නමෝ බුද්ධාය...

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
පංච නීවරණ හා එහි ස්වභාවය


පංච නීවරණ ධර්මයන් අතර පළමු වැන්න පංච කාම ලෝකය කෙරෙහි පවතින කැමැත්ත හෙවත් ආශාවයි. මෙය කාමච්ඡන්ද ,අභිජ්ඣා , කාමරාග යනුවෙන් පරියාය පද කීපයකින්ම දැක්වේ. ඉන්ද්‍රියානුබද්ධ පි‍්‍රය ජනක අරමුණු කෙරෙහි ඇතිකරගන්නා වූ දැඩි ඇල්ම හා කැමැත්ත කාමච්ඡන්දයයි. පංච ඉන්ද්‍රියන්ගෙන් ගලා එන අරමුණු සම්බන්ධයෙන් පුද්ගලයා දෙයාකාරයකින් ප්‍රතිචාර දක්වයි.

කාමච්ඡන්ද

පංච නීවරණ ධර්මයන් අතර පළමු වැන්න පංච කාම ලෝකය කෙරෙහි පවතින කැමැත්ත හෙවත් ආශාවයි. මෙය කාමච්ඡන්ද ,අභිජ්ඣා , කාමරාග යනුවෙන් පරියාය පද කීපයකින්ම දැක්වේ. ඉන්ද්‍රියානුබද්ධ පි‍්‍රය ජනක අරමුණු කෙරෙහි ඇතිකරගන්නා වූ දැඩි ඇල්ම හා කැමැත්ත කාමච්ඡන්දයයි. පංච ඉන්ද්‍රියන්ගෙන් ගලා එන අරමුණු සම්බන්ධයෙන් පුද්ගලයා දෙයාකාරයකින් ප්‍රතිචාර දක්වයි. අරමුණ දැඩිලෙස වැළඳ ගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීමයි. අරමුණු සම්බන්ධයෙන් ඇතිකර ගන්නා වූ සුබවාදී ආකල්පය හේතුවෙන් ඒ පිළිබඳ සතුටු වෙයි. (නන්දති) වඩාත් සතුටු වෙයි. (අභිනන්දති) ඒ පිළිබද දිගින් දිගට කථා කරයි. (අභිවදති) අවසානයේදී එහි දැඩි ලෙස බැස ගනී. (අජෙඣාසාය තිට්ඨති) මෙම ආකල්පය කාමච්ඡන්දය පිණිස හේතුවේ. ඉන්ද්‍රිය හා අරමුණ පිළිබඳ යථා ස්වභාවය දකින තෙක් මෙම තත්ත්වය ක්‍රියාත්මක වේ.
ව්‍යාපාද

අසතුටුදායක හා ප්‍රතිවිරුද්ධ අරමුණු සම්බන්ධයෙන් ඇතිකරගන්නා වූ ගැටීම ව්‍යාපාදයයි. ව්‍යාපාදය පුද්ගල සන්තානය අපිරිසුදු කරන අතර මනසේ යහපත් ක්‍රියාකාරිත්වයට බාධා පමුණුවයි. ත්‍රිවිධ අකුශල මූල අතරින් ව්‍යාපාදය වනාහි ද්වේෂය හා සම්බන්ධ අකුශල ධර්මයකි. එය මෛත්‍රි චින්තාවට ප්‍රතිවිරුද්ධ වූවකි. එසේම එය මනසින් සිදුවෙන අකුශල කර්මයක් ලෙස දැක්වේ. කිසියම් පුද්ගලයෙක් තවත් අයෙකු සමග වෛරය ඇති කර ගන්නේ ”මට අනර්ථයක් කළේය. අනර්ථයක් කරයි. අනාගතයේ අනර්ථයක් කරන්නේය. මගේ හිතවතාට අනර්ථයක් කළේය.අනර්ථයක් කරයි. අනර්ථයක් කරන්නේය. මගේ විරුද්ධවාදියාට යහපතක් කළේය. යහපතක් කරයි. යහපතක් කරන්නේය” යනුවෙන් කාලත්‍රයවරතීව කල්පනා කිරීමෙන්ය.
මෙයට අමතරව විශේෂ හේතුවක් නොමැතිව අස්ථානයේ වෛරය ඇතිකරගන්නා අවස්ථාද තිබේ. (අට්ඨානෙවා පන ආඝාතො ජායති) පුද්ගල සන්තානයේ ඇතිවෙන වෛරය හා කෝපය අභ්‍යන්තර චිත්ත සමාධියට බාධකවනවා පමණක් නොව එහි බිහිසුණු අපරාධ සඳහා පුද්ගලයා පොළොඹවන අකුශල සහගත චිත්ත වේගයකි.
ථීනමිද්ධ

ථීන හා මිද්ධ දෙකක් වුවද නීවරණ යටතේ එය එක් ධර්මයක් වශයෙන් ඉදිරිපත් කෙරේ. ථීන යන්නෙන් මානසික අකර්මණ්‍ය බවත් මිද්ධ යන්නෙන් කායික අකර්මණ්‍ය බවත් අදහස් කෙරේ. භදන්ත බුද්ධඝෝස හිමියෝ ථීන යන්නෙන් සිතෙහි ගිලන් බවත් (චිත්ත ගේලඤ්ඤං) මිද්ධ යන්නෙන් චෛතසික ධර්මයන්ගෙන් ගිලන් බවත් අදහස් කරති. (චේතසික ගෙලඤ්ඤං) මෙම නීවරණය කායික හා මානසික වශයෙන් දෙඅංශයකින් පුද්ගලයාට බලපායි. මෙහි මූලික ලක්ෂණය වන්නේ කුශලය වැඩීම කෙරෙහි අප උදාසීන බවට පත්කිරීම පමණක් නොව එදිනෙදා ජීවිතය හා සම්බන්ධ සිදුවීම් සම්බන්ධයෙන්ද අපගේ මානසික අවධානය හා කායික උනන්දුව නැතිකර දැමීමයි.
උද්ධච්ච – කුක්කුච්ච

උද්ධච්ච යනු මානසික නොසන්සුන් බව හා වික්ෂිප්ත බවයි. කුක්කුච්ච යන්නෙන් පසුතැවිල්ල අදහස් කෙරේ. උද්ධච්ච යන්නෙන් සිතේ පවතින චංචල බව මෙන්ම නොපැහැදිලි ස්වරූපය අදහස්වේ. සුළඟ හැමීමෙන් නිතර චලනය වන දිය බඳුනක් මෙන් අරමුණ මගින් සිත නිතර චලනය වීම සිදුවේ. කළ නොකළ දෑ සම්බන්ධයෙන් ඇතිකරගන්නා වූ පසුතැවිල්ල වන කුක්කුච්ච ඇතැම් විටෙක මානසික රෝග සඳහාද හේතුවිය හැකිය. කුක්කුච්චයේ මූලික ස්වභාවය වන්නේ සිත ආපස්සට අදින ලක්ෂණයයි. සියදිවි නසා ගැනීමෙහිලා කෙනෙකු යොමුවන්නේ ද මෙහි බලපෑම හේතුවෙන් විය හැකිය.
විචිකිච්ඡා

විචිකිච්ඡා යනු සැකයයි. එය අටතැන් සැකය වශයෙන් ධර්මයෙහි විශේෂ කොට දක්වා තිබේ. සැකය එක්තරා ප්‍රමාණයකට දැනුම සඳහා උපයෝගී වන්නක් වුවද දිගින් දිගට පවතින පදනම් රහිත සැකය නීවරණයකි. විමුක්තිය සම්බන්ධයෙන් මාර්ගය හා ප්‍රතිපදාව පිළිබඳ පවතින සැකය ප්‍රඥාවේ උදාවට බාධකයකි. ධර්මය හෝ විමුක්තිය සම්බන්ධයෙන් නොව සාමාන්‍ය මට්ටමේ සිදුවීම්,දේවල් හා පුද්ගලයන් පිළිබඳ පවතින අසාමාන්‍ය සැකය එක් අතකින් මානසික රෝගයකි.

නීවරණ ධර්මයන්ගේ ස්වභාවය
පංච නීවරණ පිළිබඳ පොදු නිර්වචනය වන්නේ ඒවා චිත්ත උපක්කිලෙස හා ප්‍රඥාව දුර්වල කෙරෙන මානසික ස්වභාව ලෙස දැක්වීමයි. විසිතුරු උපමා භාවිතා කෙරෙමින් ඒවායෙහි ස්වභාවය පැහැදිලි කෙරෙන විග්‍රහයක් අංගුත්තර නිකායේ සංගාරව සූත්‍රයෙහි ඇතුළත් වේ. සංගාරව නම් බ්‍රාහ්මණයෙකු බුදුරජාණන් වහන්සේගෙන් විමසන්නේ දිගුකලක් තිස්සේ කටපාඩම් කරගත් මන්ත්‍ර පාඨ මතකයේ රඳවා ගැනීමට නොහැකි වීමට හේතුව කවරේද යන්නයි. එයට පිළිතුරු දෙමින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පංච නීවරණ මගින් ආවරණය වූ සිතක දිගුකලක් තිස්සේ කටපාඩම් කළ මන්ත්‍ර පාඨ වුව මතකයේ නොරැදෙන බවයි.අනතුරුව උන්වහන්සේ විසිතුරු උපමා මගින් නීවරණ ධර්මයන්ගේ ක්‍රියාකාරිත්වය පැහැදිලි කරති. පිරිසුදු ජල බඳුනක් බැහැරින් එන විවිධ දේ හේතුවෙන් අපිරිසුදු වන්නාසේ සිතද බැහැරින් එන අයහපත් අරමුණු මගින් කිලිටි වේ. මෙම සූත්‍රයෙහි කාමච්ඡන්දය විවිධ වර්ණයන්ගෙන් වර්ණවත්වූ ජලබඳුනකට උපමා කෙරේ. ප්‍රකෘතියෙන් පැහැපත් ජලය විවිධ වර්ණ හා මිශ්‍ර වීමෙන් එහි ස්වාභාවික පවිත්‍රත්වය අහෝසි වේ. ව්‍යාපාද සිත ගින්නෙන් රත් වූ බුබුළු දමන දිය බඳුනකට උපමා කෙරේ. ථීන හා මිද්ධ දියසෙවෙලින් පිරි දිය බඳුනකට සමාන කෙරේ. සුළගින් කැළඹුණු දිය බදුනකට උද්ධච්ච හා කුක්කුච්ච සිත සමාන කෙරේ. අදුරු තැනක තිබෙන මඩ සහිත ජල බඳුනකට විචිකිච්ඡාව උපමා කෙරේ. මෙම උපමා මගින් නීවරණ ධර්මයන්ගේ යථා ස්වභාවය හඳුනාගත හැකිවේ.මෙකී ලක්ෂණ සහිත දිය බඳුනකින් කෙනෙකුගේ ප්‍රතිබිම්බය මැනවින් දැකිය නොහැකිය. එමෙන්ම නීවරණ ධර්මයන්ගෙන් ආවරණය වූ සිතකට ආත්මාර්ථය හා පරාර්ථය මෙන්ම උභයාර්ථය දැකිය නොහැකිය.සංඝාරව බමුණා හා බුදුරජාණන් වහන්සේ අතර ඇතිවෙන නීවරණ පිළිබඳ මෙම සාකච්ඡාව චිත්ත සමාධියට බාධක වන මානසික දුර්වලතා හඳුනා ගැනීමට පමණක් නොව අධ්‍යාපනයෙහි නියුක්ත සැම කෙනෙකුටම තම අධ්‍යයන කටයුතු කෙරෙහි පූර්ණ අවධානය යොමුකළ නොහැකි වන්නේ සන්තානගත නීවරණ ධර්මයන්ගේ බලපෑම හේතුවෙන් බව වටහාගත හැකිය. ඒ අනුව පංච නීවරණ චිත්ත සමාධියට බාධකවන අකුසල සහගත මානසික දුර්වලතා පමණක් නොව දෛනික කටයුතුවලදී පුද්ගලයා අපහසුතාවයට පත්කරන මානසික දුර්වලතා ලෙසද හඳුනාගත හැකි වේ.
 

NUHIRU

Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    මම මෙම ත්‍රෙඩ් එක කරන්නේ ධර්මය නොදන්නා අයට දැන ගැනීම පිණිසයි.
    එම නිසා මගේ අතින් යම්කිසි වැරදි කරුණක් පල වුවහොත් එය ලොකු වැරද්දක් නිසා යම් කිසි වැරදි කරුණක් දුටුවා හොත් වහාම මට දැනුම් දෙන්න.
    ඔබ සැමට තෙරුවන් සරණයි !

    :yes::yes::yes:

    තෙරුවන් සරණයි !!
    සැබෑ වෙනසක්
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    කාමච්ඡන්දය
    පංච නීවරණයන්ගෙන් කාමච්ඡන්දය පිළිබඳ සරල පැහැදිලි කිරීමකි මේ.

    ඇසින්, කනින්, නාසයෙන්, දිවෙන්, කයෙන් සහ සිතෙන් කියන මේ ඉන්ද්‍රිය ධර්ම හයෙන් අපි අහන්න, දකින්න, ස්පර්ශ කරන්න, දැනගන්නට කැමති වෙන දේට කියනවා කාම කියලා. දකින්නට කැමති රූපය රූප කාමයයි. අසන්නට කැමති ශබ්දය ශබ්ද කාමයයි. ආඝ්‍රාණය කරන්නට කැමති ගන්ධය ගන්ධ කාමයයි. මේ ආදි වශයෙන් ෂඩේන්ද්‍රියන්ගෙන්ම යමක් කැමති වෙනවාද එය කාමයයි. මේ කැමති වෙන්නා වූ දේ සඳහා ඇත්තා වූ ඇල්ම, ඕනෑකම, කැමත්ත හෝ ඒ කෙරෙහි නැඹුරුවට කියනවා කාමච්ඡන්දයයි කියලා. මේ කාමච්ඡන්දය කියන වචනය ගත්තාම ලෝභය තණ්හාව ආශාව ආදරය සෙනෙහස ඇල්ම කෑදරකම ඕනෑකම කැමැත්ත. මේ සියලුම වචනවලින් යම් බැඳීමක් පිළිබඳව කියනව නම් ඒ වචනවලින් කියවෙන ලෝභ මූලික සිත් සියල්ලම මේ කාමච්ඡන්දයයි කියන වචනයට ගැනෙනවා. ඒ නිසා අපි පඤ්චේන්ද්‍රියන්ගෙන් ඇතුළට ගන්නා වූ යම් දේකට දැඩිව ඇලෙනවද එතන තියෙන්නෙ කාමච්ඡන්දයයි.
    මේ කාමච්ඡන්දය අපේ සිතෙහි මතු වන ආකාර විවිධයි. කෙනෙකුට කාමච්ඡන්දය ඇති වන වස්තුව හෝ පුද්ගලයා කෙරෙහි තව කෙනෙකුට කාමච්ඡන්දය ඇති නොවෙන්නට පුළුවන්. ඒ නිසා ලෝකයේ හැම දෙයක් ගැනම හැම කෙනෙකුටම කාමච්ඡන්දය ඇති වන්නේ නැහැ. එක් එක් පුද්ගලයාගේ තරාතිරම අනුව, ජීවත් වන පරිසරය අනුව, මානසික මට්ටම අනුව මේ කාමච්ඡන්දය වෙනස් වෙනවා. ගිහියාට ඇති වන කාමච්ඡන්දයට වඩා වෙනස් පැවිද්දාට ඇති වන කාමච්ඡන්දය. පැවිද්දන් අතරිනුත් ආරණ්‍යවාසී පැවිද්දන්ට ඇති වන කාමච්ඡන්දයට වඩා වෙනස් පන්සල්වල ඉන්න භික්‍ෂූන්ට ඇති වන කාමච්ඡන්දය. ඊට වඩා වෙනස් වෙනත් වෙනත් තැන් ඇසුරු කරගෙන ඉන්නා වූ භික්‍ෂූන්ට ඇති වන කාමච්ඡන්දය.
    ගිහියන් අතරිනුත් දුප්පතුන්ට ඇති වන කාමච්ඡන්දයට වඩා වෙනස් පොහොසතුන්ට ඇති වන කාමච්ඡන්දය. මේ ආදි වශයෙන් පුද්ගලයන්ගේ විවිධත්වය අනුව මේ කාමච්ඡන්දය වෙනස් වෙනවා; විවිධ වෙනවා. එහෙත් මේ ලෝකයේ තියෙන අජීව සජීව සෑම දෙයක්ම යම්කිසි කෙනෙක් කැමති වන්නා වූ දෙයක්. ඒ නිසා මේ ලෝකයේ දර්ශනය වන ශ්‍රවණය වන දැනෙන ස්පර්ශ වන මේ සියල්ලක්ම කාම වස්තූන් හැටියටයි බුදු රජාණන් වහන්සේ දේ්ශනා කළේ. මේ කවර හෝ කාම වස්තුවක් සම්බන්ධ අපේ සිතේ ඇල්මක් බැඳීමක් කැමැත්තක් උපදිනවා නම් එය කාමච්ඡන්දයයි. මේ කාමච්ඡන්දය උපදින කොට එයින් අපේ සිත කොයි තරම් කෙලෙසෙනවාද කියන බවයි බුදුහාමුදුරුවො මේ දේශනාවෙන් පැහැදිලි කරන්නේ.
    එය නීවරණයක් වෙනවා. එය ආවරණයක් වෙනවා. එයින් නිවන් මග සම්පූර්ණයෙන් අහුරනවා. නිවන සඳහා භාවනා කරන ගුණදහම් වඩන හැමදෙනාටම මේ නීවරණ ධර්මයන් බාධාවක්. යෝගාවචරයන්ට අතිශයින්ම බාධාවක්. නිවන් මග යම්තාක් දුරකට හෝ ගියා වූ අය නැවත නැවතත් නිවන් මගින් ආපසු හරවනවා. නැවතත් සසර නමැති මඩගොඩට ඇද-දමනවා. නිවන ආසන්නයටම ගියා වූ අයටත් බාධා කරනවා. මේ අයුරින් නිවන් මග අහුරන නිසයි ඒවට ‘නීවරණ’ කියන නම භාවිතා කරලා තියෙන්නේ.
    මේ කාමච්ඡන්දය කියන නීවරණය මම දීර්ඝව විස්තර කරන්නට යන්නේ නෑ. අපි හැම කෙනෙකුටම ඒ පිළිබඳව බොහෝ අත්දැකීම් තියනවා. භාවනාවට යොමු වුණා වූ සැදැහැවත් භික්‍ෂු-භික්‍ෂුණී උපාසක-උපාසිකා කියන මේ සිව් පිරිසෙන් යම් කෙනෙක් නිවන් අරමුණු කරගෙන බණ භාවනා කිරීම් ආදි ප්‍රතිපත්ති මගට යොමු වෙනවාද, ඒ අයට ඉතා සියුම් ආකාරයෙන්, වංචනික අකාරයෙන් මේ කාමච්ඡන්දයෙන් හානි පමුණුවනවා. අපේ රේරුකානේ චන්දවිමල මහ නායක හාමුදුරුවන්ගේ ‘වංචක ධර්ම හා චිත්තෝපක්ලේ්ශ ධර්ම’ කියන පොතේ පැහැදිලි කරනවා මේ කාමච්ඡන්දය හෙවත් ලෝභය, රාගය මොන මොන මුහුණුවරින්ද මතු වෙලා නිවන් මගට බාධා කරන්නේ කියලා.
    එයින් ගෝචාවචරයන්ට, ප්‍රතිපත්ති පුරන අයට ඇති වන ප්‍රබල බාධාවක් තමයි කුසලච්ඡන්දයේ ආකාරයෙන් මේ කාමච්ඡන්දය ඇති වීම. කුසලච්ඡන්දයයි කියන්නේ පින්දහම් කරන්නට ඇති කැමැත්ත. ඒ කොහොමද? යම් යම් වස්තූන්ට යම් යම් පුද්ගලයන්ට කැමති වන මනසක් ඇති තැනැත්තා ඒ කාමච්ඡන්දය යට කරන්නට, බැහැර කරන්නට, භාවනා කරන කොට ඒ භාවනාව නවත්වල හොඳ හොඳ විහාර ආරාම හදන්නට, ඒ වගේම ඉතා ලස්සන බඩු- මුට්ටු පූජා කරන්නට, හොඳ පන්සල් ගොඩනගන්නට, හොඳ ආවාස හදලා පූජා කරන්නට, විචිත්‍ර වූ බුද්ධ පූජා පවත්වන්නට, වන්දනා ගමන් යන්නට, චෛත්‍ය බලන්න යන්නට, දුර බැහැර සිද්ධස්ථාන නරඹන්නට යන්නට, මේ ආදි විවිධාකාරයෙන් සිතට මතු වෙනවා අහවල් අහවල් පින්කම් කළොත් නම් හොඳයි කියලා. එතනදී මේ නැවත නැවතත් පැමිණෙන්නේ සසරට ඇද-දාන කාමයම නේද කියන බව අපේ සිතට වැටහෙන්නේ නෑ.
    බුදු රුවක් කියන්නෙත් කාම වස්තුවක්. එයට අපි ඇලුම් කරනවා. එයට අපි පි‍්‍රය කරනවා. ඒ නිසා බුද්ධ රූපයක් කියන්නෙත් කාම වස්තුවක්. බෝධියක් කියන්නෙත් කාම වස්තුවක්. චෛත්‍යයක් කියන්නෙත් කාම වස්තුවක්. සිවුරු පිරිකර කියන්නෙත් කාම වස්තූන්. මේ සියල්ලක්ම සසර පැවැත්ම සඳහා හේතු වෙන්න පුළුවන්. එතකොට යම් දර්ශනයක් නරඹන්නට, මේ යම් තැනකට යන්නට, යමක් ඒ ආකාරයෙන් දැකලා තෘප්තියක් ලබන්නට අපේ සිතේ කැමැත්තක් ඇති වෙනවා නම් ඒ කාමච්ඡන්දයම තවත් ආකාරයකින් මතු වීමක්. වරදවා තේරුම් ගන්නට එපා, මෙයින් මම කියන්නේ පින්කම් කරන්න එපා, වන්දනා ගමන් යන්න එපා කියන කතාවක් නෙමෙයි.
    මේ කාමච්ඡන්දය ඉතා සියුම් ආකාරයෙන් භාවනා කරන පුද්ගලයාගේ සිතේ මතු වන කොට ඒ තැනැත්තා තමන්ට නොදැනීම අර වගේ වැඩ කටයුතුවලට පෙලඹෙන්නට පටන් ගන්නවා. ඊට පසුව භාවනාව කිරීම සම්පූර්ණයෙන් නවතිනවා. බාහිර පින් දහම් කරනවා. ඒවායේ විපාක වශයෙන් දිව්‍ය මනුෂ්‍ය ආදි සම්පත් විඳිමින් සසර බොහෝ කාලයක් භවයෙන් භවයට යනවා. නිවන් මග ඇහිරිලා යනවා. ඒ කාමච්ඡන්දය එක් ආකාරයකින් වංචනිකව අපේ මනස දූෂණය කරලා විනාශ කරලා සසරට ඇද-දමන ආකාරයයි.
    ඒ වගේම තවත් සමහර වෙලාවට - විශේෂයෙන්ම භික්‍ෂූන් වහන්සේලාට – ගිහියන්ටත් ඒක සාධාරණයි, මේ කාමච්ඡන්දය හානි කරන තවත් ක්‍රමයක් තමයි අන් අයට උපකාර කිරීම් වශයෙන්. තමන් යම් දහමක් දැනගත්තාම තමන් යම් භාවනාවක් ඉගෙනගත්තාම අනෙක් මිනිසුන්ටත් මේක කියා දෙන්නට ඕන. බොහෝ දෙනාට මේ බව කියන්න ඕන. රූපවාහිනී මාර්ගයෙන් ඒක කියා දුන්නොත් බොහෝ දෙනාට ප්‍රයෝජනයක් සලසන්න පුළුවන්.
    ගුවන්විදුලිය මගින් ගියා දුන්නොත් තව බොහෝ දෙනාට ප්‍රයෝජනයක් සලසන්න පුළුවන්. පුවත්පත් මාර්ගයෙන් මේ ධර්මය ප්‍රචාරය කළොත්, විදේශගත වෙලා ධර්ම ප්‍රචාරය කළොත් තවත් පුළුවන්. මේ විදිහේ නා නා විධ අදහස් මතු වෙලා ඔවුන් මහජනයා හමුවට ගිහින් මහජනයා විසින් පිරිවරාගෙන කලක් යනකොට මහජනයා විසින්ම මෙහෙයවන පිරිසක් බවට පත් වෙනවා. ඉතා සුළු කාලයකදී තමන් කළා වූ භාවනා කටයුතු සියල්ලකගෙන්ම පිරිහිලා නිවන් මගින් ඈත් වෙලා මහජනයා අතර මහජනයාට මග පෙන්වන එක්තරා ප්‍රධානියෙක් බවට පත් වෙනවා. තවත් කලක් යනකොට මහජනයාගේ අවලාදවලට ලක් වෙන මහජනයාගේ විවේචනවලට ලක් වන මහජනයාගේ අප්‍රසාදයට ලක් වන තවත් එක් භික්‍ෂුවක් හෝ උපාසකයෙක් පමණක් බවට පත් වෙනවා.
    කල්පනා කරලා බලන්න මෑත ඉතිහාසයේ අපේ රටේ ශීඝ්‍රයෙන් ජනප්‍රසාදයට පත් වුණ භික්‍ෂූන් වහන්සේලාට අද මොකද වෙලා තියෙන්නේ? මේ ස්වභාවය අපි තේරුම් නොගත්තොත් අපි කාටත් ඒ දේ වෙන්නට පුළුවන්. භික්‍ෂූන්ට පමණක් නෙමෙයි, උපාසක-උපාසිකා හැම දෙනාටම මේ තත්ත්වය සාධාරණයි. මෙයින් මම අදහස් කරන්නේ තමා දැනගත් දේ අනිත් අයට කියා දෙන්නට එපා කියන එකක් නෙමෙයි. ඒ කියා දීමේ ස්වරූපයෙන් කුමක්ද මේ මතු වෙලා එන්නේ කියන බව නැවත නැවත අපි නුවණින් කල්පනා කරන්නට ඕන. ඒ විදියෙන් කල්පනා නොකළොත් සියුම් ආකාරයෙන් කාමච්ඡන්දයට යට වෙලා අපිව විනාශ වෙනවා.
    තව සමරුන්ට මේ කාමච්ඡන්දය භාවනා කරගෙන යන කොට ඇති වෙනවා නොලැබූ ධ්‍යාන මාර්ගඵලාදිය අරමුණු කරගෙන. දැන් මගේ මනස බොහෝම සමාධිගත වෙනවා, තව ටික කාලයකින් මට සෝවාන් වෙන්න පුළුවන්, මට තව ටික කාලයකින් සකෘදාගාමී වෙන්න පුළුවන්, තව ටික කාලයකින් රහත් වෙන්න පුළුවන්, තව ටික කාලයකින් ප්‍රථමධ්‍යානය උපදවන්නට පුළුවන්. මේ ආදි වශයෙන් තමන් නොලැබූ, ආගතයේදී ලැබේවි කියලා බලාපොරොත්තු වන ධ්‍යාන මාර්ග ඵල ආදිය පිළිබඳව සියුම් කැමැත්තක්, සියුම් ඇල්මක් භාවනා කරන තැනැත්තා තුළ ඇති වෙනවා. මේ ඇති වෙන්නා වූ ඇල්ම භාවනා කරන්න වාඩි වෙන මොහොතක් මොහොතක් පාසා නැවත නැවත මතු වෙලා ඒ තැනැත්තාගේ සිත අතිශයින් වික්‍ෂිප්ත කරලා මූලික අරමුණෙන් බැහැර කරනවා. බොහෝ වේලාවක් උත්සාහ කළත් සිත එකඟ කරගන්න බැරි වෙනවා. වෙනමම මනෝමය ලෝකයක තමන්ගේ සිත රඳවාගෙන අනාගතයේ ලබන්නා වූ ධ්‍යාන මාර්ගඵල ආදිය පිළිබඳව කල්පනා කරමින් ඉඳලා ටික වේලාවකින් නැගිටින්නට සිද්ධ වෙනවා.
    මේ විදිහේ නොයෙක් ක්‍රමවලින් වංචා කරමින් අපේ සිත මැඬගෙන නැවත නැවතත් භාවනා මාර්ගයෙන් ඉවත් කරලා, ප්‍රතිපත්ති මාර්ගයෙන් ඉවත් කරලා සසරට ඇද-දමන්නා වූ මේ කාමච්ඡන්දය නමැති ධර්මතාවක් අපේ සිත්සතන් වසාගෙන පවතිනවා. එය නිවන් මගට මහත් වූ බාධාවක් කියන බව බුදුහාමුදුරුවො දේශනා කළා.
    ඊළඟට මේ කාමච්ඡන්දය නැති කරන්නට නම් එය ඇති වීමේ හේතුවත් අපි තේරුම් ගන්නට ඕන. කුමක්ද මේ කාමච්ඡන්දය ඇති වීමේ හේතුව? බුදුහාමුදුරුවො දේශනා කරනවා “මහණෙනි, මේ ලෝකයේ ශුභ නිමිති තියනවා.” කුමක්ද ශුභ නිමිත්ත කියන්නෙ? එක් එක් පුද්ගලයා හොඳයි කියන දේ, ලස්සනයි කියලා හිතන දේ, ශුභයි කියලා හිතන දේ තමයි මෙතන ශුභ නිමිත්ත කියන්නෙ. පරමාර්ථ වශයෙන් නම් ශුභයයි ගත යුතු දෙයක් නෑ. නමුත් පුරුෂයා හිතනවා කාන්තාව ශුභ දර්ශනයක් කියලා.
    කාන්තාව හිතනවා පුරුෂයා ශුභ දර්ශනයක් කියලා. මේ ආදි වශයෙන් ලෝකයේ අවිඥානක සවිඥානක බොහෝ දේ ශුභ වශයෙන් අපි හිතාගන්නවා. මෙසේ හිතාගෙන ශුභ සඥාවෙන් ගන්නා වූ අරමුණු පිළිබඳ නුවණින් තොරව කල්පනා කරනවා, ප්‍රඥාවෙන් තොරව කල්පනා කරනවා. කොහොමද ප්‍රඥාවෙන් තොරව කල්පනා කරනවා කියන්නේ? පුද්ගලයන් වශයෙන්, සත්ත්වයන් වශයෙන්, මමත්වයෙන් කල්පනා කරනවා. ඊයේ හිටියෙත් මේ කාන්තාවයි, අද ඉන්නෙත් මේ කාන්තාවයි, හෙටත් මේ කාන්තාවයි. මේ විදිහෙන් පුද්ගලයෙක් වශයෙන් ගන්නවා. ධර්මානුකූලව බලනකොට මොහොතක් පාසා බිඳී-බිඳී යන නාම රූප සමූහයක් පමණයි මේ තුළ පවතින්නේ. ඒත් ඒ විදියට නුවණින් දකින්නේ නැතිව, මේ කාන්තාව මේ පුරුෂයා මේ කෙස්ටික මේ ඇස් දෙක ආදි වශයෙන් ශරීරාංග වශයෙන් බලමින් ඒවාට ඇලුම් කරනවා. ඊයේ හිටියෙත් ඇයයි. අද ඉන්නෙත් ඇයයි. ඊයේ හිටියෙත් මොහුයි. අද ඉන්නෙත් මොහුයි. මේ ආදි වශයෙන් ආත්ම සංඥාවෙන් අරගෙන, පුද්ගල සංඥාවෙන් අරගෙන, සත්ත්ව සංඥාවෙන් අරගෙන අපේ මනසේ අයෝනිසෝ මනසිකාරය පවත්වනවා.
    මෙසේ නුවණින් තොරව කල්පනා කිරීම, ප්‍රඥාවෙන් තොරව කල්පනා කිරීම, හේතුඵල ධර්මයන්ගෙන් පරිබාහිරව කල්පනා කිරීම තමයි අයෝනිසෝ මනසිකාරය. මේ විදිහට අපි හොඳයි කියලා හිතන දර්ශනය හෝ ශ්‍රවණය හෝ කුමක් හෝ ඒ කාම වස්තුව පිළිබඳව නැවත නැවත නුවණින් තොරව කල්පනා කරන්නා වූ පුද්ගලයා තුළ නූපන් කාමච්ඡන්දය උපදිනවා; උපන්නා වූ කාමච්ඡන්දය නැවත නැවත වැඩෙනවා, වර්ධනය වෙනවා, බහුල වෙනවා. වරක් අපේ හිතේ යමක් පිළිබඳව කාමච්ඡන්දයක් ඇති වුණා නම් ඒ ඇති වූ සිතුවිල්ල ම නැවත නැවත කාමච්ඡන්දය උපදවන්නා වූ හේතුවක් වෙනවා. ඒ හේතුව නිසා නැවත නැවත ඒ කාමච්ඡන්දයට අරමුණු වූ වස්තුව කෙරෙහි මනස යොමු වෙනවා.
    ඒ ගැන නැවත නැවත අපි හිතන්නට පටන් ගන්නවා. හිතන-හිතන වාරයක් පාසා නැවත-නැවත කාමච්ඡන්දය ඇති වෙනවා. මං පෙර දිනෙක අකුසල සමාපත්ති සූත්‍රයේ විස්තර කරලා දුන්නා නැවත නැවත අකුසල සමාපත්තියට සම වදින හැටි. අකුසල භාවනාව සිද්ධ වෙන හැටි. අන්න ඒ විදිහට ඒ කාමච්ඡන්දයට අරමුණු වූ අරමුණ හෝ නැවත නැවතත් සිහිපත් කරමින් අපේ මනස ඒ කාමච්ඡන්දයේම බහුල කොට පවතිනවා. ඒ නිසා බුදුහාමුදුරුවො දේශනා කරනවා, මහණෙනි මේ ලෝකයේ ශුභ නිමිති තියෙනවා, මනුෂ්‍යයෝ ශුභ වශයෙන් ගන්න සංඥාවන් තියෙනවා. ඒ ශුභ සංඥාව, ශුභ නිමිත්ත නුවණින් තොරව නැවත නැවත කල්පනා කිරීම නිසා තමයි මේ කාමච්ඡන්දය හට ගන්නෙ කියලා.
    එහෙම නම් කොහොමද මේ කාමච්ඡන්දය නැති කරන්නට පුළුවන් වෙන්නෙ? කොහොමද ප්‍රහාණය කරන්නට, දුරු කරන්නට පුළුවන් වෙන්නෙ? “මහණෙනි අශුභ නිමිත්තක් තියෙනවා.” කුමක්ද අශුභ නිමිත්ත? උද්ධුමාතක, විනීලක, විපුබ්බක... මේ ආදි වශයෙන් දශ අශුභයක් දේශනා කරනවා සතිපට්ඨාන සූත්‍රයෙ. මේ දශ අශුභය හෝ “කේශා ලෝමා නඛා...” ආදි වශයෙන් කුණප කොටස් හෝ මේ කවර ආකාර හෝ අශුභයක් අපේ මනසට මතු කරගෙන මේ අශුභය පිළිබඳව, මේ අශුභ දර්ශනය පිළිබඳව, මේ අශුභ නිමිත්ත පිළිබඳව නැවත නැවත නුවණින් කල්පනා කරනවා නම්; මේ සත්ත්වයෙක් නොවේ, මේ පුද්ගලයෙක් නොවේ මේ කෙස් මේ ආකාරයෙන් පිළිකුල්, මේ දත් ටික මේ ආකාරයෙන් පිළිකුල්, මේ මාංසය මේ ලෙය, මේ ආකාරයෙන් පිළිකුල්, මරණයට පත් වුණාම මෙතරම් පිළිකුල්... මේ ආදි වශයෙන් රාග වශයෙන් නොගෙන, ඇලුම් නොකර එහි තිබෙන අශුභත්වය නැවත නැවත මනසට නගාගනිමින් යම් කිසි කෙනෙක් අශුභ නිමිත්ත පිළිබඳව නුවණින් කල්පනා කරනවා නම්, මනස හුරු කරනවා නම් ඒ තැනැත්තාට නූපන්නා වූ කාමච්ඡන්දය නූපදී පවතිනවා; උපන්නා වූ කාමච්ඡන්දය ප්‍රහාණය වෙනවා; විපුල බවට මහත් බවට බහුල බවට පත් වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවො දේශනා කරනවා.
    කාමච්ඡන්දය අපේ සිතේ තියෙනවා, අපට කාමච්ඡන්දය බාධා කරනවා, කාමච්ඡන්දය මතු වෙනවා කියලා තමන්ට තෙරේනවා නම් ඒ හැම මොහොතකම පරීක්‍ෂාකාරී වෙන්න; එයට හේතුව කුමක්ද කියා සොයන්න. ශුභ නිමිත්තක් පිළිබඳව හොඳයි කියලා නැවත නැවතත් නුවණින් තොරව කල්පනා කිරීමයි ඒ කාමච්ඡන්දය ඇති වීමේ හේතුව. පින්වතුන්ට එය මග හරවන්නට ඕනෑ නම් ඒ සඳහා එක් ක්‍රමයක් තමයි අශුභ නිමිත්තක් සිතට මතු කරගෙන නැවත නැවතත් ඒ පිළිබඳව නුවණින් කල්පනා කිරීම.
    දිනක් ආනන්ද හාමුදුරුවොත් සමග අලුත මහණ වුණු වංගීස කියන හාමුදුරුවො පිණ්ඩපාතෙ වඩිනවා. ලස්සන කාන්තාවක් දැකලා මේ අලුත පැවිදි වුණ භික්‍ෂූන් වහන්සේගේ සිත රාගයෙන් අවුල් වුණා; රාගයෙන් සිත විපරීත වුණා. එතනදි ආනන්ද හාමුදුරුවන්ට කතා කරලා කියනවා “ගෞතම ගෝත්‍ර වූ ආනන්ද හාමුදුරුවනේ, මගේ සිත රාගයෙන් විකෘති වෙලා. මගේ සිත රාගයෙන් විපරීත වෙලා. අනේ මට උදව් කරන්න, මගේ සිත සන්සුන් කරගන්න. මගේ සිතින් මේ රාගය යටපත් කරගන්න මට උපායක් කියන්න.
    මට මේ රාග ගින්න නිවාගන්න ක්‍රමයක් කියා දෙන්න” කියලා ආනන්ද හාමුදුරුවන්ගෙන් ඉල්ලීමක් කළා. ආනන්ද හාමුදුරුවො දේශනා කරනවා. “ආයුස්මතුනි, ඔබ වහන්සේගේ සිත රාගයෙන් ආකුල ව්‍යාකුල වෙලා පවතින්නේ මේ නිමිත්ත ශුභ වශයෙන් ගත්තු නිසයි. ඒ නිසා ‘නිමිත්තං පරිවජ්ජේසි’ ශුභ නිමිත්ත බැහැර කරන්න. බැහැර කරලා ‘අසුභං රෝගුප නිස්සිතං’ අශුභ වූ මහත් රෝග සමූහයක් හටගන්නා වූ මේ කය පිළිබඳව නුවණින් කල්පනා කරන්න. එතකොට මේ රාගය යටපත් වෙයි. එතකොට ඔබේ සිත සන්සුන් වෙයි. එතකොට මනසේ මතු වෙවී එන රාග ගින්න නිවී යාවි.” ආනන්ද හාමුදුරුවො එහෙම උපදෙස් දුන්නා.
    රාගය, කාමච්ඡන්දය, ලෝභය මේ සියලු නම්වලින් හඳුන්වන්නා වූ කාමය පිළිබඳව ඇල්ම, කැමැත්ත අපේ සිතේ හටගන්නෙ අපි හොඳයි කියලා තීරණය කළා වූ නිමිත්තක්, අරමුණක් පිළිබඳව නැවත නැවත සිතීම නිසයි. එය බැහැර කළ හැකි පහසුම ක්‍රමය තමයි එහි තියෙන අශුභත්වය පිළිබඳව නැවත නැවතත් මෙනෙහි කිරීම. කාමච්ඡන්දය පිළිබඳව දැනගත යුතු තව බොහෝ කරුණු තියෙනවා. තවත් ගැඹුරින් ඒ ගැන දැනගන්නට අවශ්‍ය නම්, තවත් ගැඹුරින් පිළියම් දැනගන්නට අවශ්‍ය නම් අපේ රේරුකානේ චන්දවිමල මහ නායක හාමුදුරුවන්ගේ ‘චත්තාළීසාකාර විපස්සනා භාවනා’ පොතේ අවසානයට මේ නීවරණ පිළිබඳව පූර්ණ විස්තරයක් උන් වහන්සේ සඳහන් කරලා තියෙනවා. ඒක නැවත නැවත කියවලා තේරුම් ගන්නට පුළුවන් කුමක්ද ඒ සම්බන්ධව අප කළ යුත්තේ කියලා.

     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ව්‍යාපාදය

    ව්‍යාපාදය නමැති ධර්මතාව සිත ආවරණය කරගන්නවා; සිත වසාගන්නවා; එසේ වසාගත් පසුව ප්‍රඥාව දුබල කරනවා; ප්‍රඥාව දුර්වල කරනවා. එසේ ප්‍රඥාව දුර්වල කරන්නා වූ, සිත වසාගන්නා වූ, නිවන් මග අහුරන්නා වූ ව්‍යාපාදයයි කියන්නේ කුමක්ද? මේ ඉන්ද්‍රිය හයෙන් අපි ගන්නා යම් අරමුණක් සම්බන්ධව අපේ මනසේ ගැටීමක් ඇති වෙනවා නම් එය හඳුන්වනවා ව්‍යාපාදයයි කියලා. ක්‍රෝධය, ද්වේෂය, පළි ගැනීම, වෛරය, තරහව, කේන්තියෑම, බිය, ශෝකය, දුක, තැති ගැනීම, පිළිකුල, එපා වීම, අප්‍රසන්න බව, පසුතැවීම මේ කවර නාමයකින් හැඳින්වුවත් ඒ සියලු නම්වලින් හඳුන්වන්නේ අරමුණෙහි ගැටෙන්නා වූ ව්‍යාපාදය නමැති නීවරණ ධර්මයයි. මේ ව්‍යාපාද නීවරණය සියලු සත්ත්වයන්ටම හානිකර වුණත් නිවන් මගට බැසගත්තා වූ සත්ත්වයන්ට අතිශයින්ම බාධාවක්. මේක ඒ ඒ අරමුණේදී ඒ ඒ අවස්ථාවට අනුව ඇති වෙන්නේ විවිධ ආකාරයටයි. ඉතා ප්‍රබලව ඇති වෙන කොට අපි කියනවා ක්‍රෝධයයි කියලා. ඒ වගේම අපට වඩා ප්‍රබලයෙක් සම්බන්ධව මේ ව්‍යාපාදය ඇති වෙන කොට අපි කියනවා භයයි කියලා. අපට වඩා පහත් පුද්ගලයෙක් හෝ වස්තුවක් සම්බන්ධව ව්‍යාපාදය ඇති වෙන කොට අපි කියනවා පිළිකුලයි කියලා. මේ ආදි නොයෙක් වචනවලින් ඒ ඒ අවස්ථාවලදී හඳුන්වන්නේ අරමුණෙහි ගැටීම නම් වූ එකම ව්‍යාපාද ධර්මයයි.
    ව්‍යාපාදය ඇති වෙන ප්‍රබලම අවස්ථාවක් තමයි අන් අයගේ අඩුපාඩු. අන් අයගේ වරද දැකලා අපි තරහ ගන්නවා; අපේ මනස තුළ ගැටීමක් ඇති කරගන්නවා. අපට කිසියම්ම සම්බන්ධයක් නැති, අපට අදාළ නැති පුද්ගලයන් වුණත් යම් යම් වරද කරනවා දැකලා අපි ඒවට කිපෙනවා; අපේ හිත් රිදවාගන්නවා. එහෙම හිත් රිදවාගෙන අපි කතා කරනවා ඒ අය ගැන. අහවල් පුද්ගලයා මෙහෙම කළා, අහවල් තැනැත්තා මෙහෙම කළා, මෙහෙම කතා කරපු-එක හොඳ නැහැ... මේ ආදි වශයෙන් දහසකුත් එකක් මාතෘකාවලින් අනිත් අයගේ ඕපාදූප කතා කරමින් අපේ සිත් නරක් කරගන්නවා. ඊළඟට අහවල් භික්‍ෂුව දුස්සීලයි, අහවල් භික්‍ෂුව භාවනා කරන්නේ නෑ, අහවල් භික්‍ෂුවට බණ කියන්න බෑ, අහවල් භික්‍ෂුව කියන බණ හරි නෑ... මේ ආදි වශයෙන් භික්‍ෂූන් වහන්සේලාගේ දොස් දකිමින් ඒවාට සිත් නරක් කරගන්නවා. මේ විදිහට අන් අයගේ වරද දකිමින් ඒවාගැන කතා කරමින් ඒවා ගැන සිතමින් හැම අවස්ථාවකදීම අපේ සිත් රිදවාගන්නවා. හිතලා බලන්න, එවැනි අවස්ථා කොතෙක් අපේ ජීවිතයේ තියෙනවද කියලා.
    මලක් පූජා කරන්න ගියොත් අපට මොකක්ද පේන්නේ? අනිත් කෙනා මල් පූජා කරන-එකේ අඩු-පාඩුව, බුදුහාමුදුරුවන්ට දානෙ ටිකක් පූජා කරන්න ගියොත් අපට මොකක්ද පේන්නේ? අනිත් එක්කෙනා ඒකට අත ගහන-එකේ වැරැද්ද, ඒක පූජා කරන-එකේ වැරැද්ද, වඳින-එකේ වැරැද්ද, ගාථා කියන-එකේ වැරැද්ද. මේවා තමයි අපි දකින්නේ. භාවනා කරන්න ගියොත්, ධර්ම සාකච්ඡාවක් කරන්න ගියොත් ඒ හැම මොහොතකදිම අපි දකින්නේ අනිත් කෙනා කරන යම් වරදක්, යම් අඩු පාඩුවක්. ඒ වගේම වෙනත් පිංකමක් කරන්න ගියොත්, දානයක් දෙන්න ගියොත් කොතරම් මිනිස්සු හිත් රිදවාගන්නවාද? සාංඝික දානයක් දෙන්න කියලා භික්‍ෂූන් වහන්සේලා නිවෙසට වැඩමවාගෙන මිනිස්සු කොතරම් පව් කරගන්නවද? ඇයි මේ? අපි නිතරම දකින්නේ මා කරන දේ හරි, අන් කෙනා කරන දේ වැරදියි කියලා. එහෙම නොකළ යුතුයි කියන පදනමක් අපේ සිතේ ඇති කරගෙන, නැවත-නැවතත් අනිත් පුද්ගලයා කරන කියන දේ සමග මනසින් ගැටෙනවා.
    බුදුහාමුදුරුවො දේශනා කරනවා යම් කිසි කෙනෙක් නිරන්තරයෙන් අනිත් අයගේ වැරදි දකිනවා නම්, වැරදි හොයනවා නම්, ඒ වැරදි ගැන උද්ඝෝෂණය කරනවා නම්, ඒ වැරදි ගැන අන් අය සමග කිය-කියා ඇවිදනවා නම්, අන් අය සමග දෝෂාරෝපණය කරනවා නම් ඒ තැනැත්තාගේ ආස්‍රව ධර්මයන් වැඩෙනවා. කාමාශ්‍රව භවාශ්‍රව දිට්ඨි ආශ්‍රව අවිද්‍යාශ්‍රව කියන මේ ආශ්‍රව ධර්ම වැඩිලා, ඔහු සසරේ දිගින් දිගට යන පුද්ගලයෙක් බවට පත් වෙනවා;
    ආශ්‍රව ක්‍ෂය කිරීමෙන් ලබන නිවනින් එන්න එන්නම ඒ තැනැත්තා ඈත් වෙනවා. ඒ නිසා අන් අය කරන වරදක් නිසා හෝ අපේ සිතේ රිදීමක් ඝට්ටනයක් ඇති වෙනවා නම් එයිනුත් කිලිටි වෙන්නේ ඒ තැනැත්තා නෙමෙයි තමන්මයි කියන බව තේරුම් ගන්නට ඕන. කාරණය කුමක් වුවත් ව්‍යාපාදය ඇති වෙලා තියෙන්නේ තමන්ගේ මනසේ නම් එයින් ඇති වෙන කිලුට, එයින් ඇති වෙන ආවරණය, එයින් ඇති වෙන විනාශය ඒ තැනැත්තාට නෙමෙයි තමන්ටමයි කියන බව අපි පැහැදිලිව තේරුම් ගන්නට ඕන. මෙයින් අදහස් කරන්නෙ අන් අයට කුමක් වුවත් කම් නැහැ කියලා වරද දැක-දැක නිහඬ වීම නොවෙයි. වරද වරද ලෙස දකින්නත් ඕන. හැකි නම් පහදා දීලා අන් අය ඉන් මුදාගන්නත් ඕන. ඒ තමන් හිත නරක් කරගන්නෙ නැතිව.
    භාවනා කරන අයට මේ ව්‍යාපාද නීවරණය ඉතාම සියුම්ව ඇති වෙන තවත් අවස්ථාවක් තමයි, ධර්මයේ සඳහන් වෙනවා දශ මාරයන්ගෙන් කෙනෙක් හැටියට අරතිය? කුමක්ද අරතියයි කියන්නේ? කුසලයට පසුබාන ස්වභාවය. මේ කුසලයට ඇති වෙන පසුබාන ස්වභාවය අපේ මනසේ නොයෙක් ආකාරයෙන් මතු වෙලා එනවා. කෙනෙක් දිනපතාම සවසට පැය බාගයක් භාවනා කරනවා කියලා හිතන්න. ඒ පුද්ගලයාට හිතෙනවා අද භාවනා කරන්න බැහැ. අද ටිකක් ඇඟට අමාරුයි, හෙට භාවනා කරනවා. හෙට හිතනවා අද වැඩ ගොඩක් තිබුණා අද මහන්සියි, අනිද්දට භාවනා කරනවයි කියලා. එහෙම නැත් නම් අද පැය බාගයක්ම භාවනා කරන්න බෑ, විනාඩි විස්සක් භාවනා කරනවා.
    මේ ආදි වශයෙන් කුසලය පිළිබඳ ක්‍රමයෙන් පසුබාන, කල් දමන ස්වභාවයක් මේ අරතිය නමැති ක්ලේශයෙන් ඇති වෙනවා. එතනත් ඇති වෙන්නේ ව්‍යාපාදයමයි. අර කුසලයට ඇති වෙන අකැමැත්ත. කාලයක් තිස්සේ මේ විදියට ක්‍රමයෙන් තමන් කරන යහපත් කටයුතු කල් දමන්නට පසු බාන්නට ගියහම අපට නොදැනීම අපේ සිත ඒවායින් ඈත් වෙන්න පටන් ගන්නවා. ඒ තැනැත්තා නිවන් මගින් බැහැර වෙලා නොදැනුවත්වම නැවත වතාවක් සසර දුක් දෙන මගට අවතීර්ණ වෙනවා. ඒ නිසා මේ ව්‍යාපාදය කියන්නේ ඔය විදිහේ නොයෙක් ආකාරයෙන්, ඍජුව හෝ වක්‍රව මනසට මතු වී ඇවිත් නැවත නැවතත් අපේ මනස දූෂණය කරලා පාප ධර්මයන්ට යොමු කරලා සතර අපායාදි අනේක දුක්ඛයන්ට අපිව පමුණුවන්නා වූ නීවරණ ධර්මයක් බව බුදුහාමුදුරුවො දේශනා කළා.
    ඊළඟට අපි දැනගන්නට ඕනැ, කුමක් නිසාද මේ ව්‍යාපාද නීවරණය හට ගන්නේ කියලා. “අත්ථි භික්ඛවේ පටිඝ නිමිත්තං...” “මහණෙනි, පටිඝ නිමිත්තක් තියෙනවා.” ඒ කියන්නේ මනස ගැටෙන්නා වූ යම් අරමුණක් තියෙනවා. ඒ අරමුණ පිළිබඳව නැවත නැවතත් නුවණින් තොරව කල්පනා කරන වාරයක් පාසා අපේ සිතේ මොකක්ද ඇති වෙන්නේ? නැවත නැවතත් ද්වේෂය හෙවත් ව්‍යාපාදය හට ගන්නවා. වරක් ඇති වුණා වූ ව්‍යාපාදය තුළ නැවත නැවතත් මනස පැවැත්වීම නිසා එය වර්ධනය වෙනවා. භික්‍ෂුවක් වේවා, භික්‍ෂුණියක් වේවා, උපාසක උපාසිකාවක් වේවා, පුද්ගලයාගේ තරාතිරමෙ වෙනසක් නැතිව තමන් සිහි කරන්නේ ගැටෙනසුලු අරමුණක් නම්, ඒ තුළ නැවත නැවතත් ව්‍යාපාදය ප්‍රබල වෙනවා. එසේ ප්‍රබල වීම නිසා තමයි මහා දරුණු අපරාධ කරන්නට තරම් ලෝකයේ මිනිස්සු පෙලඹෙන්නේ. ඒ නිසා තමයි ආඝාත පටිවිනය සූත්‍රයේදී පැහැදිලි කරලා දෙන්නේ එවන් අවස්ථාවකදී අපි කොහොමද ඒ නිමිත්ත සිතින් බැහැර කරලා, ඒ පුද්ගලයා පිළිබඳව යහපත් වූ සිතුවිල්ලක්, යහපත් ගුණාංගයක් අපේ සිතට මතු කරගෙන එම ද්වේෂය දුරු කරන්නේ කියලා.
    බුදුහාමුදුරුවො දේශනා කරනවා: “මහණෙනි, මේ මෛතී‍්‍ර චේතෝ විමුක්තියක් තියෙනවා.” ඒ කියන්නේ මෛත්‍රී සිතිවිල්ලක් තියෙනවා. මේ මෛත්‍රී සිතිවිල්ල නුවණින් යුක්තව, යෝනිසෝ මනසිකාරයෙන් නැවත නැවත පුරුදු කරන්නා වූ මනුෂ්‍යාට පුළුවන්කම තියනවා මේ ව්‍යාපාදය හෙවත් පටිඝය ක්‍රමයෙන් බැහැර කරන්නට. බුදුහාමුදුරුවො පැහැදිලි කරනවා යම් කිසි කෙනෙකුට මේ ව්‍යාපාදය නමැති නීවරණය නැවත නැවත මතු වෙලා එනවාද, ඒ තැනැත්තා විසින් මෛත්‍රී සිතිවිල්ල නැවත නැවත පුහුණු කිරීමෙන් නැවත නැවත හුරු කිරීමෙන් නැවත නැවත බහුල කිරීමෙන් නූපන්නා වූ ව්‍යාපාදය නූපදීම පවත්වන්නටත්, උපන්නා වූ ව්‍යාපාදය ප්‍රහාණය කරන්නටත්, විපුල බවට මහත් බවට පත් නොවී යටපත් කරන්නටත් ඒ තුළින් ශක්තිය ලැබෙන බව.
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ථීනමිද්ධය

    බුදුහාමුදුරුවො දේශනා කරනවා: “මහණෙනි, මේ ථීනමිද්ධය නමැති ධර්මතාවක් පවතිනවා. එය මනස ආවරණය කරනවා. එය මනස වසා-දමනවා. එසේ වසාගත් පසුව ප්‍රඥාව දුබල වෙනවා.” කුමක්ද ථීනමිද්ධයයි කියලා කියන්නේ? ‘ථීනො’ කියලා කියනවා එක්තරා චෛතසිකයකට. එයින් කරන්නේ සිත දුබල කරන-එක. ‘මිද්ධ’ කියලා කියනවා තවත් චෛතසිකයකට. එයින් කරන්නේ ඒ හා සමග උපදින චෛතසික සමූහය දුබල කරන එක. මේ දෙක එකටම හට ගන්නා නිසා එකම නීවරණයක් හැටියට බුදුහාමුදුරුවො දේශනා කරනවා ‘ථීනමිද්ධ’ වශයෙන්. අපිට තේරෙන විදිහට කියනවා නිදිමතයි කියලා. කුමක්ද නිදිමතයි කියලා කියන්නේ? මේ කාරණය පිළිබඳව අපි මැනවින් වටහාගන්නට ඕන. රහතන් වහන්සේලාත් නිදාගත්තා. බුදු රජාණන් වහන්සේත් නිදාගත්තා. පෘථග්ජන මනුෂ්‍යයොත් නිදාගන්නවා. අපි හැම දෙනාමත්, සතා සිව්පාවොත් නිදාගන්නවා. එතකොට මේ හැම දෙනාම නිදාගන්නවා නම්, කොහොමද මේක නීවරණයක් වුණේ? කොහොමද මේක නිවන් මගට බාධාවක් වෙන්නේ?
    ථීනමිද්ධයයි කියලා කියන්නේ සාමාන්‍යයෙන් කරන නිදාගැනීම නෙමෙයි. සිත අලස කරන්නා වූ, සිත පසුබස්වන්නා වූ සිත අකර්මණ්‍ය කරන්නා වූ, සිත උදාසීන කරන්නා වූ, භාවනාදියට අයෝග්‍ය කරන්නා වූ ස්වභාවයේ චෛතසිකයක් අපේ මනසේ ගොඩනැගෙනවා. එය තමයි ථීනමිද්ධය හැටියට හඳුන්වන්නේ. නින්ද කියන-එක අවශ්‍ය වෙන්නේ සිතට නොවෙයි, කයටයි. මේ සිත මේ කයෙන් වෙන් කළොත් එතැන් පටන් අපට නින්දක් අවශ්‍ය නෑ. සිතට කිසිම දාක නින්දක් අවශ්‍ය නෑ. සිත කවරදාකවත් නිදන්නේ නෑ. සිත නිදාගත්තොත් එදාට භව ගමන අවසානයි. ඒක අපි හඳුන්වනවා නිවනයි කියලා. ඒ තමයි සිතෙහි අවසාන නින්ද. එදාටයි සිත නිදන්නේ. එතෙක් සිත නිදන්නේ නෑ. සෑම මොහොතකම සෑම තත්පරයකම කවර හෝ අරමුණක් ගනිමින් නැවත නැවතත් හිත් හට ගන්නවා.
    නින්දේදී භවාංග සිත ඇති වෙනවා කියලා කියන-එකේ තේරුම කුමක්ද? කයට විවේක දීලා නිසා ඇසින් රූප බලන්නේ නෑ; කනින් ශබ්ද අහන්නේ නෑ; කයින් ස්පර්ශ ගන්නේ නෑ. මොළයත් ස්නායු පද්ධතියත් එක්තරා ප්‍රමාණයකට අක්‍රිය කරලා. එහෙම නම් මේ සිතට පවතින්නට විදිහක් නැති නිසා සිත කුමක්ද කරන්නේ, මේ භවයේ උත්පත්තිය සඳහා කර්මයක් මුල් වුණා නම් එයට අදාළ නිමිති, එයට අදාළ මූලික අරමුණු නැවත නැවතත් අරමුණු කරමින් ඒ මුල් සිතම නැවත නැවතත් ඇති කරමින් පවත්වනවා. ඒකට කියනවා භවාංග සිතයි කියලා. ප්‍රතිසන්ධිය දුන්නා වූ සිතම නැවත නැවතත් ඇති වෙනවා. ඒ ඇති වෙන්නෙත් අරමුණක් මුල් කරගෙනයි. අරමුණක් නැතිව සිත ඇති වෙන්නේ නෑ. සිත ඇති වෙන්නේම අරමුණක් ගනිමින්මයි. ඒ නිසා සිතට කිසිමදාක නින්දක් අවශ්‍ය නෑ.
    එහෙම නම් කුමකටද මේ නින්ද අවශ්‍ය? මේ කයටයි. කයට අවශ්‍ය නින්ද ථීනමිද්ධය නොවෙයි. යම් කිසි කෙනෙකුට සිතෙහි අලස බවක් අකර්මණ්‍ය බවක් මැළි බවක් ඇති වෙනවා නම් එයයි මේ ථීනමිද්ධය නමැති නීවරණය හැටියට බුදුහාමුදුරුවො හැඳින්වූයේ. තථාගතයන් වහන්සේ සැතපුණේ කුමක් නිසාද? උන් වහන්සේටත් මේ අපට වගේම කයක් තිබුණා. කයට විවේකය අවශ්‍යයි. එහෙම නැත් නම් කය ලෙඩ වෙනවා; තුන්දොස් කිපෙනවා; කය අකර්මණ්‍ය වෙනවා. ඒ නිසා කය සතපවා තියන්නට ඕන ටික වේලාවක් සන්සුන් වෙන්නට, ඉන්ද්‍රිය ප්‍රකෘතිමත් වෙන්නට. ඒ සඳහා තථාගතයන් වහන්සේත් සැතපුණා; මහ රහතන් වහන්සේලාත් සැතපුණා. ඒත් උන් වහන්සේලාට කවරදාකවත් ථීනමිද්ධය ඇති වුණේ නෑ. උන් වහන්සේලා අපි නිදාගත්තහම වගේ මනස උදාසීන කළේ නෑ. කය සැතපුණත් උන් වහන්සේලාගේ මනස සති සම්පජඤ්ඤයෙන් හෙවත් සිහියෙන් සහ නුවණින් යුක්තව නිරන්තරයෙන්ම ක්‍රියාත්මකයි; නිරන්තරයෙන්ම යම්කිසි යහපත් අරමුණකයි පවතින්නේ. උන් වහන්සේලාට නපුරු හීන පේන්නේ නැත්තේ ඒ නිසයි. භාවනා කරන තැනැත්තාට නපුරු හීන පේන්නේ නැහැයි කියලා ඇයි කියන්නේ? අර නින්දේදිත් යහපත් අරමුණුමයි ගන්නේ. එසේ නැති කෙනා හීනෙන් භය වෙන්නේ නපුරු සිහින දකින්නේ කුමක් නිසාද? විටින් විට නපුරු අරමුණු ගන්නවා. ඒ නිසා අපි පැහැදිලිව තේරුම් ගන්න ඕන නින්ද යනවායි ථීනමිද්ධයයි කියන්නේ දෙකක්. නින්ද අපට අවශ්‍ය වෙන්නේ කයට විවේක ලබාගැනීම සඳහායි. ථීනමිද්ධයෙන් කරන්නේ මනස අලස කරන-එකයි. මනස අලස වුණ හැටියේම මනස ඇසුරු කරගෙන පවතින්නා වූ මේ කයත් අකර්මණ්‍ය වෙනවා. එතකොට අපි කියනවා මට හොඳටෝම නිදිමතයි කියලා. ඒත් ඒ ඇති වෙන්නේ ඒ කයේ අවශ්‍යතාවක් නෙමෙයි, මනසේ මැළි බවයි.
    සමහර කෙනෙක් අර්හත්වයට පත් වෙන්නට අවුරුදු තිහක් නොනිදා භාවනා කළා. මසට නින්ද අවශ්‍ය නම් කොහොමද නොනිදා භාවනා කරන්නේ. ඇතැම් භික්‍ෂූන් වහන්සේලා වසර හැටක් නොනිදා භාවනා කළා. කොහොමද මේක කරන්නේ?
    උන් වහන්සේලා කයට අවශ්‍ය සහනය ලබා දීම සඳහා පර්යංකයෙන් වාඩි වෙලා කණුවකට හේත්තු වෙලා සමාධියට සම-වදිනවා. සිතට ඇති වන විවේකය තමයි යහපත් සිතිවිලි ඇති කිරීම. කුසල් සිතිවිලි නැවත නැවතත් ඇති කරනවා නම් එය තමයි සිතට අවශ්‍ය එකම සහනය. ඒත් සමහර කෙනෙකුට යහපත් සිතිවිලි ඇති කළ පමණින් කයට එය ප්‍රමාණවත් වෙන්නේ නෑ. ඒ නිසා කය එක තැන නිශ්චලව තියෙන්නට හරින්න ඕන දවසකට සුළු වේලාවක්වත්. ඒ තමයි මේ ඉන්ද්‍රියන්ට ලබා දෙන විවේකය.
    අපි නිදාගෙන ඉඳලා අවදි වීමෙන් යම්කිසි සුවයක් ලබනවා නම් ඒ වගේ ලක්‍ෂ කෝටි වාරයක සුවයක් ලබනවා ධ්‍යාන ලාභී උත්තමයෝ, රහතන් වහන්සේලා එක සුළු මොහොතක් සමාධියට සමවැදී එයින් නැගී සිටියහම. ඇයි? අපි නිදාගත්තත් මනස සන්සුන් නැති නිසා සිහිනෙන් පවා නපුරු සිතිවිලි ඇති වන නිසා කයට අවශ්‍ය පූර්ණ විවේකය ලැබෙන්නෙ නැහැ. ධ්‍යානලාභීන් නිදා නොගත්තත්, ටික වේලාවක් මනස සමාධිගත කිරීමෙන්ම කයට අවශ්‍ය සම්පූර්ණ විවේකය අඩු නැතිව ලැබෙනවා. මේ ථීනමිද්ධ නීවරණයෙන් කරන්නේ සිතේ පවතින සන්සුන් බව, කර්මණ්‍ය භාවය නැති කරලා, අකර්මණ්‍ය කරලා මැළි බවට අලස බවට පත් කරන-එකයි. එය විශේෂයෙන්ම නිවන් මගට බාධාවක්.
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    උද්ධච්ච කුක්කුච්ච

    නොසෑහීම ඇති තැන මතුවන්නේ සිතිවිලිය! ඔබ ඇත්තටම සෑහීමට පත්වූ පුද්ගලයෙකු නම් ඔබ තැනපත්ය. ඔබ සොලවන්නේ අසංතෘෂ්ටියයි. ඇත්තටම සෑහීමට පත් වූවොත් නිහඬය. නිසලය, නොසන්සුන්කමට හාත්පසින්ම විරුද්ධ වූ දිසාවට ඔබ කැඳවා ගෙන යන සෑහීමට පත්වීම තුළ තව තවත් ගැඹුරට කිමිදෙන්න.

    අසනීප ගතියෙන් පෙළෙන විට හෝ ශරීරයේ යම් වේදනාවක් ඇති විට, ඔබේ මනස එය තහවුරු කර ගන්නා හුරු පුරුදු ආකාරය වෙනස් කර ගෙන, එය කුතුහලය දනවන හෝ ඇත්තෙන් ම සතුටක් ඇති කරන දෙයක් ලෙස සැලකීමට මනස පුරුදු කර ගතහැකිය. ශරීරයේ ඇතිවන වේදනා, කැක්කුම් සමඟින් සෑහීමට පත්වන්නට හැකි දැයි සොයා බලන්න. එය කුමක් වූවත් සතුටින් බාරගෙන, ඇතුළට එන්න ඉඩ හරින්න. අකමැත්තෙන් ඉවතට තල්ලු කිරීමට උත්සාහ නොගන්න.
    මහණ දිවියේදී කිහිප වතාවක්ම ඉතා දරුණු වේදනාවන්ට මුහුණ දීමට මට සිදුවිය. වේදනාවෙන් ගැලවීමට මඟක් සොයමින් නොසන්සුන්කම ඇති කර ගන්නේ නැතිව එය සම්පූර්ණයෙන් ම පිළිගනිමින් ඒ සමඟින් සෑහීමට පත්වන අයුරින් මනස සකසා ගැනීමට මට හැකි විය. මගේ අත්දැකීම් වලට අනුව ඕනෑම වේදනාවක් සමඟින් සාමය ඇති කර ගැනීමට අපට හැකියාවක් ඇත. එසේ කිරීමෙන් ඉවත්ව යන්නේ වේදනාවේ දරුණුම කොටසය. තවදුරටත් එතැන නොසන්සුන් කමක් ඇති නොවන්නේය.
    දුරින් දුරු කිරීමට ද කිසිවක් එතැන ඉතිරිව නැත. දැනෙන වින්දනය සමඟින් තැන්පත් කම ඇති කර ගැනීමට ඔබට හැකියාවක් ඇත. බොහෝ විට වේදනාවක ෂඳිය නොහැකි කොටස වන්නේ ඒ සමඟ මතුවන නොසන්සුන්කමය. සෑහීමකට පත්වීමෙන් නොසන්සුන්කම පළවා හැරියාට පසු වේදනාව සමඟ විනෝදයක් ඇති කර ගැනීමට හැකි දැයි සොයා බලන්න.
    ඔබ ඉදිරියෙහි ඇති දෑ කුමක් වූවත් ඒ සම¼ඟ සෑහීමක් ඇති කර ගන්න. මේ මොහොතේ සෑහීමට පත්වන්න. නිහඬතාවයෙන් සෑහීමට පත්වන්න. හුස්මෙන් සෑහීමට පත්වන්න. කොතැනක සිටියත් සෑහීමට පත්වීම දියුණු කර ගන්න. එම සෑහීමෙන් , එහි කේන්ද්‍රය තුළට පිවිසීමෙන් භාවනාව බල ගැන්වෙන බව ඔබට ප්‍රත්‍යක්‍ෂ වනු ඇත. නොසන්සුන්කම මැඩපවත්වා ගන්නේ එළෙසින්ය. ඒ නිසා යම් මොහොතක ඔබේ මනසේ නොසන්සුන්කම ඉස්මතු වේද එකෙනෙහිම සෑහීමට පත්වීම යන වචන සිහිපත් කරන්න.
    නොසන්සුන්කම ඇති කරන වැරදි සෙවීමෙහි නොයෙදෙන්න. එයට හැම විටම පෙනෙන්නේ වැරදිමය. නොසන්සුන්කම ඔබ වහල් භාවයට පත් කරයි. හැම දෙයකම ඇති හොඳ පැත්ත දැකීම ඇරඹෙන්නේ සෑහීමට පත්වීමෙන්ය. එය ඔබ තැන්පත් කරයි. මජ්ඣිම නිකායේ 30 සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ නොසන්සුන්කම උපමා කොට දක්වන්නේ ආඥාදායකු ලෙසටය. ඔහු හෝ ඇය ඔබට හැම විටම අණ කර සිටින්නේ “ ගිහින් අරක කරන්න”, “අරක මෙහාට ගේන්න” ,” ඒක හරි නැහැ” , “ඔයිට වැඩිය හොඳට මට පුළුවනි” , ආදී වශයෙනි.
    මොහොතක්වත් විවේකයක් ලබා ගැනීමට ඉඩ නොදෙමින් හැමවිටම ඔබ ගමනෙහි යොදවන්නේ ඒ නොසන්සුන්කමය. වැරදි සෙවීමෙහි යෙදී සිටින මනස මේ ආඥාාදායකයාය. එක්තැන් වීමට ඉඩ නොදෙමින් හැම විටම ඔබ සොලවන්නේ ඔහුය. නොසුන්සුන්කම ඇති කරමින් සුළු මොහොතකට හෝ ඔබට ඉස්පාසුවක් ලබා නොදෙන මේ ආඥාදායකයා පළවා හරින්නේ සෑහීමට පත්වීම බලවත් කර ගැනීමෙන්ය.
    මෙලෙසින් නොසන්සුන්කමේ කැපී පෙනෙන රළු කොටස් මැඩපවත්වා ගැනීමෙන් භාවනාවේ ගැඹුරු අවධීන් කරා එළැඹෙන විට ඔබට මුහුණදීමට සිදුවන්නේ ඉතා සියුම් අන්දමේ නොසන්සුන් කමකටය. භාවනාවේ මේ අවධිය මා හඳුන්වන්නේ සමාධි නිමිත්ත නැතහොත් තැන්පත් වූ මනසෙහි ජායාව ප්‍රකට වන අවධිය ලෙසටය. භාවනාවේ ගැඹුරට යාමට ඔබ මනස දියුණු කර ගෙන ඇතත් මෙවන් අවධියකදී පවා නොසන්සුන්කම මතුවී නොයෙකුත් දේ කිරීමට, හසුරුවීමට, පාලනය කිරීමට ඔබ යත්න දරණු ඇත.
    ඔබ ඉදිරියෙහි ඇති සමාධි නිමිත්තෙන් පවා ඔබ සෑහීමට පත්වන්නේ නැත. ඔබේ දැන් බලාපොරොත්තුව එයටත් වඩා වැඩි යමක් ලබා ගැනීමටය. සමහර විට ඉදිරියෙහි ඇති දෙයින් ඔබ කලබලයට පත්වේ. මේ නොසන්සුන්කමට සමාධි නිමිත්ත පහසුවෙන් විනාශ කර දැමිය හැකිය. ඔබ කලක සිට පුල පුලා සිටි තැනට දැන් සම්ප්‍රාප්ත වී ඇතත් එයින් සෑහීමට පත්වනවා වෙනුවට ඔබ තැත් කරන්නේ නොසෑහීම මතු කර ගැනීමටය.
    ඇත්තටම දැන් තවත් කළ යුතු දෙයක් ඉතිරිව නැත. ඇඟඵලි නොගසා ඉන්න. ඇති දේ සමඟින් සෑහීමට පත්වී එය ඉබේටම වර්ධනය වීමට ඉඩ හරින්න. නොකිරීමෙහි යෙදෙන්න. නිහඬව හිඳගෙන සමාධි නිමිත්ත ක්‍රමයෙන් බලවත්වී ධ්‍යානයක් කරා එය ඔබ රැගෙන යන හැටි බලා ඉන්න. ඔබ කිසිවක් කළ යුතු නැත. ඒ සඳහා පැයක් ගත වූවත්, විනාඩි පහක් ගත වූවත්, එය සිදු නොවූවත් ප්‍රශ්නයක් නැත. ඉන් සෑහීමට පත්වන්න.
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    විචිකිච්ඡාව

    පස්වැනි නීවරණ ධර්මය විචිකිච්ඡාවයි. “මහණෙනි, මේ විචිකිච්ඡාව සිත ආවරණය කරනවා; සිත වසාගන්නවා; මනස ආවරණය කරලා, ප්‍රඥාව දුර්වල කරනවා.” කුමක්ද විචිකිච්ඡාවයි කියල කියන්නේ? සැකයයි. හැම සැකයක්ම නෙමෙයි පින්වතුනි, බුදුහාමුදුරුවො ගැන සැකය, ධර්මය ගැන සැකය, සංඝරත්නය ගැන සැකය, ඒ වගේම ශීල සමාධි ප්‍රඥා කියන ති‍්‍රශික්‍ෂාවන් ගැන ඇති වෙන සැකය. පෙර භවයන් ගැන ඇති වන සැකය, මතු භවයන් ගැන ඇති වන සැකය, පෙර භවයන් සහ මතු භවයන් කියන දෙකම ගැන ඇති වන සැකය, පටිච්ච සමුප්පාදය ගැන ඇති වන සැකය. මේ කරුණු අට පිළිබඳව යම් කිසි කෙනෙකුන්ට සැක මතු වෙනවා නම් එය හඳුන්වනවා විචිකිච්ඡා නීවරණයයි කියලා.
    බුදුහාමුදුරුවො ගැන ශ්‍රද්ධාව නොතිබුණොත් අපට බොහෝ සැක ඇති වෙනවා. බුදුහාමුදුරුවො දේශනා කරලා තියෙන ධර්මය ඇත්තද? දිව්‍ය ලෝක කියලා දෙයක් තියෙනවද? අපාය කියලා දෙයක් තියෙනවද? මේ මේ ධ්‍යාන ඉපදවුවොත් බ්‍රහ්ම ලෝකෙ උපදිනවාය කියනවා. එහෙම තැනක් තියෙනවද? මේ මග ගමන් කළොත් නිවන් දකිනවා කියලා කියනවා. එහෙම දෙයක් වෙනවද?
    මේ ආදි බොහෝ දේ ගැන සැක පහළ වෙන්නට පටන් ගන්නවා. මේ නිසා බුදුහාමුදුරුවො ගැන ශ්‍රද්ධාව නොතිබුණොත් විචිකිච්ඡාව බහුලව පහළ වෙනවා. ධර්මය ගැන ශ්‍රද්ධාව නොතිබුණොත් සංඝයා ගැන ශ්‍රද්ධාව නොතිබුණොත් විචිකිච්ඡාව බහුලව හටගන්නවා. මේ විචිකිච්ඡාව ඉතා සූක්ෂ්මව අප නිවන් මගින් ඈත් කරලා මේ සසර ගමනට නැවතත් ඇදදමනවා.
    බුදු හාමුදුරුවො දේශනා කරනවා: “මහණෙනි, මේ විචිකිච්ඡාවට හෙවත් සැකයට හේතු වන කරුණු තියෙනවා. ඒවා ගැන නුවණින් තොර ව යමෙක් නැවත නැවත කල්පනා කරනවාද, ඒ මඟින් විචිකිච්ඡාව වර්ධනය වෙනවා.” මොනවද විචිකිච්ඡාවට හේතු වන කරුණු? තමන්ට තහවුරු නොවන සැක සහිත යම් දහම් කරුණක් තියෙනවා නම්, යම් විනය කරුණක් තියෙනවා නම් ඒ ගැන නැවත නැවතත් සැකයෙන්ම කල්පනා කරන්නට ගියොත් ඒ සැකය තහවුරු වන දහසක් කරුණු අපේ මනසට මතු වෙනවා. ඒ විදිහට මතු වන කොට අර විචිකිච්ඡාව සිය ගුණයෙන් වර්ධනව වෙනවා.
    ඊළඟට බුදුහාමුදුරුවො දේශනා කරනවා: “මහණෙනි, මේ කුසල් අකුසල් ගැන හොඳ වැටහීමක්, හොඳ අවබෝධයක් යම්කිසි කෙනෙක් ඇති කරගන්නවාද, ඒ තැනැත්තාට විචිකිච්ඡාව ප්‍රහාණය කරන්නට, දුරු කරන්නට පුළුවන් වෙනවා.” කුසලාකුසල ධර්මයන් ගැන නිවැරදි අවබෝධයක්, නිවැරදි වැටහීමක් යමෙක් ඇති කරගන්නවා නම් ඒ තැනැත්තාට බුදුහාමුදුරුවො ගැන ශ්‍රද්ධාව වර්ධනය වෙනවා. ධර්ම රත්නය, සංඝ රත්නය ගැන ශ්‍රද්ධාව වර්ධනය වෙනවා. මනසේ ඇති වන සැකය ක්‍රමයෙන් දුරු වෙනවා. මේ සසරේ බිය ජනක ස්වභාවය වැටහිලා නිවනට යොමු වූ මනසක් ඇති කෙනෙක් බවට පත් වෙනවා.



    අපේ සිතෙහි ධර්මතා පහක් නැවත නැවත ම
    තු වෙලා, මනස අපවිත්‍ර කරනවා; මනස දරදඬු කරනවා. මනසේ තිබෙන ප්‍රභාස්වර බව නැති කරනවා. මනස අකර්මණ්‍ය කරනවා. මොනවද ඒ ධර්මතා පහ? කාමච්ඡන්දය, ව්‍යාපාදය, ථීන-මිද්ධය, උද්ධච්ච-කුක්කුච්චය, විචිකිච්ඡාව.
    කාමච්ඡන්දය ඇති වෙන්නේ ශුභ නිමිත්ත පිළිබඳව නැවත නැවත නුවණින් තොරව කල්පනා කිරීමෙනුයි. අශුභ නිමිත්ත පිළිබඳව, නුවණින් කල්පනා කිරීමෙන් කාමච්ඡන්දය දුරු කරන්නට පුළුවන්.
    ව්‍යාපාදය ඇති වෙන්නේ පටිඝ නිමිත්ත පිළිබඳව නැවත නැවත නුවණින් තොරව කල්පනා කිරීමෙනුයි. මෛත්‍රිය පිළිබඳව නැවත නැවත කල්පනා කිරීමෙන් ව්‍යාපාදය දුරු කරන්නට පුළුවන්.
    ථීන-මිද්ධය ඇති වෙන්නේ අරතිය, අලස බව ආදිය පිළිබඳව නැවත නැවත නුවණින් තොරව කල්පනා කිරීමෙනුයි. වීර්යය පිළිබඳව නැවත-නැවත නුවණින් කල්පනා කිරීමෙන් ථීන-මිද්ධය දුරු කරන්නට පුළුවන්.
    උද්ධච්ච-කුක්කුච්චය ඇති වෙන්නේ සිතෙහි නොසන්සුන් බව පිළිබඳව නුවණින් තොරව කල්පනා කිරීමෙනුයි. සිතෙහි සන්සුන් බව හෙවත් ඒකාග්‍රතාව පිළිබඳව, සමාධිය පිළිබඳව නුවණින් කල්පනා කිරීමෙන් ඒ උද්ධච්ච-කුක්කුච්චය යටපත් කරන්නට පුළුවන්.
    විචිකිච්ඡාව ඇති වෙන්නේ කරුණු පිළිබඳව නැවත-නැවත සැකයෙන් යුක්තව කල්පනා කිරීමෙනුයි. ඒ නිසා කුසලාකුසල ධර්මයන් ගැන නැවත නැවත කල්පනා කරලා විමසලා ගැඹුරු වැටහීමක් ඇති කරගැනීමෙන් විචිකිච්ඡාව දුරු කරන්න පුළුවන්.
    මෙසේ මේ ධර්මතා පහ පිළිබඳව හොඳ වැටහීමක් ඇති කරගෙන, එම නීවරණයන් ඇති වෙන්නට හේතු හඳුනාගෙන, එම හේතු අවම කරමින් හැකි තාක් අපේ මනස නඟාසිටුවාගෙන නිවන් මගෙන් බැහැර වෙන්නට නොදී නැවත නැවතත් මනස ප්‍රතිපත්ති මාර්ගයෙහිම දැඩිව පවත්වන්නට ඕනෑ කියන අධිෂ්ඨානයක් අපි හැම දෙනාම ඇති කරගන්නට ඕන. ඒ තුළින්ම පමණයි අපට මේ ක්ලේශයන් ජය ගෙන, මේ නීවරණ ධර්මයන් ප්‍රහාණය කරලා නිර්වාණ ධර්මය අවබෝධ කරන්නට පුළුවන්කම ලැබෙන්නේ.


     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,608
    14,236
    113
    රෙප් කැපීගෙන එද්දී පන්සල මතක් වෙනවා නේද :P
    අනේ දිල්වල්ලෝ උඹ තමයි දවසකට හරි මිනිහ :lol:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    රෙප් කැපීගෙන එද්දී පන්සල මතක් වෙනවා නේද :P
    අනේ දිල්වල්ලෝ උඹ තමයි දවසකට හරි මිනිහ :lol:
    ඒ උඹල හිතන විදිහ මහිතේ....:lol::lol::lol:
    එත් කොල්ලෝ මගේ රේප් කැපෙනවා නම් මෙලහකට නිල් රේප් කොටු 8 වෙනුවට රතු රේප් කොටු 8 k නේ තියෙන්න ඕනේ... :yes::yes::yes:
    අනිත් එක බන් මම හැම වෙලේම අහන එක '' රේප් කන්නද බන්'':)
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,608
    14,236
    113
    ඒ උඹල හිතන විදිහ මහිතේ....:lol::lol::lol:
    එත් කොල්ලෝ මගේ රේප් කැපෙනවා නම් මෙලහකට නිල් රේප් කොටු 8 වෙනුවට රතු රේප් කොටු 8 k නේ තියෙන්න ඕනේ... :yes::yes::yes:
    අනිත් එක බන් මම හැම වෙලේම අහන එක '' රේප් කන්නද බන්'':)

    උඹට විදේශ ආධාර යටින් ලැබෙන නිසානේ කොටු සැට් එක තියෙන්නේ :P
    මන් හොඳට බැලුව මේ ත්‍රෙඩ් එකෙන්ම කොට්ටක් ගොඩ දාගත්ත නේද?:P
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    උඹට විදේශ ආධාර යටින් ලැබෙන නිසානේ කොටු සැට් එක තියෙන්නේ :P
    මන් හොඳට බැලුව මේ ත්‍රෙඩ් එකෙන්ම කොට්ටක් ගොඩ දාගත්ත නේද?:P
    දන්නේ නෑ බන්.. උඹ ගණන් කරාද???:oo:ගන්න ආතල් එකක් වෙන ත්‍රෙඩ් එකක ගමු.. මේ ත්‍රෙඩ් එකේ ආතල් ගන්න එපා..:rolleyes::rolleyes:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    දස සංයෝජන ධර්ම

    කෙනෙක් පහත කරුණු 10 ය දුරු කරොත් එම තැනැත්තා රහතන් වහන්සේ නමකි. මුල් කරුණු පහ ට ඹ්රම්භාගිය සංයෝජන ධර්ම ලෙස හදුන්වනු ලබයි. ඉතිරි කරුණු 5 හ උද්ධම්භාගිය සංයෝජනධර්ම ලෙස හදුන්වනු ලබයි.
    මුල් කරුණු 3 දුරු කරත් ඔහු සෝතාපන්න ශාවකයෙකි. එනම් උපරිඅම අතම බව 7 ට සිමා වෙයි. සතර අපායෙන් ඇත මිදුණු කෙනෙකි. පටිඝ කාම රාග තුනී කරගනිපු කෙනා සක්ධගාමී ශාවකයෙකි එක වරක් පමණක් කාම ලෝකයේ ඉපදෙයි . මුල් කරුණු පහ දුරු කරොත් ඔහු මේ කාම ලෝකයේ ඉපදෙන්නේ නැත. කෙටියෙන් කිවොත් දිව්‍ය ලෝකයේ හෝ මිනිස් ලොව තුල හෝ ඉපදෙන්නේ නැත. එනම් අනාගාමී ශාවකයෙකි. එනම් මෙම කමලෝකයෙන් අතමිදී බබා ලොවේදී පිරිනිවන් පැම සිදුවෙයි.
    උද්ධම්භාගිය සංයෝජනධර්ම 5 ත් දුරු කරොත් ඒ රහතන් වහන්සේ නමකි
    1) සක්කාය දිඨිය - මම මගේය මගේ ආත්මය කියා ස්ථිර දෙයක් නැති බව දැන ගැනීම
    2) විචිකිච්ජා - තෙරුවන් ගැන, පෙර භව සහ පසු භව ගැන සැක දුරුවිම
    3) සීලබ්බත පරාමාස - දැඩි සිල් ව්‍රත වලින් නිවණ් නොලැබිය හැකි බව දැනගැනීම ( උදා: දුෂ්කර ක්‍රියා කිරෙනෙම් නිවන සේයා ගත හැකි බව, නිර්වස්ත්‍රව සිල් රැකීමෙන් නිවන ලබා ගහට හැකියි සිතීම )
    4) පටිඝ - තරහ වයිරය ක්‍රෝදය දුරුවීම
    5) කාම රාග - කැමති දේ ලබන ලෝකයන්හි ඉපදීමට ඇති ආශාව දුරු වීම (එනම් මිනිස් සහ දිව්‍ය ලොකයන්හි ඉපදීමට ඇති ආශාව දුරු වීම
    6) රූප රාග - රූපයක් සහිත බ්‍රහ්මලෝකයන්හි යාමට ඇති ආශාව දුරු වීම
    7) අරූප රාග -රූපයක් රහිත බ්‍රහ්මලෝකයන්හි යාමට ඇති ආශාව දුරු වීම
    8)මාන - ත්‍රිවිද මාන, එනම් තමන් අන්‍යයන්ට වඩා උසස්ය, පහත්ය, නැතිනම් අන්‍යයෙකු හා සමය යන මතය දුරු වීම
    9) දිට්ඨි - සියලු අකාරයේ දෘශ්ටීන්ගෙන් මිදීම් ( මේ ලෝකය කව්රුන් හෝ විසින් මවන ලද්දේ යයි දුස්ටිය. පෙර බවයන් මතු බවයන් නැති දියණ දුස්ටිය. කතරගම දෙවිදුන් වැනි අයගෙන් පිහිට ඉල්ලමින් සෙතක් වේවි කියා සිතන දුස්ටිය. කේන්දර වගේ දේවල් පසු පස යාම වැනි දුස්ටි )
    10) අවිදය්‍යා - කෙටියෙන් කියතොත් මෝහය දුරු වීම, එනම් මේ ලෝකය දුකය , ඉපදිම දුකය , ලෙඩවීම දුකය , මහලු වීම දුකක්ය, මරණය දුකය බව වැටහීම , මෙ සියලු දුකින් මිදිය හැකි තැනක් ලොකයේ හෝ විශ්වයේ නැති බව.
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    Dasa%2BSamyojana%2BDhamma%2BChart.jpg
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මාර්ග ඵල ලබාගැනීම ගැන වර්තමානයේ නොයෙකුත් මතිමතාන්තර තිබෙන බව දැකිය හැකි ය. ඇතැම් ගිහි පුද්ගලයෝ ද මාර්ග ඵලවලට පත්ව සිටින බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරති. ගිහි පුද්ගලයන් පමණක් නොව, ඇතැම් පැවිද්දෝ ද තමන් මඟ ඵලවලට පත්ව සිටින බව ශ්‍රව්‍ය, දෘෂ්‍ය මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කරති. ගිහි භවතුන්ට කෙසේ වෙතත් පැවිද්දන්ට මෙය බරපතළ තත්ත්වයකි.
    එවැනි ලෝකෝත්තර තත්ත්වයක් ලබා ඇත්නම් ගැටලුවක් ඇති නොවේ. එහෙත් අන් අය රැවටීමේ අදහසින් තමන් වෙත නැති උත්තර මනුස්ස ධර්මය ප්‍රකාශ කිරීම ඉතා බරපතළ වරදකි. එය සතර පාරාජිකාවන්ගෙන් එකකි. පාරාජිකා වීම යනු පැවිදි උපසම්පදාව අහෝසි වීමකි. නැවත කිසි දිනක උපසම්පදාව ලබා ගැනීමට නොහැකි වෙයි. හෙතෙම කසාවතක් පෙරවූ ගිහියෙක් බවට පත් වෙයි. එපමණක් නොව ඔහුට සිව්පසය පරිභෝග කිරීමට අයිතියක් නැත. ඔහු මොහොතක් පාසා පව් සිදු කර ගන්නා අයකු බවට පත් වෙයි. ඔහු භික්‍ෂූන් වහන්සේ සමඟ සමානව විසීමට කිසිසේත්ම සුදුසු පුද්ගලයකු නොවේ.
    ත්‍රිපිටකය හඳුන්වන්නේ පරියාප්ති සාසනය නමින් ය. එහි ඇත්තේ බුද්ධ වචනයයි. එම පරියාප්තිය ඇසීමෙන්, ඉගෙනීමෙන්, හැදෑරීමෙන් ලබා ගන්නා අවබෝධය ශීල, සමාධි, ප්‍රඥාවන් වැඩීමට ඉවහල් වෙයි. එම ත්‍රීශික්ෂාව වැඩීමේ ප්‍රතිඵලය වශයෙන් සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් යන මාර්ග ඵල සංඛ්‍යාත නිවන ලබා ගැනීමට හැකි වේ. වෙනත් ආකාරයකින් සඳහන් කළහොත් සතරමග, සතර ඵල, නිවන යන නව ලෝකෝත්තර ධර්මය ප්‍රත්‍යක්‍ෂ කැර ගැනීමයි. කෙසේ වෙතත් තෙරුවන් සරණ යෑමේ සිට ගෝත්‍රභු නම්, මාර්ග ඥානයට ආසන්න සිත දක්වා ගමන් කරන කිසියම් පුද්ගලයකු ඇත්නම් ඔහු සැලකිය හැකි වන්නේ ‘සෝවාන් මාර්ගස්ථ’ පුද්ගලයකු වශයෙනි. කෙටියෙන් සඳහන් කරන්නේ නම්, තෙරුවන් සරණ ගිය පුද්ගලයන් මාර්ගස්ථයන් වශයෙන් සැලකිය හැකි ය. මක් නිසාද යත් හෙතෙම සෝවාන් ආදී මාර්ගඵල පිණිස ගමන් කරන පුද්ගලයකු වන බැවින් ය.
    යමකු ආර්ය තත්ත්වයට පත් වන්නේ අඩු තරමෙන් සෝවාන් මාර්ග ඥානය පහළ වීමෙන් පසුවයි. එම චිත්ත විථිය අවසන් වන්නේ ඵල සිත් එකක් හෝ දෙකක් පහළ වීමෙන් අනතුරුවයි. එවිට හෙතෙම ඵලස්ථයෙකි. සෝවාන් ඵලයට පත් වූ පුද්ගලයා ඉඩ ලැබුණු හැම විටම ඵල සමවතට සමවදිමින් උතුම් සුවය විඳ ගනියි. හෙතෙම එතෙකින් නො නවතියි. සෝවාන් ඵල සමාපත්තිය පිළිබඳ තිබෙන ඡන්දය නොහොත් කැමැත්ත අත්හැර යළි විදර්ශනාවට ‍ෙයාමුවී, එම විදර්ශනා ඥානය අවසන සකෘදාගාමි මාර්ග ඥානය දක්වා ගමන් කරයි. එලෙස ගමන් කර සකෘදාගාමි ඵලයට පත් වූ පුද්ගලයා එතෙකින්නො නැවතී සකෘදාගාමී ඵල සමාපත්තිය පිළිබඳ තිබෙන ඡන්දය හෙවත් කැමැත්ත අතහැර දමා, විදසුන් වැඩීම මගින් අනාගාමි මාර්ග ඥානයට පත් වෙයි. මෙලෙස ක්‍රම ක්‍රමයෙන් ගමන් කර දස සංයෝජන දුරු කර අරහත් මාර්ග ඵල ඥානය දක්වා ගමන් කරයි. දස සංයෝජන යනු සක්කාය දිට්ඨි, විචිකිච්චා, සීලබ්බත පරාමාස, කාම රාග, පටිඝ, රූප රාග, අරූප රාග, මානය, උද්ධච්ච සහ අවිජ්ජාවයි. මාර්ග ඵල ලැබීමට නම් මෙම සංයෝජන ප්‍රහානය කළ යුතු බව වැටහෙනවා ඇත.
    ඉහත දැක් වූ අයුරින් සතර මග සතර ඵලවලට පත් වූ උතුමෝ ආර්යයන් වහන්සේ වශයෙන් හැඳින්වෙති. ප්‍රධාන වශයෙන් ආර්ය පුද්ගලයන් අට දෙනකු වශයෙන් සඳහන් වුවද, ප්‍රභේද වශයෙන් ආර්ය පුද්ගලයන් එකසිය අට දෙනකු සිටින බව ධර්මයෙහි සඳහන් වෙයි. සෝවාන් පුද්ගලයා භව සතක් ඇතුළත සෙසු මාර්ගඵල පිළිවෙළින් උතුම් වූ අරහත්ඵලයට පත්වෙයි. සකෘදාගාමී පුද්ගලයා වනාහී සක්කාය දිට්ඨිය ඇතුළු මුල් සංයෝජන තුන ප්‍රහානය කොට ඇතත් කාම රාග, ව්‍යාපාදය ප්‍රහීන කොට නැත. ඔහු ඒවා තුනී කොට ඇත. එබැවින් හෙතෙම යළි මිනිස් ලොව ඉපදීමට ඉඩ ඇත.
    කාම රාග, ව්‍යාපාද ආදී කොට ඇති පංච ඕරම්භාගීය සංයෝජන ප්‍රහීන කළ පුද්ගලයා අනාගාමී වූ අයකු වශයෙන් සැලකෙයි. හෙතෙම යළි කාම ලෝකයට නොපැමිණෙයි. මේ භවයේ දී රහත් ඵලයට පත් නොවුවහොත් ශුද්ධාවාස බඹ ලොවේහි ඉපිද එහිදී රහත්ව පිරිනිවන් පාන්නේ ය. රහත් බවට පත්වීමට රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිජ්ජා යන උද්ධංභාගීය සංයෝජන පහ ද ප්‍රහීන කළ යුතු වේ.
    රහත් භාවය හෙවත් නිවන අවබෝධ කිරීම දක්වා සසුන්හි පිළිවෙත් පිරිය යුතු ය. එසේ පිළිවෙත් පුරන පුද්ගලයා ආර්ය ශ්‍රාවකයකු වශයෙන් සැලකිය හැකි ය. ආර්ය පුද්ගලයා යනු ආර්යත්වයට පත් වූ පුද්ගලයායි. බුද්ධ දේශනාවට අනුකූලව පොත්පත් ලියන, දේශනා පවත්වන පුද්ගලයන් ආර්ය ශ්‍රාවකයන් මිස ආර්යයන් වහන්සේ වශයෙන් හැඳින්වීමට නොහැක. භාවනා කරමින් සිත දියුණු කැර ගැනීමට පංච කාමයන්ගෙන් දුරස්විය යුතු ය. පස්කම් සුව විඳිමින්, නොයෙකුත් ලෞකික අපේක්‍ෂාවන් සිත්හි දරාගෙන කටයුතු කරන උදවියට භාවනා වැඩීම අසීරුය. කාමච්ඡන්ද ඇතුළු පංච නීවරණ යටපත් කර ගැනීමෙන් ධ්‍යාන මතු කර ගත හැකි වුව ද, යළි නීවරණ හටගත් සැනින් ධ්‍යානය පිරිහෙයි. එසේ හෙයින් කලබලකාරී පරිසරයක මහජනයා සමග ඇලෙමින්, ගැලෙමින්, මාධ්‍යයන්හි පෙනී සිටිමින්, අයිතිවාසිකම් සඳහා සටන් කරමින්, නිමක් නැති ඉදිකිරීම්හි නියැළෙමින්, විහාරස්ථානවල සහ භාවනා මධ්‍යස්ථානවල නොයෙක් ගොඩනැඟිලි ඉදි කිරීමට ‍ෙවහෙසෙමින් කිසියම් ප්‍රමාණයකට විදර්ශනා වැඩිය හැකි වුවද, ඉතා අපහසුවෙන් සමථ භාවනාවක් වැඩිය හැකි වුවද, සිත් තුළ ජනිත වන නීවරණ යටපත් කිරීම අපහසුවනවා ඇත. එබැවින් සමථ විදර්ශනා වැඩීමේ දී පංච කාමයන්ගෙන් සිත, ගත දෙකම ඈත් කර ගත යුතු ය. පෘථජ්ජන සිත නිරන්තරයෙන්ම නීවරණ ධර්ම සහ පංච කාමයන් තුළ සැරිසැරීම ස්වභාවයි.
    ඇතැම් භාවනා උපදේශකයන් භාවනා කරන අයට වැරැදි වැටහීම් ලබා දෙන අන්දම දැක ගත හැකි ය. සෝවාන් ආදී මාර්ග ඵල ලැබූ බවට සහතික පවා දෙන ස්ථාන පිළිබඳ වර්තමානයේ අසන්නට ලැබෙයි. භාවනා කිරීමේ දී පූර්ව නිගමන හා දැනුම අනුව සිත් පහළ වීම සිදුවේ. එය ඉතා සියුම් ලෙස දැනෙයි. මෙයින් තමන්ටම තමන් රැවටෙන සෙයක් සිදුවිය හැකි අතර එසේ වරදවාගත් භාවනා උපදේශකයෝද ඇතැම් දෙනා මුළා කිරීමට සමත් වෙති. විදසුන් වඩන පැවිදි හෝ ගිහි හෝ කවරකු වුව ද නිවැරැදි උපදෙස් ඇතිව භාවනා කරන්නේ නම් සමර්ශන, පච්චයපරිග්ගහ, උදයව්‍ය ආදී ඥාන පහළ වෙයි. මැනැවින් සිහිය පවත්වා ගත් කල්හි සත්ව, පුද්ගල සංඥාව එනම් ආත්ම සංඥාව ඉවත්ව යයි. නාම රූප ධර්මයන් පමණක්ය යන වැටහීමට එළඹ සිටියි. ක්‍රම ක්‍රමයෙන් පිරිසුදු නුවණ වැඩෙයි. මමය කියා සත්වයකු පුද්ගලයකු නැත්තේ ය, නාම රූප ධර්මයන් පමණක් ඇත්තේ ය, එම නාම රූප ධර්ම ද අනිත්‍යය, දුක්ඛය, අනාත්මය යන ඥානය පහළ වෙයි.
    සිත පිළිබඳ විග්‍රහ කරමින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ කරුණු අසලට එන්නට තරම්වත් හැකි කිසිදු මනෝවිද්‍යාවක් පෙරදිග හෝ අපරදිග හෝ නොමැත. එදා මෙදාතුර පවතින සියලු මනෝවිද්‍යාත්මක කරුණු බුද්ධදේශනාව තුළ අන්තර්ගතව ඇත. බුද්ධ දේශනාව වනාහී බටහිර මනෝවිද්‍යාව වැනි තර්ක මත ගොඩනැඟුණු, හොඳ නරක මිශ්‍ර වූ, අනුමාන කිරීමෙන් ප්‍රකාශිත දෙයක් නොවේ. ප්‍රත්‍යක්‍ෂ වශයෙන් ගත හැකි ඉතා සුපිරිසුදු ඥානයකි. මනැස පිළිබඳ නිරවුල්, නිවැරැදි වැටහීමක් කෙලෙසකවත් බුදුදහමෙන් එපිට විද්‍යාවක් තුළින් ලබා ගත නොහැක. විද්‍යා උපාධි කොතෙක් ලබා ගත්තද සම්බුදුදෙසුම හමුවේ ඒ සියල්ල නිශ්ප්‍රභ වෙයි. භාවනා කරන ඇතැම් දෙන සිරුර භාවනාවෙහි යෙදුවත්, සිත භාවනාවේ නොයොදවති. පැවිදි වීමේ දී වුව ද එකරුණ එලෙසමය. සිත පැවිදි නොවී කය පැවිදි කර ගත් බොහෝ දෙනා සමාජය මුළාවට පත් කරති. එමගින් සිදුවන්නේ මග ඵල ලාභීන් බිහිවීම කෙසේ වෙතත්, පැවිදි බව ව්‍යාපාරයක් කර ගත්, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවක් පවා නොමැති, සසුනට හානි කරන, සමාජය අවුල් සහගත තත්ත්වයට පත් කරන එක්තරා පිරිසක් බිහි වීම පමණකි.
    නිවන ලබා ගැනීමට අදහස් කරන්නේ නම් සිත එක අරමුණක පිහිටුවා ගැනීමට හැකියාව ලබා ගත යුතු යි. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් ඇති ත්‍රිලක්‍ෂණය පිළිබඳ දැනුමක් ලබා ගත යුතුය. යම් දිනක සංස්කාරයන්ගේ තත්ත්වය වටහා ගැනීමට හැකි වුවහොත්, සාර්ථක ප්‍රතිඵල ලබා ගත්තා වෙයි. එබැවින් සංස්කාර ධර්මයන්ගේ ස්වභාව මෙනෙහි කළ යුතු ය. බුදුදහමෙහි සමථ සහ විදර්ශනා වශයෙන් භාවනා ක්‍රම දෙකක් පෙන්වා ඇත. විදර්ශනා භාවනාව මගින් නිවන ප්‍රත්‍යක්‍ෂ කරන අතර, සමථ භාවනා මගින් ධ්‍යාන අභිඥා ලබා ගත හැකි වෙයි. භාවනා කරන පුද්ගලයා යෝගාවචරයා යනුවෙන් හඳුන්වයි. ඔබ යෝගාවචරයකු වශයෙන් කිසියම් භාවනාවක නිරත වීමට අදහස් කරන්නේ නම්, පළමුව කාය සංවරය සහ වාග් සංවරය ඇති කැර ගත යුතුයි. බොහෝ දෙනා භාවනා කිරීමට යොමු වන්නේ මෙම මූලික සුදුසුකම් දෙකවත් නොමැතිවය. කය, වචනය සංවර නොකරගෙන සිත සංවර කැර ගත නොහැකි ය. කය, වචනය සංවර කැර ගෙන සිල්වතකු බවට පත් වුවහොත්, මනැස සංවර කැර ගැනීමේ හැකියාව ලැබෙයි. මෙසේ කය, වචනය සංවර කරගැනීම ශීල විසුද්ධියයි.
    අපේ සිත, නොඑසේනම් මනැස නිරතුරුවම චංචල ගතියෙන් යුක්තය. එම චංචල මනැස පාලනය කිරීමට භාවනාව උපකාරී වෙයි. එය ධ්‍යාන ලබා ගැනීමට ද ඉවහල් වෙයි. එබැවින් කළ යුතු වන්නේ සිත හෙවත් මනැස එක් තැන්ව තබා ගැනීමට උත්සාහ කිරීමයි. තම මනැසෙහි තැන්පත්ව තිබෙන නීවරණ ධර්ම යටපත් කර ගත හැකි නම් ධ්‍යාන ලබා ගැනීමට හැකියාව ලැබෙයි. නීවරණ ඉවත්වූ විට ඔබේ සිත පිරිසුදු බවට පත් වෙයි. එම තත්ත්වය ‘චිත්ත විසුද්ධිය’ වශයෙන් හැඳින්වේ. සංස්කාර ධර්මයන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් දකිමින් පංචස්කන්ධය දෙස ස්කන්ධ වශයෙන් මෙන්ම නාම, රූප වශයෙන් සහ ආයතන වශයෙන් බැලීමත් මෙසේ ස්කන්ධ, ධාතු, ආයතන වශයෙන් බැලීම මගින් මමය, මාගේය යන හැඟීම නැති කර ගැනීමත් කළ හැකි ය. එලෙස ඇති කර ගන්නා පිරිසුදු බව හඳුන්වන්නේ ‘දිට්ඨි විසුද්ධිය’ යනුවෙන් ය. මෙම දිට්ඨි විසුද්ධිය ලැබූ යෝගියාට තම ජීවිතය පිළිබඳ තරමක් දුරට වැටහීමක් ඇති වේ. එ නිසාම ඔහු තුළින් ආත්ම දෘෂ්ඨිය ඉවත් වේ.


    එනම් ඔහු පංචස්කන්ධය දෙස අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්‍ෂණය අනුව බලයි. එසේ බලන ඔහුට සිතෙහි පවතින විසි හතර ආකාරයක සැකයන් දුරු කර ගැනීමට හැකියාව ලැබෙයි.
    එලෙස සුවිසි වැදෑරුම් සැකයන් ඉවත් කර ගැනීම ‘කංකාවිතරණ විසුද්ධිය’ යනුවෙන් හඳුන්වයි. මේ වන විට යෝගියාගේ සිතෙහි ක්ලේශයන් බොහෝ දුරට සමනය වී ඇත. හෙතෙම යළිත් පංචස්කන්ධය, සංස්කාර ධර්මයන් තිලකුණු අනුව බලයි. මෙම අවස්ථාව වන විට සිතෙහි ඇතිවන අමුතු ස්වභාව නිසා ඔහුට නොමඟ යන සිතුවිලි ඇතිවීමට ද පිළිවන. දැන් තමන්ට නිවන අවබෝධ වී තිබෙන බව හැඟීමට ද ඉඩ ඇත. මෙය භාවනාව කිලිටි කරන අවස්ථාවකි. ඒවා උපක්ලේශයන් වශයෙන් හඳුන්වයි. එම උපක්ලේෂ නිවන් මාර්ග, ඵල නොවේයයි යන ඥානය උපදවා ගැනීම ‘මග්ගාමග්ග ඥාන දස්සන විසුද්ධිය’ යනුවෙන් හඳුන්වයි. සංස්කාර ධර්මයන්ගේ හට ගැනීම, විනාශවීම යන කරුණු දක්නට ද පිළිවන. එය උදයව්‍ය ඥානය වශයෙන් හඳුන්වයි. එලෙස යථා තත්ත්වය අවබෝධ කරවන ඥාන නවයක් ඇත. ඒවා නව මහා විදර්ශනා ඥාන යනුවෙන් හඳුන්වයි. එම නව මහා විදර්ශනා ඥානය පහළවීමෙන් ඇතිවන පිරිසුදු භාවය ‘පටිපදා ඥාන දස්සන විසුද්ධිය’ යනුවෙන් හඳුන්වයි. එම තත්ත්වය ලැබූ යෝගාවචරයා මාර්ගඵල ලැබීමට ආසන්නව සිටියි. අවසාන වශයෙන් හෙතෙම සංස්කාර ධර්මයන් මෙනෙහි කිරීම නිසා, සත්‍යානුලෝමික ඥානය ලබයි. අනතුරුව, ගෝත්‍රභු ඥානය, මාර්ග ඥානය, ඵල ඥානය වැනි ඥාන ලබයි. මෙසේ ඵල ඥාන ලැබීම, ‘ඥාන දස්සන විසුද්ධිය’ යනුවෙන් හඳුන්වයි. ත්‍රිලක්‍ෂණ භාවනා වැඩීමෙන් මග ඵල ලබන අයුරු ඉතා කෙටියෙන් පැහැදිලි කළෙමි. මේ අයුරින් නිවන් ලැබීමට නම් ඔබ කළ යුත්තේ භාවනා ප්‍රගුණ කිරීම බව පැහැදිලි ය. විදර්ශනා භාවනාව වැඩීමෙන් මෙම ප්‍රතිඵල අත්කර ගැනීමට හැකි වේ.