ඉස්සර පොඩි කාලෙ මාත් නත්තල් සීයා එනකන් බලන් හිටියා. දෙසැම්බර් විසි හතර වෙනිද රෑට එයා අපේ ගෙදරටත් එයි, ඇවිත් කොට්ටෙ යට තෑගී තියල යයි කියල මායි නංගිලයි රෑට නිදියන් නැතුව පෙරවන රෙද්දෙන් මූණ වහන් බලන් හිටපු කාලයක් තිබ්බා.
උදේ නැගිටිද්දී, සමහර ගෙවල් වලට පප්පා ඇවිල්ලා තිබ්බත් අපේ ගෙදරට නම් ඔය කියපු නත්තල් පප්පා ජීවිතේට පය ගහලා නැහැ.
නත්තල් පප්පා මේ කරන අසාධාරණ වැඩේ හින්දම ඇටෙන් පොත්තෙන් එළියට එන්න කලින් පප්පාගේ රියලිටිය හෙන ගේමක් දීලා මං ම හොයාගත්තා.
කවුරු කොහොම කිව්වත් තාත්තට එහා නත්තල් පප්පෙක් නෑ කියන එකත්, අනිත් ළමයින්ව අම්මයි තාත්තයි බොරු කියල රවට්ටලා පප්පා දුන්නා කියල තමන්ම තෑගී දීලා බොරුවට රවට්ටන බවත් මම ඒ කාලෙම දැනගත්තා.
ඊට පස්සෙ ඉතින්, නිව්ටන්ගේ තුනට පස්සෙ හොයාගත්ත ලොකුම දේ හොයාගත්තා වගේ මන් හෙන පොර සීන් එකේ ඉස්කෝලේ ගිහින්, තෑගි ගෝනියක් කරේ බැඳන් සුදු රැවුලක් තියන නත්තල් පප්පා කියල පොරක් නෑය, ඔය දීපු තෑග්ගක් කොට්ටෙ යට තිබ්බේ බොලාගේ අම්ම තාත්තාය කියල කොච්චර කිව්වත් පප්පගෙන් තෑගි හම්බුන ළමයි ඒක පිළිගත්තේ නෑ.
"පිස්සුද අනේ ඔයාට, නත්තල් සීයා ජනේලෙන් පැනලා අපේ දිහාටනන් ආවා. මට කොන්ඩ බෑන්ඩ් එකක් දුන්නා. මෙයාට විකාර.." ඔන්න ඔහොමයි ළමයි කිව්වේ..
මුලදී මුලදී ඕක කොච්චර කියල දෙන්න හැදුවත් තේරුම් ගත්තේ නැති හින්දා පස්සෙ පස්සේ නත්තල් පප්පාගෙ ඇත්ත දැනගෙන නොදන්නවා වගේ ඉන්න පුරුදු වුනා.
ඒ මොනව වුනත්, ඊට පස්සේ මගෙ ජීවිතේට ආපු කිසිම පප්පෙකුටවත් පප්පියෙකුටවත් බෑග් වල තිබ්බ තෑගී පෙන්නලා මාව නම් රවට්ටන්න බැරි වුනා...
ඕකෙන් මේකෙන්, ඇහෙන් දකින ඕනම දේක නොපෙනෙන ඇත්ත ඔළුවෙන් බලන්න පොඩි කාලෙම ඉගෙන ගත්තා.
ජීවිතේ පුරා මොනදේදී වුනත්,
ෆැන්ටසියෙන් ඈත්වෙන තරමටම අපිට රියලිටිය පේන්න ගන්නවා. ජීවිතේ ඇතුලෙදි ඕක මාර ප්‍රයෝජනවත්.
හීන ලෝක වලට ළංවෙන්න ළංවෙන්න අපි යථාර්තයෙන් ඈතට යනවා. ඇත්ත පේන්නේ නැති වෙලා, බොරුව අස්සේ ජීවිතේ හොයන්න පුරුදු වෙනවා. මේක ඇත්ත නෙමෙයි කියල හදවත කොච්චර දන්නවා වුනත්, නෑ ඒක බොරුවක් නෙමෙයි වෙන්න ඇති කියල හිතල අපි කොච්චර තැන්වලදී අපේ හිත රවට්ටගන්නවා කියලද?
ෆැන්ටසියට වඩා රියලිටිය මාර තිත්ත වෙච්ච වෙලාවට, හිත හදාගන්න හරි මිනිස්සු බොරු ෆැන්ටසි අස්සට වෙලා හැංගෙනවා.
එහෙම ෆැන්ටසි අස්සේ මුළු ජීවිතේම හිර කරගෙන ඉන්න සමහර ජීවිත දැක්කම මොන තරම් දුක හිතුනත්, ඒ මිනිස්සු ඒ ෆැන්ටසි අස්සෙ විඳින සතුට දැක්කම, එදා ඉස්කෝලේ පොඩි උන් ඉස්සරහ නත්තල් පප්පාගේ කතාවේදී වගේම තාමත් නොදැක්කා නොදන්නවා වගේ ඉන්න වෙලාවල් තියනවා.
මොකද, සමහර ෆැන්ටසි මිනිස්සුන්ව ජීවත් කරවනවා. එහෙම නැත්තම් ජීවත් වෙන්න හුස්ම දෙනවා. බලාපොරොත්තුවක් එකතු කරනවා. හරියට පොඩි උන්ට නත්තල් පප්පා වගේ.
ඇත්තම කිව්වොත් සමහර මිනිස්සු ෆැන්ටසි වල ජීවත් වෙන්නේ රියලිටිය නොදන්න හින්දමත් නෙමෙයි. ඒ රියලිටි එකට වඩා ෆැන්ටසිය අස්සේ ඒ මිනිස්සු තෘප්තිමත් නිසා...
අර කිව්වා වගේ රියලිටියට එහා ෆැන්ටසිය ලස්සන වෙන තාක් මිනිස්සු රියලිටිය පිළිගන්නේ නැහැ. එක අතකට ඒක වැරදියි කියන්නත් බැහැ.
"අනෙ අප්පච්චි මං තාම ලොකු නැහැ, උදේට නැගිට්ද්දී මගෙ gift එක කොට්ටෙ යට තියන්න හොඳේ.." කියල එයාම කියල ගිහින් ඒ තෑග්ග දැකල හරියට පුදුම වෙලා සතුටෙන් දඟලන කවදාවත් ලොකු වෙන්නැති කෙල්ලෙක් මගෙ ගෙදරත් ඉන්නවා, ඇත්ත දැනගෙන හරි ෆැන්ටසියක ජීවත් වීමේ ආනන්දය එයාට හිතේ හැටියට විඳින්න දීලා අපි දෙන්නා බලන් ඉන්නවා.
අපි කොහොම කිව්වත් යථාර්තය කියන තිත්ත ඇත්ත අස්සේ තියන බර හැමෝටම දරාගන්න බැහැ.
අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මෙච්චරයි, මිනිස්සුන්ට ගැටළු එන්න එන්න ජීවිතේ තේරෙන්න තේරෙන්න මිනිස්සු ෆැන්ටසියෙන් ටික ටික ඈත්වෙනවා. රියලිටිය අස්සේ දුක වැඩි වෙන්න වෙන්න රියලිටියෙන් ඈත්වෙනවා .
අන්තිමට, තමන්ට ලේසි තමන්ට පහසු තමන් ආස තැන නවතිනවා.
ෆැන්ටසිය රියලිටිය මේ දෙකෙන් මොකක් අස්සේ උනත් ඔබ ඉන්නේ සතුටෙන් නම් වෙන්න ඕනේ එච්චරයි. කොහොම හරි මිනිස්සු සතුටෙන් ඉන්න ඕනේ, එච්චරයි.
- අනීශා ජයකොඩි -