ධර්මාවබෝධයට_ඇති_බාධා_හඳූනාගනිමු

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ධර්මාවබෝධයට_ඇති_බාධා_හඳූනාගනිමු

    ධර්මාවබෝධයට ඇති බාධා හඳූනාගනිමු

    ධර්මය සම්බන්ධයෙන් යම් කෙනෙකුට දියුණුවක් ඇතිකරගන්ට බැරිවෙන්ට, එහෙම නැත්නම් අසාර්ථක වෙන්ට බලපාන ප්‍රධාන කාරණයක් තියෙනව. ඒ කියන්නෙ අපිට අයහපත ඇතිවෙන විදිහට මේ ධර්මයෙන් ඈත්වෙන්ට, අපිට මේ ධර්මයෙන් පිහිටක් ලබාගන්ට බැරිවෙන්ට බලපාන ප්‍රධාන කාරණයක් තියෙනව.

    ඒ තමයි, රාගයෙන් පීඩා විඳිද්දී ම, යමෙකුට කල්පනා වෙනව නම් මම අවබෝධයක් තියෙන කෙනෙක්, මම වැටහීමක් තියෙන කෙනෙක්, මම අන් අයට ගුරුහරුකම් දීමට සුදුස්සෙක්, මගෙන් අනිත් අය දැනමුතුකම් ගත යුතුයි, මම කියන විදිහට වැඩ කළ යුතුයි, මම දන්න කෙනෙක්, ඔය ආදී වශයෙන් කල්පනා වෙනවා නම්, අන්න ඒ කල්පනාව අපේ විනාශයට හේතුවෙන එකක්.

    ද්වේශයෙන් බැටකද්දීත්, මෝහයෙන් පීඩා එද්දී, ඒ පිඩාවෙන බැටකමින් ඒකට යටවෙලා වාසය කරද්දීත්, ඒ වගේම ඊරිසියාවෙන් යටවෙලා ඊරිසියාවෙන් බැටකමින් වාසය කරද්දී ම එයාට හිතෙනව නම් මම දැනමුතුකම් දෙන්ට පුළුවන් කෙනෙක්, මම දැන උගතෙක්, මම අවවාද දෙන්ට සුදුස්සෙක්, මම අවබෝධයක් තියෙන කෙනෙක්. අන් අය මා කියන ආකාරයෙන් කටයුතු කළ යුතුයි, ඔය ආදී වශයෙන් සිතුවිළි එනව නම්, ඒ වගේ අදහසින් නම් වාසය කරන්නෙ ඒක අපිව මුළුමනින් ම අසාර්ථක කරන්ට හේතුවෙන එකක්. ඒක විනාශය පිණිස ම තියෙන අදහසක්. එයාට දියුණුව කරා යන්ට බෑ.

    මාන්නය, උඩඟුකම, මුරන්ඩුකම, ඇදහොයන ගතිය, ගුණමකුකම මේ ආදී දේවල් වලින් පීඩා විඳිමින් ම, ඒවායින් හිත කෙලෙසෙමින් තියෙද්දී ම එයාට හිතෙනව නම්, මම අවබෝධයක් තියෙන කෙනෙක්, මට මේ මේ විදිහට අවබෝධය තියෙනව. ඒ නිසා මම කියන දේ අන් අය ඇසිය යුතුයි. මේ විදිහට තමා හීන ස්වභාවයේ සිටිද්දීම තමාගේ උසස් බව ප්‍රකටවෙලා තමා උසස් කෙනෙක් යැයි තමන්ට හිතෙනව නම්, ඒක විනාශය පිණිස පවතින ප්‍රධාන කාරණයක්.

    අන්න ඒ කාරණයෙන් නිදහස් වෙන්ට යමෙකුට පුළුවන් නම් එයා දියුණුව කරා ම යනව. කෙලෙස්වලින් පීඩා විඳිද්දී ම තමන් අවබෝධයෙන් යුක්තයි කියල කල්පනා කරනව නම් එයා පිරිහිලා යනව, එයා විනාශවෙලා යනව. එයා විනාශවෙද්දී අන් අයටත් විනාශය ලඟා කරමින් තමයි එයා විනාශවෙලා යන්නෙ. එතකොට අපිට අන්න ඒ ස්වභාවයෙන් නිදහස්වෙන්ට පුළුවන් නම් එයා තමයි ධර්මය කරා යන කෙනා.

    වැඩි පිරිසක් තමා ම වැරදි කරද්දී අන් අයට ඇඟිල්ල දික් කරමින් චෝදනා කරමින් වාසය කරන ස්වභාවයක් තමයි සාමාන්‍යය ලෝකයේ පවතින්නෙ. ඒක සාමාන්‍යය ලෝකයේ ස්වාභාවයක්. එතකොට කාවදාවත් තමාගේ දෝසය නිවැරදි කරගන්ට බැරුව යනව.

    ඉතින් අපි අන්න ඒකෙන් ඈත්වෙලා ඒ වරද අපිට සිද්ද වෙන්ට නොදී, අපි හොඳ ට බලන්ට ඕනැ, අපි බැට කනවද? කියල. මොකෙන් ද? තමන්ගෙ හිතින්.

    නමුත් අපි බලන්නෙ මොකක් ද? අරය හිනහ වෙයි ද? බණියි ද? අරය බැණ්න ද? හිනහ වුනා ද? කියල. තමන් තමන්ගෙ හිතින් බැටකනව ද? කියල බලන්නෙ නෑ. කව්ද මට බැණ්නෙ? කව්ද මට බණින්නෙ? කව්රු මට බණී ද? මාව පිළිගයි ද? මාව ප්‍රතික්ෂේප කරයි ද? මාව ගණන් ගන්නැති වෙයි ද? මට නොසලකයි ද? මේව නේද අපේ හිත්වල තියෙන අර්බුධ. ඔය අර්බුධ තුළ නේද අපි ඉන්නෙ? ඒ ක්‍රමයට හිතල අපිට බේරෙන්ට පුළුවන් ද? කවදාවත් අපිට ඒ ක්‍රමයට හිතල ඒවයෙන් බේරෙන්ට බෑ.

    ඇයි ඒ? ඒව සීමාවක් නෑ. මට බණින කට්ටිය ඔක්කෝම මං අයින් කරල බේරෙන්නම් කියල බේරෙන්ට පුළුවන් ද? කවදාවත් බේරෙන්ට බෑ. මට නින්දා කරන කට්ටියගෙන් මම අයින්වෙලා ඈතට ගිහිල්ල මම බේරෙන්නම් කියල කවදාවත් බේරෙන්ට බෑ. ඒ විදිහට කල්පනා කරන කාටත් නිදහස් වෙන්ට පුළුවන් ද? නිදහස් වෙන්ට බෑ. ඇයි ඒක නිදහස්වෙන විදිහ නෙවෙයි.

    නිදහස් වෙන්ට කැමති කෙනා බලන්ට ඕනැ, කොහෙද මේ අර්බුධය තියෙන්නෙ කියල? එතකොට එයා තේරුම් ගන්නව, මගෙ හිත කිලිටියි කියල. මේ කිලිටි හිතෙන් මම බැටකන්නෙ. මම රාගයෙන් බැටකන කෙනෙක්, මම රාගයෙන් පීඩා විඳින කෙනෙක් කියල එයාට තේරෙනව. අපේ මූලික අර්බුධය හිතේ තියෙන්නෙ. ඒක තේරුම් ගන්න. හිත තුළ මේ කෙලෙස් නිසා බැටකන ස්වභාවයෙන් වාසය කරනව නම් අන්න ඒකෙන් නිදහස් වෙන්ට කල්පනා කරන්න.

    එයා තේරුම් ගන්ට ඕන, මම රාගයෙන් පීඩා විඳින කෙනෙක්, ද්වේශයෙන් පීඩා විඳිනව, මෝහයෙන් පීඩා විඳිනව, ඊරිසියාවෙන් පීඩා විඳිනව, මසුරුකමින් පිඩා විඳිනව, අනුන්ගෙ ඇද දැක දැක මම පීඩා විඳිනව කියල. එහෙනම් මම අවබෝධය තියෙන කෙනෙක් නෙවෙයි. අවබෝධයට මම ලංවෙලා නෑ. යමෙක් මේ කෙලෙස් ගැන දන්න ස්වභාවක් තියෙනව නම්, ඒ ස්වභාවය මම දන්නෙ නෑ. දන්නව නම් මම මේකෙන් නිදහස් නෙ, කියල තේරුම්ගන්න.

    තාමත් මගේ හිතේ ඒ කෙලෙස් පීඩා තියෙනවා කියල යමෙක් තේරුම් ගත්තොත්, එයා දන්නව මම ඉගෙන ගත යුතු කෙනෙක්, මම අසා දැනගෙන පුරුදු විය යුතු කෙනෙක් කියල. නැත්නම් මට හැමදාමත් මේ පීඩාවෙන් දුක් විඳින්ට වෙනවා කියල එයා කල්පනා කරනව. එ පමණකින් ම එයා බලවත් ම අකුසලයක් බැහැර කළා නේ ද? මොකක්ද ඒ? ආඩම්බරය. එ පමණකින් ම එයා ඒ ආකාරයෙන් කල්පනා කරන්ට පුරුදුවීමෙන් ම ඒ ආඩම්බරය අතහැරල. ඒ නිසා ඒ විදිහට තේරුම්ගන්න. අපි ලඟ තියෙන ලොකු ම දුර්වලකම තේරුම්ගන්න.

    මොකක්ද ඒ ලොකුම දුර්වලකම? රාගයෙන් පීඩා විඳිද්දීත්, ද්වේශයෙන් පීඩා විඳිද්දීත්, මෝහයෙන් ඊරිසියාවෙන්, වෛරයෙන් තරහින්, ඇද හොයන ගතිය ආදී මේ අකුසල්වලින් පීඩා විඳිද්දීත් අවබෝධ වුනා කියල හිතනව. ඒක තමයි ලොකුම දුර්වල බව අපිට ධර්මාවබෝධය වලක්වන්ට තියෙන. ඒ නිසා අන්න ඒ දුර්වල බව හඳූනගන්න. තමන් තමන් ගැන හඳූනා ගන්න. තමන් කෙලස්වලන් පීඩා විඳිනවද? නැද්ද? කියන දේ තේරුම් ගන්න.

    දැන් යම් කලෙකදී එයාට තෙරුනොත් මම කෙලෙස් වලින් පීඩා විඳිනව කියල, එයා ඒකට අකමැති වෙනව. එදාටයි එයා අකුසලය බැහැර කරන්ට ඕනැ කියල හිතන්නෙ. ඒ විදිහට කටයුතු කරන කෙනා ධර්මය පුරුදු කරනව, නොදත් දේ අසා දැනගන්නව. යම් කලෙකදී එයා දැනගන්නව දැන් මම රාගයෙන් පීඩා විඳින්නෙ නෑ. දැන් මම තරහෙන් පීඩා විඳින්නෙ නෑ. දැන් මම මෝහයෙන්, ඊරිසියාව ආදී ලාමක අකුසල් වලින් මම පීඩා විඳින කෙනෙක් නෙවෙයි කියල දැනගන්නව.

    එතකොට තමා වටට ඉන්න පිරිස නින්දා කළත් එයා තරහෙන් පීඩා විඳිනවද? නෑ. එයා නිදහස්. ඒ නිසා තමන්ගේ සිතේ ස්වභාවය ම විමසල බලන්න. එතකොට ඔබ ධර්මාවබෝධයට සුදුස්සෙක් බවට පත්වෙයි. තමාගේ හිතේ ස්වභාවය නොවිමසා අන් අයට ඇඟිල්ල දික් කරමින්, අන් අය දෙස බලමින් වාසය කරන්ට පුරුදු වුනොත්, එයා ධර්මාවබෝධයට සුදුස්සෙක් වෙන්නෙ නෑ. තමාගේ හිතේ ස්වභාවය ම විමස විමසා බලන කෙනාට නිදහස්වෙන්ට පුළුවන්.

    සියලු දෙනාටම තෙරුවන් සරණයි!


    පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.
     
    • Like
    Reactions: sanmahesh