දෙවියන්ගේ බාරේ 2022 - තුන්වන කොටස
අරුණ මල්ලිගේ ගීත රාවෙත් එක්ක සැපට නින්ද ගිය අපේ පාදයාත්‍රා ජීවීන්ට ඊලග දවසට ඇහැ ඇරුනේ පොඩි මල් වැස්සක් එක්ක.මට හිතුනෙම මොකෙක් හරි මට වතුර ගහනවා කියලා. මොකද වියළි කලාපේ උපරිමේට ගිහින් අර්ධ ශුෂ්ක කලාපයක පා ගමනේ යෙදෙමින් හිටිය අපිට වැස්සක් වහිනවා කියන්නේ වෙන්න අමාරු නෙවේ වෙන්න බැරි වැඩක්.
ඒත් ඒ වෙනකොටත් වෙන්න බැරි වැඩේ පොඩ්ඩ පොඩ්ඩ වෙමින් තිබ්බේ. පොඩියට පොඩි පින්නකට සමාන පොද මල් වැස්සක් ඒ වෙනකොටත් ඇදහැලෙමින් තිබුණා. ඒත් අපි හිටියේ රූස්ස ගහක් යට නිසා වැස්සෙන් වෙන හානිය හොදටම අඩුයි. විනාඩියකට පාරක් විතර වතුර බින්දු 2ක් තුනක් තමා මට වැදුනේ.
කොහොමින් කොහොමින් හරි මේ පොද වැස්ස අපේ වැඩ ටික ඉක්මන් කරගන්න හේතුවක් වුනා. 5.15 ට නැගිටින්න හිටිය අපි 4.45 වෙනකොට නැගිට්ටා. කලින් දවසේ වගේම උදේ කෑමක් වත් උදේ බීමක් වත් කදවුරු භූමියේ හදන්න අපි කාලේ නාස්ති කරේ නැ.
සියල්ල සූදානම් කරගෙන කදවුරු භූමිය අකුලගෙන අපි පිටත් වෙන්න හදනකොට උදේ 5.50 ට වගේ ඇති. අපිට විනාඩි 15 කට වගේ කලින් කතරගම මල්ලිලා පිටත් වුනා. මේ වෙනකොටත් අපේ කණ්ඩායමේ බුද්ධිකට ඇරෙන්න අනිත් හැමෝගෙම කකුල් වල එක එක ප්‍රමාණයේ කැපීම් සිරීම් සහ දිය පට්ටා ඇවිල්ලා තිබුනා.
ඒවට අදාල ප්‍රතිකාර කරලා වෙළුම් දාගෙන තමයි අපි ගමනට බැස්සේ. ඒ නිසා අපිට අමතර විනාඩි 15 ක් 20 ක් විතර ගතවෙන්න ඇති. කොහොම හරි 5.50 ට අපි ලිං තුලේ පොඩි දේවාලෙත් වැදපුදාගෙන එලියට බැස්සා. කලින් කියපු පොද වැස්ස ඒ වෙනකොටත් අඩු වැඩි වෙමින් ඇදහැලෙමින් තිබ්බා. කවුද හිතුවේ රේන් කවර්ස් දාගෙන පාදයාත්රාව යන්න වෙයි කියල ? ඒහෙනම් ඒ ආසාවත් හරි.
ලිං තුනෙන් පස්සේ පොඩි කැලැ ප්‍රදේශයක් හමුවෙනවා. ඒකෙන් පස්සේ නැවතත් වැව් පිට්ටනියක් හරහා ගිහින් තමයි ගමන් ආරම්භ වෙන්නේ. පාදයාත්රාවේ තුන්වෙනි දවස ගොඩක් වැව් සෙට් වෙන දවසක් කියලා ප්‍රසිද්ධයි, උදේ වරුවම අපිට ගමන් කරන්න තියෙන්නේ හිදුන වැව් වල ඉවුරෙන් සහ සමහර වෙලාවට ඒ වගේ වැව් මැදින්.
මෙතනදි මම සහ චින්තා ලොකු වැරැද්දක් කරනවා. අපේ මතකයේ තිබ්බේ අද දවසේ අපිට වතුර හරහා එගොඩවීම් නැ තනිකරම ගොඩබිමෙන් යන්න තියෙන දවසක් කියලා. ඒ නිසාම සෙට් එකටම සපත්තු දාගන්න කියලත් කීවා. ඒත් ගමන පටන් අරන් කිලෝමීටර් 2 - 3 ක් වගේ යනකොට අපිට හමුවෙනවා වැව් පිටියක් වගේ වෙන එලිමහන් තැනක් . ඒතනදි මග අරින්න බැරිම වතුර කඩිත්තකින් අපිට එගොඩ වෙන්න සිදුවෙනවා.
කරන්න දෙයක් ඇත්තෙම නැ. බුද්ධික සහ චින්තා සපත්තු ගලවලා එගොඩ වෙද්දි මම සහ කැලුම් අයියා වතුරට බැස්සේ සපත්තු පිටින්මයි. කැළුම් අයියා ගාබේජ් බැග් දෙකක් කකුලට දාගෙන එතෙර වුන එකෙන් එයාගේ කකුල තෙමුනේ නැ. ඒත් මගේ සපත්තු දෙක සම්පූර්ණයෙන් තෙමිලා ගියා.
වතුර පාරෙන් එගොඩ වෙලා තරමක් මඩ ගතියක් තිබුන තැනකින් එගොඩ වෙලා එළිමහන් කොටසේ අන්තිම කෙලවරට එනකොට අපේ සපත්තු වල සහ කකුල්වල හොදටම මඩ. මේ කෙලවරේ හමුදා සාමාජිකයන් ගේ කූඩාරමක් තිබුන නිසා සහ ඒ කෙලවරේ වතුර බෙදන බවුසරයක් තිබුන නිසා අපි ඒ කොටසේ පොඩ්ඩක් නැවතිලා කකුල්වල මඩ ඉවත්කරගත්තා.
ඒ වෙනකොටත් අපි කිලෝමීටර් 3.2ක් ගිහින් තිබ්බ නිසා උදේට කාලා තේ එකක් බොමු කියන අදහස මෙතනදි ස්ථීර වුනා. අපි තිබුන බිස්කට් කාලා ආමි එකේ සහෝදර වරුන්ටත් අපි ගාව තිබ්බ කැම ජාති කීපයක් දීලා ඉගුරු ජාති තේ එකක් බිව්වා. ඉදිරියට වතුර තත්වය ශුවර් නැති නිසා අපි එතන තිබ්බ බවුසරයෙන් වතුර පුරවගත්තා. ඒ වෙලාවේ එතනට ආව සුරන්ග අයියලත් වතුර අවුල නිසාම එයාලගේ උදේ කැම එතන උයන්න පටන් ගත්තා. අපි ඒ වෙනකොටත් උදේ කැම කාල තිබ්බ නිසා අපි අපේ ගමන එයාලගෙන් වෙන් වෙලා පටන් ගත්තා.
අපි ඒ තේ බීව තැනට කියන්නේ උඩ පොත්තන කියලා. ඉතින් උඩ පොත්තන ඉදන් කටුපිල ආර දළදා මාලිගාව මගින් පවත්වන දන්සලට තවත් කිලෝමීටර් 12ක වගේ දුරක් තිබුනා. එතන ඉදන් පරණ තොටුපලට තවත් කිලෝමීටර් 1.5 ක 2ක වගේ දුරක් තියෙනවා.
දන්සල තිබුනේ එලිමහන් භූමියක. අපි දැන් ඉන්නෙත් එලිමහන් භූමියක. මේ එලිමහන් භූමි දෙක අතර දන්සලට කිලෝමීටර් 2කට වගේ මෙහායින් තවත් එළිමහන් භූමියක් අපිට හම්බෙන්න නියමිතයි.ඒකට සමහර අය පිලින්නාවකියලත් කියනවා. ඊට අමතරව මේ තියෙන සම්පූර්ණ දුර අපිට ගමන් කරන්න නියමිත වෙලා තිබ්බේ ලදු කැලැවක් මැදින්.
උඩ පොත්තනින් සමු අරන් අපි ඉදිරියට ඇදෙන්න පටන් ගත්තෙ උදේ 7.45 ට විතර. තේ බොන්න වැය කරපු වෙලාව පොඩ්ඩක් වැඩී කියන එක ඔලුවේ තිබ්බත් තවමත් වැහි මන්දාරම තිබ්බ නිසා හිත සතුටින් ගමන පටන් ගත්තා.
පොඩියට කයියක් දාගෙන පැයට කිලෝමීටර් 4ක වේගෙත් තියාගෙන අපි ඉදිරියටම ගියා. උදේ 9.30 වෙනකම් සුපුරුදු වැහි මන්දාරම තිබ්බත් එතනින් පස්සේ එකපාරටම අව්ව පායලා සුපුරුදු කර්කශ ගතිය එන්න පටන් ගත්තා.
එකපාරම අව්ව නිසා අපේ ගමන තුන් ගුණයකින් විතර අමාරු වුනා. ඒ නිසා අපි පොඩි බ්රේක් එකක් ගන්න තීරණය කරා.කැලැව නිසා පාර අයිනෙම තමා අපිට ඉන්න වුනේ.
අව්ව වැඩි වෙන්න වෙන්න අපිට ගමන අමාරු වෙන නිසා වැඩි වෙලාවක් ඉන්නේ නැතුව අපි ආයෙම ගමන පටන් ගත්තා. උදේ 11.50 වගේ වෙනකොට මම කලින් කියපු පිලින්නාවට ලගාවෙන්න අපිට පුලුවන් වුනා. මෙතන ඉදන් දන්සලට තිබ්බේ කිලෝමීටර් පොඩි ගානක් නිසා අපි ආයෙම පොඩි විවේකයක් ගත්තා. මඩකලපුවේ ඉදන් ආව දමිල නඩයකුත් අපිට එතනදි සෙට් වුනා.
තිබුන උග්‍ර ජල හිගය නිසා අපිව පහු කරන් ගිය ගොඩක් බැතිමතුන්ට වතුර පොදක්වත් තිබුනේ නැ. අපි අපි ගාව තිබුන වතුර පුලුවන් විදියට ටික ටික ඒ හැමෝටම බෙදලා දෙන්න අමතක කරේ නැ.
විවේක ගන්න ගමන් අපේ ඉදිරි සැලසුම අපි කතා වුනා. දවල් කැම දන්සලෙන් අරන් එතන විවේක අරන් හවස් වෙනකොට පරණ තොටුපලේ කදවුරු බදින්න එතනදි තීරණය කරා.
හරියටම දවල් 12ට ඉර අපේ ඔලුවට කෙලින් තියාගෙන අපි අපේ පොඩි විවේකයට සෙවන සපයපු සියඹලා ගහ යටින් ආයෙම ගමන පටන් ගත්තා. ආයේ නැවතීමක් නැ දන්සල වෙනකම්. අපිට යන්න තිබුනේ කිලෝමීටර් 1ක් හෝ 1.5ක වගේ දුරක්.
අපි දන්සලට ලගා වෙනකොට දවල් 12.20 ට වගේ ඇති. දන්සල අවට ගස් අඩු නිසා අපි කලින් ගත්ත විවේකය ගොඩක් වටින බව අපි කලින් ඉදන්ම දැනගෙන හිටියා. දන්සලේ සාමාන්‍යයෙන් ලොකු හට් එකක් තියෙනවා.එකපාර 150කට 200 කට වගේ කැම කන්න පුලුවන් තරමේ.
කලින් දවසේ අපෙන් වෙන් වුන නුරංග ඇතුලු නඩය කලින් දවසේ ඇවිල්ලා දන්සල ගාව නතර වෙලා එයාලත් දන්සලේ වැඩ වලට උදව් වෙන්න නැවතිලා. අපි එතනට යනකොටත් එයාලා එතන. දවස් තුනකින් යන්න හිටිය සැලසුම එයාල අතඇරලා දාලා එයාලත් දවසකින් ගමන් කල් දාගෙන. මේ දන්සල දෙන්නේ දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල මහතාගේ සහ තවත් අයගේ දායකත්වයෙන්. දැනට අවුරුදු 17ක් වගේ ඉදන් මේ දන්සල දෙනවා කියලා තමයි අපිට දැනගන්න පුලුවන් වුනේ.
2019 පාද යාත්රාවෙදි අපි මෙතනට ලගා වෙනකොට ගොඩක් හවස් වෙලා. මෙතනින් කාල අපි මෙතනම නිදාගත්තා. ඒ නිදාගත්ත ගහත් අනිත් කට්ටියට පෙන්නලා අපි දන්සල ඇතුලට ගියා. දන්සලේ කොනකින්ම අපේ බැග් තියලා සපත්තු ගලවලා අපි පොඩ්ඩක් රිලැක්ස් උනා. නුරංගලා එක්ක ආගිය තොරතුරු කතා කරන ගමන් වතුර ටිකක් බීලා අපිත් කැම එකක් බෙදාගන්න අමතක කරේ නැ.
මේ දන්සලේ කෑම දවසේ කොයි වෙලාවේ ගියත් දිව්‍ය භෝජන වගේ රසයි.වෙලාවෙන් වෙලාවට පොඩ්ඩක් මෙනු එක වෙනස් වෙන්න ඉඩ තිබ්බට මහන්සි වෙලා එන බැතිමතුන්ට මේ කැම එක නම් ඉහටත් උඩින්. අපි කන වෙලාවේ තිබ්බේ කඩල පරිප්පු මුරුන්ගා හොද්ද කැකිරි මිරිසට . ගිය පාර නම් කෙසෙල් කොලේ තමයි බත් දුන්නේ. මේ පාර අපිට පිගන් වල තමයි කැම බෙදලා දුන්නේ.විටින් විටේ දියවඩන නිළමේ තුමත් වැඩ කටයුතු සොයා බලන්න කටයුතු කරනවා දකින්නට ලැබුනා.
වෙලාවේ හැටියට දෙපාරක් බෙදන් කන්න කවුරුවත් දෙපාරක් හිතුවේ නැ. ඒ කැම එකේ ෆොටෝ එකක් දැන් බලනකොට උනත් ඒ රස මතක් වෙන තරමට ඒ කැම එක රසයි.
කැමෙන් පස්සේ අපිත් නුරංගලට එකතු වෙලා කැම පිගන් වලට ලන්ච් ශීට් එලීමේ වැඩ වලට එකතු වුනා. අපිට පුලුවන් විදියට දන්සලට උදව්වක් කරන්න ලැබුන එකත් සතුටක්. ඊලග පාරක කලින් ඇවිල්ලා දන්සලේ වැඩ වලට උදව් වෙන්න පුලුවන් නම් හොදයි කියලත් අපි කතා වුනා.
දවල් වරුවේ දැඩි අව්ව මග ඇරෙනකම් ඉදලා ඒ කියන්නේ හවස තුනට හතරට වගේ පරණ තොටුපලට ගමන් ආරම්භ කරන්නයි අපේ අදහස වෙලා තිබුනේ. අපි දන්සලෙන් පොඩ්ඩක් එලියට ගිහින් ගහක් යට ඇලවෙලා හොද කැමකින් පස්සේ හිත පිරෙන්න බොන හොද ඉගුරු දාපු ප්ලේන්ටියකුත් හදාගෙන බීවා.
එතන විවේකයෙන් ඉන්නකොට යාපනේ ඉදන් පයින්ම ගමන එන නඩ කීපයක්ම අදුරගන්න වාසනාව ලැබුනා. ඒ අතරින් අයිගරන් ස්වාමි විශේෂයි.යාපනේ ඉදන් එන 50 වෙනි දවසේදි තමයි අපිට එයාගේ නඩය හමුවුනේ. දවස් පනහක් පයින්ම රබර් සෙරෙප්පු දෙකක් වත් නැතුව මේ එන ගමන ගැන එයාල කතා කරේ හරිම ආඩම්බරයෙන්.
ගස් සෙවනේ හුලන් වැදි වැදි හිටිය අපි 3.30 ට 4 ට විතර දන්සලෙන් පිටත් වෙලා පරණ තොටුපොලට ඇවිදන් යන්න පටන් ගත්තා. යන්න තියෙන්නේ පොඩි දුරක ගමනක් නිසා සහ කාලා කාලා බඩවල් උස්සගන්න තිබ්බ අමාරුව නිසාම අපි ගියේ තරමක් හෙමින්. දන්සල තියෙන එළිමහන් භූමියෙන් එලියට යන්නම අපිට තව මීටර් 350ක් විතර ඇවිදන් යන්න තිබ්බා.
ඊටපස්සේ අපිට ආයෙමත් ගමන් කරන්න තිබ්බේ කටුපදුරු සහිත පොඩි කැලයක් මැදින්. ගිය පාර යනකොට දෙමළ මාමා කෙනෙක් උදේම කතා කරලා කීවා පුතා මේ හරියෙන් යනකොට ගස් උඩ බලාගෙන යන්න පුල්ලියා ඉන්න ඉඩ තියෙනවා කියලා. මම ඒ කතාවත් කට්ටියට කිය කිය හෙමීට ඉදිරියට ඇදුනා.
අපිට යන්න තියෙන පාර පටුයි,ඒ නිසා එක්කෙනෙක් පිටිපස්සේ එක්කෙනෙක් තමයි යන්න වෙන්නේ.බුද්ධික සහ චින්තා ඉදිරියෙන් යනකොට මම ගියේ තුන් වෙනියට . අපි තුන් දෙනා ලොකු කයියක ගියේ. මට පිටිපස්සෙන් ආවේ කැලුම් අයියා. අපි දෙන්නා අතර මීටර් 10ක වගේ පරතරයක් තිබුනා. මම ඉස්සරහා දෙන්නත් එක්ක කයියකින් ගිය නිසා අපිට සමාන්තරව කැලේ ඇතුලෙන් ඇහුන ශබ්ධ එච්චරම ගනන් ගත්තේ නැ.
එකපාරම කැලුම් අයියා මල්ලි මල්ලි කියාගෙන් වේගෙන් දුවගෙන ආවා මම ඉන්න ලගටම.
මල්ලි අලියා..
කැලුම් අයියට කියන්න පුලුවන් උනේ එච්චරයි කැලේ කඩාගෙන සද්ධන්තයෙන් අපිට මීටර් 10කට වගේ එහායින් පාර හරහා මාරු වුනා. කැළුම් අයියා දුවන් ඇවිල්ලා තියෙන්නේ අලියා මූණට සෙට් වෙන නිසා. තව පොඩ්ඩෙන් අපි අතරින් තමා අලියා මාරු වෙන්නේ.දැකපු දේට අපිටත් එකපාරම අදහාගන්න බැරි වුනා.මොකක්ද මේ වුනේ කියලා.අපේ ගමන් මාර්ගය හරහට ගිය ඌ කැලේ කඩාගෙන අනිත් පැත්තට ඇතුල් වුනා. දූවිලි නාගත්ත හොදට වැඩුන සද්ධන්තයෙක්. එතන ඉදන් අපි ඉදිරියට ගියේ බොහොම පරිස්සමින්.
විනාඩි 20කින් විතර අපි පරණ තොටුපලට සැපත්වුනා. පරණ තොටුපොල කියන්නේ මැණික් ගගට.මැණික් ගගේ වතුර අඩු නිසා සුදු වැල්ල පැදිල තිබුනා. බැතිමතුන් 2500කට වැඩි මිසක් අඩු නම් නැ. සේරම ගගට බැහැලා වැල්ලේ තමන්ගේ කදවුරු අටවගෙන තිබුනා.
පාදයාත්රාවේ තුන්වෙනි දවසේ අපේ නවාතැන වුනේ මේක. නඩ දෙකක එකතුව එක්ක රැ ඇද හැලුන වැස්ස.වැස්සෙන් බේරෙන්න අපි හදපු කූඩාරම රැ වැස්ස අස්සෙම අපි හදපු රැ කැම සහ පාන්දර ගගේ වතුර වැඩි වෙලා අපිට වෙච්චි ඇබැද්දි එක්ක හතරවෙනි දවස සහ පාදයාත්රාවේ නිමාව ඊලග කොටසින් අරන් එන්නම්.
හරෝ හරා !!
