ආයෝජන මණ්ඩල සභාපති, ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්, ඔට්ටු සෙල්ලම්, සමාගම් හා ව්‍යාපාර යුගයන් පසුකර කුලප්පු ආරච්චිගේ දොන් ධම්මික පෙරේරා අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වන්නේය. ධම්මික ගේ මතක සුන්දර නැත..!
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ දී, ඔහුට වඩා අසාර්ථක සභාපතිවරයෙකු ඇතිනම් ඒ අර්බුදයක් හමුවේ නිවාඩු නොගෙන රටින් පැනගිය අර්ජුන මහේන්ද්‍රන් පමණි. එමිරේට්ස් සමාගම විසින් පත් කළ විධායක අධ්‍යක්ෂවරයා රටින් යවා, ජාතියකට බරක් බවට පත් කළ ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවුලේ බූදලයක් කරන්නට තාක්ෂණික සහාය දුන්නේ ධම්මික පෙරේරා ය.
නිවාඩු පාඩු වේලාවට අමාත්‍යාංශයට ගිය ධම්මික, ප්‍රවාහන ලේකම් ලෙස ආයතනය ‘පුංචි දූපතක්‘ කළේය. ශ්‍රී ලංකා පරිපාලන කේෂ්ත්‍ර කළු පැල්ලමක් ලෙස ඔහු සිය අනන්‍යතාව එහි සනිටුහන් කළේය.
ධම්මික ගේ කැසිනෝ, ජැක්පෝට් සමත් ය. කැසිනෝ බද්දට පොළු තැබූ මුදලින් කොටසක් පසුගිය දා ගෙවූ බව පුවත්පත් වාර්තා කර ඇත.
රු. 300 ට තිබූ ටයිල් කැටේ රු. 3000 ට ගෙන ගිය ටයිල් මාෆියාව සමත් ය.
එංගලන්ත කුණු ලංකාවට පැටවීමේ ජාවාරම සමත් නොවූයේ පරිසරවේදීන් නිසාය. නැතිනම්, එයත් සමත්වන්නට තිබුණි.
21 වැනි සියවසේ සිදුවූ මානව ඉතිහාසයේ ඛේදනීයම සිදුවීමක් වූයේ බීමට පිරිසිදු වතුර පොදක් ඉල්ලූ රතුපස්වල අහිංසක ගම්වැසියන්ට වෙඩි තබා ඝාතනය කිරීමය. රතුපස්වල ජලයට විස මිශ්‍රකළ ග්ලවුස් ෆැක්ටරිය ධම්මිකගේ ය. ගැටළුවේදී ගම්වාසීන් අමතක කර ධම්මික සහ ෆැක්ටරිය බේරා ගැනීමට රාජපක්ෂලා පෙරට ආහ. වස විස නැති පානීය ජලය ඉල්ලූ ජනතාවට වෙඩි උණ්ඩ ලබාදීමට පවා ධම්මික සමත් විය. පාසැල් යන දරුවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු ඝාතනය කෙරිණ.
රටේ ප්‍රධානම විපක්ෂ පක්ෂ දෙක තමන්ට විරුද්ධව කටක් අරින්නේ නැති තත්වයට නිහඬ කර ගැනීමට ඔහු සමත් ය.
වත්කම් බැරකම් ප්‍රකාශ පමණක් නොව, ව්‍යවස්ථාවට අනුව රට නොබෙදන බවට වන දිවුරුම් ප්‍රකාශ හෝ මැතිවරණ කොමිසමට නොදී තම නම ගැසට් කරවා ගැනීමට තරම් ද, ධම්මික සමත් ය.
තමා දිවුරුම් දෙන අවස්ථාවේ දී, එයට නාමික හෝ විරෝධයක් නඟන්නට පාර්ලිමේන්තුවේ කිසිවෙකුත් නැතිවන බව ස්ථිර කරන්නට ද ඔහු සමත් ය.
සනත් - අරවින්ද එක වැකියකින් අසමත් කරන්නට ඔහු ට්‍රයි කළේය. පැරදුණේය.
ධම්මික සමත් වන සෑම විටකම පරාජිතයෙක් ද සිටියේය. ආයෝජන පැරදුණේය. ප්‍රවාහනය නන්නත්තාර විය. ටයිල් පා වුනේය. කුණු ලංකාවට ආවේය. වතුර වෙනුවට වැලිවේරියේ ලේ ගලා ගියේය. මැතිවරණ කොමිසමට ලැජ්ජාව පවා නැතිවූවේය. විපක්ෂයේ ප්‍රධාන පක්ෂ දෙකට වූ දේ සාමාජිකයින් තබා නායකයින් වත් දන්නේ නැත.
අද පටන් 'ධම්මික රට දිනවන හැටි' මේ ඉතිහාස කතා කිසිවක් නොදන්නා 69 ලක්ෂය ප්‍රමුඛ සමස්ත පුරවැසියන්ටම බලා ගත හැකිය.
කීර්ති තෙන්නකෝන්