානය තුළ ප්‍රභල තැනක් අත් කර ගැනීම ප්‍රභාකරන් තර්ජනයක් විදිහට සැලකීම​. ඊට අමතරව උමා මහේෂ්වරන් ගේ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ සමඟ ඇති සබඳතා සහ උපාය මාර්ගික මතබේදත් මේකට බල පෑවා. අවසානයේදී උමා මහේෂ්වරන් සහ උර්මිලා අතර ඇතිවන පෙම් සබඳතාවක් දඩමීමා කරගෙන (පෙම් සබඳතා ඇති කර ගැනීම කොටි සාමාජිකයන්ට තහනම්) ප්‍රභාකරන් උමා මහේෂ්වරන්ට එරෙහිව සංවිධානා තුල ප්‍රචාරයක් ගෙන ගියා.

    ප්ලොට් සංවිධානය උපාය මාර්ග අතින් කොටි සංවිධානයෙන් වෙනස් මාවතක් අනුගමනය කලා. කොටි සංවිධානය සාම්ප්‍රදායික ගරිල්ලා සටන් න්‍යාය අනුගමනය කරමින් සැඟවී පහරදීම් (hit and run) වල නිරත වුනත්, ප්ලොට් සංවිධානය නිහඬවම දැවැන්ත යටිබිම් ගත සංවිධානයක් වර්ධනය කරගැනීම පිළිබඳ අවධානය යොමු කරා. මේ නිසා ප්ලොට් සංවිධානය ක්‍රියාත්මක වුනේ ඉතාම රහසිගතව​.

    ඉතාමත් දරුණු පුද්ගලයෙක් වුන උමා මහේෂ්වරන් තම සංවිධානයේ සාමාජිකයන් දැඩි විනයකට යටත් කළ අයෙක් ලෙස ප්‍රසිද්ධයි. විනය කඩකිරීම් හෝ පාවාදීම් වලදී මරණ දඬුවම ලබාදීමට ඔහු කිසිම පැකිලීමක් දැක්වුවේ නෑ. ඒ අතින් ඔහු ප්‍රභාකරන් හා සම මට්ටමේ හිටියා.

    වැඩිම විදේශ සබඳතා ගණනක් ඇති කරගත්ත ත්‍රස්තවාදී සංවිධානය වුනේ ප්ලොට් සංවිධානය​. ඔවුන් රටවල් ගණනාවක සන්නද්ධ කණ්ඩායම් සමඟ සබඳතා රාශියක් ඇති කර ගත්තා. මේ සංවිධාන වලින් බොහොමයක් සමාජවාදී සංවිධාන​. ඒ නිසාම ප්ලොට් සංවිධානයේ මතවාදය සමාජවාදයට නැඹුරු එකක් වුනා.


    කොටි සංවිධානයේ අභ්‍යන්තර ආරවුල්

    උමා මහේෂ්වරන් ගේ වෙන්ව යාමත් එක්කම කොටි සංවිධානය ඇතුලේ විශාල අර්බුධයක් නිර්මානය වුනා. ප්‍රභාකරන් සංවිධානය තුල ඒකාධිපති පාලනයක් ගෙන යන්න උත්සහ කරනවා කියන චෝදනාව සාමාජිකයන් ගෙන් එල්ල වුනා. මේ අර්බුදය දුර දිග යාමේ ප්‍රතිඵයක් විදිහට සාමාජිකයන් රැසක් කොටි සංවිධානයෙන් ඉවත් වෙලා ප්ලොට් සංවිධානයට එක් වුනා. ඒ එක්කම ජේෂ්ඨ සාමාජිකයනුත් සංවිධානයෙන් ඉවත් වෙන බවට තර්ජනය කලා.

    මේ හේතුව නිසා 1980 දී ප්‍රභාකරන් කොටි සංවිධානයෙන් ඉවත් වෙලා ටෙලෝ සංවිධානයට බැඳුනා. ඒ කොටි සංවිධානය විනාශ වීම වැලැක්වීමේ අරමුණෙන්. කෙටි කලකට පසුව ආරවුල් විසඳාගෙන ප්‍රභාකරන් නැවතත් කොටි සංවිධානයට එක් වුනා.

    ප්‍රභාකරන් ගේ මේ සංවිධාන මාරුව නිසා ඇති වෙන සබඳතාවය මත කොටි සහ ටෙලෝ සංවිධාන බැංකු කොල්ලකෑම් වැනි සුළු ත්‍රස්තවාදි ක්‍රියා සහයෝගයෙන් කරන්න පටන් ගත්තා.
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    part 3

    ඊළාම් මහජන විප්ලවකාරී විමුක්ති පෙරමුණ (Eelam People's Revolutionary Liberation Front) - EPRLF

    ආරම්භක සාමාජිකයන් :

    කන්දස්වාමි පද්මනාභා - නායක​
    වර්ධරාජා පෙරුමාල්
    ඩග්ලස් දේවානන්දා
    සුරේෂ් ප්‍රේමචන්.ද්‍රන්

    ඊරොස් සංවිධානයේ නායකත්වය හිටියේ ලන්ඩනයේ නිසා ඔවුන්ට ලංකාවේ එතරම් බලයක් තිබුනේ නෑ. නමුත් ඊරොස් සංවිධානයේ සාමාජිකයන් පිරිසක් ලංකාවේ ක්‍රියාකාරකම් පටන් ගන්න උත්සහ කරා. එහි ප්‍රතිඵලය වෙන්නේ ඔවුන් 1980 දී ඊරොස් සංවිධානයෙන් ඉවත් වෙලා ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානය බිහි කර ගැනීම​.


    Group.png


    ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ සන්නද්ධ අංශය හැඳින්වුනේ "මහජන විමුක්ති හමුදාව" (People's Liberation Amry) - PLA නමින්. එහි නායකත්වය දැරුවේ ඩග්ලස් දේවානන්දා.

    වාමාංශික නැඹුරුවකින් යුක්ත ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානය දකුණේ වාමාංශික දේශපාලන ව්‍යාපාර එක්ක කිට්ටු සබඳකම් ඇති කරගත්තා. විජය කුමාරතුංග ගේ මහජන පක්‍ෂය සහ දයා පතිරණ ගේ ස්වාධීන ශිෂ්‍ය සංගමය ඉන් ප්‍රධානයි.


    ටෙලෝ සංවිධානයේ බිඳ වැටීම​

    1981 වනවිට උතුරේ ප්‍රභලම සන්නද්ධ කල්ලි දෙක වුනේ ටෙලෝ සහ කොටි සංවිධාන​. ටෙලෝ සංවිධානය පිරිස් බලය අතින් ඉදිරියෙන් සිටි අතර කොටි සංවිධානය යුධ ශක්තිය අතින් ඉදිරියෙන් හිටියා. ඒ වගේම උතුරේ ජනප්‍රියම තරුණ කැරලි කරුවන් දෙදෙනා වුනේ ටෙලෝ සංවිධානයේ කුට්ටිමනී සහ කොටි සංවිධානයේ ප්‍රභාකරන්. කුට්ටිමනී කඩවසම් පෙනුම සහ දක්‍ෂ කතිකත්වය නිසා විශාල ජනප්‍රියත්වයක් ලබා හිටියා. ප්‍රභාකරන් ජනප්‍රිය වුනේ නිර්භීත සහ දක්‍ෂ සටන්කරුවෙක් විදිහට​.

    1981 වන විට ටෙලෝ සහ කොටි සංවිධාන අතර කිට්ටු මිත්‍රත්වයක් ඇතිවෙලා තිබුනා. ඔවුන් බැංකු කොල්ල කෑම් වැනි සුළු ත්‍රස්ත ක්‍රියා වල එකට නිරත වුනා.

    1981 මාර්තු 25 වෙනිදා ටෙලෝ සහ කොටි සාමාජිකයන් පිරිසක් නීර්වෙලි අසලදී මහජන බැංකුවට අයත් වෑන් රථයක තිබූ රුපියල් මිලියන 8 ක මුදලක් කොල්ල කෑවා. මේ කොල්ලයෙන් සති දෙකකට පස්සේ ටෙලෝ සංවිධානයේ නායක තංගදුරේ සහ කුට්ටිමනී ඇතුළු ටෙලෝ සාමාජිකයන් හය දෙනෙක් බෝට්ටුවකින් ඉන්දියාවට පළා යාමට උත්සහ කරද්දී හමුදාවට අහු වුනා. ඔවුන්ට නීර්වෙලි බැංකු කොල්ලය පිළිබඳ චෝදනා යටතේ නඩු පවරලා ජීවිතාන්තය දක්වා සිර භාරයට නියම කෙරුනා.

    ටෙලෝ සංවිධානයේ නායකත්වය මේ විදිහට අත් අඩංගුවට පත් වීම ටෙලෝ සංවිධානයට එල්ල වෙන මරු පහරක් වුනා. එතැන් සිට ඔවුන් ගේ බිඳ වැටීම ආරම්භ වුනා.


    1.%2BTELO%2BLeaders%2BArrested.jpg


    1983 කළු ජූලිය අතරතුරේදී වැලිකඩ බන්ධනාගාරයේ සිංහල සිරකරුවන් විසින් පහරදීමෙන් තංගදුරේ සහ කුට්ටිමනී මිය ගියා.

    බොහෝ දෙනා විශ්වාස කරන්නේ මේ සඳහා හමුදාවට ඔත්තු සපයන්නේ ප්‍රභාකරන් කියලා. එහි සත්‍යාසත්‍ය භාවය කොහොම වුනත්, ඒ සිද්ධියෙන් පසු කොටි සංවිධානයේ ප්‍රධාන ප්‍රතිවාදියා අඩපන වුනා. ප්‍රභාකරන් ගේ ප්‍රධාන තරගකරුවා තරගයෙන් ඉවත් වුනා.


    මර්ධනය දැඩි වේ

    මේ වෙනකොට කොටි, ටෙලෝ සහ ප්ලොට් සංවිධාන උතුරේ බැංකු කොල්ලකෑම්, පොලිස් නිලධාරීන් සහ දේශපාලන විරුද්ධවාදීන් ඝාතන කිරීම් රාශියක් සිදු කරමින් හිටියා. ඊට සමාන්තරව රජයේ ප්‍රතික්‍රියාවත් ඒ ආකාරයෙන්ම දැඩි වුනා. ටෙලෝ නායකයන් අත් අඩංගුවට පත් වීමත් එක්කම ත්‍රස්තවාදී ක්‍රියා වල නිරතවුන දෙමළ තරුණයන් සොයා මෙහෙයුම් ගණනාවක් ක්‍රියාත්මක වුනා. විශාල පිරිසක් අත් අඩංගුවට පත් වුනා.

    මේ නිසා ප්‍රධාන දෙමළ ත්‍රස්තවාදී නායකයන් සියළුම දෙනා - ප්‍රභාකරන්, උමා මහේෂ්වරන් සහ පද්මනාභා - ඉන්දියාවේ මදුරාසියට පලා ගියා. ඔවුන් තමිල්නාඩුවේ දෙමළ දේශපාලකයන් ගේ අනුග්‍රහය යටතේ මදුරාසියේ ජීවත් වුනා. නමුත් මේ අයගේ ලංකාවේ තිබුනු එදිරිවාදිකම් වල අඩුවක් වුනේ නෑ.

    1982 මැයි 19 වෙනිදා මදුරාසියේ "පොන්ඩි බසාර්" වෙළඳපොලේ දී හදිසියේම එකිනෙකා මුණ ගැහෙන ප්‍රභාකරන් ඇතුළු කොටි සාමාජිකයන් දෙදෙනෙක් සහ උමා මහේෂ්වරන් ඇතුළු ප්ලොට් සාමාජිකයන් තිදෙනෙක් එකිනෙකාට වෙඩි තියා ගත්තා. තමිල්නාඩුවේ සාමාන්‍යය ජනතාව අතර ලංකාවේ දෙමළ ත්‍රස්තවාදීන් ප්‍රසිද්ධ වීමට මේ සිද්ධිය බෙහෙවින් බල පෑවා.

    වෙඩි තබාගැනීමෙන් දින කීපයකට පසුව සියළුම දෙනා ඉන්දියානු පොලිසිය විසින් අත් අඩංගුවට ගත්තත්, තමිල්නාඩු දේශපාලකයන් ගේ බලපෑම් මත මුදා හැරියා.


    2.%2BPrabhakaran%2BArrested.jpg


    කොටි සංවිධානයේ නැගීම​

    ප්‍රභාකරන් ඉන්දියාවේ සිටි කාලය තුල කොටි සංවිධානයේ එදිනෙදා කටයුතු වල නායකත්වය දැරුවේ සීලන්. කොටි සංවිධානය ප්‍රභල ගරිල්ලා සංවිධානයක් බවට පත් කරන්නේ සීලන් විසින්.

    සීලන් යටතේ කොටි සංවිධානය මෙතෙක් සිදු කරමින් සිටි බැංකු කොල්ලකෑම් සහ පුද්ගල ඝාතන වෙනුවට හමුදාවට සහ පොලිසියට එරෙහිව ගරිල්ලා ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කරා.

    එහි පළමු පියවර වෙන්නේ 1981 ඔක්තෝබර් 15 වෙනිදා යාපනයේදී හමුදා ජිප් රථයකට සැඟවී සිට කළ පහර දීමකින් හමුදා සෙබළුන් දෙදෙනක් මරා දැමීම​. මේ දෙමළ ත්‍රස්තවාදී සංවිධායක් හමුදාවට එරෙහිව කළ ප්‍රථම ප්‍රහාරය​. මෙය දෙමළ ත්‍රස්තවාදීන් තුල විශාල ආස්වාදයක් ඇති කළ සිද්ධියක් වුනා.

    1982 ජනවාරි දෙවැනිදා කොටි සංවිධානය විසින් ප්ලොට් සංවිධානයේ දෙවැනි නායක සුන්දරම් මරා දැමෙනවා. සුන්දරම් මිය යන්නේ සීලන් තැබූ වෙඩි පහරකින්. ටේලෝ සංවිධානයේ බිඳ වැටීමත් එක්ක කොටි සංවිධානයේ ප්‍රභලම ප්‍රතිවාදියා බවට පත් වෙලා හිටි ප්ලොට් සංවිධානයට මේ ඝාතනය දරුණු පහරක් වුනා.

    1982 ඔක්තෝබර් 27 වෙනිදා සීලන් ගේ නායකත්වයෙන් යුත් කොටි සාමාජිකයන් හත් දෙනෙකුගේ පිරිසක් චාවාකච්චේරි පොලිස් ස්ථානයට පහර දීලා ආයුධ සහ පතරොම් විශාල ප්‍රමානයක් පැහැරගෙන ගියා. මේ ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් තුන් දෙනෙක් මිය යන අතර සීලන් ගේ කකුලකට බරපතල තුවාල සිද්ධ වුනා.

    මේ වෙද්දි කොටි සංවිධානය උතුරේ ජනතාව අතරේ සෑහෙන බලපෑමක් කරන තැනකට ඇවිත් හිටියා. 1983 පළාත් පාලන මැතිවරණයට තරග කරන්න දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ බලාපොරොත්තු වුනත්, කොටි සංවිධානය එය වර්ජනය කරන ලෙස උතුරේ ජනතාවගෙන් ඉල්ලා හිටියා. ඒ සැරේ ඡන් දයේදී ඡන් දය භාවිතා කළේ 15% ක පමණ පිරිසක් පමණයි.

    උතුරේ දෙමළ ජනතාව සමාප්‍රදායික දෙමළ පක්‍ෂ වලින් ඈත් වෙලා ත්‍රස්තවාදී සංවිධාන කෙරෙහි විශ්වාසය තැබීමට යොමු වීම සහ කොටි සංවිධානයට ඔවුන් අතර තිබූ පිළිගැනීම මේ මගින් මනාව නිරූපනය කෙරෙනවා.


    "ෆෝ ෆෝ බ්‍රාවෝ"

    1983 ජූලි 15 වැනිදා සීලන් ඇතුළු කොටි සාමාජිකයන් හතර දෙනෙක් චාවාකච්චේරි ප්‍රදේශයේ නිවෙසක ඉන්නා බවට හමුදාවට ඔත්තුවක් ලැබුනා. ඔවුන් අල්ලා ගැනීමට කෙරෙන උත්සාහයේදී ඇති වෙන වෙඩි හුවමාරුවේදී එක් කොටි සාමාජිකයෙක් මිය යන අතර සීලන් ගේ කකුලකට වෙඩි වැදුනා. තුවාල ලැබීම නිසා පලා යා නොහැකි වෙන සීලන් ඔහුව වෙඩි තබා මරා දාන විදිහට අනෙකුත් සගයන්ට අණ කලා. ඔවුන් අණ පිළිපදිමින් සීලන් වෙඩි තබා මරා දැම්මා.

    ප්‍රභාකරන් ගේ කිට්ටුම සහචරයෙක් වුන සීලන් ගේ මරණයෙන් ප්‍රභාකරන් සහ අනෙකු කොටි සාමාජිකයන් දැඩි කම්පනයට පත් වුනා. ඔවුන් වහාම සීලන් වෙනුවෙන් පලි ගැනීමේ ප්‍රහාරයක් සූදානම් කරා.

    එහි ප්‍රතිඵලයක් විදිහට 1983 ජූලි 23 වෙනිදා තිරුනෙල්වෙලි හිදී "ෆෝ ෆෝ බ්‍රාවෝ" හමුදා මුර සංචාරක කණ්ඩායමට එල්ල වෙන කොටි ප්‍රහාරයකින් හමුදා සෙබළු 13 දෙනෙක් මිය ගියා.

    මේ සිද්ධියෙන් පසුව රට පුරාම දෙමළ ජාතිකයන්ට එරෙහිව දැඩි වාර්ගික ප්‍රචන්ඩ ක්‍රියා ඇති වුනා. මින් දහසකට අධික දෙමළ ජාතිකයන් මිය යන අතර ලක්‍ෂ ගාණක පිරිසක් අවතැන් වුනා.

    මෙය ලංකාවේ ඊළාම් අරගලයේ ඉතාමත් වැදගත් සන්ධිස්ථානයක්.
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලියපු හාදයට පොඩි කෑල්ලක් මිස් වී තිබේ.
    කොටි සංවිධානයේ මුල් අවස්ථාව වන්නේ දෙමල නව කොටි නෙවෙයි. පුලිහ පාදෙයි-නැතිනම් කොටි මග සංවිධානය
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොටි සංවිධානයේ මුලින් හිටපු සාමාජිකයන් අතරේ වාමවාදයට බර, සංවිදානය යම් හරවත් යටි බිම්ගත මට්ටමකට මෙහෙයවපු අය අතරේ (උස) සභාරත්නම් සහ උමා මහේෂ්වරන් ප්‍රමුඛයි.
    මොවුන් දෙන්න හිටිය නම් පිරපාහරන් වෙනුවට අපිට ඉහ ගහන්න අමාරු සංවිධානයක් බිහි වෙන්න ඉඩ තිබ්බ. මොවුන් ජාත්‍යන්තරවාදීන්. ඔවුන් දෙන්නම පිරපාහරන්ගේ නියෝග පිට ඝාතනය කරනු ලැබුවා.
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ලියපු හාදයට පොඩි කෑල්ලක් මිස් වී තිබේ.
    කොටි සංවිධානයේ මුල් අවස්ථාව වන්නේ දෙමල නව කොටි නෙවෙයි. පුලිහ පාදෙයි-නැතිනම් කොටි මග සංවිධානය

    කොටි සංවිධානයේ මුලින් හිටපු සාමාජිකයන් අතරේ වාමවාදයට බර, සංවිදානය යම් හරවත් යටි බිම්ගත මට්ටමකට මෙහෙයවපු අය අතරේ (උස) සභාරත්නම් සහ උමා මහේෂ්වරන් ප්‍රමුඛයි.
    මොවුන් දෙන්න හිටිය නම් පිරපාහරන් වෙනුවට අපිට ඉහ ගහන්න අමාරු සංවිධානයක් බිහි වෙන්න ඉඩ තිබ්බ. මොවුන් ජාත්‍යන්තරවාදීන්. ඔවුන් දෙන්නම පිරපාහරන්ගේ නියෝග පිට ඝාතනය කරනු ලැබුවා.

    වැදගත් :shocked::shocked::shocked:



    tfs. author: Paadadaya??

    author is (සසර සැරිසරන පාදඩයා) don't know the original name