කතානායකට කෝටි තිහක වංචා දුෂණය චෝදනා.. පාර්ලිමේන්තුවේ ලිපි ගොනු තොගයක් අල්ලස් කොමිසමට..
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති බරපතල දූෂණ සහ මූල්‍ය අවභාවිත චෝදනා සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියහ.
මෙසේ කොමිසම හමුවේ පෙනී සිට ඇත්තේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (පාලන), සහකාර අධ්‍යක්ෂ (මුදල්) සහ ප්‍රවාහන නිලධාරී යන තිදෙනාය.
කතානායකවරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අදාළ අංශ ප්‍රධානීන් යොමු කරන ලෙස අල්ලස් කොමිසම විසින් පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂාණි රෝහණදීර මහත්මියට කරන ලද දැනුම්දීමකට අනුව මෙම නිලධාරීන් කොමිසම හමුවට කැඳවා තිබේ.
කතානායකවරයා පරිහරණය කරන නිල නිවාස, වාහන, ඒ සඳහා ලබාගත් ඉන්ධන, පාර්ලිමේන්තුවෙන් ලබාගත් ආහාර පාන මෙන්ම ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ විස්තර ඇතුළත් සම්පූර්ණ වාර්තාවක් සහ ලිපි ලේඛන වහාම ඉදිරිපත් කරන ලෙස ද කොමිසම පාර්ලිමේන්තු මහලේකම්වරියට නියෝග කර ඇත.
මෙම විමර්ශනය ආරම්භ වී ඇත්තේ පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා විසින් පසුගිය පෙබරවාරි 02 වනදා ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුවය. පැමිණිලිකාර කුලරත්න මහතාගෙන් පසුගිය 13 වනදා ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති අතර, චෝදනාවලට අදාළ ලිපි ගොනු රැසක් ද ඔහු විසින් කොමිසම වෙත භාර දී තිබේ.
කතානායකවරයාට එරෙහිව එල්ල වී ඇති ප්‍රධාන චෝදනා අතර වාහන අවභාවිතය සහ නීති විරෝධී ලෙස ඉන්ධන දීමනා දෙකක් ලබා ගැනීම, පාර්ලිමේන්තු මාධ්‍ය අංශයට අයත් උපකරණ අවභාවිත කිරීම, නියමිත මුදල් නොගෙවා පාර්ලිමේන්තු ගිණුම යටතේ අමතර ආහාර පහසුකම් ලබා ගැනීම, රජයේ චක්‍රලේඛ උල්ලංඝනය කරමින් නිලධාරීන් පත් කිරීම සහ ඔවුන්ට මුදල් ගෙවීම, රජයට අයත් නිල නිවාස දෙකක් නීති විරෝධී ලෙස පරිහරණය කිරීම, තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලන ලද තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කරමින් වංචා දූෂණ වසන් කිරීමට උත්සාහ කිරීම ආදිය වෙයි.
මෙම දූෂිත ක්‍රියාවන් හේතුවෙන් රජයට රුපියල් කෝටි තිහක (මිලියන 300ක) පමණ මූල්‍ය පාඩුවක් සිදුව ඇති බවට පැමිණිල්ලේ සඳහන් වේ.